මාස හතරක් තුළ ක්ෂණික මිලියනපතියන් හතරදෙනකු බිහිකරමින් තවත් ප්‍රේෂණ ගනුදෙනුකරුවන් හතළිහකට රුපියල් මිලියනයක් වටිනා මුදල් ත්‍යාග පිරිනමන ‘Win a Million’ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහන සමග 2022 වර්ෂ ආරම්භය සනිටුහන් කරන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.
සෑම මසකම බැංකුව එක සුපිරි ජයග්‍රාහකයකු හට රුපියල් මිලියනයක් ලබාදෙන අතර තවත් වාසනාවන්ත ජයග්‍රාහකයන් 10 දෙනකුට සැනසිලි ත්‍යාග ලෙස රුපියල් 25,000 බැගින් පිරිනැමේ.
බැංකුවේ ප්‍රේෂණ සේවාව ‘ComBank Remit Plus’ හරහා මුදල් ලබන්නන් ස්වයංක්‍රීයව මෙම දිනුම් ඇදීමට ඇතුළත් වේ. ප්‍රවර්ධන කාලසීමාව තුළ කොමර්ෂල් බැංකු ගිණුමකට ඍජුවම ප්‍රේෂණ ලබන සෑම ගනුදෙනුකරුවෙක්ම සහ තමන්ට සමීප කොමර්ෂල් බැංකු ශාඛාවකින් ප්‍රේෂණ කළ මුදල් ලබා ගන්නා සෑම පාරිභෝගිකයෙක්ම මෙම දිනුම් ඇදීමට ඇතුළත් වීමට සුදුසුකම් ලබති.
මෙම මුදල් ත්‍යාග දිනාගැනීමේ අවස්ථාවට අමතරව, බැංකුව හරහා එවන සියලු විදෙස් සේවක ප්‍රේෂණ සඳහා, 2022 ජනවාරි 31 වැනිදා දක්වා පරිවර්තනය කරන සෑම එක්සත් ජනපද ඩොලරයක් සඳහාම පවතින විනිමය අනුපාතයට වඩා රුපියල් 10/-ක අමතර මුදලක් ලබාදෙන බව බැංකුව පවසයි.