අදට (08) යෙදී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 121 වැනි ජන්ම දිනය වෙනුවෙන් අද උදෑසන ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක මහතාගේ පිළිරුව ඉදිරිපිට පැවැති උත්සවය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට දැනුම් නොදීමට ශ්‍රීලනිපය පියවර ගෙන ඇත.
එසේ තිබියදී හිටපු ජනාධිපතිනිය සිය සොහොයුරිය වන සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය සමග උත්සවය ආරම්භ වීමට ප්‍රථමයෙන් විත් බණ්ඩාරනායක පිළිරුවට මල් කළඹක් තැබීමට කටයුතු කළාය.
ඉන් අනතුරුව ඇය මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් තමන්ට මෙම උත්සවයට ආරාධනා කිරීමට පක්ෂය කටයුතු කර නැති බවද පැවසුවාය.
කෙසේවෙතත් ඇය එම ස්ථානයෙන් නික්ම යාමෙන් පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කර්මාන්ත රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර, තරුණ කටයුතු රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක, ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරු ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් මෙම ස්ථානයට පැමිණ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීඹට පියවර ගත්හ.