Connect with us
Redmi 9C
Advertisement

Exclusive

ආදාහනයද-භූමදානයද: ලෝකය යන්නේ කොහෙද? අපි ඉන්නේ කොහෙද?

Published

on

තමන්ගේ සුරතල් බල්ලන්, බළලුන් මියගිය කල භික්‍ෂුන් වහන්සේ කෙනකු වඩමවාගෙන ඇවිත් පාංශුකූලය දුන් අරුම, පුදුම මිනිසුන් ගැන අප ශ්‍රී ලංකාව තුළින් අසා ඇත. ඉතාමත් විරල මෙවැනි මිනිසුන්ගේ ක්‍රියාවලිය දෙස සමහරු භක්තියකින්ද, තවත් සමහරු ඉතා උපේක්‍ෂාවකින්ද බලන්නට වූහ. තවත් සමහරු ඒ දෙස බැලුවේ මහත් හාස්‍යයකින්ද යුක්තවය. කෙසේ හෝ ඒ පොදු සමාජයේ හැටිය. එසේම අප රටේ පමණක් නොව, බල්ලන්, බළලුන් මියගිය කල එම සමහර සතුන්ට සොහොන් කොත් තනා මිහිදන් කළ විවිධ කතාන්දරද විදෙස් රටවලින් අසන්නටද ලැබෙයි. එහෙත් අද මෙම තිරිසන් සතුන්ටත් එහා මානයකට ගිය මහා සංවේගයකින් සහ සංතාපයකින් යුක්තව මිනිසාට මියයන්නට සිදුවී ඇත. අද මිනිසාට පාංශුකූලයක් දෙන්නට භික්‍ෂුන් වහන්සේ නමක් පෙනෙන තෙක් මානයකවත් නැත. කතෝලික යාඥාවක් කරවා ගන්නට පූජකයකු පෙනෙන්නවත් නැත. එසේම වයන්නට මළ බෙරයක් බෙහෙතකටවත් සොයා ගන්නට බැරිය. එතරම්ම මහා ශෝකාන්තයකට මැදිව අද මිනිසුන්ට තම ප්‍රියයන්ගෙන් වෙන්ව යෑමට සිදුවී ඇත. එසේම වෙන්ව යන ප්‍රියයන්ගේ මුහුණක සේයාවක්වත් දකින්නටද ජීවත්ව සිටින උදවියට වාසනාවද නැත්තේය.
ලොව දෙකෙළවරෙහිම මිනිසුන් අද මෙම මහා ඛේදාන්තයට මුහුණදී සිටින්නේ, කිසිවකුටවත් මෙතෙක් පරදවන්නට බැරි වූ කොරෝනා මාරයා හෙයිනි. ලොව පුරා දැනට මෙලෙස කොරෝනා මාරයා විසින් ඩැහැගෙන ගොස් ඇති මිනිසුන් ගණන ලක්‍ෂ 13 1/2ක්ද ඉක්මවා ගොස් ඇත. මෙසේ මියයන මිනිසුන්ගේ දේහයන් මෙලොවින් තුරන්ව යන ආකාරය සිදුවන්නේ ක්‍රම රටාවන් දෙකක් ආශ්‍රිත කරගනිමිනි. එනම් සමහර මිනිසුන් කෙළින්ම වළක් පතුළට යන අතර, අනෙක් මිනිස්සු දැවී අළුවී අහස් කුසට පාවී යති. මෙය ලොවට අලුත් කතාවක් නොවන අතර, මියගිය මිනිසකු භූමදාන කරනවා යන්නත්, ආදාහනය කරනවා යන්නත් යැයි කියන්නේ එයටය. මෙම ‘භූමදානයේ සහ ආදාහනයේ අරගලයක්’ පසුගියදා මහත් ඝෝෂාවකින් ඇසෙන්නට වූයේ ශ්‍රී ලංකාවෙන්මය. එම ඝෝෂාව තවද ඇසෙමින් පවතින අතර, තවද නිමක් නොමැති බැව් පෙනෙන්නට ඇත. කුමක්ද මේ කතාව?
කොරෝනා රෝගය හේතුවෙන් යම් මිනිසකු මියයෑම යනු එය සාමාන්‍ය වගතුගක් නොවේ. එසේ වන්නේ එම මියගිය මිනිසාගේ දේහය, සාමාන්‍යයෙන් මියගිය මිනිසකුගේ දේහය හා සංසන්දනය කළ නොහැකි වීමය. එනම් එම කොරෝනා රෝගී දේහයේ අවසාන කටයුතු ඉතා ආරක්‍ෂාකාරීව සිදුකළ යුතු වීම අත්‍යාවශ්‍ය කාර්යයකි. එමෙන්ම එය ජාත්‍යන්තර රීතියකි. මෙවැනි වටාපිටාවක් තිබියදී පසුගියදා ශ්‍රී ලංකාවේ වෙසෙන සමහර ඉස්ලාමික පාර්ශ්වයන් මහත් උද්ඝෝෂණයක් නඟමින් කියා සිටියේ, කොරෝනා රෝගය හේතුවෙන් මිය යන ඉස්ලාමික මිනිසුන්ගේ දේහයන් ආදාහන නොකර භූමදාන කළ යුතු බැව්ය. මෙයට හේතු වූයේ දැනට ශ්‍රී ලාංකික නීතියට අනුව පොදුවේ මෙම දේහයන් සියල්ලම ආදාහනය කිරීම හේතුවෙනි. රජය එසේ සිදුකරන්නේ කොරෝනා දේහයක් භූමදානය කිරීම මගින්, එම වසංගතය පැතිරවීමට තවත් ඉඩකඩ ඇතැයි යන මතය හෙයිනි. මෙය විටෙක ජාත්‍යන්තර මතයක්ද වන අතර, එහෙත් රට රටවලට අදාළව එහි බරපතළ වෙනස් වීමකටද ලක්වෙයි. ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය නිසා මියගිය ඉස්ලාමික ජනයාගේ දේහයන් භූමදානය කළ යුතු යැයි මතයක් සමහර ඉස්ලාමික පාර්ශ්ව විසින් මතු කළේ පසුගිය කොරෝනා රෝග මුල් සමයේදීය.
එනම් මෙම අර්බුදය මුලින්ම ඇති වූයේ පසුගිය 2020 අප්‍රේල් මාසය මුලදීය. එම කාලයේදී කොරෝනා හේතුවෙන් මියගිය මුස්ලිම් ජාතිකයන් කිහිප දෙනකුගේ සිරුරු රජය විසින් ආදාහනය කිරීම හේතුවෙන් මෙම අර්බුදය ඇති විය. මෙයට හේතු වූයේ ඉස්ලාම් දහමට අනුව මියගිය මිනිසුන්ගේ දේහයන් භූමදානය කිරීම සිදුකරනු ලැබීමයි. එහෙත් පවතින වත්මන් කොරෝනා වසංගතය හේතුවෙන් ආරක්‍ෂාකාරී සෞඛ්‍යමය පියවරක් උදෙසා රජය එම දේහයන් වහා දිනක් ඇතුළත ආදාහනය කළේය. සමහර ඉස්ලාමික පාර්ශ්ව මෙයට දැඩි ලෙස විරුද්ධ වූහ. එහෙත් එවිට රජය වහා සිදුකළේ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ පනත යටතේ ඇති 222 වගන්තිය සංශෝධනය කිරීමයි. එනම් ඒ මගින් නව සංශෝධනය යටතේ ප්‍රකාශ වූයේ, කොරෝනා රෝගී මියයන මිනිසුන්ගේ සිරුරු සියල්ලක්ම ආදාහනය පමණක් සිදුකරන බැව්ය. මෙයට අදාළ ගැසට් පත්‍රයද අප්‍රේල් 11 වැනිදා සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි විසින් නිකුත් කරන ලදී. එසේම එම දේහයන් සෙල්සියස් අංශක 800 – 1,200ක උෂ්ණත්වයකින් දැවිය යුතු අතර, එම දැවෙන කාලය විනාඩි 45 සහ පැයක් අතර විය යුතු යැයිද පනත් සංශෝධනයෙන් කියැවිණි.
එසේම කොරෝනා නිසා මියයන මිනිසුන්ගේ දේහයන් රජයේ සෞඛ්‍ය අංශවලට හැරෙන්නට වෙනත් කිසිදු බාහිර පාර්ශ්වයකට නොදිය යුතු යැයිද මෙම නව සංශෝධනය යටතේ ප්‍රකාශ විය. රජය එම අවස්ථාවේදී මෙලෙස දැඩි නීති, රීති ගෙන ආවේ පොදු ජනතාවගේ සුබසිද්ධිය උදෙසා වුවත්, රට තුළ සිටින සමහර අන්තවාදී ඉස්ලාමික පාර්ශ්ව එයට විරුද්ධ විය. කෙසේ හෝ එම පසුගිය අප්‍රේල් මාසයේ සිට මෙම අර්බුදය එතරම් උද්දීපනයකින් පෙනෙන්නට නොතිබුණත්, දැන් සති දෙක, තුනක සිට එම අර්බුදය නැවැත පණගසා පැමිණ ඇති බවක් පෙනෙන්නට ඇත. මේ දිනවල විවිධ ජාතික සහ ආගමික පාර්ශ්ව හරහා ඇසෙන්නේ එම ඝෝෂාවයි. එම පාර්ශ්වවලට රජයද මැදිවී තිබෙන බැව් මේ වන විට පෙනෙන්නට ඇත. කොරෝනා රෝග ඉස්ලාමික දේහයන් භූමදානය කිරීමට රජය අවසර දුන්නේ යැයි පසුගියදා යම් ඉස්ලාමික පාර්ශ්වයක් ප්‍රකාශ කිරීම මගින් මෙම අර්බුදය උත්සන්න විය. එහෙත් එවිට රජය ප්‍රකාශ කර සිටියේ මෙතෙක් එවැනි කිසිදු අවසරයක් ලබාදී නොමැති බැව්ය. කෙසේ හෝ මෙම ‘ආදාහන – භූමදාන’ පළහිලව්ව තවම අලු යට ගිනි මෙන් මතුවෙමින් තිබෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ගත් තීන්දුව

මෙම අර්බුදයේදී කුමන පාර්ශ්ව ලතෝනි තබමින් උඩ පැන පැන උද්ඝෝෂනය කළත්, අප මේ සිදුවීම දෙස බැලිය යුත්තේ සාවධානයෙනි. එනම් මෙම විෂය නිරාකරණය කරගත යුත්තේ යම් බුද්ධි මට්ටමක් ඇතිවය. මෙහිදී අප ප්‍රථමයෙන්ම අවධානය යොමු කළ යුත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization – WHO) වෙතය. මෙම ආදාහන සහ භූමදාන අර්බුදය ගැන එම සංවිධානය ඉතාමත් පැහැදිලි ක්‍රියාපටිපාටියක් ඉදිරිපත් කර ඇත. මෙය ඉතාමත්ම පැහැදිලි මාතෘකාවක් යටතේ ඔවුන් විසින් ඉදිරිපත් කර ඇත.
■ ol for the safe Management of a dead body in th Context of Covid-19. (කොවිඞ්-19 රෝගයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් ආරක්‍ෂිතව කළමනාකරණය කිරීම සහ එමගින් සිදුවන ආසාදනයන් වැළැක්වීම සහ පාලනය කිරීමට කටයුතු කිරීම.)
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම විෂය ඉතාමත්ම හොඳින් පැහැදිලිව කර ඇති අතර, එය යටතේ සිදුවිය යුතු විවිධ ක්‍රියාවලීන්ද ඉදිරිපත් කර ඇත. ලෝකයේ රටවල් රැසකටම බලපා ඇති ඉහත ‘ආදාහන – භූමදාන’ අර්බුදය ගැන ඔවුන් ප්‍රථමයෙන් විග්‍රහ කර සිටියි.
■ Burial or Cremation (භූමදානය හෝ ආදාහනය)
■ People who have died from Covid-19 can be buried or cremated according to Local Standards and family Prefererences. (කොවිඞ්-19 රෝගයෙන් මියගිය පුද්ගලයන් භූමදානය කිරීමට හෝ ආදාහනය කිරීමට හැකි අතර, එය දේශීය තත්ත්වයන් සහ පවුල්වල කැමැත්ත අනුව සිදුකළ හැකිය.)
■ Family and Friends may View the body after it had been prepared for cremation or Burial, in accordance with Local customs. They should not touch or Kiss the body and should Perform Body Hygiene after the Viewing. (පවුලේ සාමාජිකයන්ට හා හිතවතුන්ට දේහය නැරැඹිය හැකිය. ආදාහනයට හෝ භූමදානයට ලැහැස්ති කර තිබියදී එය සිදුකළ හැක්කේ දැඩි සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද මගින් වන අතර, කිසිදු විටෙක දේහය ස්පර්ශ කිරීමට හෝ සිපගැනීමට කටයුතු නොකළ යුතුය. දේහය නැරැඹීමෙන් පසුවද එම පිරිස් සෞඛ්‍ය ක්‍රමවේද යටතේ පිරිසුදු විය යුතුය.)
භූමදානයන් හෝ ආදාහනයන් උදෙසා මෙසේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කර ඇති රෙගුලාසි මාලාව බොහෝ දිගු එකක් වන අතර, එහි සියලු වගතුග මෙහි ලියා තබන්නට ඉඩක් නැත. එහෙත් එහි මුලින්ම ප්‍රකාශිත ඉහත කරුණු කිහිපය අපගේ දැඩි අවධානයට යොමුවිය යුතුය. එහෙත් මෙය උපදේශන මාලාවක් විනා නීති, රීති සංග්‍රහයක් යටතේ ප්‍රකාශිත නැත. එනම් රට, රටවල්වලට අදාළව එම චාරිත්‍ර, වාරිත්‍ර වෙනස් වීමක් සිදුවනු ඇතිය. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශිත එම උපදේශනයන් හෝ ක්‍රමවේදයන් යම් රටකට නිකම්ම අල්ලා ඉවත දැමීමටද නොහැකිය. ඒ හෙයින් ඒවාට ගරු කිරීමක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙයි. එහෙත් මෙරට බහුතර ජනතාවක් ආදාහන ක්‍රමවේදයට කැමැත්ත ප්‍රකාශ කරන අතර, අනෙක් ජනතාවගේ ආරක්‍ෂාව උදෙසා එසේ කළ යුතු යැයි ඔවුහු කියති. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉහත ප්‍රකාශිත තවත් සුවිශේෂී කරුණක් වන්නේ, කොරෝනා නිසා මියගිය පුද්ගලයන්ගේ දේහයන් නැරැඹීමට එම හිතවතුන්ට අවසර ලබාදිය යුතු යන්නය. මෙය සැබෑ ලෙසම අතිශය මානුෂික කරුණකි. සැබෑ ලෙසම සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම යටතේ එය සිදුකළ හැකිය.
ශ්‍රී ලංකාවේ මෙලෙස කොරෝනා රෝගියකු මියගියහොත් එම දේහය නැරැඹීම සඳහා සමීපතම ඥාතීන් දෙදෙනකුට අවස්ථාව ලබාදෙන බැව්, අංගොඩ අයි.ඩී.එච් බෝ වන රෝග විද්‍යායතනයේ සහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා ‘මව්රට’ට ප්‍රකාශ කළේය. එසේම මියගිය පුද්ගලයාට අදාළ වූ ආගම සම්බන්ධව සිදු කෙරෙන චාරිත්‍ර ඉටු කිරීමටද අවස්ථාව සලසා දෙන බැව්ද ඔහු ප්‍රකාශ කර සිටියේය. සහභාගී වන ඥාතීන් දෙදෙනා ඉතා දැඩි ආරක්‍ෂිත ක්‍රමවේද යටතේ මියගිය පුද්ගලයාගේ දේහය අසලට රැගෙන යන බැව්ද, වෛද්‍ය හසිත අත්තනායක මහතා අවධාරණය කළේය. දේහය ආදාහනය කිරීමේදීද සමීප ඥාතීන් කිහිප දෙනකු එම අවසාන කටයුත්තට සහභාගි වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශනයට ගරු කරමින් එම ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේදී සිදු කෙරෙන හෙයින්, ඒ ගැන තොරතුරු බිඳක් ලියා තැබුවෙමි. එම තත්ත්වය එසේ වුවද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශනයට අනුව ශ්‍රී ලංකාව තුළ භූමදානය සිදුනොකෙරෙන අතර, දැනට ආදාහනය පමණක් සිදු කෙරෙයි. කෙසේ හෝ ආදාහනයට වඩා භූමදානය කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානය පනවා ඇති රෙගුලාසි බොහෝ තදබල ඒවා වෙයි.
ආදාහනයක් සිදුකිරීමේදී දේහයක් අතිශය අධික උෂ්ණත්වයේදී දැවී යන අතර, එහිදී වෛරස සියල්ලමද සැණෙන් දැවී යයි. එහෙත් කොවිඞ් දේහයක් භූමදානය කිරීමේදී එසේ නොවන බැව් ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය මෙන්ම තවත් ජගත් වෛද්‍ය සංවිධාන අනතුරු හඟවා සිටියි. එහෙත් නිසි ප්‍රමිතීන් සහ ක්‍රමවේද යටතේ භූමදානයන් සිදුකළ හැකි බැව්ද මෙම සංවිධාන අවධාරණය කර සිටියි. එම සංවිධාන ප්‍රකාශ කර ඇති උපදේශන මාලාවන් යටතේ භූමදානයන් සිදුකිරීම සඳහා යම් ක්‍රමවේදයක් ඉදිරිපත් කර ඇත.
■ කොවිඞ්-19 දේහයන් භූමදානය සිදුකරනු ලබන භූමියෙහි පතුලෙහි ඇති ප්‍රධාන ජල ධාරාව අඩි 30ක් පහතින් තිබිය යුතුය.
■ භූමදානයන් සිදුකරන භූමියෙහි ඇති පානීය ජල ධාරාව දේහය තැන්පත් වන ස්ථානයට වඩා අඩි 6ක් පහළින් තිබිය යුතුය.
■ දේහයන් තැන්පත් කරන භූමිය සම්පූර්ණයෙන්ම මිනිස් වාසයෙන් තොර එකක් විය යුතු අතර, එය මිනිස් වාසයන්ට බොහෝ දුර ස්ථානයකද පිහිටා තිබිය යුතුය.
■ භූමදානය කරනු ලබන දේහයන් සම්පූර්ණයෙන්ම ජලරෝධන (Water Proof) ප්ලාස්ටික් ඇසුරුම් මළු දෙකක් තුළ බහා තිබිය යුතුය. මේ ආකාරයට කොවිඞ්-19 භූමදානය යනු වෙනත් කාලවලදී සිදුකරනු ලබන සාමාන්‍ය භූමදානයක් මෙන් පහසුවෙන් කළ හැකි ක්‍රියාවලියක් නොවේ. කොවිඞ්-19 භූමදානය සඳහා විiාත්මක සහ ප්‍රායෝගික ක්‍රමවේදයක් ඇත. මෙවැනි වටාපිටාවක් යටතේ අද ලෝකයේ විවිධ රටවල් මෙම භූමදානයන් සහ ආදාහනයන් සිදුකරන්නේ කෙසේ දැයි සොයා බැලීම ඉතා අත්‍යවශ්‍ය සාධකයකි. මෙසේ මෙම මානුෂීය විෂය උදෙසා ලෝකයේ රටවල් මෙම කාලයේදී ක්‍රියාකරන ආකාරය ගැන නිසි නිල වාර්තාවක් කිසිදු තැනක පළවී නොමැත. ඒ හෙයින් එම කරුණු, කාරණා එක එල්ලේම සොයා ගැනීම අපහසුය. එම තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ලෝකයේ බොහෝ රටවල් මෙම ‘ආදාහනය සහ භූමදානය’ යන විෂය එතරම් බැරෑරුම් ප්‍රශ්නයක් ලෙස සලකා නැති හෙයිනි. එහෙත් එම මාතෘකාව බැරෑරුම් විෂයක් ලෙසට සැලකූ රටවල් සැලකිය යුතු සංඛ්‍යාවක්ද ලොව තිබෙයි. ශ්‍රී ලංකාවද ඒ අතර ඇත. මෙම විෂය බොහෝ සංකීර්ණව සොයා බැලීමේදී හෙළිවන ප්‍රධානතම කරුණ වන්නේ, ලොව බහුතරයක් රටවල සිදුවන්නේ භූමදාන ක්‍රියාවලිය වීමය. එයට මූලිකම හේතු ලෙස පෙනී යන්නේ, බටහිර තිබෙන බොහෝ රටවල් කතෝලික සහ ක්‍රිස්තියානි දහම අදහන රටවල් වීමය. එනම් එසේ වන විට සාම්ප්‍රදායිකව එම රටවල සිදුකෙරෙන්නේ භූමදාන ක්‍රියාවලියයි.

අමෙරිකාව කරන්නේ කොහොමද?

මෙම චාරිත්‍ර, වාරිත්‍ර අනුව ගත් කල එම බටහිර රටවල් අතරින් ප්‍රමුඛස්ථානයේ සිටින්නේ ඇමෙරිකාවය. එසේම මෙහිදී තවත් විශේෂත්වයක් වන්නේ කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ලෝකයේ ප්‍රමුඛතම රට වන්නේද ඇමෙරිකාව වීමය. ඇමෙරිකාවේ මේ වන විට කොරෝනා රෝගය හේතුවෙන් ජනතාව 1,35,000 (එක්ලක්‍ෂ තිස්පන්දහසක්)ක ප්‍රමාණයක් මරණයට පත්වී ඇත. මාස 9ක් වැනි කෙටි කාලයක් තුළදී සිදුවුණු මෙම සුවිශාල මරණ සංඛ්‍යාවට අදාළව එම දේහයන්ගේ අවසාන කටයුතු සිදුකළේ කෙසේද? මෙය සැබෑ ලෙසම සුවිශේෂී කතාන්දරයක් වෙයි. මෙලෙස ඇමෙරිකාවේදී මියගිය මිනිසුන් ඇති විශාල ප්‍රමාණයක් භූමදානය කරනු ලැබුවේ නිව්යෝර්ක් නගරය ආශ්‍රිත ගොඩබිම් තීරයේ සිට කිලෝමීටර් 3ක පමණ දුරින් නොගැඹුරු සාගර බොක්කක ඇති මෙම කුඩා දූපත ‘හාට් අයිලන්ඞ්’ (්‍යැ්රඑ ෂික්බා) ලෙසින් නම් කෙරෙයි. නිව්යෝර්ක් නගරයේ සිට ගොඩබිම්, මංමාවතක් හරහා පිවිසෙන තවත් දූපතක් වන ‘සිටි අයිලන්ඞ්’ වෙත පැමිණ එහි සිට කිලෝමීටර් භාගයක (0.5 ණගඵග)ක දුරක් බෝට්ටු මගින් සාගරය තරණය කරමින් ‘හාට් අයිලන්ඞ්’ දූපතට පැමිණිය යුතුය. මෙම දූපත කිසිදු ආකාරයක මිනිස් වාසයක් නොමැති හුදෙකලා දූපතක් වෙයි. මෙම ‘හාට් අයිලන්ඞ්’ දූපත දැනට වසර 150කට පමණ පෙර භාවිත කර ඇත්තේ හමුදා කඳවුරකට සහ සිර කඳවුරක් පවත්වාගෙන යෑම සඳහාය. ඉන්පසුව එම කඳවුරු ඉවත්කරගත් පසුව මෙම දූපත භාවිත කර ඇත්තේ සොහොන් බිමක් ලෙසය. වසංගත රෝගවලින් මියයන පිරිස් මෙන්ම කිසිදු හව්හරණක් නැතිව මියයන අහිංසක මිනිසුන්ගේ දේහයන්ද මෙම දූපතට රැගෙනවිත් මිහිදන් කරති. ඒ අනුව 21 වැනි සියවසේදී මිනිසුන් 5,000ක පමණ දේහයක් එහි මිහිදන් කෙරිණි. එවන් පසුබිමක් ඇති මෙම පුදුමාකාර දූපත අද කොරෝනා මාරයා විසින් ඩැහැගන්නා මිනිසුන්ගේ නිදන යහන්ගැබ වී ඇත. මෙම කුඩා දූපත දිගින් කිලෝමීටර් 1.6ක්ද, පළලින් කිලෝමීටර් 0.53ක්ද වන අතර, බිම් ප්‍රමාණය අක්කර 131.22ක් වෙයි. පසුගිය මාස 9ක පමණ කාලයක් තුළදී කොරෝනා රෝගයෙන් මියගිය ඇමෙරිකා
-නුවන්ගේ දේහ දසදහස් ගණනක් මෙම දූපතට රැගෙන විත් මිහිදන් කර ඇත. මෙම දේහයන් සියල්ලම නිසි ගැඹුරට කපන ලද වළවල්වල භූමදානය කෙරී ඇත. මෙම දේහයන් ගොඩබිම සිට ‘සිටි අයිලන්ඞ්’ දූපත වෙත ට්‍රක් රථ මගින් රැගෙන විත්, එම දූපතේ සිට ෆෙරි යාත්‍රා මගින් ‘හාට් අයිලන්ඞ්’ දූපත වෙත රැගෙන එයි. ඉන්පසු ආරක්‍ෂිත සෞඛ්‍ය ක්‍රමවේද යටතේ සිරකරුවන් යොදවා ගනිමින් දේහයන් භූමදානය කරති.
අද ‘භූමදාන සහ ආදාහන’ අර්බුදයක් ඇසෙන මායිමකදී මෙම දූපත් කතාන්දරය ඔබට ලියා තැබුවේ එය අද ලෝකයේ විශාලතම කොරෝනා සොහොන් බිම ලෙසින් වාර්තාගත වී ඇති හෙයිනි. මෙහි භූමදානය කරන ලද දසදහස් ගණනක් වන කොරෝනා රෝගීන්ගේ සොහොන් ගැබ් ප්‍රමාණය කෙතරම් විශාලද යත්, එම දසුන්වල සේයාරූ ගතහැක්කේ ඩ්‍රෝන කැමරා යානයකින් පමණි. මෙම දූපතෙන් ඇසෙන තවත් අපූරු කතාවක් නම් මේතාක් දක්වා මෙම දූපතට විදුලිබලය නැත. මේ නිසා රාත්‍රියේදී දූපත අඳුරු, පාළු එමෙන්ම බියකරු ස්වරූපයක්ද ගන්නා බැව් පැවසෙයි.

මුස්ලිම් රටවල් කරන දේ

අද ඇමෙරිකාව අනුගමනය කරනු ලබන ඉහත දැක්වූ ක්‍රමවේදයක් අනෙකුත් බටහිර රටවල් රැසක්ද අනුගමනය කරයි. විශේෂයෙන් එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, කැනඩාව, බෙල්ජියම, ග්‍රීසිය සහ කොරෝනා වසංගතය අතිශය දරුණුව පැවැති බ්‍රසීලයේද මෙම ක්‍රම රටාව අනුගමනය කරයි. එනම් ආදාහනය සහ භූමදානය යන ක්‍රියාවලින් දෙකම සිදුකෙරෙයි. කෙසේ හෝ මෙම රටවල වෙසෙන මුස්ලිම් වැසියන් සෑම විටම තමන්ගේ දහමට අනුව භූමදාන ක්‍රියාවලිය පමණක්ම සිදුකරන අතර, එම රටවල රජයන් එයට එරෙහිව කිසිදු තහංචියක් පනවා නැත. එහෙත් ඔවුන් භූමදාන ක්‍රියාවලිය සිදුකළ යුත්තේ එම රටවල් පනවා ඇති කොවිඞ්-19 නීති, රීති සහ සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුවය. එහිදී කිසිදු ඉස්ලාමික කොවිඞ් දේහයක් එම ඥාතීන් වෙත බාර නොදෙන අතර, එහි මූලික කටයුතු රජය විසින් ඉටුකර පසුව බොහෝ විට භූමදාන අවස්ථාවන්ට සහභාගීවීමට ඉඩ දෙයි. එහෙත් එය බොහෝ විට භූමදානයේ අවසන් අදියරට ප්‍රථම ආගමික චාරිත්‍රයක් ඉටුකිරීමේදී පමණි. එසේ වීමට හේතු වන්නේ මෙම බොහෝ යුරෝපීය රටවලදීද කොවිඞ් දේහයන් භූමදානය කරන්නේ ඉහත අප මෙහිදී ප්‍රකාශ කළ කොවිඞ්-19 ක්‍රමවේදයට අනුවය. ඒ හෙයින් බොහෝ භූමදාන සොහොන් පිටි පිහිටා ඇත්තේ මිනිස් වාසයෙන් සහ නගරවලින් බොහෝ දුර බැහැර වන අතර, එම ප්‍රදේශ වෙත යෑමට පොදු ජනයාට තහනම් වෙයි. ‘ආදාහනයේ සහ භූමදානයේ’ අරගලය, ලෝකයේ දියුණු සහ බුද්ධිමත් ජනතාව වෙසෙන කිසිදු බටහිර රටකට අරගලයක්වී නොමැත. එහෙත් ප්‍රධාන වශයෙන්ම මුස්ලිම් ජනයා වෙසෙන රටවල් රැසකට මෙය අරගලයක්වී ඇත. ඒ වුවද බහුතරයක් මුස්ලිම් ජනයා ජීවත් වන රටවලට එය අරගලයක් නොවන්නේ එම රටවල් දැඩි ඉස්ලාමික නීතියටම කටයුතු කිරීම හේතුවෙනි. මෙම විෂය ගැන කතා කිරීමේදී දැන් අප හැරී බැලිය යුත්තේ සුවිශේෂීම පරිච්ඡේදයක් වෙතය. එනම් මෙම මාරක කොවිඞ්-19 වසංගතය හමුවේ ලෝකයේ ප්‍රධාන පෙළේ මුස්ලිම් රටවල් කටයුතු කරන ආකාරය ගැනය. අද ලෝකයේ තිබෙන ප්‍රධානතම පෙළේ මුස්ලිම් රටවල් වන සවුදි අරාබිය, ඉරාකය, ඉරානය, ඊජිප්තුව, පාකිස්තානය, සිරියාව, තුර්කිය, බංගලිදේශය, ඇෆ්ගනිස්තානය ඇතුළු තවත් අරාබිකරයේ සහ අප්‍රිකාවේ පිහිටා තිබෙන රටවල් රාශියකදීම සිදුකෙරෙන්නේ කොවිඞ්-19 දේහයන් භූමදානය කිරීම පමණකි. එම රටවලදී කිසිදු ආකාරයකින් ඉස්ලාමික දේහයන් ආදාහනය කිරීමක් සිදු නොකරන අතර, එම සමහර රටවල වෙසෙන අන්‍ය ආගමික (කතෝලික, ක්‍රිස්තියානි සහ බෞද්ධ) ජාතිකයන්ගේ දේහයන් සමහර අවස්ථාවලදී ආදාහනයට ඉඩ සලසා තිබිණි. අද ලොව දෙවැනියට සිටින විශාලතම ආගමික ජනවර්ගයා වන්නේ මුස්ලිම් ජනතාව වන අතර, එය ලෝක ජනගහනයෙන් 24.01%ක ප්‍රතිශතයකි. එනම් ලොව වටා බිලියන 1.8ක මුස්ලිම් ජනතාවක් වෙසෙති. මෙම පිරිස විසින් අදහනු ලබන ඉස්ලාමික ආගම යනු සැබෑ ලෙසම දැඩි නීති, රීති සංග්‍රහයකට යටත්වූ ආගමක් වෙයි. මා ඔබට පැවැසූ ලෙස ඉස්ලාමික ආගමේ තිබෙන දැඩි නීති, රීතිවලට අනුව, ඔවුන්ගේ මියගිය කොවිඞ් දේහයන් සියල්ලමද මේ වන විට භූමදානය කරනු ලබයි. එහෙත් ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඒ සඳහා අවසරය හිමිවී නොමැත. ඉස්ලාමික ආගමට අනුව ඔවුන්ගේ ජනතාවගේ දේහයන් කිසිදු විටෙක පෙට්ටිවල තැන්පත් කරන්නේ නැත. යම් පුද්ගලයකු මියගිය විට වහාම දේහය සෝදා පිරිසුදුකර, සුවඳ පැන් (විලවුන්) ගල්වා, සුදු රෙදිකඩින් දේහය ඔතනු ලබයි. ඉන්පසුව ආධාරකයක තබාගෙන සොහොන් පිටිය වෙත ගෙන ගොස් භූමදානය කරනු ලබයි. සියලුම ක්‍රියාවලිය දිනක් ඇතුළතදී සිදුකරයි.

‌බෞද්ධ රටවල තත්ත්වය

මාරක කොවිඞ්-19 වසංගතය හමුවේ මෙම ආදාහන සහ භූමදාන ක්‍රියාවලිය ලෝකයේ බෞද්ධ රටවල් තුළදී සිදුකෙරෙන්නේ කෙසේ දැයි සොයා බැලීමද ඉතා අත්‍යාවශ්‍ය සාධකයක් වෙයි. දැනට ලෝකයේ විශාලතම බෞද්ධ ජනගහනයක් වෙසෙන අංක එකේ දේශය වන්නේ චීනය වන අතර, එහි මිලියන 250ක් (කෝටි 25ක) බෞද්ධයෝ සිටිති. ලෝකයටම කොරෝනා වසංගතය දායාද කළේ චීනය වන නමුත් දැන් චීනය තමන්ගේ රට තුළ ඉතාමත් හොඳින් මෙම වසංගතය මැඬගෙන ඇත. එය පසුගිය කොරෝනා මුල් රැල්ලේ සිටම සිදුකරනු ලැබූ අතර, චීනයෙහි කොරෝනා මරණ ඇති වූයේ 4,700ක පමණ අවම ප්‍රමාණයකි. කෙසේ හෝ චීනයේ මෙම කොරෝනා දේහයන් බහුතරයක්ම ආදාහනාගාර තුළදී ආදාහනය කරන ලද්දේ බෞද්ධ චාරිත්‍රයට අනුවය. එසේ වුවද චීනය යනු ඉස්ලාමික ජනයාද විශාල ප්‍රමාණයක වෙසෙන රටක් වෙයි. ඒ අනුව චීනය තුළ පසුගිය කාලයේ කොරෝනා මරණ රැසක් භූමදානය කිරීමද සිදුකර ඇත. චීනයේ නාගරික ප්‍රදේශයෙන් දුරබැහැර හුදෙකලා ප්‍රදේශවලදී එම භූමදානයන් සිදුකළ බැව් චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මේ අතර ලෝකයේ අනෙකුත් ප්‍රධාන පෙළේ බෞද්ධ රටවල් වන තායිලන්තය, කාම්බෝජය, ජපානය, මියන්මාරය, භූතානයද කොවිඞ් මරණ ආදාහනය කිරීම හරහා සිදුකර ඇත. කොරෝනා මාරයා ගිලගත් ලෝකයේ අංක දෙකේ දේශය වන්නේ ඉන්දියාව වන අතර, දැනට කොරෝනා මරණ සංඛ්‍යාව 1,33,000ට ආසන්නව ඇත. මෙය දැනට අංක එකට සිටින ඇමෙරිකාවේ තත්ත්වයටම පැමිණ ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ ලෝකයේ ප්‍රධානතම හින්දු ජාතික දේශය වන ඉන්දියාව තුළ කොවිඞ් මරණ කළමනාකරණය කරගත්තේ කෙසේද? හින්දු දහමට අනුව මියගිය ඕනෑම පුද්ගලයකුගේ දේහය ආදාහනය කිරීම සිදුකරනු ලබයි. දැනට වසර සිය ගණනක සිට සාම්ප්‍රදායානුකූලව ඉපැරැණි ගංගා නම් ගංගාවේ ගංතීරය දෙපස දර ගොඩවල් ගසා දේහයන් තැන්පත් කර ආදාහනයන්ද සිදුකරනු ලබයි. එසේම විවිධ සොහොන් පිටිවලද දර සෑය සකස් කර ආදාහනයන් සිදුකරන අතර, නගරයේ ඇති ආදාහනාගාර භාවිත කරමින්ද මෙම ක්‍රියාවලිය සිදුකරනු ලබයි. එහෙත් මෙවර ඉන්දියාව තුළ කොරෝනා වසංගතය උච්චවීම නිසා සිද්ධවූ මරණ සංඛ්‍යාව ගත්විට, මේ ඉපැරැණි චාරිත්‍ර, වාරිත්‍ර නිසි ලෙස ඉටු කිරීමට ඉන්දියාවට ඉඩක් නොලැබිණි. හින්දූන්ට තමන්ගේ ඥාතීන්ගේ කොවිඞ් දේහයන් සියල්ලක්ම ආදාහනය කිරීමට අවස්ථාවක් නොලැබුණු අතර, එම දේහයන් භූමදානය කිරීමද සිදුකළේය. මුස්ලිම් ජාතිකයන්ටත් තමන්ගේ ආගම් නීති, රීති පසෙක තමා ඉඩ ලැබුණු ආකාරයට දේහයන්ගේ කටයුතු කිරීමට සිදුවූ අතර, සමහර ඉස්ලාමික දේහයන් ආදාහනය කළ බැව්ද මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඉන්දියාව මොනවද කරන්නේ

ඉන්දියාවේ මෙම ශෝකාන්තය කෙතරම් බියකරු වීද යත්, මියගිය දේහයන් දහස් ගණන් කිසිදු පෙට්ටියක් හෝ ආවරණයක් නොමැතිව, විශාල අයිස් කුට්ටි මත තැන්පත් කර තිබෙන ආකාරය, සොහොන් පිටි සහ ආදාහනාගාර අසලින් දක්නට හැකි විය. ලෝකයේ අනෙකුත් රටවල් සියල්ලකටම වඩා ඉන්දියාවේ මෙම තත්ත්වය ඉතාමත්ම උච්ච විය. මේ නිසා ඉන්දියාව තුළ ‘ආදාහන සහ භූමදාන’ අර්බුදය ශත පහකටවත් ගණන් ගත්තේ නැත. ඒවා ගැන කතා කරන්න හෝ තර්ක කරන්න හෝ කිසිවකුත් එහි වූයේ නැත. ඉන්දියාව තුළ තවද මේ තත්ත්වය දක්නට හැකිය. වෙනදාට ‘හින්දු වේද ශ්තෝත්‍ර’ කියා ගංගා නදීතීරයේදී සිදුකරන ආදාහනයන් මෙවර දක්නට නොවීය. මෙකල ශ්‍රී ලංකාවේ මෙන් තර්ක, විතර්ක කරන ඉස්ලාමික ජනයාද ඉන්දියාවෙහි දක්නට නොවීය. ඒ තරමටම කොරෝනා මාරයා භාරතයේ රජ කරන්නට ගත්තේය. මිනී කඳු ගොඩගැසුණේය. මෙවැනි මහා ශෝකාන්තයක් ඉන්දියාවේ තිබියදී පසුගියදා ඉතා වාර්තාගත සිදුවීමක් සිදුවුණේය. එනම් කොරෝනා රෝගය හේතුවෙන් පසුගියදා මියගිය ලොව ප්‍රකට ඉන්දියානු ගායන ශිල්පී එස්. පී. බාලසුබ්‍රමනියම්ගේ දේහය පමණක් මහජන ගෞරවය සඳහා දින තුනක් තබාගෙන පසුව රාජ්‍ය ගෞරවය සහිතව ආදාහනය කිරීමය. ඉන්දියානු රජය මේ සඳහා ඉඩ දුන්නේ සියලු ජාත්‍යන්තර කොවිඞ්-19 නීති, රීතිද කඩකරමිනි. කෙසේ හෝ ඔහුගේ දේහය මුලින් ‘එම්බාර්ම්’ කර, වීදුරු පෙට්ටියක තැන්පත් කර දැඩි ලෙස මුද්‍රා (සීල්) තැබීය. කෙතරම් බලය තිබුණත් කොරෝනා යක්‍ෂයා ඔහු ඇදගෙන ගියේය.

ප්‍රියන්ත හෙට්ටිගේ

Advertisement
Exclusive1 month ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology11 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive8 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology12 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive7 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive7 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive9 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)