බ්‍රැන්ඩික්ස් සමාගම ලෝක පරිසර දිනය වෙනුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සමග එක්වී රඹුක්කන ප්‍රදේශයේ අක්කර 10ක භූමි භාගයක හානිවූ වන ගහනය යථා තත්ත්වයට පත්කිරීම සඳහා රුක් රෝපණය කිරීමට කටයුතු කළේය.
බ්‍රැන්ඩික්ස් සමාගම දශක එකහමාරකට අධික කාලයක් තිස්සේ තම ව්‍යාපාරික කටයුතු හා එක්වූ වියමනක් ලෙස පරිසරය සුරැකීම සඳහා විශාල අවධානයක් යොමුකර තිබේ. මෙහි තවත් පියවරක් වශයෙන්, රඹුක්කන බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් කර්මාන්තශාලාව ආසන්නයේ පිහිටි භූමියක පැළ 3,000ක් සිටුවන ලදී. මෙම අවස්ථාවට නිශාන්ත එදිරිසිංහ – වන සංරක්ෂක, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සම්පත් රණසිංහ, UNDPහි වැඩසටහන් සම්බන්ධීකාරක (බලශක්ති සහ අපද්‍රව්‍ය) සහ බ්‍රැන්ඩික්ස් සමූහයේ ඉංජිනේරු ප්‍රධානී අහමඩ් ඉල්තිමාස් යන මහත්වරුන්ද එක්වූහ.
තම ව්‍යාපාර කටයුතුවල මෙන්ම තමන් සමග අත්වැල් බැඳගෙන සිටින සියලු පාර්ශ්වයන්ගේ දීර්ඝකාලීන යහපත සඳහා බ්‍රැන්ඩික්ස් සමූහය, වාතය, ජලය සහ මහපොළොව යන ප්‍රධාන සාධක තුන මත පදනම් වූ තිරසර රාමුවකට අනුව කටයුතු කරයි. සෑම අවස්ථාවකදීම තම සාමාජික සාමාජිකාවන්ට හා ප්‍රජාවන්ට යහපත සලසමින්, උපරිම තිරසාරත්වය ළඟාකර ගැනීම බ්‍රැන්ඩික්ස් සමාගමේ පරමාර්ථයයි.
මීට පෙරද බ්‍රැන්ඩික්ස් සමූහය තිරසාරත්වය වෙනුවෙන් තමන් තුළ ඇති කැපවීම මැනැවින් ප්‍රදර්ශනය කර තිබේ. උදාහරණයක් ලෙස 2019 වසරේදී එහි මඩකලපුව කර්මාන්ත ශාලාව ලොව ප්‍රථම ‘Net Zero Carbon’ පිළිගැනීම හිමි වූ ඇඟලුම් කර්මාන්ත ශාලාව බවට පත්වූ අතර, 2008 වසරේදී එහි සීදූව කර්මාන්තශාලාව ‘LEED Platinum’ ශ්‍රේණිය හිමිකරගත් ලොව ප්‍රථම ඇඟලුම් කර්මාන්ත ශාලාව බවට පත්විය. මෙවැනි හරිත ගොඩනැගිලි, දේශගුණ විපර්යාස අවම කිරීමට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටද කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරයි. හුදෙක් අහිතකර බලපෑම් අවම කිරීමෙන් නොනැවතී, විවිධ මානයන් රැසක් ඔස්සේ ඵලදායී වෙනස්කම් ඇතිකරමින් පරිසරයට සැබෑ පරිවර්තනයක් සිදුකිරීම සඳහා, රඹුක්කන ප්‍රදේශයේ ක්‍රියාවට නැංවූ වන වගා ව්‍යාපෘතිය වැනි වැඩසටහන් ක්‍රියාවට නැංවීමටද බ්‍රැන්ඩික්ස් සමූහය දිගින් දිගටම කටයුතු කරමින් සිටී.