ඕනෑම සටනක් කටින් ගහලා දිනන අය ඕනෑ තරම් සමාජයේ සිටිති. මේ අයගේ කටේ හැටි දන්නා නිසාම අනෙක් අය තරමක් පසුබසින ස්වභාවයක් දක්නට තිබේ. එහෙත් එලෙස කෙනකුගේ කට සැර වෙන්නටත්, තවත් කෙනකු එසේ නොවෙන්නටත් හේතුව කුමක්ද යන්න සොයා බැලිය යුතුමය.
සැර කතාවට හේතු කාරණා වන පිහිටීමට ප්‍රධාන වශයෙන්ම අඟහරු ග්‍රහයා මූලිකව සිදුවන දෙයක්. කතාවේ ප්‍රබල බව මෙන්ම දුර්වලතාවයන්, ගොළු ස්වභාවයන් ඇතිකරන්නට ප්‍රධානත්වය ගන්නේ බුධ ග්‍රහයායි. බුධ ග්‍රහයා දුර්වලව අසුබ පාප දෘෂ්ටියට ලක්වීම හා 22 වැනි දෙර්කාණාධිපතියා වී දෙපැත්ත හෝ ලග්නය දැකීම ඉතා ප්‍රබලව අසුබ ගෙන දෙන ග්‍රහ තත්ත්වයක් ලෙස සලකන්නට හැකියි. මෙවැනි තත්ත්වයක් යටතේ එම ජන්මීන් කතාකරන වචනවල පැහැදිලි බවක් නැතිවෙන්න පුළුවන්. කතාව වේගවත් වුවද කියන දේ පැහැදිලි නොවීම නිසා අන් අය අපහසුතාවට පත්වෙන්නත් ඉඩ තියෙනවා.
22 වැනි දෙර්කාණාධිපතියා වී බුධ ග්‍රහයා දෙවැන්න දැකීම හෝ දෙවැන්නේ සිටීමත්, ඒ අනුව වෙනත් ප්‍රබලව බලපෑම් කරන සුබ ග්‍රහ සංයෝග නැතිනම් එම පුද්ගලයන් බොහෝ දුරට ගොළු තත්ත්වයට පත්වෙන්නටත් ඉඩ තියෙනවා. එසේම මේ අයට කතා කරන්න හැකියාව ලැබුණත් කතාවෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්නන් වෙයි.
සෙනසුරු ග්‍රහයා සමග රාහු දෙවැන්නේ සිටීමෙන් වේගවත්ව කතාකරන කාන්තාවන් බිහිවන අතර ඇයගේ කතාව අන් අයගේද සිත රිදවයි. එහෙත් මේ අය තමන්ගෙන් එවැන්නක් සිදුවන බව තේරුම් නොගනී. එනිසා නොදන්නාකමින් තව තවත් එම වරද කරන්න පෙලඹෙයි. මේ අය කෙසේ හෝ තම මතය දිනවීමට සිතා දිගින් දිගටම කතා කරන්නේ කුජ ග්‍රහයාගේ ප්‍රබල ග්‍රහ දෘෂ්ටිය ලැබීමේ ප්‍රතිඵලයක් ලෙසයි.
මෙවැනි අය සමග වාද විවාද සඳහා යෑම අන් අය කරන අනුවණකමකි. මන්ද කෙසේ හෝ වචනවලින් පහරදී දිනන්ට මේ අය තුළ ඇත්තේ අමුතුම හැකියාවකි. ඒ වගේම රාහු සමග අඟහරු දෙවැන්නේ සිටීම නිසා වේගවත්ව කතා කිරීමේ හැකියාව ලබාදෙයි. මෙම පිහිටීමේදී බ්‍රහස්පති ග්‍රහයා ප්‍රබලව සුබ ග්‍රහ දෘෂ්ටියෙන් පිහිටීමෙන් ප්‍රියමනාප වේගවත් කතා විලාසයකට හේතුපාදක වෙයි.
යම් ලෙසකට රාහු, කේතු හා සෙනසුරු දුර්වල වුවහොත් මුහුණේ නපුරු පෙනුමක් ඇතිවීමත්, මුහුණේ පැහැපත් බව නැතිවීමත්, ඒ හා සමාන වෙනත් තත්ත්වයන්ට ගොදුරු වීමටත් හේතු යෙදෙන්න පුළුවන්.
ඇතැම් අයගේ මුහුණ අතිශය පියකරු ප්‍රියමනාප වුවද කතාව නිසා සිත් රිදීම් ඇතිවෙයි. කිසිදු ප්‍රියතාවක් නැති කතාව දෙසවන්වලට අමිහිරි අත්දැකීමක් එක් කරයි. මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ දුර්වල පාප පීඩිත රාහු, සෙනසුරු දෙවැන්නේ සිටීම හා සිකුරු ලග්නගත වීම හෝ සිකුරු පුර පක්ෂයේ සඳු විසින් දැකීමයි.
දුර්වල සඳු හා සෙනසුරු දෙවැන්නේ සිටීම නිසා තම සැමියාට මෙන්ම අවට වටපිටාවේ සිටින අයටද එපාවෙන ස්ත්‍රීන් බිහිකරයි. ඒ වගේම නිතර නිතර කේළාම් කියමින් අනුන්ව කොටවමින් ඉන් සතුටට පත්වන ආත්මාර්ථකාමී කටකාර අසංවර ස්ත්‍රීන් බිහිකිරීමට හේතු වන්නේ බුධ ග්‍රහයා සමග අඟහරු ග්‍රහයා සිටි විටයි. එහිදී කේතු ග්‍රහයා ලග්නගතවීමද ප්‍රධාන හේතුවක් බවට පත්වේ.
කේතු ග්‍රහයා ලග්නගතව දුර්වලව පිහිටි විට බුධ දෙවැන්නේ නම් එම ග්‍රහයන් දෙදෙනාට සුබ ග්‍රහ බලයක් නොලැබුණු කල්හි ඒ අයගේ කතාවෙන් නීති ප්‍රශ්න මතුවෙයි. අන් අය අපහසුතාවට සහ කරදරයට පත්වීමටද හේතු සාදයි. මේ අය කේළාම්වලට හසුවීමට සහ ඉන් කරදරේ වැටීමටද ඉඩ ඇත. ඒ වගේම අන් අයගේ වැරැදි සොයමින් බැණවදින්නේද මෙවැනි කාන්තාවන්ය.
යම් ලෙසකට අඟහරු ග්‍රයා දෙවැන්නේ දුර්වල වුවහොත් මේ තත්ත්වය දරුණු වෙයි. එසේම ඉහත ග්‍රහ පිහිටීම සුබ ග්‍රහ සංයෝග ඇතිව බලවත්ව පිහිටි විට එයින් අත්වන්නේ සුබ ප්‍රතිඵලයකි. හොඳ කථිකත්වයක්ද ලබාදේ.
මෙවැනි ස්ත්‍රීන් පිරිමින් සමාජයේ දුටු විට ඔවුන්ව ප්‍රතික්ෂේප කිරීම සාමාන්‍ය සිරිත වුවද, සුබ ග්‍රහ තත්ත්ව හමුවේ ඔවුන් වෙන්විය හැකිබව තේරුම් ගෙන කටයුතු කළ හැකි නම් සමාජ සම්බන්ධතාවට එය පිටිවහලක් වනු ඇත.
ප්‍රවීණ ජ්‍යොතිෂ හා අංග ලක්ෂණ පර්යේෂණවේදී ජයශ්‍රී නන්ද කුමාර