Connect with us
Redmi 9C
Advertisement

Exclusive

ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවට එකේ ඉඳන් ගෙනා සංශෝධන 20 මෙන්න

Published

on

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වර්ගීකරණයෙහි ‘නම්‍ය’ සහ ‘අනම්‍ය‘ වශයෙන් කෙරෙන විශ්ලේෂණයක දී ශ්‍රී ලංකාවේ මූලික නීතිය වන ‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව‘ අයත්වන්නේ පහසුවෙන් සංශෝධනය කළ නොහැකි ‘අනම්‍ය‘ ව්‍යවස්ථා ගණයටය. ඊට හේතුව එය සංශෝධනය කිරීම සඳහා අනුගමනය කළ යුතු විශේෂ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන හඳුන්වා දී ඇති හෙයිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 සහ 83 වගන්තිවලින් පෙන්වාදෙන පරිදි, එම ව්‍යවස්ථාවේ සංශෝධනයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව තුනෙන් දෙකක විශේෂ බහුතරයක අනුමැතිය අවශ්‍ය කරන අතර ඊට අතිරේකව එහි සුවිශේෂී වගන්ති කීපයකට අදාළ සංශෝධනයක් නම් ඒ සඳහා එකී තුනෙන් දෙකට අමතරව ජනමත විචාරණයකදී මහජන අනුමැතියද ලබාගත යුතුව ඇත.
නෛතික තත්වය එබඳු නමුත් ලෝකයේ වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් සමඟ සාපේක්ෂව බලනවිට, පහසුවෙන් සංශෝධනය කළ හැකි ‘නම්‍ය’ මූලික නීතියක් සහිත දේශපාලන සමාජවලට වඩා වැඩි වේගයකින් සහ වැඩි වාර ගණනක් ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම්වලට ලක්ව ඇත. කාලය අනුව වසර හතළිහකට මඳක් වැඩි ආයු කාලයක් සහිත ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේවනවිට 19 වතාවක් සංශෝධනය කරනු ලැබ ඇති අතර, 20 සංශෝධනය සඳහාත් මුලපුරා ඇත.
දේශපාලන සමාජයක බල පැවැත්වෙන මූලික නීතිය වගන්ති හෝ පරිච්ඡේද මට්ටමින් සංශෝධනය කිරීම හෝ එය සහමුලින්ම පරිච්ඡින්න කරනු ලැබීම අපේක්ෂා කළ යුතුවන්නේ එකී වගන්ති හෝ සමස්ත ව්‍යවස්ථාව සිදුවෙමින් පවතින සමාජ ප්‍රගමනයට අවහිරයක් ඇතිවිටක හෝ එසේත් නැත්නම් පැවති සමාජ දේශපාලන ව්‍යුහයෙහි සමස්ත පරිවර්තනයක් සිදුවීම වැනි අවස්ථාවන්හිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක වගන්ති කාලය ඇවෑමෙන් යල්පැන සමාජමය බාධකයක් වේනම්, එය ජනතාව බැඳ තබන විය ගසක්ද නොවිය යුතුය‍.

වයස අවුරුදු 230යි: සංශෝධන 27යි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් විසින් විධිමත්ව කෙටුම්පත් කරන ලද තවමත් රටකට බල පැවැත්වෙන පැරණිතම මූලික නීතිය ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 1787-89 අවධියේ කෙටුම්පත් කරන ලද ඇමෙරිකානු ආණ්ඩුක්‍රම නීතිය මේ දක්වා සංශෝධනය කරනු ලැබ තිබෙන්නේ විසිහත් වතාවක් පමණි. ළදරු ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එහි ආරම්භයේදී ම එකවසරක් ඇතුළත සංශෝධන දහයක් එක්වූ අතර එවැනි පියවරක් ගනු ලැබ තිබුණේ එය ක්‍රියාත්මක වීමත් සමඟ සමාජය තුළින් මතුවූ අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමිනි.
පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයක ඡන්දයෙන් වෙනස්කර ගතහැකි මූලික නීතියක් සහිත බි්‍රතාන්‍යයේ පවා එම මූලික නීතියේ නැවීමක් සිදු නොකෙරෙයි. මෑතදී බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව සිය මූලික නීතියේ වෙනසක් කරමින් ගත් පියවර වුණේ “අගමැති උපදෙස් අනුවද රැජින (හෝ රජු) සතුව පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තවත් සීමා කිරීමකි”.
සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයක ඡන්දයෙන් වෙනස්කර ගතහැකි බි්‍රතාන්‍යයේ පවා මූලික නීතිය සම්බන්ධයෙන් පවතින ස්ථායීභාවය අනම්‍ය ව්‍යවස්ථා පවතින රටවලට වඩා කිසිසේත් දෙවැනි නොවේ. “වෙනස්වෙන හෙයින්ද, පණ ඇති දෙයක් හෙයින්ද” එපමණක් නොව “අලුත් කරුණු උකහා ගනිමින් තමන්ම වෙනස්කර ගන්නා ව්‍යවස්ථාවක්” ලෙසද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන් විසින් අර්ථ නිරූපණය කරනු ලැබ ඇති බි්‍රතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කාලානුරූපීව සියවස් ගණනක් මුළුල්ලේ වැඩෙමින් පවතින මූලික නීතියකි.
මෑතදී බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව සිය මූලික නීතියේ වෙනසක් කරමින් ගත් එක් පියවර වුණේ “අගමැති උපදෙස් අනුව හෝ රැජින (හෝ රජු) සතුව පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය නිශ්චිත කාලයක් සඳහා සීමා කිරීමකි.”
වයස හතළිහයි: වෙනස්කිරීම් විස්සයි
එහෙත් ශ්‍රී ලංකාවේ තත්වය ගත්විට වසර හතළිස් දෙකක වත්මන් ව්‍යවස්ථාවේ ජීවිත කාලය තුළ එහි ප්‍රධාන සංශෝධන දහසයක්ම එය ක්‍රියාත්මක වීම ආරම්භ වීමෙන් පළමු අවුරුදු දහය (1978-1988) ඇතුළත වාර්තා විය.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වයස වසර හතළිහක් යයි ගත්තොත් සංශෝධන විස්සකි. එය සෑම වසර දෙකකට එක බැගින් යයි ගණන් බැලිය හැකිය.
ඇතැම් දේශපාලන විචාරකයන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව “මාසික සඟරාවක” මට්ටමින් සදය උපහාසයට ලක්කරන ලද්දේ නිරන්තරයෙන් සිදු වූ එම “සීඝ්‍රගාමී” සංශෝධනය කිරීම් සැලකිල්ලට ගනිමිනි.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ආරම්භ වන්නේම ව්‍යවස්ථාවේ ඌනපූරණයක් හෝ සමාජමය උවමනාවක් නිසා නොව බලයේ සිටින දේශපාලනඥයන්ගේ පෞද්ගලික අභිලාෂයන් මුල්කරගෙන බව එහි පළමු සංශෝධනයේ පටන්ම දක්නට ලැබෙන්නකි.
දැන් පවතින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය මගින් සිදු කරන ලද්දේ එහි 140 වගන්තියට අලුත් වගන්තියක් එක්කරනු ලැබීමය. එය එලෙස සිදුකරන ලද්දේ කුමක් නිසාද?

බණ්ඩාරනායක විරෝධී සංශෝධනයක්

1978 දී මෙම ව්‍යවස්ථාව හඳුන්වාදීමේදී එහි 140 වැනි වගන්තිය අනුව ‘රිට්‘ ආඥා නිකුත්කිරීමේ අධිකරණ බලය පැවරුණේ අභියාචනාධිකරණය වෙතය. එම වකවානුවේ ආණ්ඩුව විසින් පත්කරන ලද විශේෂ ජනාධිපති කොමිසමට එරෙහිව රිට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා සිටිමින් හිටපු අගමැතිනි සිරිමා බණ්ඩාරනායක අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකළ අතර, ඇයගේ පෙත්සම විභාගකළ එම අධිකරණය එක් කරුණක් පිළිගනිමින් එම කොමිසම පත්කිරීමට පෙර සිදුවූ කරුණු ගැන පරීක්ෂා කිරීමට අදාළ ජනාධිපති කොමිසමට බලයක් නොමැති බව තීන්දු කළේය.
ඊට පිළිතුරක් වශයෙන් එවකට බලයේ සිටි ආණ්ඩුව විසින් සිදුකරන ලද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය මගින් රිට් ආඥා නිකුත්කරනු බැලීමේ අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණය වෙතද පැවරෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වගන්තියට තවත් අනු වගන්තියක් ඈඳීමය.
එම පළමු සංශෝධනයෙන් මාස තුනකටත් අඩු කාලයක් තුළ සම්මත කරගන්නා ලද මෙම ව්‍යවස්ථාවේ දෙවන සංශෝධනයත් බලයේ සිටි ආණ්ඩුවේ දේශපාලන උවමනා අනුව කෙටුම්පත් කරගන්නා ලද්දක් බවට විවේචන ඉදිරිපත් විය.
1978 ව්‍යවස්ථාවේ පළමු මුද්‍රණය අනුව ආරම්භයේ දී බල පැවැත්වුන නීතිය වුණේ, “දේශපාලන පක්ෂයකින් ඉවත්කරනු ලබන මන්ත්‍රීවරයකුගේ පාර්ලිමේන්තු අසුන ඒ සමඟ හිස්වෙන” බවය. එහෙත් 1979 පෙබරවාරි මාසයේ සිදුකරන ලද දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව, එවැනි මන්ත්‍රී පදවියක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කුමක් වුවද, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අසූපස් දෙනකුගේ සම්මතය පරිදි අදාළ මන්ත්‍රීවරයාගේ පදවිය ආරක්ෂා වීමේ හෝ නොවීමේ අවසන් තීන්දුව ගත හැකිවිය.
එම සංශෝධනය සාකච්ඡාවට ගත් ඇතැම් විශ්ලේෂකයන් කියා සිටියේ එය “ආණ්ඩුවට එක්වෙන මන්ත්‍රීවරුන් රැකගැනීමේ සහ ආණ්ඩුවෙන් විපක්ෂයට යන මන්ත්‍රීවරුන් නෙරපා හැරීමේ” උපායක් වශයෙනි.

වාසි කලට ජනාධිපතිවරණ

ශ්‍රී ලංකාවේ පුද්ගලකේන්ද්‍රීය ව්‍යවස්ථා සංශෝධනයකට දිය හැකි හොඳම උදාහරණයක් වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි සංශෝධනයයි.
ව්‍යවස්ථාව සමාරම්භක අවස්ථාවේ ජනාධිපතිවරයකුගේ නිලකාලය වසර හයක් වූ අතර (19 සංශෝධනය අනුව වසර පහකි), පළමු ජනාධිපතිවරයාගේ නිලකාලය 1978 පෙබරවාරි මාසයේ 04 දිනයෙන් ආරම්භවෙන බව 31.3 ඊ වගන්තියේ පැහැදිලි වචනවලින් සඳහන් විය. එම වගන්තිය ප්‍රකාර පළමු ජනාධිපතිවරයාගේ නිල කාලය 1984 පෙබරවාරි 04 දින අවසන් කෙරෙන හෙයින් ඊළඟ ජනාධිපතිවරණය කැඳවිය යුතුව තිබුණේ 1983 නොවැම්බර් මාසයේ හෝ දෙසැම්බර් මාසයේ 04 දිනට පෙර දිනකය.
එහෙත් එවකට බලයේ සිටි ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන ඉන් පෙර ජනාධිපතිවරණයකට යාමේ අවශ්‍යතාව මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තවත් සංශෝධනයක් එක් කළේය. එය තුන්වෙනි සංශෝධනයයි. එම නව අනුඡේදය අනුව බලයේ සිටින ජනාධිපතිවරයකුට හෝ වරියකට සිය නිලකාලයේ පළමු වාරයේ දී වසර හතරක් ඇවෑමෙන් ජනාධිපතිවරණයක් කැඳවීමට දොරටු විවෘත කෙරිණ. ජේ.ආර්. ජයවර්ධන පමණක් නොව ඉන්පසු චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් ඔවුන්ගේ පළමු නිලකාලය නිමාවේ ජේ.ආර්. ජයවර්ධන අනුව යමින් මහජන මතය තමන්ට වාසිසහගත මොහොතේ දේශපාලන වාසිය නෙලාගත්හ.

‘නක්සලයිට්‘ සංශෝධනයක්

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් සිදුකෙරෙන ප්‍රමුඛ කාර්යයක් වන්නේ බලයේ සීමාවන් සළකුණු කිරීමය. එම බලසීමාව ඉක්මවා යාම සඳහා පාලකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ම සිදුරු සොයාගැනීම සඳහා නිදසුනක් වශයෙන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවෙනි සංශෝධනය නම්කළ හැකිය.
එමගින් සිදුකරන ලද්දේ, 1977 අගෝස්තු මාසයේ පත්වූ පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව වසර හයක් ඇවෑමෙන් විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීම වෙනුවට ජනමත විචාරණයක් මගින් තවත් වසර හයකට එහි කාලය දීර්ඝකර ගැනීමය.
එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ප්‍රසිද්ධියේම සඳහන් කරන ලද පරිදි “නක්සලයිට්වාදීන් පාර්ලිමේන්තුවට පිවිසීම” වැළැක්වීමේ උවමනාවක් ඔහුට තිබුණි. ජනාධිපති ජයවර්ධන විසින් නක්සලයිට්වාදීන් ලෙස හංවඩු ගසන ලද්දේ 1982 ජනාධිපතිවරණයේදී ඔහුට එරෙහිව කටයුතු කළ විජය කුමාරතුංග ඇතුළු දේශපාලන බලවේගයයි.
මැතිවරණයකට ගියහොත් සිය ප්‍රතිවාදීන් රැසක් පාර්ලිමේන්තුවට පිවිසෙන බව තේරුම්ගත් ජයවර්ධන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවෙනි සංශෝධනය මගින් ජනමත විචාරණයකට ගොස් එම අභියෝගය ජයගත්තත්, ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ සිතියම හකුලා දමමින් ගන්නා ලද එම පියවර පසුකාලීන ශ්‍රී ලංකාවේ දේශපාලනය ප්‍රචණ්ඩත්වය දෙසට හැරුණ සන්ධිස්ථානයක් ලෙස දේශපාලන විචාරකයෝ දකිති.

හයවෙනි සංශෝධනය

1983 වසරේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුන්වතාවක්ම සංශෝධනය කරනු ලැබ ඇත. එම වසරේ පෙබරවාරි, අගෝස්තු සහ ඔක්තෝබර් මාසවල එම සංශෝධන සිදුකර ඇති අතර, ඉන් පස්වන සහ හත්වෙනි සංශෝධන පිළිවෙළින් පාර්ලිමේන්තු මන්ත්‍රී පදවිවල පුරප්පාඩු පිරවීමට සහ ආණ්ඩුවේ පරිපාලන දිස්ත්‍රික්ක සංඛ්‍යාව වැඩිකිරීම යන කරුණුවලට අදාළ වූ අතර වැඩියෙන්ම සංවාදයට භාජනය වූයේ අගෝස්තු මාසයේ සිදුකරන ලද හයවෙනි සංශෝධනයයි.
එම හයවෙනි සංශෝධනය බොහෝදෙනෙකුගේ අවධානයට ලක්වෙමින් පවතින්නේ තරමක් සරල වූ තේරුම් ගැනීමකිනි. එය හුදෙක් මන්ත්‍රීවරුන් විසින් “ඒකීය රාජ්‍යයක් සඳහා දිව්රුම්දීමේ අනිවාර්ය ප්‍රකාශනයක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්කරනු ලැබීමක්” යන තේරුම්ගැනීම බොහෝ අය තුළ පවතී. එහෙත් එය එතැනින් නතර නොවන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 101, 157 සහ 161 යන වගන්ති සංශෝධනය කෙරුණ හයවැනි හයවෙනි සංශෝධනය අනුව “මන්ත්‍රීවරයකු ඒකීය රාජ්‍යයට පටහැනිව කටයුතු කරන්නේ” යයි චෝදනා කොට ඔහු හෝ ඇය අභියාචනාධිකරණය ඉදිරියට පමුණුවමින් අවුරුදු හතක කාලයක් සඳහා ඡන්ද බලය ද ඇතුළුව සියළු ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් අහිමි කළ හැකිය.
1983 කළු ජූලියේ ප්‍රතිවිපාකයක් වශයෙන් ඒ වන විටත් පාර්ලිමේන්තුවට සහභාගි නොවෙමින් සිටි ප්‍රජාතන්ත්‍රීය දහරාවට අයත් දමිළ දේශපාලන නායකයන් නීතිය අනුවම පාර්ලිමේන්තුවෙන් ඉවත්කර දමනු ලැබීමට එම හයවැනි සංශෝධනය මග හෙළිකළ අතර, ඒ සමඟ දේශපාලන ප්‍රචණ්ඩත්වය සඳහා සරුපසක් සකසන අතරවාරයේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ජාත්‍යන්තරය තුළ ප්‍රශ්න කරනු ලැබීමට ලක්විය.
හයවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව ඊළඟ වසර හතරක කාලය ඇතුළත තවත් සංශෝධන හතක්ම සිදුකෙරුණ අතර, එයින් දොළොස්වැනි සංශෝධනය ක්‍රියාත්මක නොවූ පියවරක් ලෙස ඉතිහාසයට එක්විය. එම සංශෝධන මාවතේ වඩාත් සාකච්ඡාවට සහ මතභේදයට ලක්වුණේ 1987 නොවැම්බර් මාසයේ සිදුකරන ලද 13 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයයි. 1987 ඉන්දු-ලංකා ගිවිසුම අනුව යමින් ශ්‍රී ලංකා ආණ්ඩුව පළාත්සභා ක්‍රමය පිහිටුවන ලද්දේ 13 සංශෝධනය අනුවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම නීතිගත කරනු ලැබ ඇති නමුත් අදාළ බලතල පළාත් සභාවලට නොපවරන බවට මෙන්ම, එම සමස්ත ආකෘතියම අහෝසි කළ යුතුය යන විවාදය එම සංශෝධනයෙන් දශක තුනකට පසුවත් තවමත් නොවිසඳුන තත්වයක පවතී.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය සහ ක්‍රියාකලාපයට සහ භාෂා භාවිතයට ප්‍රධාන වශයෙන් අදාළ වූ 14, 15 සහ 16 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලින් අනතුරුව සමාජයේ බලවත් අවධානයට සහ සාකච්ඡාවට භාජනය වූ එසේම පවතින පාලන ව්‍යුහයේ බලවත් වෙනසක් යෝජනා කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 17 වෙනි සංශෝධනයයි. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ 2001 වසරේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව සම්මත කරන ලද 17 වෙනි සංශෝධනය 19 වැනි සංශෝධනය මගින් ස්ථාපිත කරන ලද ‘කොමිසන් සභා‘වන්හි සමාරම්භක හඳුන්වා දීම විය. 2001 සැප්තැම්බර් මාසයේ මූලික නීතියට එක්වූ 17 වෙනි සංශෝධනය අනුව ජනාධිපති ධුරයෙහි බලපෑමෙන් තොරව ක්‍රියාත්මකවීමේ ස්වාධීන බලයක් සහිත රාජ්‍ය සේවා කොමිසම, මැතිවරණ කොමිසම, අධිකරණ සේවා කොමිසම සහ ජාතික පොලිස් කොමිසම පිහිටුවීමට දොරටු විවෘත කෙරිණ. එහෙත් ප්‍රශ්නය වුණේ එම කොමිසන් සභා පිහිටුවීමට ඉන් වසර දහඅටක් ගතවෙන තෙක් බලයේ සිටි ආණ්ඩු අසමත්වීමය. (චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයෙහි කෙටුම්පත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ද ස්වාධීන කොමිසන් සභා යෝජනාකර තිබුණත් එම යෝජිත ව්‍යවස්ථාව හුදෙක් යෝජනාවක මට්ටමින්ම අවසන් විය.)

ඇමෙරිකානු ජනාධිපති බලයත් ඉක්මවා යන සංශෝධනයක්

ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය යටතේ 2010 දී සිදුකරගන්නා ලද ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වෙනි සංශෝධනය එවැනි අසීමිත බල ව්‍යුහයක් ගොඩනගා ගැනීමේ ප්‍රයත්නයක් ලෙස විශ්ලේෂණ ඉදිරිපත්ව ඇත.
ජනාධිපති ජයවර්ධන විසින් ශ්‍රී ලංකාවට විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය හඳුන්වාදෙනු ලැබීම ආරම්භයේ දී එය දැඩි දෝෂ දර්ශනයට ලක්කරන ලද කණ්ඩායම්වල චෝදනාව වුණේ එමගින් ව්‍යවස්ථාදායක මගින් සංවර කළ නොහැකි අසීමිත බලයක් සහිත විධායකයක් නිර්මාණය කරගත් බවය. එහෙත් ඇමෙරිකානු සහ ප්‍රංශ ආණ්ඩුක්‍රමයන්ගෙන් ආභාෂය ලද 1978 ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ සම්පාදකයන් ජනාධිපති නිලකාලය අදියර දෙකකට සීමාකරනු ලැබීම විශේෂත්වයක් විය. එක් පුද්ගලයකු දෙවතාවකට වඩා ජනාධිපති පදවියට පත්වීම වළක්වනු ලැබීම ආණ්ඩුක්‍රම විශේෂඥයන් විසින් හඳුන්වා දෙනු ලබන්නේ “ව්‍යවස්ථානුකූල අධිකාරීවාදයක්“ වැළැක්වීමේ ප්‍රජාතන්ත්‍රීය උපක්‍රමයක් වශයෙනි.
එවැනි වාරණයක් ඇතිකරනු ලැබීම සඳහා ආදර්ශය ලෙස සලකනු ලබන්නේ ඇමෙරිකානු ව්‍යවස්ථාවේ 22 සංශෝධනයයි. එමගින් ව්‍යවස්ථාව ආරම්භයේ දී ජනාධිපතිවරයකුට බලයට පත්විය හැකි වාර ගණනෙහි සීමාකරනු ලැබීමක් නොවුණි.
එහෙත් එම තත්වයෙහි කිසියම් සීමාකරණයක අවශ්‍යතාව ඇමෙරිකානු සමාජයට පෙනීගියේ, පිළිවෙලින් නොකඩවා හතර වතාවක් බලයට පත් ජනාධිපති ෆ්රැන්ක්ලින් ඩී රූස්වෙල්ට් (ත්‍ර්බනකසබ ෘග ඍදදිැඩැකඑ) 1933 පටන් 1945 දක්වා ඔහුගේ මරණය තෙක්ම බලයේ සිටීමත් සමඟය. අනාගත එක්සත් ජනපදයෙහි “ආඥාදායක ජනාධිපතිවරුන්” බලයට පත්වීමට ඇති ඉඩකඩ අහුරාලීමේ තිරිංගයක් වශයෙන් ජනාධිපති නිලකාලය දෙවතාවකට සීමාකිරීමේ යෝජනාව 1947 දී කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව 1951 වසරේදී තුනෙන් දෙකක විශේෂ වැඩි ඡන්දයකින් සම්මත කරගනු ලැබුණි.
එම කාරණයට අදාළ තවත් විශේෂ කරුණක් වන්නේ, ඇමෙරිකාවේ පළමු ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් (ඨැදරටැ උ්ියසබටඑදබ) දෙවතාවක් බලයට පත්වීමෙන් අනතුරුව පදවියෙන් සමු ගනිමින් සිය අනුප්‍රාප්තික ජනාධිපතිවරුන් සඳහා පූර්වාදර්ශයක් දී තිබීමය.

ඉතිහාසයට යන 19 සංශෝධනය සහ විස්ස

19 සංශෝධනය යනු ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමයට එරෙහිව එහි උපතේ පටන්ම දියත්වෙමින් පැවති විවේචනාත්මක මතවාදයේ එකතරා ජයග්‍රහණයක් විය. එමගින් ජනාධිපති ධුරයට අයත් බලතල රාශියක් පාර්ලිමේන්තුවට පැවරුන අතර යළිත් වරක් ශ්‍රී ලංකාව තුළ බි්‍රතාන්‍ය සම්ප්‍රදායේ කැබිනට් පාලනයකට අවතීර්ණවීමක් ද සළකුණු කළේය.
එපමණක් නොව, 17 වෙනි සංශෝධනය මගින් හඳුන්වා දෙනලද කොමිසන් සභා යළිත් ස්ථානගත කිරීමක්ද, ඉහළ තනතුරු සඳහා පුද්ගලයන් පත්කිරීමේදී ජනාධිපති නාමයෝජනාවලට අවසාන අනුමැතිය දීමේ බලය සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පිහිටුවමින් විධායක ජනාධිපතිවරයා සතු ඒකාධිකාරී බලතල සංවර කිරීමක්ද එමගින් සිදුවිය.
එහි කැපී පෙනෙන සුළු වගන්තියක් වන්නේ 18 වැනි සංශෝධනය බල රහිත කරමින් ජනාධිපති ධූරයට එක් පුද්ගලයකුට පත්විය හැකි වාර ගණන දෙවතාවකට සීමාකරනු ලැබීමය.
මේ අතර, 19 සංශෝධනයට එරෙහිව ද එල්ලවූ එක් චෝදනාවක් වුණේ “එය යම්කිසි දේශපාලන පවුලක් ඉලක්ක කරගත්” පුද්ගල කේන්ද්‍රීය ලක්ෂණ සහිත දේශපාලන අවහිර කිරීමක් වූ බවටය. එම චෝදනාවට පදනම් වුණේ 18 සංශෝධනය බලරහිත කරමින් ජනාධිපති ධූරකාලය දෙවතාවකට යළි සීමාකරනු ලැබීම, ද්විත්ව පුරවැසිභාවයට සහ ජනාධිපතිධූර ය සඳහා තරඟකරන්නන් වයස අවුරුදු 35 සම්පූර්ණ කළ යුතු බවට අදාළ විධිවිධානයන්ය. 19 සංශෝධනය පාර්ලිමේන්තුව තුළ නියෝජනය වෙන සියලු දේශපාලන පක්ෂවල සහයෝගයෙන් සම්මත වූ නමුත් එය ආරම්භයේ පටන්ම රටේ මහජන මතය පවා දේශපාලනමය වශයෙන් විවාදාත්මක බෙදීමක් ළකුණු කළේය.
එම 19 සංශෝධනයට එරෙහි දේශපාලන මතවාදය 2019 ජනාධිපතිවරණයෙන් සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අතර, එම බලවේගයේ නියමුවන් විසින් 19 අහෝසි කිරීම සඳහා දැන් තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සභාගත කරනු ලැබ ඇත.
එය 2020 වසර ඉතිහාසයට එක්කරනු ලබන 20 වෙනි සංශෝධනයයි.

බීබීසී සන්දේශය ඇසුරිණි.

Advertisement
Exclusive1 month ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology11 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive8 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Astrology12 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive7 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive7 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive8 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)