කෙනකු උපදින විට තමන්ට උරුම පින් පව් රැගෙන උපදින බව අප පිළිගත යුතුය. ඒ අනුව බොහෝ අය ජන්මය ලබන වෙලාවට විශ්වය තුළ ග්‍රහ මණ්ඩලයේ පිහිටීම ඇසුරින් එම ජන්මියාට මෙලොවදී විඳින්නට සිදුවන හොඳ නරක ප්‍රතිඵල හඳුනාගත හැකිය. ඒ සඳහා උපදින අවස්ථාවේ ග්‍රහ මණ්ඩලයේ පිහිටීම සොයාබලා කේන්දරයක් සකස් කිරීම ජ්‍යොතිෂ ශාස්ත්‍රය අනුව සිදුකෙරෙයි. එම කේන්දර සටහන නිසි ලෙස අධ්‍යයනය කිරීමෙන් ජන්මියාගේ ජීවිතයේ ඒ ඒ කාලවල ලබන ප්‍රතිඵල කෙසේදැයි හඳුනාගත හැකිය.
ඉහත තත්ත්වය අතීතයේ ස්වාභාවික දරු උපත් ඇසුරින් යම් තරමකට සාමාන්‍ය කාරණයක් සහ විශ්වාස කළ හැකි කාරණයක් බවට පත්ව තිබුණද, වර්තමානයේ සීසර් සැත්කම් ප්‍රචලිත වීමත් සමගින් යම් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිව තිබේ. මන්ද ඇතැම් පිරිස් තමන්ට විශ්වාසවන්ත ජ්‍යොතිෂවේදියකු ලවා සුබ වේලාවක් සකසාගෙන එම වේලාව අදාළ සැත්කම කරන වෛද්‍යවරයාට දී සැත්කම කරගැනීමට කටයුතු කරන බවක් දක්නට ලැබෙන අතර, එයින් සාමාන්‍ය දරු උපතකදී සිදුවන ග්‍රහ බලපෑම වෙනස් කෙරෙන බවක් පෙන්නුම් කරයි. මෙය ඉතා කල්පනාකාරීව අවධානය යොමු කළ යුතු කාරණාවක් සේම මුලින්ම මෙම කාරණාව ජ්‍යොතිෂයට පටහැනිද යන්න සලකා බැලිය යුතුය.
යම් කටයුත්තක් සිදුකරන මොහොතේදී එම කටයුත්ත සිදුකරන ස්ථානයට විශ්වයේ ගමන් ගන්නා ග්‍රහයන්ගේ බලය යහපත් ආකාරයට යෙදී ඇති මොහොතක් ඒ සඳහා සොයාගෙන අදාළ කාරණය ඉටුකිරීමෙන් වඩාත් හොඳ සුබපල ලැබෙන බව කවුරුත් පිළිගනී. එසේම මෙය සුබ නැකැතක් සොයාගැනීම ලෙස ජ්‍යොතිෂයේ සඳහන් වේ.
කෙසේ නමුත් නවීන විද්‍යාවේ දියුණුවත් සමග සිදුකෙරෙන සිසේරියන් සැත්කම් සිදුකෙරෙනුයේ ජ්‍යොතිෂවේදියාගේ අවශ්‍යතාව හෝ තීරණය මත නොවේ. එය වෛද්‍යවරයාගේ තීරණය අනුව සිදුකෙරෙන්නකි. එසේ නැත්නම් දරුවාගේ මවුපියන්ගේ කැමැත්ත අනුව සිදුකෙරෙන්නකි. එහෙයින් එම කටයුත්ත කිරීමට සුබ මුහුර්තයක් ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව සකසාගැනීම වරදක්දැයි බුද්ධියෙන් විමසා බැලිය යුතුය.
යම් දරුවකුගේ උපත සිදුකළ යුත්තේ සීසර් සැත්කමකින් යැයි එම මව භාර වෛද්‍යවරයා තීරණය කළහොත් එය කිසිවකුට වෙනස් කිරීමට සාධාරණ හේතුවක් ඇති නොවේ. සාමාන්‍ය ක්‍රමයට බිහිවීමේ අපහසුතා හෝ සාධාරණ හේතු ඇති අවස්ථාවක පමණක් වෛද්‍යවරයකු සීසර් සැත්කමක් නියම කරනු ලබන අතර, එම කටයුත්තට සුදුසු නැකැතක් යොදාගැනීම මගින් අසාධාරණයක් සිදු නොවේ. එසේම එය බලහත්කාර උත්පත්තියක් ලෙසද හඳුන්වාදිය නොහැකිය.
මේ කාලයේ ඇතැම් අය සිසේරියන් සැත්කම දරුවකුට කරන අසාධාරණයක්ය යන්න අර්ථ ගන්වන්නට උත්සාහ කරන බවක් පෙනුණද, එය වරදක් ලෙස පෙන්වා දෙන්නට කටයුතු කළද, බුද්ධිමත්ව බලන්නකුට එහි ඇති වරදක් නොපෙනේ. ඕනෑම ජන්මියකු මෙලොව එළිය දැකීම සඳහාද ඔහුගේ හෝ ඇයගේ පෙර පිං පව් උපකාරී වේ. එහෙයින් යම් දරුවකුට හොඳ බලවත් නැකැතක් සාදා සිසේරියන් සැත්කමකින් මෙලොව එළිය දකින්නට අවස්ථාව උදාකරන්නේද එම දරුවා සතු පෙර පිනකි. බලවත් බව යැයි සිතීමද වරදක් නොවේ.
සැත්කම් සිදුකළ යුතු දිනයත්, වේලාවත් වෛද්‍යවරයා තීරණය කළ පසු එම මොහොතට අනුව සුබ ග්‍රහ පිහිටීම් යෙදෙන මුහුර්තයක් සකසා දීම පමණක් ජ්‍යොතිෂවේදියා විසින් සිදුකරනු ලබයි. එම වේලාව ඉතා බලවත් වීම තුළ එයින් ලැබෙන වාසනාවන්ත සහ උසස් පල දරුවාට ලැබෙන බව රහසක් නොවේ. මන්ද ඕනෑම කටයුත්තක් සුබ හෝරාවකින් ආරම්භ කර එහි උසස් ප්‍රතිඵල අත්විඳිය හැකි වනවා සේම, සිසේරියන් සැත්කමක් සුබ මුහුර්තයකින් සිදුකිරීමෙන් ජන්මියකුට අසුබ ප්‍රතිඵල මඟහරවා සුබ ප්‍රතිඵල අත්විඳීමට අවස්ථාව උදාවේ.
එසේම ඕනෑම කෙනකුගේ ජන්ම පත්‍රයක් සකස් කරනුයේ ඔහු හෝ ඇය මෙලොව එළිය දුටු වෙලාව අනුව යැයි ඉහතින්ද සඳහන් කළෙමු. ඒ අනුව දරුවා මෙලොව එළිය දකින විදිය හෝ ක්‍රමය මතභේදයකට හේතු කරගත යුත්තක් නොවේ. තවද සිසේරියන් සැත්කම උපදින්නට සිටින දරුවකුට කරන බලහත්කාරකමක් ලෙස ඇතැම් අය හැඳින්වුවද ඉන් දරුවකුට අසාධාරණයක් සිදුවේයැයි සිතීම ගැටලුසහගතය.
සාමාන්‍ය ආකාරයට ප්‍රසූතිය සිදුවී මෙලොව එළිය දුටු දරුවන් සහ සිසේරියන් සැත්කම් මගින් බිහිවූ දරුවන් අතර විවිධ සමාජ සහ මානුෂීය වෙනස්කම් ඇතැයි විවිධ අය අදහස් දක්වති. එහිදී සාමාන්‍ය ලෙස උපත ලද දරුවන් මවට දැඩි ලෙස ආදරය කරන බවත්, සිසේරියන් සැත්කමකින් උපත ලද දරුවන් එසේ නොවන බවත් ඇතැම් අය තුළ මතයන් වේ. මෙයද කිසිදු පදනමක් නොමැති කතාවක් පමණක් බව එවැනි උපත් ලද දරුවන් දෙස ඉතා ප්‍රවේසමෙන් අවධානය යොමුකරද්දී පෙනීයනු ඇත. ඒ අනුව සිසේරියන් සැත්කම යනු දෛවය වෙනස් කරන සාධකයක් බවට පත්වෙමින් තිබෙන්නේද යන්නත් කල්පනාවෙන් සිතාබැලිය යුතුය.
ප්‍රවීණ ජ්‍යොතිෂ සහ අංග ලක්ෂණවේදී ජයශ්‍රී නන්ද කුමාර