වර්තමානයේ මිනිසුන් විශාල වශයෙන් බෝවන රෝගවලින් මියයයි. සතුරු විපත්ද බහුලය. බලලෝභය මත බොහෝ අනතුරු ඇති වෙයි. කරදරවලින් හෙම්බත් වන මිනිසා කුමන හෝ බලවේගයක පිහිටක් ලබා ගැනීමට වුවද මැළිනොවෙයි. අපට නොපෙනෙන බලවේගයක පිහිට, ආරක්‍ෂාව ලබා ගන්නේ කෙසේද? බොහෝ අවස්ථාවල දේව ආශීර්වාදය, තිසරණ පිහිට ලබාගන්නා ආකාරය පිළිබඳව අප දැනුවත් නැත. සෙත්, සාන්ති තුළින් අප ප්‍රාර්ථනා කරන්නේ පිහිටය. දෙහි කැපීම – තෙල් මැතිරීම – නූල් බැඳීම යනු ප්‍රබලව කෙරෙන ශාන්තිකර්මයන්ය.
‘දැහැමි දේව පූජාව යහපත්ය. කුසල් අත්වෙයි. දෙවියන්ගේ පැහැදීම, සතුටු වීම මත මේ සියල්ල සිදුවෙයි’ බුදුන් වහන්සේ එලෙස දේශනා කළ සේක.
රේරුකානේ චන්දවිමල, බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය වැනි මහා නාහිමිවරුද පුද පූජා පැවැත්වීම ඉතා යහපත් බව දේශනා කළහ.
ශුද්ධාවාසයන්හි වෙසෙන පුණ්‍යවන්ත ආත්මයක් පිළිබඳ විශ්වාසය, ගෞරවය වර්තමාන ජනයා අතර දැඩිව පවතියි. දෙවියන් සිටිත්ද? දෙවියන් සැබැවින්ම අපට පිහිට වෙනවාද? මෙවන් වූ මතවාදයන් රැසකි. ඒ පිළිබඳව අප විසින් විමසා බැලිය යුතු කරුණු රැසකි.
අතීතයේ හින්දූහු ගිනි දෙවියාට යාගහෝම පමණක් නොව බිලිපුද පූජා පැවැත්වූහ.
පරපණ නැසීම බොදු පිළිවෙතට පටහැනිය. විශ්වයේ නිර්මාතෘ ලෙස විෂ්ණු හඳුන්වන හින්දුන් බුදුහිමියන් විෂ්ණුගේ දස අවතාරවලින් එකක් ලෙස හඳුන්වයි. එය භගවත් ගීතාවේ සඳහන්ය. හින්දු ධර්මය බුදු දහම සමඟ යම් ප්‍රමාණයකින් සමානය. එය වූද සිරිත්වලින් වෙනස් වෙයි. පරපණ නැසීම හෝ බිලි පුදපූජා තුළින් කුසල් අත්නොවන බව බුදුන් වහන්සේ වදාළහ.
ජන්ම පත්‍රය තුළින් ග්‍රහ අපලයක් හඳුනාගෙන අපි පුදපූජා පවත්වන්නෙමු. අනන්ත විශ්වයේ වෙසෙන ශුද්ධාත්මයන් පහදවා ගැනීමෙන් එම ශුද්ධාත්මයන්ගේ අවධානයට ලක්වීමෙන් අපට ලැබෙන පිටිවහල අපට ලැබෙන ගුණ බලවත් ආරක්‍ෂකයකු ඇසුරු කිරීමක් හා සමානය.
යහපත් වීර්යයෙන් යහපත්ව ඉපැයූ ධනයෙන් තබන පුදපූජා කෙරෙහි දෙවියෝ ඇල්ම දක්වති. බුදුන් වහන්සේ දේශනා කර ඇති පරිදි තිරිසන් ලොවට වඩා ප්‍රේත ලොවත් ප්‍රේත ලොවට වඩා මිනිස් ලොවත් උතුම්ය.
බුදුවරු නිවන් මග හෙළි කරති. දෙවියන් වෙනුවෙන් පුදපූජා පවත්වන මිනිසුන් වෙනුවෙන් දෙවියෝ පිහිට විය යුතුය.
මිනිසුන් වෙනුවෙන් පිහිට ආරක්‍ෂාව සැලසීම දෙවියන් හට බාර කළ බව විශාලා මහනුවර දුර්භික්‍ෂය පහකිරීමට බුදුන් වහන්සේ දේශනා කළ රතන සූත්‍රයෙන් පැහැදිලි වෙයි. කැලණිතිස්ස රජු තම දියණිය මුහුදට බිලිකිරීම අතීතයේ බිලිපූජාවේ පිළිගැනීම පිළිබඳ සාක්‍ෂිය.
දේවතානුස්සති භාවනාව වැඩීම යනු දෙවියන්ගේ ගුණ මෙනෙහි කිරීමය. දෙවියන්ගේ ගුණ මෙනෙහි කරන්නාට දෙවියන්ගේ පිහිට ලැබෙන බව බුදුහිමියෝ දේශනා කළ සේක. දෙවියන් වෙත පුදපූජා පවත්වන්නා වූ මිනිසුන් කෙරෙහි කරුණාවෙන් එම පුද පූජා පිළිගැනීමට ශුද්ධාත්වයන් වඩිනා බව උජ්ජායි සූත්‍රයේ සඳහන් වෙයි. එවන් පිනැති මාර්ගඵලලාභීහු මිනිසුන්හට ආශීර්වාද කළද සෙත ශාන්තිය පැතුවද මිනිසුන් හට නොවඳිති. එය දන්, පින් කරන ගිහියන් හට භික්‍ෂුන් වහන්සේලා වැඳුම් – පිදුම් නොකරන්නාක් මෙනි. විෂ්ණු – කතරගම – බ්‍රහ්ම – ගණ ආදී හින්දු දෙවියන් ඇදහීම මත ඉන්දියාවේ හින්දු ආගම හටගත්තේය. ලංකාවේ දෙවියන් ඇදහීම ආගමක් වී නැත. විෂ්ණු දෙවියන්ද සෝවාන් ඵලයට පැමිණ ඇත. ලංකාවේ බුදුදහම සුරැකීම විෂ්ණු දෙවියන්හට පැවැරී ඇති බව පැවසෙයි. අරහත් ධජයේ සෙවණේ රැඳෙමින් දේව කරුණාවට අනුගතව මෙලොව යහපත් කර ගැනීම යහපත්ය.
දන්දීම, මල් පහන් පිදීම, වස්තු පූජාය, ගුණ වැයීම, ගුණ පිළිගැනීම, ස්තුති පූජාය. දෙවියන් අදහන්නා පින් ඇත්තෙකු විය යුතුය. රැස් කරගත් පින් අනුමෝදන් කරන්නෙකු විය යුතුය. දෙවියන් අදහන්නා දෙවියන් ප්‍රිය කරන දීප, ධූප, ගන්ධ, පුෂ්ප, තාම්බුල වැනි දේ පුදන්නෙකු විය යුතුය. පපුව මත දෑත් තබා වන්දනා කරන්නේ දෙවියන් පිදීමටය. පුද පූජා පවත්වා දෑත් ඉහළට ඔසවා කරන්නේ දෙවියන්ගෙන් යැදීමය. මේ සියල්ලටම පෙර පින් ඇත්තෙකු වීමට පින් කළ යුතුය. අසරණයකුට, රෝගියෙකුට හෝ කුසගිනි ඇති අයෙකුට පිළිසරණ විය යුතුය. ජන්ම පත්‍රය අනුව පින්කම් කළයුතු ක්‍රමවේදයක්ද ඇත.
පූජනීය ස්ථානයකදී තෙරුවන් ගුණ සිහිකර කරනු ලැබූ සෑම පින්කමක්ම සිහිපත් කර තම ප්‍රාර්ථනා දෙවියන්ගේ නාමයට සිතින්ම පින් අනුමෝදන් කිරීම යහපත්ය.
දෙවියන් ඉදිරියේ සිතින්, ගතින් පිරිසුදු වී පින් අනුමෝදන් කිරීමේදී ගාථා, ස්තෝත්‍ර ගායනා කිරීම බාරහාර වීම් ආදී ප්‍රාර්ථනා සඵලත්වයට මගසලසයි. යහපත උදාකරන දැහැමි දේව පූජා මෙලොව, පරලොව දෙලොවෙහිම යහපතට හේතුවෙයි.
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති