මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් හමු වු කොවිඩ් ආසාදිතයින් සම්බන්ධයෙන් විවිධ පැතිකඩ ඔස්සේ පරීක්ෂණයන් සිදුකර මේ වන විට යම් නිගමනයකට එළැඹ ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
නමුත් ඒ පිළිබඳ අවසන් තීරණයකට නිශ්චිත වශයෙන් එළැඹෙන තෙක් පැවසීම සදාචාරාත්මක නොමැති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.
අද උදෑසන රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් යුද හමුදාපතිවරයා මෙම අදහස් පළ කළේය.
“විවිධ පැතිකඩවලින් ගිහිල්ලා විශේෂයෙන්ම පිටරටින් ආපු, යම් තැනක මේක රැඳුන තත්ත්වයක් තියෙනවා. අපිට ඉදිරියේ දී ඒක දැනගන්න පුළුවන් වෙයි. ඔබ දන්නවා පිට රටින් එනවා. ඇවිල්ලා හෝටල්වල ඉන්නවා. සමහර වෙලාවට ඒවාගෙන් අතපසුවීම් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. අපි මේක ඉදිරි දින කිහිපයේ දී ස්ථිර වුණොත් කියනවා. බොහෝ දුරට ස්ථීරවීමේ හැකියාවකුත් තියෙනවා. එහෙම වුනොත් අපි රටට වහාම හෙළිකරනවා.“යනුවෙන් ද යුද හමුදාපතිවරයා එහිදී පැවසීය.
මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 2077 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.