තුන්වැනි කාර්තුවේ ප්‍රතිඵල අනාගත දියුණුවට ශක්තිමත් පදනමක්
පෙර වසරට සාපේක්ෂව 116%ක් තරම් ඉහළ වර්ධනයක් වාර්තා කරයි
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සමාගමට අනුබද්ධ eChannelling PLC මෙරට විශාලතම චැනලින් සේවා ජාලය ලෙස සැලකෙන අතර, මේ වනවිට එය නව හවුල්කාරීත්වයන්, පවරා ගැනීම්, නව සැලසුම් සහ නවෝත්පාදන සමගින්, ශ්‍රී ලාංකිකයන්ට වඩාත් විශිෂ්ට ඩිජිටල් ජීවන රටාවන් සඳහාම වෙන්වූ සේවාවන් නංවාලීමට සූදානමින් සිටී. එම සමාගම මෙවර මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේදී වාර්තා කරගෙන ඇති විශිෂ්ට ප්‍රතිඵල, එම අනාගත සැලසුම් සඳහා අගනා පදනමක් වනු ඇත.
2021 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ කාර්තුව තුළ රු. මිලියන 47ක ආදායමක් වාර්තා කිරීමට eChannelling සමත් වී තිබේ. මෙය පෙර වසරට සාපේක්ෂව 17%ක වර්ධනයකි. වසරේ මුල් මාස 9 තුළ මේ දක්වා වාර්තා වූ ආදායම, පෙර වසරේ අදාළ කාලසීමාවට වඩා 41%කින් ඉහළ ගොස්, රු. මිලියන 134ක් ලෙස වාර්තා වී තිබේ.
eChannelling සමාගමේ ශුද්ධ ලාභයද පෙර වසරට සාපේක්ෂව 19%කින් ඉහළ ගොස්, රු. මිලියන 16ක් ලෙස වාර්තාවී ඇත. 2020 වසරේ මුල් මාස 9 තුළ සමාගමේ ලාභදායීත්වය රු. මිලියන 20ක් වූ අතර, එය මෙම වසරේ මුල් මාස 9 තුළ 116%ක් තරම් විශාල ප්‍රතිශතයකින් වර්ධනය වී, රු. මිලියන 43ක් බවට පත්වී තිබේ. මෙම ප්‍රතිඵල, ක්‍රමෝපායික වෙනස්කම්, ඒකාබද්ධ කරන ලද සේවාවන් සහ නව ආදායම් උපයන මාර්ග හඳුන්වා දීම් ආදිය ඔස්සේ, නව ප්‍රවණතාවන්ට අනුගත වෙමින් ශක්තිමත් ලෙස ඉදිරියට යාමට eChannelling PLC සතු හැකියාවට මනා සාක්ෂියකි.