ස්ත්‍රියකගේ ජීවිතයේ සැඟවුණු බොහෝ කරුණු කාරණා ඇගේ රූප ස්වභාවයෙන් හඳුනාගත හැකි බව පුරාණයේ සිටි ඍෂිවරු පහදා දී තිබේ. ඒ සඳහා අංග ලක්‍ෂණ විiාව මනා පිටිවහලකි. එසේ ස්ත්‍රියකගේ ජීවිතයේ සැඟවුණු කාරණා ගැන මනාවට හඳුනා ගතහැකි ශරීරාංගයක් ලෙස නාසයට විශේෂ තැනක් හිමිවෙයි.
යම් ස්ත්‍රියකගේ නාසය ඇත් සොඬයකට සමාන පෙනුමකින් මනාව දර්ශනය වන්නේ නම් ඇය උපතින්ම වාසනාවන්තියකි. ඇගේ ජීවිතයේ මැද භාගයෙන් පසුව ධන-ධාන්‍ය, සැප-සම්පත්, යස-ඉසුරු ලැබෙන අතර, ඇයව විවාහකර ගන්නා සහකරුටද ඇගේ වාසනා මහිමයෙන් යස-ඉසුරු, සැප-සම්පත් සහ කීර්ති, ප්‍රශංසාද හිමිවෙන බව පැවසෙයි.
කිසිදු අඩුපාඩුවක් නොමැතිව ඉතා ප්‍රියමනාපව මධ්‍යස්ථව හැඩකාර නාසයක් පිහිටන ස්ත්‍රිය නිරායාසයෙන්ම දියුණුවේ මාවතට පිවිසෙන්නීය. ඇය ඉතා කෙටි කලකදී ධනවත් වෙයි. සැප-සම්පත් ලබයි. විවාහයෙන් පසුව සහකරුට උපරිම ආදරයත්, සතුටත් ලබා දෙන්නීය.
මෙවැනි කාන්තාවන්ගේ විවාහ ජීවිත කිසිදා දෙදරා නොයයි. සහකරුට ඇගෙන් තොර ජීවිතයක් නැතැයි සිතෙන තරමට ඇය යුගදිවියේදී දක්‍ෂ පතිනියක් වෙයි. ඇය පුරුෂයන් පසුපස නොයන්නීය. එහෙත් පුරුෂයන් නිතැතින්ම ඇයට වසඟ වෙයි. පති භක්තිය සුරකින ඇය යහපත් වාසනාවන්ත දරුවන් ලබන්නීය.
වරාමලක පොහොට්ටුවක හැඩයෙන් නාසය පිහිටන ස්ත්‍රියටද සැප-සම්පත් අඩුවක් නොවේ. ඇය සිය ජීවිතය පිළිවෙළකට හැඩගසා ගන්නීය. ජීවිතය පුරාම සැප-සම්පත් ලබන්නීය. එසේම ඇයද පතිභක්තිය සුරකින්නීය. සැමියා හැර අන් පුරුෂයන් ගැන නොසිතන අතර, ක්‍රියාශීලී ජීවිතයක් ගතකිරීමට උත්සාහ ගනී. ජීවිතයේ යථාර්ථය පිළිබඳව ඉතාමත් ඉහළ දැනීමක් ඇය සතු වෙයි. ඇය උපතින්ම කාමුක ගතිගුණ ඇත්තියක වුවද, අධම, පහත් ගති ඇය තුළ නැත. ඊට වහල් වන්නේද නැත.
දිගටි හැඩයෙන් යුතු සිහින් නාසයක් ඇති ස්ත්‍රිය තුළ යහපත් ගතිගුණ අඩු වෙයි. ඇය දකින, දකින පිරිමින් කෙරේ ලොල්ව කටයුතු කරන්නීය. රහසින් හෝ පස් පව් කරන්නට පෙළඹෙන ඇය නිතරම පිරිමින් හා ඇසුරට යොමුවෙයි. අධික කාමාශාවකින් යුතු හෙයින් නිතර නිතර ඒ ගැන සිතමින් ඒ සඳහාම යොමුවීමට මාන බලයි. ආශාවන් සංතර්පනයට නොකරන දෙයක් නැත. පැකිලීමකින් තොරව වරදේ බැඳෙන්නීය. තම අරමුණු රහසින්ම ඉටුකර ගන්නීය. ඇගේ ආශාවන් නිමාවක් නැත. විවිධ වූ පුරුෂයන් ඇසුරට ගැනීම ඇගේ ආශාව වෙයි. යුග දිවියේ සතුටක් නොලබන්නීය. අවාසනාවන්ත විවාහයන් කිහිපයක් සිදුකර ගන්නීය. විකෘති කාමාශාවන්ගෙන් පෙළෙන්නියක ලෙසද හඳුන්වා දිය හැකිය.
කලාත්මක හුරුබුහුටි නාසයක් ඇති ස්ත්‍රියගේ ජීවිතයද කලාත්මකය, පිරිපුන්ය. ඉතාමත් වාසනාවන්ත ලෙස සිය ජීවිත කාලය ගතකිරීමට භාග්‍ය ලබන්නීය. එසේම විවාහයෙන් පසු උසස්, බුද්ධිමත් දරුවන් ලබන්නීය.
නාසයේ අග කොටස පමණට වඩා මහත්ව මධ්‍ය කොටස ඇතුළට එබී ගිය ආකාරයට නාසය පිහිටයි නම් එම ස්ත්‍රියගේ ජීවිතයේ සුබපල හීන කරයි. ඇය පසුපස අවාසනාව ගමන් කරයි. නිතරම දුකින් සිටින්නට සිදුවෙයි. විවාහයෙන් පසුව සතුටක් නොලබන්නීය.
යම් ස්ත්‍රියකගේ නාසය මතුපිට ඉහළින් රේඛාවක් සේ ලකුණු වී ඇත්නම් ඇය පුරුෂයන් කෙරේ අසීමිත ආශාව ඇත්තියකි. නිතර, නිතර පිරිමින් මාරු කරමින් ඇසුරට ප්‍රිය කරයි. එක් අයකුගෙන් සෑහීමට පත් නොවන්නීය. නිතරම අන් අය හා වෛරයෙන් කටයුතු කරන්නීය.
ස්ත්‍රියකගේ නාසයේ අග කොටස කවාකාර හැඩයක් ගනී නම් ඇය ඇසුරට සුදුසු නොවේ. මුදල් මත ඕනෑම දෙයක් තීරණය කරයි. පරපුරුෂ ඇසුරටද පත්වෙයි. මුදල් වෙනුවෙන් පතිභක්තිය පාවා දීමට වුවද ඉඩකඩ ඇත.
යම් ස්ත්‍රියකට කෙටි නාසයක් ඇත්නම් ඇය ඉතාමත් පහසුවෙන් වරදේ බැඳෙයි. අනුවන තීන්දු, තීරණ ගනී. අනුවණකම් මගින් අවශ්‍යතා ඉටුකර ගන්නට උත්සාහ කරයි.
පළල් වූ නාසයක් ඇත්ති අසීමිතව සරාගී ගතිගුණ ඇත්තියකි. මේ අය ඉතා සූක්‍ෂ්ම පිරිමින්ව වසඟයට ගන්නීය. ජීවිතයේ මැදි වයසෙන් පසුව යම් තරමක දියුණුවක් ලබන්නීය. මේ අය නිතරම අන් අයට වෛර කරන්නීය. මේ අය පිරිමින්ව වසඟයට ගෙන සිය අවශ්‍යතා ඉටුකරගන්නා අතරම මූල්‍යමය වාසියක් ලබන්නටද දක්‍ෂය.
ලප, කැලැල් හෝ ඇද, පලුදු නැති මධ්‍යස්ථ ප්‍රමාණයේ හුරුබුහුටි නාසයක් ඇත්තී සුරඟනකි. ඇය වාසනාවේ උපරිමය රැගෙන උපන් තැනැත්තියකි. ඇය විවාහය සඳහා ඉතාමත් ප්‍රියමනාප, කඩවසම් පුරුෂයකු ලබන්නීය. දෙදෙනා එක්ව දියුණුවෙන් දියුණුවට පත්වීමේ භාග්‍ය ඇය සතු වෙයි.
යහපත් ගතිගුණ ඇති සංවේදී ස්ත්‍රීන්ගේ නාසය උස්ව පිහිටයි. ඇය බුද්ධිමත්ය. උසස් මෙන්ම බුද්ධිමත් ජීවන රටාවකට ප්‍රිය කරයි.
කුල්ලක හැඩය ගන්නා නාසය ඇති ස්ත්‍රිය දියුණුවක් නොලබන්නීය. ජීවිතයේ බොහෝ අගහිඟකම් ඇය සොයා පැමිණෙන්නීය. මෙහෙකාර වෘත්තීන්ට යොමුවන්නේද මෙවැනි ස්ත්‍රීන් බව හඳුනාගත හැකිය.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර