ළැම සෝ දුකින් මගෙ
ලක්මව වැලපෙනවා
සම ගිය උදාවනතුරු
කඳුළැලි බොනවා
අමතා මිනිසුන්ට
අනතුරු අඟවනවා
මෙම ගිනිකන්ද
කවදාහරි පුපුරනවා
තුන් සිංහලේ එකවිට
කරගෙන මෙල්ල
උංඩය තුවක්කුව
පපුවට කර එල්ල
එන්නද හදන්නේ
ගන්නට නර බිල්ල
දැන් දැනගනිව් එනවා
මහජන රැල්ල
රඹුක්කන මොකද වුණේ ?
රඹුක්කන නගරයට සැතපුම් හතරක් පමණ දුරින් බස්නාහිරට වෙන්නට “හේවාදිවෙල” නම් ගම්මානයක් ඇත. ඈත අතීතයේ සිටම ජීවිත පරිත්‍යාගයෙන් රාජකාරි කළ රණවිරු සෙබළුන් (හේවායන්) වෙනුවෙන් රජදරුවන් පිරිනමන ලද ගම්වර (දිවෙල) කරණකොට ගෙන ඒ ගම හේවායනට දුන් දිවෙල යන අරුතින් “හේවාදිවෙල” වී ඇත්තේලු.
ඒ ගමට එක එල්ලේම සැතපුම් දෙකක් පමණ ගිනිකොන පැත්තට වෙන්නට “ආරගොඩ” නමින් ගම්මානයකි. එක්දහස් හයසිය තිස්අටේ (1638) සිදුවූ “ගන්නොරුව” සටන ජයගනු වස් “රත්නතිලක විදානදුරයා”නමැති රණවිරුවා කරන ලද මෙහෙය වෙනුවෙන් රජ තුමා විසින් දෙන ලද ගම්වරය “ආරගොඩ බව” ඒ පිළිබඳ තඹ සන්නසෙහි සඳහනි.
රඹුක්කනට සැතපුම් හයක් පමණ දුරින් නැගෙනහිරට වෙන්නට “දුනුගම” ගම්මානයයි. මහනුවර මහ වාසලට අවශ්‍ය දුනු තනා (නිර්මාණයකර) දුන් බැවින් ඒ ගම ඒ “නම්” වී ල (ලු).
ඇතැමුන් “කැරැල්ල” නමින්ද තවත් කෙනකුන් “සන්නද්ධ අරගලය” ලෙසින්ද තවත් අයකු විසින් “ත්‍රස්තවාදයක්”නයින්ද (න්‍යායයෙන්) හඳුන්වන ලද්දාවූ 1971 අප්‍රේල් පස් (05) වැනිදා ඇරඹුණු සිද්ධි දාමයේදී දිවිදුන් තරුණ සංඛ්‍යාව දෙදහසක් (2000) බව, එවක සිටි ලෝකයේ පළමුවැනි අගමැතිවරිය වූ සිරිමාවෝ රත්වත්තේ බණ්ඩාරනායක මැතිනිය පවසන ලද්දේවී නමුදු, ඇත්ත වශයෙන්ම (මේ ලියුම්කරුගේ අත්දැකීමට අනුව) ඇය පවසන ලද සංඛ්‍යාව (2000) රඹුක්කන ආශ්‍රිත පරපේ, කොස්හින්න, වෙනිවැල්ල, කොටවැල්ල සහ හේවාදිවෙල, ඇතුළු ගම්මානවලින්ම සිදුවූ බව නොකියාම බැරිය.
රඹුක්කන උපන් එවුන්ගේ රුධිරයේ දුවන්නේ “මදු කිරි” (කැලෑවේ සුලබව වැවෙන මදුවැල්) නොව අයුක්තිය අසාධාරණය වෙනුවෙන් කැකෑරෙන හොඳම හොඳ “මව්කිරිවල”තේජස යැයි ඈත අතීතයේ සිටම ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇති බව දැන් වෙසෙන ඇතැම් “මෝල්” වහන්සේලාගේ හොම්බට මිටමොළවා දෙකක් ඇන කියාදීම උදෙසාම ඉහත කරුණු ටික සඳහන් කළ බව නොකියාම බැරිය.
ඔන්න ඔය අන්දමේ උන්ගේ ඇඟේ “ලේ ධාතුව” පසුගිය දිනවල“රත්වී” තිබුණේ තම තමන්ගේ පමණක් නොව “ඇහූදුටු” වන්ගේ පවා පවුල්වල දුවා දරුවන්ට, දෙමාපියන්ට බත් වේලක්, ලෙඩට දුකට බෙහෙත් උගුරක්, අඬන දරුවකුට කිරිපොදක් දීගන්නට පමණක් නොව ගමනක් බිමනක් යන්නට තබා රැකියාව කරගැනීමට තරම් ත්‍රිරෝද රථයකට හෝ තෙල් බින්දුවක් සොයාගත නුහුණු හෙයිනි.
ගතවූ දින දෙක තුළ (2022.04.16 සහ 17) තුළ ඉන්ධන ලබාගැනීමට රඹුක්කන පිරවුම්හලට ගිය සෑම කෙනකුටම අසන්නට ලැබී ඇත්තේ ඉන්ධන නැති “බණේ” මය.
(රඹුක්කන විවිධ සේවා සමුපකාර සමිතියේ ඉන්ධන පිරැවුම්හල හෙවත් “පැට්‍රෝල් ෂෙඩ් එක” ඇත්තේ රඹුක්කන – මාවනැල්ල අතර මහා මාර්ගය සමීපයේ කෑගල්ල නගර පිවිසුම් මාර්ගයේ දුම්රිය හරස්පාර ආසන්නයෙනි.)
ඉන්ධන සොයා පසුගිය 18 වැනිදා ෂෙඩ්එකට ගිය හැම දෙනාටම “නොවැරදීම 18 වැනිදා සවස ඉන්ධන ලැබෙනවා” යන්න අසන්නට ලැබී තිබේ. එසේ ඇසූ සෑම දෙනෙක්ම පාහේ ඉන්පසු හැන්දෑවේ සිටම තෙල් පෝලිමේ ළගින්නට වූහ. එහෙත් රාත්‍රි අට නමය වන තෙක්ම බවුසරය නම් ආවේ නැත. වික්‍ෂිප්ත පිරිස පැයෙන් හමාරෙන් විමසූ සෑම විටකම “බවුසරය නිට්ටඹුවෙන් ආවා. වරකාපොළින් ආවා” වශයෙන් පිළිතුරු අසන්නට ලැබී ඇත.
ඒ නිසා අපේක්‍ෂා පොදිබැඳගත් ඉන්ධන “පිපාසිතයෝ” පිරවුම්හල අසල තව තවත් පෝලිම් ගැසෙන්නට වූහ. එදින රාත්‍රි එකොළහට පමණ ඒ ස්ථානයට කෑගල්ලේ සිට වාහනයකින් පැමිණි පොලිස් නිලධාරීන් කීපදෙනකුගෙන් මේ පිරිසට දැනගන්නට ලැබුණේ ඉන්ධන බවුසරයේ රියැදුරා සහ රිය සහායකයා ගලිගමුව නගරයේ තේ පානය කරමින් සිටිනු දුටු බවකි. (ගලිගමුවේ සිට රඹුක්කනට දුර ප්‍රමාණය සැතපුම් පහළොවක් තරම්ය.)
“පරිප්පු” නොවේ නම් “කට්ට” කකා සඳුදා (18) හැන්දෑවේ සිට අඟහරුවාදා (19) පාන්දර දෙකහමාර වනතුරුත් සීතලේ ගැහෙමින්, මදුරුවන් තලමින්, නෙතට නින්දක්, කුසට කෑමක් නැතිව ඉන්ධන පෝලිමේ ලැග සිටි තරුණ ප්‍රජාවගේ “රතුකට්ට” ඒ වන විට හොඳටම පැන තිබුණේය.
ඉන්ධන ලීටරයක මිල තවත් රුපියල් තිස්පහකින් (35) 338 දක්වා වැඩිකෙරී ඇති පුවතද පෝලිමේ සිටින්නන්ගේ ප්‍රධාන මාතෘකාව වී යක්කුන්ට දුම්මල ගැසූ අන්දමේ තත්වයක් ද ඇතිව තිබුණේය.
රටේ ප්‍රශ්නයට නිශ්චිත විසඳුමක් නොදී බලයේ එල්ලී සිටීමට “ඉහේ කැක්කුමට කොට්ටය මාරුකිරීමේ” නොහොත් “අතීසාරයට අමුඩ ගැසීමේ සිද්ධාන්තයෙන්” කටයුතු කරන ගෝඨාගේ ආණ්ඩුවේ අලුත්ම ප්‍රතිකරමය වශයෙන් “නව කැබිනට් එක” පත්කිරීමද පෝලිමේ සිටි අයට තවත් “ඌරුජුවල් ”නැග්ගවීමේ මාතෘකාවක්ම වූවේය. එහෙත් පාන්දර දෙක හමාරවන තුරුත් පිරැවුම්හලෙන් කියන බවුසරය පැමිණියේ නැත.
අඩුගණනට (මිලවැඩිවීමට පෙර) 16 වැනි දින කොළඹින් ගෙනා ඉන්ධන බවුසරය වැඩිමිලට විකුණා රුපියල් විසි දෙලක්‍ෂයක් (22,00,000) පමණ ගණනක් “මාටියා”ගසාගැනීමේ අරමුණින් සඟවා ඇතැයි කියන පුවත ඒ අතරතුරේ පෝලිමේ රැව්පිළිරැව් දීමෙන් කේන්තියෙන් පුපුරමින් සිටි පිරිසට ඉන්නවා මැරෙනවා නොපෙනෙන තරම් “නහුතෙටම” තද වුණේය.
මේ සියල්ලේ “කප්පිත්තො” සමුපකාරයේ සභාපතිවරයා මෙන්ම වර්තමාන මහාමාර්ග ඇමැති කනක හේරත් මහතාගේ ලේකම්වරයකුද වන බස්නායක මහතා ඇතුළු කණ්ඩායමක් බවටද චෝදනා එල්ලවිය. පෝලිමේ සිටි කීපදෙනෙක්ම මේ හේතු කරණකොටගෙන කෝපවී “තෙල් ලැබෙන තුරු කිසිදු වාහනයකට යන්නට ඉඩ නොදෙමු” යන මතයට පැමිණ පිරවුම්හලට සැතපුම් කාලක් පමණ මාවනැල්ල දෙසට වෙන්නට දුරින් මහා මාර්ගය ඇවිරූහ. ඒ පාන්දර දෙකයි හතළිස්පහට පමණය. මේ සමගම පිරවුම්හලට විරෝධය පෑමවස් ඉන්ධන පෝලිමේ සිටි පිරිස ස්ථානය ඉදිරිපිට ටයර් ගොඩකට ගිනි තැබීමෙන් ඉදිරියේ සිදුවන බිහිසුණු මාරකයක තත්ත්වයක පූර්ව නිමිත්තක් සේ මහා “කළු දුම් කඳක්” ගුවනට නැගෙන්නට වූවේය.
අලුයම වටින් ගොඩින් එළිය වැටීගෙන එන විට තම තමන්ගේ රැකියාවලට සහ පාසල් යාමට පැමිණි පිරිස ප්‍රවාහන පහසුකම් නැතිව අන්දුන්කුන්දුන් වූහ.
“පාරවල් වහලා, යන්න බෑ”යන මතය නගරයට රැස්ව සිටි මගීන් විසින් මොහොතකින් තමතමන්ගේ භාරකරුවනට වැඩිහිටියනට සහ නිවෙස්වලට දන්වන ලද බැවින් ප්‍රදේශවාසීන් රොදබඳින්නට පටන් ගත්තෙන් නගරය ගිනියම් වූවේය. ඒ අතරේ පැමිණි වාහන විකල්ප මාර්ගවලින් ආපසු ගියේය. පිරිස වැඩිවන විට ඔවුන් අතර උෂ්ණයද අංශක 98.4ද ඉක්මවා යන්නට විය.
කොළඹ කොටුවෙන් පාන්දර පහයි තිහට පමණ මහනුවර බලා ධාවනය කෙරෙන දුම්රිය ඔය අතරේ උදෑසන හතයි හතළිස් පහට පමණ ඉන්ධන පිරවුම්හල ඉදිරි පස මාර්ගයේ “හඬා”ගෙන ගියේය.
හයිහත්තිය ඇත්තවුන් කීපදෙනෙක් අසල තිබූ “සිල්පර” කඳන් ඇදදමා දුම්රිය මාර්ගය අවහිර කළහ. ඊට සමගාමීව නගර මධ්‍යයේ බස්නැවතුම්පොළ සමීපයේ දුම්රිය ස්ථාන හන්දියේ (වටරවුම) ද විවිධ අන්දමේ බාධක දමා ටයර් පුලුස්සන්නටද වූහ.
රඹුක්කන නගරයට දුම්රිය මාර්ගය හැරුණු විට ප්‍රධාන පිවිසුම් මාර්ග තුනකි. ඒ කෑගල්ල, කුරුණෑගල සහ මාවනැල්ල යන ප්‍රධාන මාර්ගවලිනි. ඒ වන විට ඒ සියලු පිවිසුම් මාර්ග ද අහුරා තිබුණේය. මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය කෙරෙන මගී දුම්රිය ඉන් පැය භාගයකට පමණ පසුව පැමිණ බාධකයේ නතර වූවේය.
කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය කෙරෙන මගී දුම්රියක්ද ඒ වන විටත් රඹුක්කන දුම්රිය ස්ථානයේ නවත්වා තිබුණෙන් එහි සිටි මගී පිරිස අසරණව උන්හ. වෙලාවද දවල් නවයට ආසන්න වෙමින් තිබුණේය.
ඒ වන විට එහි පැමිණ සිටි රඹුක්කන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කිංස්ලි හේරත්, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක බණ්ඩාර යන මහත්වරු ක්‍රියාකාරීන් සමග සාකච්ඡා කර ප්‍රධාන ඉල්ලීම වූ ඉන්ධන ලබාදීමට පොරාන්දු වූහ. ඒ අවස්ථාව වන විට විරෝධය පෑමට මුල්වැ ක්‍රියා කළ පිරිස ඉතා සන්සුන්ව මහජනහිතකාමී අන්දමට කටයුතු කිරීම මහජන ප්‍රසාදයටද ලක්විණි.
එහෙත් ඒ අවස්ථාවේ විශේෂ කාර්ය බළකා කණ්ඩායමක් පැමිණි වාහනයක් නැවැත්වීම ශරීර සෞඛ්‍යයට එතරම් ගුණ නොවන බවද අයෙක් කීහ.
කෑගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. කීර්තිරත්න, පොලිස් අධිකාරි වික්‍රමනායක, සහකාර පොලිස් අධිකාරි ධර්මරත්න, ප්‍රජා පොලිස් ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරී අශෝක කරුණාරත්න යන මහත්වරුන් “සිද්ධි ක්‍රියාකාරීන්” සහ මහජනයා සමග සාකච්ඡා කරමින් සාමය ආරක්‍ෂා කිරීමටත් මහජන ශුභ සිද්ධිය උදෙසාත් කෙරෙන කටයුතු නිරීක්‍ෂණය කරමින් උන්හ.
මේ අවස්ථාවේදී මහා සංඝරත්නයද, ඉස්ලාම් පූජකවරුද, ගැළවීමේ හමුදාවේ පූජකවරුද පැමිණ පොලිස් නිලධාරීන් සමගද මහජනයා සමගද සාමූහිකව ක්‍රියාකරමින් සිටියහ. වැඩමකර සිටි මහා සංඝයාවහන්සේලා අතරින් කඩිගමුවේ, යටිවැල්දෙණිය පුරාණ විහාරස්ථානාධිපති පූජ්‍ය උස්සාපිටියේ සුධම්ම නාහිමියෝ විවෘත අනුශාසනාවක් කරමින් සිද්ධිය තම හතරපේරුවේ දායක කාරකාදීන්ට පත් විපතට පිහිට පැතීමක් (ඉන්ධන ඉල්ලා) විනා වෙනත් අරමුණකින් නොකෙරෙන්නක් බව ද කිසිදු දේශපාලන පක්‍ෂයකට හෝ ආගමකට හෝ ගැති නොවන්නක් බවද අවධාරණය කළහ. සන්සුන්ව කෙරෙන උද්ඝෝෂණයත් ඒ අරබයා පොලිස් නිලධාරීන් දක්වන සුහදශීලී ආකල්පයත් ගැන පැවසූහ.
මේ වන විට පොලිසියේ ඉල්ලීම පරිදි දාවල් එකොළහ හමාර පමණ වන විට පැමිණි ඉන්ධන බවුසරය දුම්රිය මාර්ගය ද ඇවිරීයන ලෙසින් පිරිසක් නවත්වනු ලැබිණි. එහි රෝදවලට දැව කඳන්ද ගල් කුට්ටිද “අඩ” වශයෙන් තැබුණේය. බවුසරයේ ඉන්ධන ලීටර් 19,000ක් ඇති බව පැවසිණි.
මිල වැඩිකිරීමට පෙර ගෙන ආ බවුසරය සඟවා වංචනිකව අලෙවි කර මුදල් ගැරීමට කටයුතු කරන බවට චෝදනා කරමින් කෑකෝ ගෑ පිරිස මේ බවුසරයේ තෙල් සියල්ල මිල වැඩිකිරීමට පෙර පැවති මිලටම නිකුත් කළ යුතු බවට මොරදුන්හ.
තමා ඉන්ධන සැපයීමට දුන් පොරොන්දුව ඉටු කළ බවත් මිල පිළිබඳ තමාට මැදිහත් විය නොහැකි බවත් පැවසූ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කිංස්ලි හේරත් මහතා ඒ ගැන කටයුතු කළ යුත්තේ විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපතිවරයා බව පවසා ඔහු සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්තද උත්සාහය ව්‍යයර්ථ වූයේය.
අනතුරුව නව ඇමැතිවරයා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහයද අසාර්ථක වූයේ ඔහු එතෙක් රාජකාරි භාරගත් බවක් දැනගන්නට නොවූ හෙයිනි.
ඔය අතරේ පිරැවුම්හල ආසන්නයේ නවතා තිබූ කැබ් රථයකින් ප්‍රබුද්ධ ගීතද ඇසෙන්නට වූවේය. ඇසුණු හැටියට “බලන් කඩ තුරා හැර දෑසේ” ගීයෙන් පටන් ගෙන නන්දා මාලනීගේ ගීතවලටද ප්‍රවේශව තිබිණි.
තත්ත්වය බරපතළ වෙමින් පැවැති අතර රඹුක්කන නිලධාරීන්ට අමතරව අවිස්සාවේල්ල සහ වරකාපොළ යන පොලිස් ස්ථානවලින්ද නිලධාරීන් කැඳවා තිබිණි. ඉර මුදුන්වන්නා හාම එතෙක් පැවති සාමකාමී තත්ත්වයද වෙනස් වන්නට පටන් ගත්තේය. පැවැති සාමකාමී ස්වභාවය කෙතෙක්ද යන්නට හොඳම උදාහරණය බාහිර පාර්ශ්වවලින් ලද අනුග්‍රහයය. ඔවුන්ගෙන් ආහාරපාන වතුර ආදියද සැපයිනි. මංගලා කේටර්ස් හිමි සිරිල් මහතා ඒ ස්ථානයේම දවල් ආහාරය පිළියෙල කර පළමුව මහා සංඝයා වහන්සේලාට දානය පිරිනමා පොලිස් නිලධාරීන්ටත් දෙදහසක් පමණ වූ පිරිසෙන් දහසක් පමණ දෙනාටත් දිවා භෝජනය (නූඩ්ල්ස්) සැපයූහ.
කිසියම් ප්‍රමාණයකට ඒ වන විට චකිතයෙන් සිටි ඉන්ධන බවුසරයේ රියැදුරු මහතාටත් රිය සහායකවරයාටත් දිවා ආහාරය පිරිනැමූ බවද සඳහන් කළ යුත්තේමය. දැඩි අව්වේ ඇති ඉන්ධන (පැට්‍රෝල් සහ ඩීසල්) බවුසරය අධික උෂ්ණත්වය නිසා පුපුරා යා හැකි බැවින් ආරක්‍ෂිත ස්ථානයකට ගෙනයායුතු බව පොලිසියෙන් මතයක් ඉදිරිපත් වුවත් ඊට පිරිසෙන් ප්‍රතිචාර වශයෙන් නැගුණේ මහ හූවකි.
උදේ සිට කෑකෝ ගෑමෙන් හූ කීමෙන් තොරව තිබූ පරිසරය එන්න එන්නම උඩුයටිකුරු වෙමින් තිබූ බවට ඒ සාක්‍ෂියකි. දවල් දහයේ පමණ පටන් වැඩිවෙන්නට වූ පිරිස අතර නොයෙක් දෙසින් කඩා වැටුණු ඇතැම්හු පිස්සු නටන්නටද පටන් ගත්හ.
ඉන්ධන පිරැවුම්හල ආසන්නයේ මහා මාර්ගයට අඩි දහපහළොවක් ඉහළින් ඇද තිබුණු (විදුලි) රැහැන් දිගේ එක් අයකු වඳුරකු සේ එල්ලි එල්ලී ගියේ රැස්ව සිටි පිරිසේ සිරුරු හිරිගඩු නංවමිනි.
කොහෙන් කඩාපාත්වූයේ දැයි කිව නුහුණු ඒ කණ්ඩායම ක්‍රියා කළේ කසිප්පුවලින්ද, ගංජාවලින්ද කුඩුවලින්ද එසේත් නැත්නම් ඒ සියල්ලෙන්මද යන්න ගැටලුවක් නොවූවේ ඔවුන් ගැන සිහිකල්පනාවෙන් සිටි කිසිවකු ඒ ක්‍රියාකාරකම් ගැන අන්දමන්දව සටියා විනා ඒ ගැන නො තැකූ හෙයිනි.
එදින අලුයම දෙතුන් දෙනකුගේ ප්‍රධානත්වයෙන් සාමකාමීව ඇරඹුණු විරෝධතා ව්‍යාපාරයට දවල් දෙක වන විට බිම්මල් (යතු) පිපෙන්නාක් මෙන් සංවිධායකයෝද බෝවී සිටියහ. ඔවුන් කාගේ හෝ බලපෑමකින් එවන ලද කඩාප්පල්කාරීන් පිරිසක් දැයි අයෙක් ප්‍රශ්න කළහ. මේ පිරිසට හොඳ නරක කියා දෙන්නට උත්සාහ කළ ආරම්භක සංවිධායකයකුට සිදුවූයේ මහපාරමැද බඩපුරා ගුටිකෑමටය.
කැරලි මර්දන ඒකකයේ පොලිස් ජල බවුසරයක් ද මේ වන විට උද්ඝෝෂණ ස්ථානය ආසන්නයේම ස්ථානගත කර තිබීමෙන් සංග්‍රහයට පෙරාතුව වතුර අල්ලන්නට පිළිවන් බවද කවුරුත් අවබෝධ කරගෙන උන්හ. ඉන්ධන බවුසරයට කිසියම් පිරිසක් ගිනි තබන්නට යන බවට රාවයක්ද ඒ අතරේ පැතිර ගියේය.
මේ බාධක මැද්දේ වුවද සිය අරමුණ සාක්ෂාත් කරගැනීමේ අවංක චේතනාවෙන් කටයුතු කළෝ මහත් දුෂකරතා අත්වින්දාහ.
රඹුක්කන පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ සංඛ්‍යාව ඒ වන විට (සවස හතර-4) අඩුවී තිබූ බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. පිරැවුම්හල් භූමියේ එතෙක් “නිලධාරීන්” රැඳී සිටි සථානයේ කාන්තා උප පොලිස් පරීක්‍ෂක ලක්‍ෂමී මහත්මිය ප්‍රමුඛ කාන්තා පොලිස් නිලධාරිනියන් පිරිසක් උන්හ. ඒ අවස්ථාවේ මේ ලියුම්කරු රැඳී සිටියේ පිරැවුම්හල් අංගණයේය.
පිරැවුම්හලට මීටර් සියයක් පමණ ඔබ්බෙන් දුම්රිය මාර්ගය පද්ධතිය විය. ඊට නුදුරින් තට්ටු පහක් උස දුම්රිය නිල නිවාස සංකීර්ණයයි. ඒ ගොඩගනැගිල්ල ඇතුළු හාත්පස ප්‍රදේශයේ ආරක්‍ෂක අංශ විය.
කැරලි මර්දන ඒකකයද තිබිණි. ඒ අවස්ථාවේ ඒ ගොඩනැගිල්ල පිටුපස නවතා තිබූ තිරෝද රථයක් ගිනිගෙන දැවෙන බව මාධ්‍යවේදී සගයෙක් දිව අවුත් මා සමග පැවසුවේය. (පොලිස් නිලධාරියකු ඒ පැත්තට ගිය බව නිවාස සංකීරණයේ නිවැසියෙක් පසුව කීයේය)
ටික වේලාවකින් දුමාර නංවමින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලවිය. ඒ වන විට වෙලාව හරියටම හතරයි හතළිස්පහ වූවේය.
මේ ලියුම්කරු සිටි ස්ථානයට ද එකක් පතිත විය. ඒ සමගම එතැනින් ඉවත් වන්නට උත්සාහ දරන විට පිටුපසින් දිව ආ පිරිසට අසුවී අපි කීප දෙනකුම විසිවී ගියේය. ඒ ආසන්නයේ සිටි ඉන්දික කඹුරාදෙණිය යන අයගේ හිසට ගල් පහරක් වැදී ලේ ගලනු දුටුවේය. ඒ අතර වෙඩි පුපුරන හඬද ඇසුණේය.
ඇස් දැවිල්ලද වමනයද නොතකා ලියුම්කරුත් මව්බිම මාධ්‍යවේදී සරත් උඩුගමත් අසල වෙළෙඳසලක බිත්තියක් ආසන්නයට යන විටම දුටුවේ වෙඩි වැදුණු අයකු ත්‍රිරෝද රථයකට ඔසවා දමන බවය. ඔහුගේ ආමාශයෙන් බඩවැල් එළියට අවුත් තිබිණි. එහෙත් වෙඩි හඬ නොනැවතීම ඇසෙන්නට වූවේය.
අත්පාවලට වෙඩි වැදුණු කීප දෙනකුම ඒ අවස්ථාවේ වත්තන් කරනු ලැබගෙන ත්‍රිරෝදවලට දමා රඹුක්කන රෝහල දෙසට ගෙනයන ආකාරය දුටුවේය. ප්‍රහාරය කඳුළු ගෑස්වලට පමණක් සීමා නොවී ජීව උණ්ඩ යොදා කෙරෙන බවද ලියුම්කරු ඒ මොහොතේ පසක් කර ගත්තෙන් ගෙනයන තුවාලකරුවන් ගැන දැනගනීමට ලියුම්කරු මාධ්‍ය සගයකුත් සමග යතුරුපැදියකින් රෝහලට ගොස් ඡායාරූපගත කර ගත්තේය. වෙඩි වැදීමෙන් හෝ ගල්ප්‍රහාර එල්ල වීමෙන් හෝ දරුණු ලෙස තුවාල ලැබීමෙන් පෞද්ගලික වාහනවලින් කෑගල්ල රෝහලට යවනු ලැබූවන්ගේ නම් ලැයිස්තුව මෙසේය. (සියල්ලෝම රඹුක්කන ප්‍රදේශවාසීන්ය.)
දියසුන්නත ආර්.ඒ.සී.කේ. රාජපක්‍ෂ (38) සහ ලලිත් දේශප්‍රිය රාජපක්‍ෂ, මුංකොටුවේ, රංගන (18) සහ සනත් හසිත කුමාර (15) නිකගොල්ලවත්තේ සම්පත් කුමාර (40) හෙට්ටියාවත්තේ සංජීව පුෂ්පකුමාර (33) තල්දැවේ ගයාන් විජේසූරිය (20) ලබුකොටුව නිවාස සංකීර්ණයේ දිල්ෂාන් මොහමඩ් ඉල්හාම්, කොටවැල්ලේ ලක්රුවන් කුමාර (25) රඹුක්කන තිලක බණ්ඩාර (48) ඉහළවත්තේ එස්.වී. මාස්ටර් (48) හඳගම බුද්ධික ලක්‍ෂාන් සහ මුවපිටියේ එස්.සී. ජයරත්න. මේ අවස්ථාවේ ආවේගශීලීව හැසිරුණු කීපදෙනෙක් රෝහලේ fදාර ජනෙල්වලටද පහර දෙන්නටවූ බවද කිව යුතුය. ප්‍රවාහනයට ගිලන් රථයක්ද නොවිණි.
ඒ වන විට වෙලාව සවස පහයි හතළිස් පහ පමණ වූවේය. ඉන්ධන පිරැවුම්හල් පරිශ්‍රයේ තත්ත්වය සමනය වී නැති බවට ලද තොරතුර අනුව එහි ගිය විට දුටුවේ කෝපයෙන් වහසි බස් fදාඩමින් ආවේගශීලීව හැසිරෙනු පිරිසකි. ඇතැමෙකුගේ ඇඳුම් රුධිරයෙන් තෙත්ව තිබුණද ඔවුන් ඒ ගැන නොතැකූ තරම්ය. යාබද දුම්රිය මාර්ගයේ තිබූ කැටගල් බොහොමයක් ඒ වන විට තිබුණේ මහාමාර්ගයේය. ඒ වන විටත් සියයත් දෙසීයයත් අතර පිරිසක් තැනින් තැන උන්හ.
ආවේගශීලීව හැසිරෙන පිරිසක් අවම බලය යොදා පලවා හැරීමට පෙරාතුව පොලීසිය ඒ සඳහා ත්‍රිවිධ භාෂාවෙන්ම හඬනංවා දැනුවත් කළ යුතු බව වෙඩිතැබීමට පොලිසියටදී ඇති නියෝග මාලාවේ දක්වා ඇතත් එවැන්නක් නොවුණු බව මට ඒ මොහොතේ කල්පනා වූයේ හරියටම හයයි කාලට යළිදු “ගහෙන් ගෙඩි එන්නා සේ” තවත් කඳුළුගෑස් “හුණ්ඩු” ඇද වැටෙන්නට පටන් ගත් විටය. මේ අවස්ථාව වන විට රැඳී සිටින්නෝ වනාහි “මියෙම් වා, රැකෙම් වා” යන “කුලකයට” අයත් වූවෝය යන මතයක් ද වටින් ගොඩින් අඳුර දැඩිවන ඒ මොහොතේ පෙළ ගැසෙමින් තිබුණෙන් ඔවුනට පිළිතුරුදීම සඳහා තවත් සන්නද්ධ කණ්ඩායම් කීපයක් සෑම මාර්ගයකින්ම පැමිණෙන බවට ආරංචියද ආවෙන් සියල්ලෝම පාහේ ස්ථානයෙන් බැහැර වන්නට වූහ.
සිද්ධිය පිළිබඳ සොයාබැලීමට කෑගල්ල නීතිඥ සංගමයේ සාමාජික පිරිසක් සිද්ධියට පසුදා බදාදා (20) ස්ථානීය පරීක්‍ෂණයක් පවත්වා සාක්‍ෂි රැස් කරගත්හ.
ශ්‍රීලාල් දයානන්ද, රොෂාන් ධර්මසේන, රුක්මාල් බණ්ඩාර, වසන්ත අරනායක සහ තාරක ප්‍රදීප් යන නීතිඥ මහත්වරු වින්දිතයනට නීති ආධාර සැපයීමේ සත්කාරයට මෙසේ නිරතවැ සිටිති.
තමන් සොයාගත් තොරතුරු, නිරීක්‍ෂණ නීතිඥ ශ්‍රීලාල් දයානන්ද මහතා “මව්රට”ට මෙසේ විස්තර කෙළේය. ‘පිරිස විසුරුවා හැරීමට පෙර අවවාදයක් වශයෙන් ඒ බව දැනුවත් කළ යුතුයි. රාශි වූවන් ඉවත් කිරීමට කඳුළු ගෑස් විනා ජීවඋණ්ඩ භාවිත කළ නොහැකියි. ඒ අවම බලය යෙදවීමක් නොවේ. මේ සිද්ධියේදී පහරදී ඇත්තේ නිරායුධ පුරවැසියන් පිරිසකටයි. ප්‍රහාරය එල්ලවී ඇති ආකාරයෙන් පැහැදිලි වන්නේ පසුපසින් එළව එළවා පහරදීමක් සිදුවී ඇති බවයි. සිද්ධිය මහජන දේපොළ ඇති ස්ථානයක දී නොව අතුරු මාර්ගවලදී පවා ප්‍රහාර එල්ලකර ඇති බව පෙනෙනවා. පෞද්ගලික නිවාසයක අංගණයේ (මිදුලේ) තිබූ ත්‍රිරෝද රථයක් සිද්ධියට පෙර ගිනිගැනීමත් විවාදාත්මක කරුණක්.’ පිරවුම්හල ඉදිරිපිට සිදුවූ ඝාතනයට එරෙහිව පසුදා (20) සවස ජාතික ජන බලවේගයේ ආධාර කරුවන් පිරිසක් සංවිධානය කළ උද්ඝෝෂණයේදී අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියහ.
ජාතික විද්වත් සංගමයේ රඹුක්කන ආසන සංවිධායක සමන් රත්නායක, සමස්ත ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද සහ රඹුක්කන ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් රණතුංග යන මහත්වරු අවස්ථාවට සහභාගිවී උන්හ. මානවහිමිකම් කොමිසමේ නීතිඥවරුන් පිරිසක් ද ස්ථානීය පරීක්‍ෂාවකට පිරවුම්හල සහ වෙඩිතැබීම සිදුවූ බව කියන ස්ථානයට පැමිණ සිටියෝය. සිද්ධියේ වින්දිතයෙක් කරුණු විස්තර කළහ. ඒ විමර්ෂකයන් පැවසුවේ සිද්ධිය වූ ස්ථානය පරීෂා කිරීමකටද ලක්කර නැති බවයි. සිද්ධිය පිළිබඳ කෙරෙන පරීක්‍ෂණය අපක්‍ෂපාතීව සිදුවීමට වගබලාගනු වස් පවරා ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පිටත පොලිස් කණ්ඩායමකටය.
එනම් අවිස්සාවේල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතාගේ යටතටය. ඒ අනුව පවත්වන ලද මූලික පරීක්‍ෂණයේ “බී” වාර්තාව කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට බදාදා (20) ඉදිරිපත් කර තිබේ.
එසේ ඉදිරිපත් කළ වාර්තාවේ කොටසක් “ටිපෙක්ස්” යොදා මකා තිබීමක් සම්බන්ධයෙන් පර්ක්‍ෂණයක් පවත්වන ලෙසට කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
“වෙඩි තියන්න නියෝග දුන් කෙනෙක් දැන් හොයාගන්නත් නෑ. පස්ස පූට්ටු කරගෙන දැන් දඟලනවා. දේශපාලකයො කියන දේ කරන්න ගියාම ඔහොම වෙනවා” හිතවත් උසස් නිලධාරියෙක් රහසින් කීවේය.