බලාගෙන ඉද්දි දියුණුවෙන් දියුණුවට පත්වෙන ව්‍යාපාර වගේම කොයි තරම් උත්සාහ ගත්තත් දියුණු කරන්න බැරි ව්‍යාපාරත් ඕන තරම් තියෙනවා. ඒ වගේම සමහර ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත්වෙලා හිටි අඩියෙ හිතාගන්නවත් බැරි විදිහට කඩාගෙන වැටෙනවා. එහෙම නැත්නම් බංකොළොත් වෙනවා. ඒ වෙලාවට බොහෝ ව්‍යාපාරිකයන් කියන කතාවක් තමයි මොනවා වුණාද කියලා හිතාගන්නවත් බැහැ දවසෙන් දෙකෙන් සේරම ඉවරයි කියන එක. ඇත්තටම මොකක්ද මේකට හේතුව.
එහෙම ව්‍යාපාරයක් බංකොළොත් වුණාම සමහරු කේන්දර බලනවා. ශාන්තිකර්ම කරනවා. හදි හූනියම් අයින් කරනවා. මැණික් මුදු පලඳිනවා. ඔයවගේ එක එක දේවල් කරනවා. හැබැයි එහෙම කළා කියලත් තත්ත්වය වෙනස් කර ගන්න බැරි වෙච්ච අය ඕන තරම් දකින්න ලැබෙනවා. ඇතැම් විට එවැනි දේවල් කරලත් ආපසු හැරිලා බලද්දි හිටියටත් වඩා අන්ත අසරණ තත්ත්වයකට වැටුණු අයත් දකින්න ලැබෙනවා.
මේ කරුණු කාරණා ඉතා කල්පනාකාරීව අවධානයෙන් යුතුව පරීක්ෂා කළොත් පෙනී යන්නේ මේ අයගේ වැටීමට හේතුව ඔරොත්තු නොදෙන තරමට අධිකව ණය වීම මත කරගෙන ආ ව්‍යාපාරයත් බංකොළොත් වී ඇති ආකාරයයි. එනම් යම් ව්‍යාපාරයකින් සැලකිය යුතු ආදායමක් ලැබෙද්දි එය නිසි පරිදි කළමනාකරණය නොකර ආදායමට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවීමේ පදනම මත ණය ලබාගැනීමයි.
ඉන්පසු ඉතාමත් කෙටි කාලයක් තුළ ආදායමත් වියදමත් අතර පරස්පරතා නිසාම බංකොළොත්භාවයට පත්වෙන්නෙ කිසිවකුටත් සිතාගත නොහැකි අයුරින්.
කොහොම වුණත් මෙවැනි ප්‍රශ්නයක් මත කෙනෙක් ජ්‍යොතිෂ්‍යවේදියෙක් සොයා පැමිණි විට බහුතරයක් ජ්‍යොතිෂ්‍යවේදීන් කරනු ලබන්නේ හරි හැටි කරුණු අවබෝධ නොකරගෙන හඳහන් පරීක්ෂා කර මොනවා හෝ කීමයි. එහෙත් හරියට එම පුද්ගලයාගේ හඳහන පරීක්ෂා කළොත් පෙනී යන්නේ ඒ අය ඔරොත්තු නොදෙන ආකාරයට වැඩ කරන්නට යොමුවන ග්‍රහචාරයකට පත්ව ඇති ආකාරයයි. එවැනි අය කිසි විටක අනුන්ගේ උපදෙස් හෝ උදව් පිළිගන්නට සූදානම්ද නැත. නිතරම තනි තීරණ ගෙන ව්‍යාපාර අවුල් කරගනී. එසේම තමන්ට ලැබෙන ආදායම ගැන නොසිතා ලොකු ලොකු දේ කරන්නට මේ අය පෙලඹවීමට සමත් ග්‍රහචාරද ඇති බව වටහාගත යුතුමයි.
ග්‍රහචාරයට අමතරව විවිධ ගුප්ත කාරණාවද ව්‍යාපාර බංකොළොත් වීමට හේතුපාදක වන බව හඳුනාගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ භූමි පාළු, නැකැත් දෝෂ, ව්‍යාපාර නාම දෝෂ ආදියයි. මෙවැනි අසුබ බලවේගයන්ට යටවූ විට ගුප්ත ශාස්ත්‍රය, ජ්‍යොතිෂය ආදී කාරණා පිළිනොගන්නා තැනට අදාළ පුද්ගලයාගේ මනසද වෙනස් වන බව අතීතයේ විසූ ජ්‍යොතිෂඥයන් හඳුනාගත් අවස්ථා තිබෙනවා.
මෙවැනි පුද්ගලයන්ට එම ශාස්ත්‍රයන් ගැන යළි සිහිවන්නේ ව්‍යාපාර බින්දුවටම වැටුණු පසුවයි. එසේම ඇතැම් ධනවත් ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාර පුළුල් කිරීමේදී නැකැතක් හෝ නොබලයි. එය තදබල අයහපත ළඟාකර දීමට ප්‍රබල හේතුවක් විය හැකි බව ඔවුන්ට තේරුම් යන්නේද පසුවයි. මන්ද නැකැතක් යනු කිසිදු අයහපතක් බාධාවක් නොමැති හොඳම වෙලාවයි. අපි වාහනයක් පදවාගෙන පාරෙ යන වෙලාවක ඉදිරියෙන් වාහනයක් යනවා පෙනි පෙනී වේගය වැඩි කළොත් ඉදිරියෙන් යන වාහනයේ ගැටී අනතුරකට පත්වේ. එවිට අපි කළ යුත්තේ උපක්‍රමශීලීව වාහනය පසුකර වේගය වැඩිකර ගැනීමයි. නැකැත බැලීමෙන් කරන්නේද අපට වේගයෙන් ඉදිරියට යෑමට ගමන ආරම්භයට සුබ වෙලාව සොයා ගැනීමයි. එවිට දියුණුව සොයා වේගයෙන් ඉදිරියට ධාවනය කරන්නට අවස්ථාව ලැබේ.
සමහරු තම ව්‍යාපාරවලට නම් තබන්නේද ඔහේ ආවට ගියාටය. යම් ලෙසකට අසුබ ගණ ඇති නමක් තැබුවොත් එය නිතර නිතර කියැවෙද්දී ඉන් නිකුත් වෙන අසුබතා ව්‍යාපාරයේ පැවැත්මට බලපායි. එවිට නොසිතන මොහොතක එය කඩා වැටෙයි. මේ හේතු නිසාම ව්‍යාපාරයක් ආරම්භ කරන්නට සිතන අයට උපදෙස් රැසක් ජ්‍යොතිෂයේ පෙන්වා දෙයි. පළමුවෙන්ම කළ යුත්තේ ව්‍යාපාරය ආරම්භ කරන්නට සිතන අයගෙ ජන්ම පත්‍රය පරීක්ෂා කරවාගෙන ඊට සුදුසුකම් ඇත්ද යන්න සොයා බැලීමයි. ඉන්පසු ඊට සුදුසු කාලය ප්‍රදේශය හෝ වෙනත් කාරණයක් බාධක ඇත්නම් ඒවා දුරු කිරීමට කළයුතු පිළියම් ආදියත් අසා දැනගැනීම සුදුසුයි.
ව්‍යාපාරය පවත්වාගෙන යන ස්ථානය ගැන, එහි ආරක්ෂාවට කළයුතු දේවල්, ව්‍යාපාර නාමය සහ පවුල් ව්‍යාපාරයක් නම් හවුල්කරුවන්ගේ කේන්දර ගැළපේද යන වග පරීක්ෂා කර බැලිය යුතුමයි. එසේ කිරීමෙන් ඉතා සාර්ථක ව්‍යාපාරයක් ගොඩනඟා දියුණුවෙන් දියුණුවට පත්වීමට අපහසු නැත. එසේම ව්‍යාපාර පවත්වාගෙන ගොස් අසාර්ථක වූ අය බොහෝමයක් සමඟ කතාබහ කිරීමේදී පෙනී යන්නේ ඒ අය අසාර්ථක වී ඇත්තේ හදි හූනියම්, අනවින, කොඩිවිනවලටත් වඩා ව්‍යාපාරයට හවුල් කරගත් අයගේ වරදින් බවයි. එනිසා විශේෂයෙන්ම හවුල් ව්‍යාපාර ඇරැඹීමේදී හවුල්කරුවන් ගැළපේද යන්න පරීක්ෂා කරන්න අමතක නොකළ යුතුම කාරණයකි.
මේ නිසා ඔබේ ව්‍යාපාරයේ නම, හවුල්කරුවන් සහ ඊට සම්බන්ධ වෙනත් කාරණා ගැන දැන් හෝ අවධානයක් යොමුකරන්නේ නම් ඉදිරියේදී සිදුවීමට ඇති දේ කලින් වටහාගෙන අයහපත් ප්‍රතිඵල වෙනස්කර යහපත සලසාගත හැකිය.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්දකුමාර