බේරේ වැව ඉදිරිපිට ඉදිකෙරමින් පවතින අල්ටයර් (Altair) නේවාසික සහ වාණිජ ගොඩනැගිල්ල ඊයේ (31) පස්වරුවේ ජනාධිපතිවරයාගේ විශේෂ නිරීක්ෂණයට ලක්විය.
කොළඹ පිහිටි උසම ගොඩනැගිලි අතරට අල්ටයර් ගොඩනැගිල්ලත් එක් වෙයි. බේරේ වැවට යාබද අක්කර දෙක හමාරක භූමි ප්‍රදේශයක ඉදි කෙරෙන ගොඩනැගිල්ලේ වැඩ 2012 වසරේ දී ඇරඹිණ.
එහි බිම් මහල වර්ග අඩි 40,000කි. අධි සුඛෝපබෝගී නිවාස 404කින් සහ ඉහළ ප්‍රමිතියේ සාප්පු සංකීර්ණයක් ඊට අයත්ය. කුළුණු දෙකකින් යුත් අල්ටයර් සංකීර්ණයෙහි එකක් මහල් 68 කින් සහ අනෙක මහල් 63කින් සමන්විත වේ.
ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ව්‍යාපෘතියට කර ඇති ආයෝජනය අමරිකානු අඩොලර් මිලියන 250කි. නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකිරීම් අධීක්ෂණය කරයි.
ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් 70%ක් පමණ දැනට අවසන්ව තිබේ. ඉතිරි වැඩ ලබන ජනවාරී වන විට නිමවනු ඇතැයි අපේක්ෂා කරයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා, ව්‍යාපෘති භාර අධ්‍යක්ෂ ප්‍රදීප් මොරායස් යන මහත්වරු නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියහ.


