විවාදයන් සඳහා කාලය වෙන් කිරීමේදී ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් 60%ක කාලයක් තමතමන්ට ඉල්ලා සිටීම මුල්කැරගෙන ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් මත පළමු පක්ෂ නායක රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී විපක්ෂයේ නියෝජිතයන් විසින් තමන්ට වැඩි කාලයක් දෙන්නැයි ඉල්ලා තිබේ.
සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තු විවාද වල දී විපක්ෂයට වැඩි කාලයක් ලබාදෙන නිසා මෙවරද විපක්ෂයට 60% සහ ආණ්ඩු පක්ෂයට 40% ලබාදෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්‍ෂ නියෝජිතයින් ඉල්ලා තිබේ.
නමුත් ඊට දැඩි විරෝධය පළ කර ඇති සභා නායක දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පෙන්වා දී ඇත්තේ ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 150කට වඩා සිටින නිසා ආණ්ඩු පක්ෂයට 60%ක් සහ විපක්ෂයට 40% බැගින් වෙලාවන් ලබාදීම සාධාරණ බවයි.
එසේ නොවන්නේ නම් ජනතා ඡන්දයෙන් තේරී පත්වී සිටින ආණ්ඩුවේ මහජන නියෝජිතයන්ට දැඩි අසාධාරණයක් වන බවද ඔවුන් පවසා තිබේ.
එහිදී ඊට එකඟ නොවි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා ඇත්තේ එසේ කටයුතු නොකළහොත් ආණ්ඩුවට තනිවම පාර්ලිමේන්තුව කරගන්නට ඉඩ දී විපක්ෂය ඉවත් වී යන බවයි.
පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තත්ත්වය සමනය කරමින් පවසා ඇත්තේ මේ ගැන ඉක්මනින්ම තීන්දුවක් ගන්නා බවය.