මේ ගෙවී යන්නේ කොරෝනාවේ අණසක මැද ගෙවා දමනා දෙවන සතියයි. ඔබ මේ ලිපිය කියවනා දිනය වනවිට සියල්ල වෙනස් වී තිබිය හැක. ඒ එළඹෙන සෙනසුරාදා වන විට මේ රැල්ලේ පළවෙනි රෝගියා වාර්තා වී දවස් දහහතරක් සම්පූර්ණ වන නිසාය. නමුත් මේ දින වකාවානුවලට අනුව වසංගතයක් කීකරුව නොහැසිරෙනා බව පැහැදිලිය. ඒ නිසා කිසිවෙක් කිසිවක් සඳහා කලබල නොවිය යුතුය. මේ නරක කාලය නිමා වෙන තෙක් ඉවසීමෙන් කටයුතු කළ යුතුය. ජීවිතය වනාහී මලින් තැනූ මිටියාවතක් නොවනා වග ඔබ නොදැන සිටියා නම් මේ කාලය ඔබට ඒ ගැන මතකක් කරනු ඇත. මේ ගමන යන විට ඉඳහිට මුණගැහෙන ගල් බොරලු කටු පඳුරු ඇති තැන්වල නොවැටී සිටින්නට ඔබ අප උගත යුතුය. එවිට ජීවිතය දිය ඇල්ලක් සේ බාධක පසුකොට ගලා යනු ඇත. රිදුම් දෙන දෙපා පිරිමදින් නැවතී සුසුම් හෙලන්නට නොව ආ මග දෙස බලා සතුටු කඳුළු හෙලන්නට හැකි එවිටය. මේ නරක කාලය ඉක්මනින් නිමා වෙනු ඇත. එතෙක් මේ සියල්ල දරා ගැනීමේ ශක්තිය අවශ්‍යව තිබේ. කොරෝනා නැත්නම් කොවිඞ් 19 යනු රෝගයක් වග සියල්ලෝම සිහි තබා ගත යුතුය. නමුත් අවාසනාවකට කොරෝනා එන හැම වතාවකම මිනිස්සුන්ට මුලින්ම අමතක වෙන්නේ ඒකය. මිනිස්සු හැමදාම කළේ කොරෝනා හැදුන අයට චෝදනා කිරීමය. ඒකට පුද්ගලික රූපවාහිනී නාලිකා දෙකක් මුලින්ම වගකීම ගත යුතුය. ඔවුන් එදා සිටම කළේ රට නිවනා එක වෙනුවට ගිනි තියනා එකය. ඒ ගින්නෙන් ඔබ අපි හැමෝම ඇවිලුණේය. නමුත් ඒ ගින්න අවුලුවා තබා මාධ්‍ය ආයතන තම තමන්ගේ ගොඩ වැඩි කරගත්තේය. අපි ඇවිලුණේය.
“ආං අරුං කොරෝනා පතුරුවනවා”
සමහරු කීවේය. ඔබ එක ජාතියකට ඇඟිල්ල දිගු කළේය.
“එයාලා පතුරුවනවා”
කියමින් ඉන්බොක්ස්වලට හඬ පණිවුඩ එව්වේය. සමහරු කිව්වේ,
“උන් සල්ලි කොළවල කෙළ ගාල දෙනවා” කියලාය.
“උන් ටික මරලා දැම්මා නං, මේක ඉවරයි”
කියනා අය මට පුද්ගලිකව මුණගැසී තිබේ. වහෙන් ඔරෝ කිව යුතු නැත. මුස්ලිම් මනුස්සයෙකුට කොරෝනා වැළඳුන හැම වෙලාවකම බොහෝ දෙනෙක් ඒ වෙලාවේ ඒ මිනිස්සුන්ට කෙළින්ම ඇඟිල්ල දික් කළේය. ඒ වෙලාවේ ඒ ඔවුන් අතරින් කෙනෙක් මියගිය පසු අනිත් හැම මරණයකටම වඩා ඒ මරණය ලුහුබැඳ ගිය සමාජයක් අපට තිබුණේය.
“බෝකරනවා, පැනලා යනවා, හංඟනවා…”
මේ වචන අපේ වාග්කෝෂවල කොහොමත් තිබුණ නමුත් කොවිඞ් 19ට සමගාමීව මේ වචන පාවිච්චියට ආවේ ඔය විදියටය. අපිම එදා තවත් අපි වගේම මිනිස්සු වෙනුවෙන් එල්ල කළ චෝදනා දැන් අප අතර සැරිසරමින් තිබේ. මේ වෙද්දී ජාති කුල ආගම් බේද නැත. ඒත් චෝදනා තිබේ. මේ චෝදනා කිරිල්ල ඇරඹෙන්නෙ පළවෙනි රෝගියාගේ සිටය. ඈට චෝදනා කළේය. ඈ ගැන විවිධ අනුමාන කිව්වේය. ඈට චරිත සහතික දුන්නේය. කොරෝනා ආවේ කොහෙන්දැයි ඈට නිශ්චිත උත්තරයක් දෙන්නට බැරි වෙද්දී අපේ රටේ ප්‍රධාන පෙළේ අය පවා ඈට චෝදනා කළේය. නමුත් දැං මහ එවුන්ටද උත්තර නැත.

“ආවෙ කොහෙන්ද හොයන්න, විශේෂ පරීක්ෂණයක් පටන් ගන්නවා” යැයි දැන් කියන්නට පටන් ගෙන තිබේ. එහෙමනම් දැන් මේ හැම එකාටම හොර මිනිස්සු ඉන්නවා විය හැක. නැත්නම් තවම මේකේ අග මුල හොයාගන්නට බැරි වෙන්නෙ ඇයි දැයි ප්‍රශ්නයකි. මේ කාන්තාව ගැන ලෝකයට කියා ඇගේ කතාවෙන් තම තමන්ගේ රේටින්ග්ස් හදාගත්තා මිස සමාජය නිවැරදි කිරීමේ වගකීම කිසිසේත්ම සිදුවෙන්නේ නැත. ඒ වෙනුවට කඳුළු අළෙවි කරනා මාධ්‍ය සගයනි, පපුවට අත තියා අහන්න, ඒ කඳුළු ඔබේ නම් ඔබ කුමක්ද කරන්නේ. මිනිස්සු අඬන්නෙ රිදුනමය. ඒ කඳුළු මාර්කට් එක හරි අප්‍රසන්නය. අවාසනාවකට මිනිස්සුන්ට අඬන්න ඕනෑ තරම් දේවල් මේ රටේ තිබේ. ඒත් මිනිස්සු හදන්නෙ පුළුවන් තරම් දරාගන්නටය. ඔබලා හදපු රජවරුන්ටත් උඹලගේ ඔහ එවුන්ටත් නාඬා ඉන්නට පුළුවන්ය. ඒත් අපි අයිති අඬන එවුන්ගෙ පරම්පරාවටය. ඔය කැමරාව උස්සගෙන යන උඹත් මයික් එක තේ තියෙන උඹත් දෙන්නත් අයිති අපේ ලෝකෙටය.
“ඒ නිසා පුළුවන් නම් හදපන් සිස්ටම් එකක්, අපේ එවුන්ට නාඩා ඉන්න පුළුවන් විදියට. අහස්කූරු නෙමෙයි වල්ගතරු වගේ පරම්පරා ගානකට මතක හිටින්න.”
අපි උඹලාට කියන්නේ ඒකය.
“කොරෝනා කෙල්ල”
“කොරෝනා ගෙදර”
“අරගෙන ගිහිල්ලා”
වගේ වචනවලින් කාට හරි රිදෙනවාය. අපි හැමදාම කරන්නෙ අපේ අඩුපාඩු වහගන්න ඒක අනිකකු පිට පටවන එකය. එහෙම නැත්නම් මොකක් හරි මාධ්‍ය සෙල්ලමක් දාන එකය.
පහුගිය දවස්වල ගාමන්ට් එකේ අයට අවසාන වශයෙන් පැමිණෙන්නයි ගම්පහ දිස්ත්‍රික්කයේ තැන් කීපයක්ම කීවේය. අහල පහළ අය පවා අවේ පයින්ය. සමහරු කිලෝමීටර දහය පහළොව පයින් විත් තිබුණේය. බලධාරීන් කිසිම සැලසුමක් නැතිව යළිත් වරක් අසරණ කළේ ඒ ගම්වල අහිංසක මිනිස්සුන්වය. ඉන්නා තැනක් දැනුම් දුන් පසු ඒ තැනට ගොස් එක්ක ඒම කරගන්නට තරම් හයියක් නොවුන විට මාධ්‍ය හරහා ඒ වරද අහිංසක ගෑනු ටිකක් මත පටවා ඇඟ බේරා ගත්තේය.
ඒ අතර බොගවන්තලාවේ ලැයිමකින් කෙල්ලක් සහ පිරිසක් රැගෙන එන අයුරු ටීවී එකේ පෙන්නුවේය. පොලීසිය හෝ කවුරු හෝ රාජ්‍ය නිලධාරියෙක් ඒ ගමනට කැමරාකාරයෙක්ව කැන්දාගෙන යාම සම්පූර්ණ වශයෙන්ම වරදකි. රෝගී වූ අයෙක්ගේ පුදගලිකත්වය ආරක්ෂා කළ නොහැකි නම් ඒ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නට තරම් කොන්දක් ආණ්ඩුවට තිබිය යුතුය. ගාමන්ට් එකේ අයට එන්නැයි කියූ ගම්පහ තැන් ටිකත් කිලෝමීටර ගණන් දුර වෙද්දී, බොගවන්තලාවේ සිට ඈ කොහොම එන්නදැයි කිසිම මාධ්‍යයක කියනු ඇහුනේ නැත. හැබෑවටම ඈ එහෙම ආවානම්, ඈ පැමිණි බස් එකේ ආ අයත් බැස ගිය අයත්, රියදුරුත්, කොන්දොස්තරත් අමාරුවේය.
“ඉතිං PHIට කියන්න පුළුවන්නෙ”
එය පහසුවෙන් ඔබට කිව හැක. නමුත් කරුණාකර ඔබ බලන්න ඔබේ ජංගම දුරකථනයේ ඔබේ ප්‍රදේශයේ PHI ගේ දුරකථන අංකය තිබේද? එය මා ළඟ නම් නැත. PHI ලා හොයන එක ලේසි නැත. වරක් පේරාදෙණිය සරසවියේ උවමනාවකට එහි මහාචාර්යවරයෙක් PHI කෙනෙක් හොයන්නට ගත් වෙහෙස වරක් ඔහු මට කීවේය. පේරාදෙණිය සරසවියේ මහාචාර්යවරයෙක්ට PHI කෙනෙක් හොයා ගන්නා එක මේ තරම් අමාරු නම් බොගවන්තලාවේ ලැයිමක කෙල්ලෙක්ට PHI කෙනෙක් හොයා ගැනීම වනාහී සිහිනයකි. ඒ නිසා චෝදනා කිරීමට පෙර තව පාරක් හිතිය යුතුය.
ඈ කළේ හොඳම දේය. ඈ පිටට නොපැමිණ උන්නාය. මාධ්‍යකාරයෝ ඒ ගෙවල් අස්සෙ රිංඟා කළේ තව කෑල්ලක් හොයා ගත් එකය. මාධ්‍ය ආයතනවල ගෙවන්නේ කෑලි ගානටය. මේ වෙලාවේ මාර්කට් කොරෝනා නිසා මේ අයියලා කොරෝනා හොයමින් යයි.
නමුත් කොරෝනාවේ හැබෑ කතාව ඔබ දන්නේ නැත. අපි කාටවත්ම චෝදනා නොකරමු. නමුත් යථාර්ථය බොහෝ වෙනස් බව පමණක් ඔබට කිව යුතුය.
“දූනගහ බටේපොළින් ගිය දෙන්නෙක් දඹුල්ල වනසයි” කියා වරක් ප්‍රවෘත්තියක් පළ වුණේය. ඒ ගැන අපි බලවත් විරෝධය පළකරමු. එය කිසිසේත්ම හිතාමතා දඹුල්ලක් වනසන්නට ගිය ගමනක් නොවේ. ඔවුන් ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයන්ය. සාමාන්‍ය දඹුලු යෑම ඔවුන්ගේ ජීවිතයේ කොටසකි. ඒ නිසා ඔවුන් කොරෝනා පතුරුවන්නට දඹුලු ගියේවත්, කොරෝනා තිබුණ බවක් දැන ගියේවත් නැත. ඒ වන විට ඔවුන් අවාසනාවන්ත ලෙස මේ රෝගයට ගොදුරුවී හිටි බව කිසිවෙක් දැන උන්නේ නැත.
මේ අය කණ්ඩායමක් සමග කතරගම ගියේ පහුගිය සති අන්ත නිවාඩුව සමගය. ඒ ගමනට ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කීප දෙනෙක්ම සහභාගී වූ අතර ඒ අය අතර බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙ සුපවයිසර්වරයෙක්ද උන්නේය.
ඒ වෙද්දී ඔහු කොරෝනා ආසාදිතව සිට ඇති නමුත් ඒ ගැන හාංකවිසියක්වත් කිසිවෙක් දැන උන්නේ නැත.
මේ මිනිස්සු කතරගම ගියෝය. මග තොට නැවතුණේය. කඩවල්වලින් කෑවේය. තේ බිව්වේය. ඒවා වැරදිනම් ඔප්පු කරන්න. පහුගිය කාලයේ එසේ නොකළ කෙනෙක් පළවෙනි ගල ගහන්න. ඔවුන් කතරගමට පූජා වට්ටි දී ආපහු දූනගහ ආවේ ඇල්ල කතරගම පාරෙන්ය. ඇල්ල ළඟ උයාගෙන කන නඩය නුවරඑළියට පහ විතර වෙද්දී එන නමුත්, සීතල නිසා බැස්සේ නැති බව අප සමග කීවේය. පසුව නිවෙස්වලට විත් ගෙනා දොදොල් අරවා මේවා හැමෝටම බෙදා දුන්නේය. ඊළඟට වේයන්ගොඩටත්, දඹුල්ලටත් ගිය එළවළු කඬේ කට්ටිය හතරවෙනිදා එළවළු කඩයේ බඩු වික්කේය. ඇඳිරි නීතිය දාන්නට පෙර ඒ කඩයේ ඕනෑතරම් සෙනග උන්නේය. දූනගහ විශාලතම තොග එළවළු කඩය නිසා අහල පහළ හැම ගමකම මේ කඩෙන් එළවළු ගෙන යන එක සාමාන්‍ය සිරිතකි. මෙය තුන්වෙනිදා රාත්‍රියේ සිට හතරවෙනිදා ඇඳිරිනීතිය වැටෙනා තෙක් සාමාන්‍ය පරිදි සිදුවිය. මේ අය අල්ලපු කඩෙන් තේ බිව්වේය. මේ අයගේ දරුවෝ දොදොල් අරගෙන පාසල්වලටත් ගියෝය.
කොරෝනා කතාව ආරංචි වෙද්දී සියල්ල සිදුවී අවසන්ය. දැන් මේ කතරගම ටි්‍රප් එක ගිය නඬේ කීප දෙනෙක්ම ලෙඩ වී අවසන්ය. ඔවුන් බොහෝ අයට කිසිම රෝග ලක්ෂණයක් නොමැති නමුත් ඔවුන් ප්‍රතිකාර ලබමින් සිටී. ඒ අය අතර දරුවෙක්ද සිටිනා අතර මේ පවුල්වල බොහෝ අය ස්වයං නිරෝධායනයේය. නමුත් මේ මිනිස්සුන්ට කිසිවෙක්ට ඇඟිල්ල දික් කිරීමේ අයිතියක් නැත. ඔවුන් කළේ සාමාන්‍ය පරිදි ජීවත් වීමය. ඒ අතර ඔවුන් සිහිනෙන්වත් නොසිතූ, නොවිය යුත්තක් සිදුව තිබුණේය.

නමුත් මේ හරහා දූනගහ අතිශය අනාරක්ෂිත බවට පත්ව තිබේ. මේ එක කඩයකට ගිය පිරිස තවත් කඩයකට නොගිය බවට සාක්ෂි නොමැත. මේ නිසාම දූනගහත්, දිවුලපිටියත්, මිනුවන්ගොඩත්, වේයන්ගොඩත් පමණක් නොව මුළු රටම එකසේම අනාරක්ෂිතය. ඉන් එහා කියන්නට දෙයක් අපි දන්නේ නැත.
එක ක්‍රීඩා පිටියක ක්‍රීඩා කළ අයගෙන් කෙනෙක්ට හෝ ඒ අයගේ පවුලේ අයට මේ රෝගය ආසාදනය වී ඇති බවට අහන්නට ලැබෙන ආරංචි ඕනෑ තරම්ය. සාමාන්‍යයෙන් බ්‍රැන්ඩික්ස් එකේ වැඩ කරන අයටද සතිඅන්ත නිවාඩුවට ක්‍රිකට්, වොලිබෝල් හෝ වෙනත් ක්‍රීඩාවක් කරන්නට තහනමක් නැත. ඒ නිසා එවැනි දේ සිදුනොවුණාය කියා නිගමනවල එළැඹ වැඩ කරයි නම් වරදින්නේ අපටමය. ඒ වගේම පසුගිය සතිඅන්ත නිවාඩුවට සිය පෙම්වතා සමග කොහෝ හෝ ගිය තරුණියෝත්, පෙම්වතිය සමඟ ඇවිදින්නට ගිය තරුණයෝත් මේ කර්මාන්ත ශාලාවේ ඕනෑ තරම් සිටිය හැක. ඔවුන් ගිය කඩ සාප්පු, චිත්‍රපට ශාලා, වෙරළ උද්‍යාන, හෝටල් ආදිය සමහර විට ඔබ අදත් පාවිච්චි කරනවා විය හැකිය. ඒ නිසා මේ වතාවේ කිසිවෙක් කිසිවකින් සමත් නැත. ඒ අතර ගාමන්ට් එකේ කොල්ලෙක් හෝ කෙල්ලෙක් ඒ ගාමන්ට් එකේම අය සමග ප්‍රේම සබඳතා ගොඩනගා ගතයුතු බවට නීතියක් නැත. ඒ නිසා දැන් ඔබට ඔබේ ප්‍රේමය එළි නොකර හෝ ආරක්ෂා වීමට දිනය එළැඹ තිබේ.
පසුගිය දිනක බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ වගකිවයුතු නිලධාරියෙක් අපට කී කතාවක් මෙසේ ලියා තැබිය යුතුය. ඒ ලියන්නේ ඔබ කිසිවෙක් බය කරන්නට නොව ආරක්ෂා කරන්නටය. ඔහුට අනුව සාමාන්‍යයෙන් බ්‍රැන්ඩික්ස් එකේ කොල්ලෝ ඉරිදා උදේම කරන්නේ මිනුවන්ගොඩ පොළට යන එකය. පසුගිය පළමුවැනිදා නිවාඩු දිනයක් වන අතර බ්‍රහස්පතින්දා දිවුලපිටියේ පොළය. මේ දෙක අතරින් දිවුලපිටියේ පොළ ප්‍රදේශවාසීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති අතර මිනුවන්ගොඩ පොළ නතර කරන්නේ ඊට ලොකු පිරිසක් පැමිණ ගිය පසුවය. නමුත් මේ පොළවල් දෙකම අනාරක්ෂිතය. ඒ ගැන කිසිම තැනක කතා නොකෙරෙන අතර, කිසිවෙක් කිසිවෙක් නිරෝධායනය කළ එකක් ගැන සඳහනක් නැත. නමුත් දිවුලපිටියට ආසන්න ගම්මානවලින්, විශාල වශයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වෙමින් තිබේ.
ඒ අතර පසුගිය මාසයේ අවසන් සතිය සහ ඔක්තෝබර් මුල සතිය ගෙවී යන්නෙ ගම්පහ පුද්ගලික පන්ති විශාල සංඛ්‍යාවක අවසන් සාද සමඟය. මේවා සඳහා මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ වැනි ප්‍රදේශවලින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල වශයෙන් සහභාගි වීම සාමාන්‍ය සිරිතකි. මෙහි විශේෂත්වය වෙන්නේ අවසන් දිනයේදී සිසුන් එකිනෙකා වැළඳ ගනිමින්, අතට අත දෙමින් සමුගෙන යෑමය. ඒ අතර එක් දරුවෙක් රෝගියෙක් වේ නම් ඉතිරි කොටස ලිවිය යුතු නැත. නමුත් අවාසනාවකට මෙවැන්නක් ගැන කිසිවෙක් විශේෂ අවධානයක් යොමුකර නැත. මේ අතර දැනගන්නට ඇති පරිදි එවන් එක් පෞද්ගලික පන්තියකට කොරෝනා ආසාදිත ශිෂ්‍යයෙක් සහභාගි වී තිබේ.
ඒ වගේම ගම්පහ ප්‍රධාන පෙළේ පාසලේ ශිෂ්‍යයෙක්ට සිය පළමු දින උසස් පෙළ විභාගයට සහභාගි වන විට ඡක්‍ඍ වාර්තාව පැමිණ තිබ්බේ නැත. මේ වගේ කතා මෙහේ ඕනෑ තරම්ය. කොරෝනා මේ වතාවේ ආවේ නරකම දවසකය. නරකම විදියටය. නමුත් මේ ප්‍රශ්නය විසඳා ගැනීම ඇත්තේ ඔබේ සහ අපේ අතේය. නමුත් ඊට අවශ්‍ය පසුබිමක් හැදෙන වගක් නම් පේන්නේ නැත. කොහේ කොතැන කවුරු කටමැත දෙඩුවත් ලෝකයම කොරෝනා හමුවේ ෆේල්ය. අපද ඊට වඩා හරියක් බලාපොරොත්තු විය නොහැක. ඒ වගේම සමහර සැලැසුම් නිසාම මේ ගැටලුව නරක අතට හැරෙන්නට පෙර ප්‍රශ්නයේ ගැඹුර අවබෝධ කරගත යුතුය.
පසුගිය දිනක නිරෝධායන මධ්‍යස්ථානවල දිවුලපිටියෙන් රැගෙන ගිය අය බස්වල අරගෙන ගිය විදිය සම්පූර්ණයෙන්ම අවුල් සහගතය. සාමාන්‍යයෙන් බස් රථවල මගීන් ගෙනයෑමේ ක්‍රමවේදයක් තිබේ. ඒ එක සීට් එකට එක්කෙනෙක් විදියට බව අපිට කීවේ සෞඛ්‍ය බලධාරීන්මය. ඒත් ඒ කිසිම ක්‍රමවේදයක් මේ නිරෝධායන ගමනට අදාළ වුණේ නැත. ඒ හැමෝම එකම බෝට්ටුවේ බවට වූ පූර්ව නිගමනය අනුව විය හැක. නමුත් මේ අය අතරින් සමහර අය මේ වන විට ආසාදිතයන්ය. ඒ අයගෙන් කීපදෙනෙක් ආසාදිතයන්ව උන්නේ නම් සියල්ලන්ම ආසාදිතයන් වීමේ ප්‍රවණතාවක් තිබේ. ඒ ප්‍රවණතාවය අනුව සියලු නිගමන අවුල්සහගත වනු ඇත. මේ අයට කොරෝනා බෝවෙන්නේ කොහෙන්ද? කාගෙන්ද? කියන එක අවුල් සහගත වනු ඇත. එවිට ප්‍රශ්නය වන්නේ ඊළඟ ආශ්‍රිතයන් සොයා යෑමේය. යම් කෙනෙක් කොරෝනා වැළඳුණේ නිරෝධායන බස් එකේදී නම් ඔහුගේ හෝ ඇයගේ ආශ්‍රිතයන් සොයා වෙහෙසීමෙන් වැඩක් නැත. ඒ හරහා රජයටත්, PHI ටත් අමතර බරක් පැටවේ. ඒ වගේම පුද්ගලයෙක්ට හෝ පිරිසකට අනවශ්‍ය පීඩනයක් දරාගන්නට සිදුවේ. ඒ නිසා නිරෝධායනයට අදාළ බලධාරීන් මේ ගැන දැනසිටිය යුතුය.
මේ අතර මේ කොරෝනා රැල්ල හමුවේ වඩාත් අවදානම් ප්‍රදේශ ලෙස යම් නිශ්චිත ප්‍රදේශ කීපයක් වසා දමා තිබේ. ඒ හරහා ආසාදිතයන්ද ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ද ලෙස යම් පිරිසක් හඳුනාගෙන තිබේ. ඊට නිසි පිළියම් යොදා ඇත්දැයි අපිට නොතේරේ. සමහර තැනක කර්මාන්ත ශාලාවල කොරෝනා රෝගීන් වාර්තා වී ඇතත් ඒවා දොර වහගෙන වැඩ කරනා බව දැනගන්නට ලැබී තිබේ. මේ සෙල්ලමම කරන ලද බ්‍රැන්ඩික්ස් එක රටම විශාල අවදානමක දැමූ බව අපි පාලකයන්ට යළි මතක් කරදිය යුතු නැත. මේ ලියන මොහොතේ පවා අපි ඊට වන්දි ගෙවමින් හිඳිමු. අපේ කාලය නිරපරාදේ නාස්ති වෙමින් යයි. ඒ ගැන වගකියන්නට කෙනෙක් නැත. ඒ ගැන කතා කළාය කියා වැඩක් නැත. නමුත් ලියකියවිලිවලට අනුව මිනුවන්ගොඩ සහ දිවුලපිටියේ ජනගහනය තුන්ලක්ෂ විසිදෙදහස් දෙසිය හැත්තෑ දෙකකි. මේ ජනගහනයට අනුව දවසකට පන්දහස ගණනේ ඡක්‍ඍ කළ හැකි නම් සියලුම ජනතාවගේ PCR පරීක්ෂණ අවසන් කරන්නට දින 65කින් හැකියාව තිබේ. සමහර විට මේ ගණන් හිලව්වල වෙනසක් වුවද මාස දෙකක් පමණ ඇතුළත මේ මිනුවන්ගොඩ පොකුරේ ගැටලුව යම් තරමකින් හෝ නිරාකරණය වෙනු ඇත. ඒ අතර මේ ප්‍රදේශ කීපයේම ජනතාව දැනට ඉන්නේ යම් තරමක හෝ සීමා කිරීම්වලට යටත්වය. නමුත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පිට සියලුම දිස්ත්‍රික්කවල මේ වන විට සාමාන්‍ය පරිදි කටයුතු සිදුවේ. ඒ අනුව අවදානම ඇත්තේ ඒ දිස්ත්‍රික්කවලටය. මහත්වරුනි, නෝනාවරුනි අපි අද විඳින කරදරය හෙට ඔබ නොවිඳිය යුතුය. අසාදිතයන් ඔබේ නගරවල, කඩ සාප්පු, බාබර් සාප්පුවල නොසිටි බවට කිසිවෙක්ට නිශ්චිතව සඳහන් කළ නොහැක. විශේෂයෙන්ම දීර්ඝ සතිඅන්තයක විවේකය සමඟ අනුරාධපුරය, කතරගම, මහනුවර වැනි පොදු සංචාරක ස්ථානවලට මේ අය ආගිය බවට හිතන්නට ඕනෑ තරම් කරුණු තිබේ. නමුත් ඒ ගැන කිසිවෙක් කිසිවක් කියනා බවක් අපිට නොපෙනේ. ගම්පහ පන්තිවලට ආ ගිය ශිෂ්‍යයන් ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නොවන බවත් සිහි තබාගත යුතුය. බලධාරීන්ට කිසිසේත්ම අමතක නොවිය හැකි තවත් කරුණක් තිබේ. මේ නගර සියල්ලම ඇත්තේ කොළඹට ඉතාම කිට්ටුවෙන්ය. මීරිගම, වේයන්ගොඩ සහ ගම්පහ ප්‍රධාන ස්ටේෂන් තුනේ නොනවත්වා දුවන කෝච්චි එකකට හෝ දෙකකට වඩා තිබිය නොහැක. නුවර පාරක්, කුරුණෑගල පාරත්, හලාවත, මීගමුව පාරත් මේ අයට පහසුවෙන් කොළඹට ළඟාවිය හැකි ප්‍රධානතම මාර්ගයන්ය. ඒ හරහා කොළඹ ගොස් ආපසු එන එක පැය කීපයක වැඩකි. නමුත් රටේ ප්‍රධාන වාණිජ නගරයත්, එහි යන එන පිටස්තර ජනතාවත් මේ අවදානමෙන් මුදවා ගන්නට තවමත් පියවරක් ගත් බවක් නොපෙනේ.
ඒ නිසාම ප්‍රශ්නය හිතනා තරම්ම සරල නැත. උත්තරය ඇත්තේ ඔබ සහ අප සතුවය. ඔබ ඔබේ ආරක්ෂාව ගැන හැමදාකම හැම වෙලාවකම සිතිය යුතුය. මේ වෛරසය ඔබට එක වරදකට වඩා කරන්නට ඉඩ දෙන්නේ නැත. ලෝකයේ සංඛ්‍යා ලේඛනවලට අනුව ගත් විට සෑම සිය දෙනෙක්ගෙන්ම තිදෙනෙක් මියගොස් තිබේ. නමුත් ලංකාවේදී අපි හිතා ගන්නට බැරි තරම්ම වාසනාවන්තය. ඒ නිසාම අපි මේ සතුට පරිස්සම් කරගන්නට කල්පනාකාරී විය යුතුය. ලෝකයේ තවමත් කොරෝනාවලට බෙහෙතක් නැත. රෝහල්ගත කළාය කියාද කරන්නට මහ දෙයක් නැත. අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් වේ නම් ඔවුන්ට හුස්ම ගැනීමේ ආධාරක සවි කිරීමත්, වෙනත් රෝගාබාධ සහිත නම් ප්‍රතිකාර කිරීමත් ඇර වෙන දෙයක් නැත. නමුත් බෙහෙත් නැතිවම රෝගීන් මිලියන ගණනක් සුවවී තිබේ. ඒ නිසා වඩාත් වටින්නේ බිය වීම නොව ආරක්ෂා වීමය. මේ හරහා රටටත් ඔබටත් සිදුවෙන ආර්ථික හානිය සියල්ලටම වඩා විශාලය.
මිනිස් පැය ලක්ෂ ගණනක් නිකරුනේ නාස්ති වෙමින් යයි. ඒ වෙනුවට රජයෙන් රුපියල් පන්දාහක් දුන්නාය කියා මේ ප්‍රශ්න එකක්වත් විසඳෙන්නේ නැත. මේ ලංකාවේ ආර්ථික මර්මස්ථාන කීපයකි. එක පැත්තකින් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයයි. අනික බියගම ආර්ථික කලාපයයි. මේ දෙකම යම් හෙයකින් වසා දැමීමට සිදුවුවහොත් ලංකාවේ ආර්ථිකයට යන එන මං නැත. අනිත් අතට මේ පහර කෙළින්ම එල්ල වෙන්නේ ලංකාවේ ආර්ථිකයට විශාලම දායකත්වයක් සපයන ගාමන්ට් ක්ෂේත්‍රයටය. ඒ අතරම සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම ඉවර වී අවසන්ය. ඒ අතර විදෙස් රටවල සිට ලංකාවට සල්ලි එවූ අය අතරින් ලක්ෂ ගණනකට අද රැකියා නැත. අනිත් අය ඉන්නේ හැකි පළමු වෙලාවේම ලංකාවට පැන ගන්නට බලාගෙනය. මේ අවසන් දෙකම සිදුවී තිබුණේය. දැන් ගාමන්ට්වල හැම තැනින්ම රෝගීන් මතුවෙමින් තිබේ. ඒ හරහා තවදුරටත් පහර වැදුනේ ලංකාවේ ආර්ථිකකයටය.
රට වහනා තැනට ආවොත් ඉන්ධනවලින් ලැබෙන සොච්චමත් නැත. ඊළඟට මත්පැන් සහ සිගරට් ආදායම අවසන් වූ පසු තත්ත්වය තවදුරටත් නරකය. අපිට දැන් ඉතිරිව ඇත්තේ තේ ආදායම පමණි. වතුකරය බේරා ගැනීම ගැන රජයට දැන් විශාල වගකීමක් තිබේ. කර්මාන්ත ශාලාවල ජන ඝනත්වයට වඩා ලැයිමේ ජන ඝනත්වය වැඩිය. පොදු පරිහරණ බහුලය. බෝවීමේ ඉඩ වැඩිය. සෞඛ්‍ය පහසුකම් තියෙන්නේ අන්තිම අඩියේය. ඔවුන් කන්නේ හම්බකරගත්ත දේය. ඒ නිසා වහාම වතුකරයේ ඡක්‍ඍ කරන්නට පටන්ගත යුතුය. නැත්නම් වෙන්නේ කොරෝනා එදා සිටම අපි කළා වගේම අස්සයා පැනලා ගිය පසු ඉස්තාලය වහන්නටය.
අපි මේ කියන්නේ අපිට වුණ දේ තවත් කෙනෙක්ට නොවෙන්නට අවශ්‍ය නිසාය. දිවුලපිටියේත් මිනුවන්ගොඩත් ගම් පිටින් වසා දමමින් තිබේ. ඒවා මාධ්‍යවල ඔබ දකින්නේ නැත. මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සඳුන් විජේසූරිය කීප වරක්ම ගමේ මිනිස්සුන්ට අවශ්‍ය බෙහෙත් හොයාගෙන කොළඹ සිට කුරුණෑගල තෙක් ගිය බව කීවේය. ඉඟුරු කොත්තමල්ලි, කටුවැල්බටු පත්පාඩගාම් ආදිය අවශ්‍ය පරිදි හොයා ගන්නට නොහැකි විය. සඳුන් මන්ත්‍රීතුමාට විටමින් ක් හොයාගන්නට අමාරු වූ හැටි කියූ විට බය හිතෙන්නේ හෙට රට ගැනය. දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්දික රාජපක්ෂ ඇතුළු පිරිස කපක් සිටුවා දෙවියන්ගෙන් ඉල්ලා හිටියේ මේ ප්‍රශ්නයෙන් අප නිදහස් කර දෙන ලෙසය. මේ ගතව යන්නේ කොරෝනා සමයේ මුලද මැදද අගද කියා අප දන්නේ නැත. නමුත් මේ නුහුරු පාළුව අපි දරාගනිමින් සිටිමු. මේ පීඩාව දරුණුය. එය විඳින්නට ඔබට ඉඩක් නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු. දවසකට හතර පස් වතාවක් ඇම්බියුලන්ස් හඬ ඇසේ. පොලීසිය සහ හමුදාව ගම සිව් කොන මුරකාවල්ලා සිටී. අපි සියල්ල දාරගනිමින් හිඳිමු.
කවුරු මොනවා කීවද ඔබ ඔබේ ආරක්ෂාව ගැන සිතිය යුතුය. මාස්ක් නොදාන්නැයි කී පබාලා දැන් පෙනෙනා මානෙක නැත. නමුත් කොරෝනා ඇත. අත හෝදනා එකත්, සැනටයිසර් එකත් පමණක් නොව සියලුම ආරක්ෂක විධි විධාන පිළිපැද්දාට ප්‍රශ්නයක් නැත. දැන් මේ ප්‍රශ්නය මේ සියල්ලටම වඩා විශාලය.
ජීවන පහන් තිළිණ