හේමා මැතිනියට කතා කරපු ලයිස්තු මන්ත්‍රී අහගත් කතාව!
තිරුකුමාර් ඩුබායි සිට ඇත්ත කතාව කියයි!
විමල්ලාගෙන් ලැජ්ජාව වහගන්න කොන්දේසි සහ මඩ!
ඩීල් දේශපාලනය යළි එළියට!
ඩීල් දේශපාලනය මේ රටට අලුත් අත්දැකීමක් හෝ අමුත්තක් නොවේ. ගෙවුණු වසර කිහිපය පුරාම ලංකා දේශපාලනය දෙස හොඳින් බලන්නෙකුට ඕනෑම තීරණාත්මක අවස්ථාවකදී පාර්ලිමේන්තුව ඇතුළේ හෝ වේවා පාර්ලිමේන්තුවෙන් පිටතදී හෝ වේවා සිදුව ඇති ඩීල් දේශපාලනය පිළිබඳව පැහැදිලිව දැකගන්නට පුළුවන. එය අනුගමනය කරමින් පසුගිය සතියේ යළිත් වතාවක් මේ ඩීල් දේශපාලනය කරළියට පැමිණියේ මේ වන විට ආණ්ඩුව ඇතුළේ මතුව ඇති බරපතළ දේශපාලන අර්බුදය මුල්කරගෙනය. එහි පළමු දේශපාලන ඩීල් එක දැකගන්නට ලැබුණේ නියෝජ්‍ය කතානායකවරයා තේරීමේ තරගයේදීය. දෙවැනි ඩීල් එක දැකගන්නට ලැබුණේ මේ වන විට ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනා මුල්කරගෙනය.
විමල්ලා ගම්මන්පිලලා එදා බැසිල්ට පස්පඩංගුවේ බැන්න හැටි!
ආණ්ඩුව දැනට මුහුණ දී තිබෙන දේශපාලන අර්බුදය ආරම්භ වූයේ හතළිහක පමණ ආණ්ඩුව ඇතුළේ සිටි කණ්ඩායමක් තමන් ස්වාධීන වන බව රටටම කියමින් විපක්‍ෂයේ අසුන් ගැනීමත් සමගය. මෙම කණ්ඩායම විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, මෛත්‍රිපාල සිරිසේන ඇතුලු පිරිසකගෙන් සමන්විත වූහ. මෙහිදී ආණ්ඩුවෙන් ඉවත්වෙමින් ඔවුන් දැඩිව චෝදනා එල්ල කළේ හිටපු මුදල් අමාත්‍ය මෙන්ම පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වූ බැසිල් රාජපක්‍ෂටය.
’බැසිල් මේ ආණ්ඩුව විනාශ කළා…’
‘බැසිල් කියන්නේ අවලක්‍ෂණ ඇමෙරිකානුවෙක්…’
‘මේ කපුටු රාජපක්‍ෂලා එක්ක අපි ආයෙ කිසිම කැබිනට් එකක වාඩි වෙන්නේ නැහැ…’
‘රාජපක්‍ෂලත් එක්ක අපේ තිබ්බ සම්බන්ධය අපි අවසන් කළා…’
එදා විමල් ඇතුළු කණ්ඩායම බැසිල් ඇතුලු රාජපක්‍ෂවරුන්ට දැඩිව පහර දෙමින් ආණ්ඩුවෙන් එළියට බැස්සේ මේ ආකාරයටය. එකල පැවැති හැම රූපවාහිනී වැඩසටහනකදීම, දේශපාලන සාකච්ඡාවකදීම විමල් සහ ඔහුගේ කණ්ඩායම බැසිල්ව විවේචනය කළ ආකාරයට රටේ සියලුම දෙනා සිතුවේ ආයෙ ජීවිතයටවත් විමල් හා බැසිල් මුහුණට මුහුණ බලාගෙන කතාවත් නොකරනු ඇතැයි කියාය.
බැසිල් විමල් මුහුණට මුහුණ සාකච්ජාවක! ගෝඨා මහින්දට එන්න කියයි! ජොනීලා බෑ කියයි!
නමුත් අප මුලින් කීවා වාගේම පවතින දේශපාලන අර්බුදය මුල්කරගෙන පසුගිය සතිය ආරම්භ වන විට ආණ්ඩුව ඇතුළේ දේශපාලන ඩීල් එකක් ආරම්භ විය. ඒ සඳහා මුලපිරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාය. ඒ අනුව ජනාධිපතිවරයා ඉකුත් සතිය අවසානයේදී මහින්දට කතා කොට කීවේ විශේෂ සාකච්ඡාවක් සඳහා බැසිල් ඇතුළු පොහොට්ටුවේ නියෝජිතයන් සමග ජනපති මැදුරට පැමිණෙන්න යැයි කියාය. ඊට ප්‍රතිචාර දක්වමින් මහින්ද කියා සිටියේ තමන් සති අන්තයේ කාල්ටන් බලා පිටත්ව යන බවත්, අවශ්‍ය කාරණයක් බැසිල් සමග සාකච්ඡා කරගන්නා ලෙසත්ය. ඒ අනුව මහින්ද බැසිල්ට කතාකොට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන ලෙසත්, එම සාකච්ඡාවට ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන එක්කරගන්නා ලෙසත් දැනුම් දී සිටියේය. එම දැනුම් දීමට අනුව බැසිල් රෝහිතටත්, ජොනීටත් සාකච්ඡා සඳහා පැමිණෙන්නට ආරාධනා කළද ඔවුන් දෙදෙනාම කියා සිටියේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට තමන්ට නොහැකි යැයි කියාය. ඒ අනුව බැසිල් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවට පොහොට්ටුව පාර්ශ්වයෙන් සාගර කාරියවසම් සහ සංජීව එදිරිමාන්න එක්කරගනු ලැබීය.
ගෝඨා බැසිල් එක්ක කතා කරයි! විමල්ට කෝල් කරයි!
මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා තිදෙනාටම පෙන්වා දුන්නේ මතුව ඇති දේශපාලන අර්බුදය හමුවේ ස්වාධීනව සිටින මන්ත්‍රී කණ්ඩායම සමග කිසියම් එකඟතාවක් ඇතිකර ගතයුතු යැයි කියාය. එමෙන්ම විමල් පාර්ශ්වය සමග සාකච්ඡා කරද්දී බැසිල්ද ඊට සහභාගි විය යුතු බවට ජනාධිපතිවරයා යෝජනා කර සිටියේය. එහිදී සාකච්ඡාව හසුරුවන ආකාරය පිළිබඳවත්, යම් යම් එකඟතා ඇතිකරගත යුතු ආකාරය පිළිබඳවත් ඔවුන් අතර දීර්ඝ කතාබහක් ඇති විය. ඉන් පසු ජනාධිපතිවරයා කළේ විමල් පාර්ශ්වයට ඇමැතුමක් ලබා දී සාකච්ඡා සඳහා පැමිණෙන ලෙසට ආරාධනා කිරීමය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ පොහොට්ටුව සමග නිල වශයෙන් සාකච්ඡාවක් මෙහිදී පැවැත්විය යුතු යැයි කියාය.
බැසිල් විමල් හොදට කතා කරයි! එළියට ඇවිත් පචයක් කියයි!
ජනාධිපතිවරයාගේ එම ආරාධනාව අනුව ඉකුත් සති අන්තයේ එම සාකච්ඡාව ආරම්භ වූ අතර ඊට පොහොට්ටු පාර්ශ්වයෙන් බැසිල්, ජී. එල්., සාගර කාරියවසම් සහ සංජීව එදිරිමාන්න සහභාගි වූ අතර, ස්වාධීන යැයි කියාගන්නා කණ්ඩායම නියෝජනය කරමින් විමල්, උදය, දයාසිරි, නිමල් සිරිපාල ඇතුළු කණ්ඩායමක් එක්ව සිටියහ. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මුලින් විමල්ලා බැසිල්ට එරෙහිව ඉතා දරුණු ප්‍රහාරයක් එල්ල කරමින් යළිත් කිසිදිනෙක මේ කියන අවලස්සන ඇමෙරිකානුවා සමග කතා නොකරන බව කී විමල් ඇතුලු කණ්ඩායම එම සාකච්ඡාවේදී කිසිවක් නොවුණු ගානට බැසිල් සමග හිනාවෙමින් කතාබස් කිරීමය. එපමණක් නොව සාකච්ඡාව අවසාන වූ වහා මාධ්‍ය වෙත විවිධ ප්‍රකාශ කරමින් විමල් ඇතුලු කණ්ඩායම කියා සිටියේ අලුත් අගමැතිවරයෙක් යටතේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා එකඟ වූ බවත්, ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡා අතිශය සාර්ථක බවත්ය.
ඇත්ත කතාව මව්රට හොයා ගත්තා!
ඒ අනුව ඇතැම් මාධ්‍යයද උඩ දමමින් මෙය විශේෂ පුවතක් ලෙස වාර්තා කළ ආකාරයද දැකගත හැකි විය.ඒ අනුව අපද මෙම කතාවේ ඇත්ත, නැත්ත සොයා බැලීමට පියවර ගත්තේය. එහිදී අපට එම සාකච්ඡාවේදී සිදුව ඇත්තේ කුමක්ද යන්න නිවැරැදිව සොයා ගැනීමට හැකියාව ලැබිණ. ඒ අනුව එම සාකච්ඡාවේදී අගමැතිවරයා ඉවත් කිරීමක් පිළිබඳව කිසිදු ලෙසකින්වත් සාකච්ඡා වී තිබුණේ නැත. එහි සාකච්ඡා වී තිබුණේ අන්තර්වාර ආණ්ඩුවක් නිර්මාණය කිරීම පිළිබඳව නොව ජාතික එකඟතා ආණ්ඩුවක් නිර්මාණය පිළිබඳවය. එමෙන්ම එහි ව්‍යුහය කුමක්ද, එහි ඇමැති ධුර කොපමණ පත්කළ යුතුද, එය කොපමණ කාලයකට පවත්වාගෙන යා යුතුද යනාදී කරුණු පිළිබඳවද සාකච්ජා වී තිබිණ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට අවසන් තීන්දුවක් ගැනීමෙන් අනතුරුව අගමැති ධුරය පිළිබඳව සාකච්ඡා කළ හැකි බවද එහිදී ජනාධිපතිවරයා විසින් පිරිසට සඳහන් කොට ඇත. ඒ හැරුණු විට එම සාකච්ඡාවේදී කිසිදු තැනක අගමැති ධුරයක් සම්බන්ධයෙන් සාකච්ඡා වී නැති බව අපට දැනගන්නට ලැබිණ. ඒ අනුව අප එම පුවත අති විශේෂ පුවතක් ලෙස අප www.mawratanews.lk වෙබ් අඩවිය ඔස්සේ පළකිරීමට පියවර ගත්තෙමු.
මහින්දත් ඩීල් එක දැනගෙන ඉදලා!
මේ ආකාරයට විමල් ඇතුළු මේ කණ්ඩායම කිසිම හිරිකිතයකින් තොරව බැසිල් සමග සාකච්ඡාවට වාඩි වීම ජනාධිපතිවරයා පමණක් නොව අගමැතිවරයාද දැනුවත්ව කිසියම් සැලැසුමකට අනුව සිදුවූ එක්තරා විශේෂ සිදුවීමකි. අප එය එසේ කියන්නේ මෙම හමුවෙන් පසුව විමල් ප්‍රකාශ කළ අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ කතාව සම්බන්ධයෙන් මහින්ද දක්වා තිබූ ප්‍රතිචාරය හේතු කොටගෙනය. විමල් එම ප්‍රකාශය කරද්දී මහින්ද සිටියේ කාල්ටන් සිට කොළඹ බලා පැමිණ අරලියගහ මන්දිරයේය. විමල්ගේ කතාව මේ වන විටත් විවිධ නාළිකා මගින් විශේෂ පුවතක් ලෙස විකාශය කර තිබුණාට අමතරව කෙටි පණිවුඩයක් ලෙස ජංගම දුරකතනවලටද ලැබී තිබිණි. ඒ අනුව එක් නිලධාරියෙකු පැමිණ අගමැතිවරයාට ජංගම දුරකතනය තුළ තිබෙන පණිවුඩය පෙන්වද්දී අගමැතිවරයා එය බලා හක හක ගා සිනාසුණු ආකාරයක් දැකගන්නට ලැබිණ.
‘අයියෝ ඕවට ඔච්චර කලබල වෙන්න එපා… බැසිල්නෙ ඔය මීටිමට වාඩි වුණේ. එයා ඒවා ගානට හැන්ඩ්ල් කරයි. ඒක හින්දා ඒවා එච්චර ගණන්ගන්න එපා…’ යනුවෙන් මහින්ද හිනාවෙමින් කියද්දී එහි සැඟවුණු අරුත වටහා ගැනීමට එහි සිටි නිලධාරියාට එතරම් අපහසුවක් තිබුණේ නැත.
විමල් බැසිල් ඩීල් යද්දී සජබෙත් ස්වාධීන කියන කණ්ඩායමත් හමුවෙයි!
මේ අතරවාරයේ විමල්ලා බැසිල් සමග එකට වාඩි වී සාකච්ඡා කොට ඇති බව වාර්තා වීමත් සමග සමාජ මාධ්‍යවල බරපතළ ප්‍රහාරයක් විමල්ලාට එරෙහිව එල්ල වෙමින් තිබිණි. ඒ අනුව විමල්ලාගේ ස්වාධීන යැයි කියන පාර්ශ්වයෙන්ද එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් තිබිණ. ඒ එක් ක්‍රියාමාර්ගයක් වූයේ නියෝජ්‍ය කතානායක ධුරය සම්බන්ධයෙන් සමගි ජනබලවේගය සමග සාකච්ඡා කිරීමය. ඒ සඳහා ස්වාධීන යැයි කියන පාර්ශ්වයෙන් දයාසිරි ජයසේකර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ආදීන් සහභාගී වී සිටි අතර සජබ පාර්ශ්වයෙන් රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න ඇතුළු කණ්ඩායමක් සහභාගි වී සිටියහ. ඒ වන විටත් හිටපු නියෝජ්‍ය කතානායන රංජිත් සියඹලාපිටිය මහතා දෙවතාවක්ම සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කොට තිබුණත් එය පිළිගැනීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණේ නැත.
චන්දිමගේ සුදර්ශනීගේ නම් එළියට!
නමුත් මෙම සාකච්ඡාවලදී නව නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් නම් කිහිපයක්ම යෝජනා විය. ඉන් එක් නමක් වූයේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නමය. අනෙක් නම වූයේ චන්දිම වීරක්කොඩිගේ නමය. නමුත් චන්දිම මීට එකඟතාව පළකළේ නැත. චන්දිම පණිවුඩයක් එවමින් කියා සිටියේ තමන්ට එය බාර ගැනීමට නොහැකි බවත්, තමන්ට වඩා එම තනතුරට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සුදුසු බවත්ය. එම නම ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා එකක් බවත්, විශේෂයෙන්ම කිසිදු කාන්තාවක් කැබිනට්ටුවට පත්කර නැති මේ මොහොතේ සුදර්ශනී නියෝජ්‍ය කතානායක ධුරයට සුදුසුම නම බවත් චන්දිම එම පණිවුඩයෙන් කියා තිබිණ. ඒ අනුව සුදර්ශනීගේ නමට සමගි ජනබලවේගය පමණක් නොව දෙමළ ජාතික සන්ධානයද එකඟතාව පළ කිරීමට පියවර ගෙන තිබිණ. ඒ අනුව විපක්‍ෂයත්, ස්වාධීනය යැයි කියන කණ්ඩායමත් තීන්දු කොට තිබුණේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නියෝජ්‍ය කතානායක ධුරයට පත්කර ගැනීමටය.
සජබෙට සැක මතුවෙයි! ස්වාධින කණ්ඩායම විශ්වාසභංගයට අස්සන් කරලත් නෑ!
මේ ආකාරයට දෙපර්ශ්වය අතර සාකච්ඡා යද්දී ස්වාධීන කණ්ඩායමේ ස්වාධීනකම ගැන සජබයට යම් සැකයක් මතුවූ සිදුවීමක් සිදුවිය. ඒ විශ්වාසභංගය ගැන ස්වාධීන යැයි කියන කණ්ඩායමේ වාසුදේව කළ ප්‍රකාශයක් මුල්කරගෙනය. වාසු කියා සිටියේ සජිත් විශ්වාසභංගය පමා කරන්නේ බැසිල් සමග ඇති ඩීල් එකක් නිසා යැයි කියාය. නමුත් ඒ වන විටත් ස්වාධීන යැයි කියන කණ්ඩායමේ කිසිවෙකුත් විශ්වාසභංගයට අස්සන් කර නොතිබීමද විශේෂ සිදුවීමක් විය. ඒ අනුව බැසිල් හා විමල්ලාගේ ස්වාධීන යැයි කියන කණ්ඩායම අතර සාකච්ඡාව පැවැත්වෙද්දී සජිත්ද ඉතා රහසිගත ලෙස සිය මන්ත්‍රී කණ්ඩයම සමග සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්වීමට පියවර ගත්තේය. එම සාකච්ඡාවලදී ඔහු ඇතුළු කණ්ඩායම තීන්දු කළේ ඉතා රහසිගත ලෙස කිසිවෙකුටවත් නොදැනෙන පරිදි මෙම විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත බාර දීමටය. ඒ අනුව වහාම කතානායකවරයාට ඇමැතුමක් දුන් සජිත් විශේෂ හමුවක් සඳහා වේලාවක් ඉල්ලා සිටියද හමුවේ අරමුණ පිළිබඳව කිසිදු සඳහනක් නොකිරීමට වගබලා ගත්තේය. සජිත් එසේ නොකළේ කතානායකවරයා සම්බන්ධයෙන්ද කිසියම් අවිශ්වාසයක් කලක් තිස්සේම එම පාර්ශ්වයට ගොඩනැඟී තිබීම හේතුකොටගෙනය.
සබජය විශ්වාසභංගය හොරෙන්ම කතානායකට බාරදෙයි!
ඒ අනුව පසුගිය අඟහරුවාදා දිනයේදී කිසිවෙකුටවත් නොකියා සජිත් ඇතුළු මන්ත්‍රීවරු පස් දෙනෙක් කතානායකවරයාගේ නිල නිවෙසට ගොස් මෙම විශ්වාසභංග යෝජනා දෙක බාර දීමට පියවර ගත්තේය. කතානායකවරයාද සජිත් ඇතුළු කණ්ඩායම පැමිණි කාරණය දැනගත්තේ මෙම විශ්වාසභංග දෙක බාරදීමත් සමගය. ඒ සමග අපගේ www.mawratanews.lk වෙබ්අඩවිය ඔස්සේ අති විශේෂ පුවතක් ලෙස එය රටට අනාවරණය කිරීමට පියවර ගත්තේය. ඒ සමගම ආණ්ඩුවේ ස්වාධීන යැයි කී කණ්ඩායමද දේශපාලන වශයෙන් හිරවූ ආකාරයක් දැකගන්නට ලැබිණ.
ජී.එල්. ඩීල් එකකට යමු කියයි! ජොනී විරුද්ධ වෙයි!
මේ අතරවාරයේ නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාද තිරය පිටුපස පැවැත්වෙමින් තිබිණ. එහි එක් සාකච්ඡාවක් පැවැත්වුණේ පොහොට්ටුවේ පාර්ලිමේන්තු කණ්ඩායම අතරය. එම සාකච්ඡාවේදී ජී. ඇල්. පීරිස් මන්ත්‍රී කණ්ඩායමට පෙන්වා දුන්නේ මෙහිදී ශ්‍රීලනිප සමග දේශපාලන ගනුදෙනුවකට ගොස් අතරමැදි එකඟතාවකට පැමිණිය යුතු බවය. නමුත් ඊට ජොන්ස්ටන් ප්‍රනාන්දු දැඩිව විරෝධය පළ කළේය. ජොනී කියා සිටියේ ශ්‍රීලනිපය සමග ඩීල් දැමීම අනවශ්‍ය බවත්, නියෝජ්‍ය කතානායක ධුරයට පොහොට්ටුවෙන් අපේක්‍ෂකයකු නම් කළ යුතු බවත්ය. ඊට මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගෙන්ම සහාය ලැබෙද්දී බැසිල් කියා සිටියේ එසේ නම් හම්බන්තොට මන්ත්‍රීවරයකු වන අජිත් රාජපක්‍ෂ ඊට නම් කළ යුතු යැයි කියාය.
ඉන්නෙ 88යි! පොහොට්ටුව සියඹලාපිටියට සෙට් වෙන්න තීන්දු කරයි!
ඒ අනුව අජිත් රාජපක්‍ෂ නම් කළහොත් ඔහුට ඡන්ද කොපමණ ප්‍රමාණයක් ලැබෙනු ඇත්ද යන්න සම්බන්ධයෙන් පිරිස අතර දීර්ඝ සාකච්ඡාවක් ඇති විය. මෙහිදී විවිධාකාරයට මන්ත්‍රීවරුන් එහෙට මෙහෙට කොට ගණන් හැදුවද ඔවුනට පැමිණියේ මන්ත්‍රීවරුන් 88ක් පමණක් සහතිකවම පොහොට්ටුව සමග සිටිනවා යැයි කියාය. ඒ අනුව එහි ඇති අවදානම තේරුම් ගත් බැසිල් කියා සිටියේ පොහොට්ටුවෙන් අපේක්‍ෂකයකු ඉදිරිපත් කොට පරාජයට පත්වුවහොත් එය බරපතළ අර්බුදයක් වනු ඇති නිසා ශ්‍රීලනිපය සමග සාකච්ඡා කොට යම් එකඟතාවයකට යායුතු බවකි. එම දේශපාලන ගනුදෙනුව සිදුකිරීම ජී. එල්.ට පැවරීමටද බැසිල් පියවර ගත්තේය.
ඒ අනුව ජී. එල්. වහාම දයාසිරිට කතා කොට මේ පිළිබඳව සාකච්ඡා කිරීමේදී දයාසිරි කියා සිටියේ ශ්‍රීලනිපය යළිත් වතාවක් ඉල්ලා අස්වූ රංජිත් සියඹලාපිටියවම නියෝජ්‍ය කතානායක ධුරයට නම් කිරීමට සූදානමින් සිටිනවා කියාය.
සජබෙ සැකය හරි! වෙනම අපේක්ෂකයෙක් දාන්න තීන්දු කරයි!
කෙසේ වෙතත් නියෝජ්‍ය කතානායක තනතුරට සුදර්ශනීගේ සහ අජිත් රාජපක්‍ෂගේ නම් යෝජනා වී තිබියදී හිටි හැටියේම නැවැත වතාවක් සියඹලාපිටියගේ නම යෝජනා වීම සම්බන්ධයෙන් සජබයටද ඒ වනවිට බරපතළ සැකයක් මතුව තිබිණ. ඒ අනුව සජිත් වහාම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. ඔවුන්ද පෙන්වා දුන්නේ සියඹලාපිටිය දෙවරක්ම නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉවත්වීමට පියවර ගත්තේ දැඩි කලකිරීමකින් යුතුව බවත්, නැවැත ඔහුව එම තනතුරට නම් කිරීම හරහා බරපතළ අර්බුදයක් මතුවන බවත්ය. තවමත් සියඹලාපිටිය ආණ්ඩු පක්‍ෂයේ අසුන් ගෙන සිටින බව පැවැසූ මෙම ජ්‍යෙෂ්ඨයන් අවම වශයෙන් ඔහු විපක්‍ෂයේවත් තවම අසුන් ගෙන නැති බවද පෙන්වා දුන්නේය. ඔහු විපක්‍ෂයේ අසුන් ගත් පසු විපක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස ඔහු ගෙන ආ හැකි බවද ජ්‍යෙෂ්ඨයෝ එහිදී සජිත් පෙන්වා දුන්හ.
පොහොට්ටුව තීන්දුව ගත්තේ බ්‍රහස්පතින්දා උදේ!
ඒ අතරවාරයේ දයාසිරිද දෙමළ සන්ධාන සහ ජවිපෙ නියෝජිතයන් හමුවී සියඹලාපිටිය ගෙන ඒම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු දැකගත හැකි විය. ඒ සියලු තොරතුරු දයාසිරි ජී. ඇල්.ටද දැනුම් දීමට පියවර ගත්තේය. මෙම තත්ත්වය යටතේ බැසිල්ද උපක්‍රමශීලි ලෙස අගමැතිවරයාද සහභාගී වන කණ්ඩායම් රැස්වීමක් බ්‍රහස්පතින්දා කැඳවීමට පියවර ගත්තේ එදින මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගත හැකි බව දැනුම් දෙමිනි. ඒ වන තෙක්ම පොහොට්ටුව නියෝජ්‍ය කතානායක ධුරය සම්බන්ධයෙන් ගන්නා ස්ථාවරය පිළිබඳව නොදැන සිටි සජබයද තීරණය කොට තිබුණේ සියඹලාපිටිය විපක්ෂයේ අසුන් ගත් පසු ඔහු විපක්‍ෂ අපේක්‍ෂකයා ලෙස යෝජනා කිරීමටය.
කෙසේවෙතත් බ්‍රහස්පතින්දා පෙරවරු 9ට ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වූයේ මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීමටය. විනාඩි පහළොවකට සීමාවූ මෙම කණ්ඩායම් රැස්වීමේදී ජී. එල්. කියා සිටියේ සියඹලාපිටිය යනු ආණ්ඩුව සමග සිටි අයකු බවත්, ඔහුට සහාය දීමට ආණ්ඩුව තීන්දු කළ යුතු බවත්ය. ජී. එල්.ගේ අදහස තහවුරු කළ බැසිල්ද කියා සිටියේ සියඹලාපිටියට සහාය දී මෙම ගැටලුව අවසන් කළ යුතුය කියාය.
කබීර් දැඩි තීන්දුවක! විරුද්ධව ජන්දෙ දෙන බව කියයි! දෙමළ සන්ධානයත් විරුද්ධ වෙයි!
ඒ අනුව ආණ්ඩු පක්‍ෂ ලොබියේදී දයාසිරි මුණගැසුණු දිනේෂ් සහ ජී. එල්. මේ බව දයාසිරිට දැනුම් දීමට කටයුතු කළහ. එහිදී මේ සම්බන්ධයෙන් කිසියම් සාකච්ඡාවක් යද්දී පොහොට්ටුවද සියඹලාපිටියට සහාය දැක්වීමට තීන්දු කර ඇති බවක් සජබයට වාර්තා විය. ඒ අනුව ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතරත්, ස්වාධීන යැයි කියාගන්නා කණ්ඩායම අතරත් කිසියම් දේශපාලන ඩීල් එකක් සිදුව ඇති බව මොහොතක් යෑමට මත්තෙන් සජබයට වැටහී ගියේය.
ඒ සමගම මුලින්ම සජිත්ව මුණගැසීමට ගියේ කබීර් හෂීම්ය. කබීර් දැඩිව කියා සිටියේ මේ හරහා ශ්‍රිලනිපය, පොහොට්ටුව හා ස්වාධීන යැයි කියාගන්නා කණ්ඩායම දේශපාලන ඩීල් එකක සිටින බව තහවුරු වන බවත්, කවුරු නොදුන්නත් තමන් එයට එරෙහිව ඡන්දය භාවිත කරන බවත්ය. සජිත්ද එහිදී කියා සිටියේ තමන් මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවකි. ඒ අනුව මොහොතක් යෑමට මත්තෙන් මේ පිළිබඳ තොරතුරු ගලා ඒමට පටන් ගත් අතර දෙමළ සන්ධානයද කියා සිටියේ ඊට එරෙහි විය යුතු බවත්, සජබය අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන්නේ නැතිනම් දෙමළ සන්ධානය ද්‍රවිඩ අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බවත්ය.
ඉමිතියාස්ට ජවිපෙ දෙමළ සන්ධානය එකගයි!
ඒ අනුව වහාම සජිත් ලොබියේ සිටම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කළ අතර ඔවුන්ද පෙන්වා දුන්නේ ආණ්ඩුවේ ස්වාධීන යැයි කියන කණ්ඩායම සමග පොහොට්ටුව ඩීල් එකක් දමා ඇති බවත්, මීට එරෙහිව සජබය මගින්ද අපේක්‍ෂකයකු ඉදිරිපත් කළ යුතු බවත්ය. එහිදී සජිත් පැහැදිලිව කියා සිටියේ ආණ්ඩුව එවැනි ගේමක් ගසනවා නම් පැහැදිලිවම සජබයද අපේක්‍ෂකයකු සටනට ඉදිරිපත් කළ යුතු යැයි කියාය. හිටපු කතානායකවරයකු වූ බකීර් මාකර් මහතාගේ පුත්‍රයකු වන ඉමිතියාස් බාකිර් මාකාර් මහතාගේ නම ඊට යෝජනා වූයේ ඒ අනුවය. ඉමිතියාස්ගේ නම ජවිපෙටත්, දෙමළ සන්ධානයටත් යොමු කෙරුණු අතර ඔවුන්ද ඊට එකඟතාව පළකිරීමට විශේෂ සිදුවීමක් විය.
විශ්වාසභංගය ප්‍රමාද කරන හේතුව!
බදාදා දින පෙරවරුවේදී පාර්ලිමේන්තු පක්‍ෂ නායක රැස්වීමක් පැවැත්වුණේ මේ අතරවාරයේදීය. එහිදී විපක්‍ෂය කාරණා දෙකක් මතු කළ ආකාරයක් දැකගන්නට ලැබිණ. ඉන් පළමු වැන්න වූයේ නියෝජ්‍ය කතානායක ධුරය සම්බන්ධයෙන්ය. කතානායකවරයා ඊට පිළිතුරු වශයෙන් කියා සිටියේ තවමත් ජනාධිපතිවරයා සියඹලාපිටියගේ ඉල්ලා අස්වීම පිළිගෙන නොමැති නිසා පසුව ඒ පිළිබඳ තීන්දුවක් ගත හැකිය කියාය. දෙවනුව යෝජනා වූයේ විශ්වාසභංගය පිළිබඳවය. කතානායකවරයා ඊටද පිළිතුරු දෙමින් කියා සිටියේ විශ්වාසභංගය භාෂා තුනටම පරිවර්තනය කළ යුතු නිසා එතෙක් එය කල්දැමීමට තීරණය කළ බවය. කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජනාධිපතිවරයා විසින් සියඹලාපිටියගේ ඉල්ලා අස්වීමේ ලිපි දෙකම පිළිගැනීම කල්දමමින් සිටීමය. අපට ඇති තොරතුරුවලට අනුව නම් ජනාධිපතිවරයා එම ලිපි පිළිගැනීම ප්‍රමාද කිරීමට කටයුතු කර ඇත්තේ සියඹලාපිටියගේ නම සම්බන්ධයෙන් පොහොට්ටුව හා ස්වාධීන යැයි කියාගන්නා කණ්ඩායම් අතර දේශපාලන ඩීල් එක අවසන් වන තුරුය.
බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව රැස්වූයේ මේ ආකාරයට ස්වාධීන යැයි කියාගන්නා කණ්ඩායමත් සමග පොහොට්ටුව දේශපාලන ඩීල් එක දමා ගැනීමෙන් පසුවය. ඒ අනුව ආරම්භයේදීම නැඟී සිටි නිමල් සිරිපාල සියඹලාපිටියගේ නම නියෝජ්‍ය කතානායක ධුරයට යෝජනා කළ අතර එය සුසිල් ප්‍රේමජයන්ත විසින් ස්ථිර කළේය. පසුව ඩීල් එකට අනුව වහාම නැඟී සිටි ජී. එල්., පොහොට්ටුවද සියඹලාපිටියගේ නමට එකඟතව පළකරන බව කියා සිටියේය.
ආණ්ඩුවේ 3ක් විපක්ෂයට!
ඒ සමගම නැඟී සිටි රංජිත් මද්දුමබණ්ඩාර ඉමිතියාස්ගේ නම යෝජනා කළ අතර කිරිඇල්ල එය ස්ථිර කළේය. පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් සඳහා පාර කැපුණේ මේ ආකාරයට සියඹලාපිටියගේත්, ඉමිතියාස්ගේත් නම් නියෝජ්‍ය කතානායක ධුරයට යෝජනා වීමත් සමගය. මෙම රහස් ඡන්දයේ ප්‍රතිඵලවලට අනුව සියඹලාපිටියට ඡන්ද 148ක්ද, විපක්‍ෂයට ඡන්ද 65ක්ද හිමිවූ අතර ඡන්ද 3ක් නරක් වී තිබිණ. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමක් වූයේ ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රිවරු තිදෙනෙකුද විපක්‍ෂය සමග එක්ව ඡන්දය ප්‍රකාශ කොට තිබීමය.
රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි!
මේ අතරවාරයේ ඡන්ද විමසීමට ආරම්භවීමට ප්‍රථම තවත් විශේෂ සිදුවීමක් සිදුවිය. ඒ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සියඹලාපිටියගේ ජයග්‍රහණය වෙනුවෙන් විපක්‍ෂය පැත්තේ සිට විශාල වැඩකොටසක් සිදුකිරීමය. ඒ අනුව පාර්ලිමේන්තු ලොබියේ සිටිමින් රනිල් දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් හමුවී ඔවුන්ට කියා සිටියේ සියඹලාපිටියට සහාය දක්වන්න යැයි කියාය. සාමාන්‍යයෙන් රනිල් සැලකෙන්නේ දෙමළ සන්ධානය සමග ඉතා හිතවත්ව කටයුතු කරන්නනෙකු ලෙසටය. පසුගිය කාලය පුරාම රනිල්ද රටට පෙන්වාගෙන සිටියේද එවැන්නකි. නමුත් මෙම සිදුවීම වාර්තා වීමත් සමග සුමන්තිරන්ට යක්‍ෂාරූඪ විය. වහාම රනිල් සිටි අසුන ළඟට ගිය සුමන්තිරන් ඔහුට නොසෑහෙන ලෙස බැනවදිමින් කැත වැඩ නොකරන ලෙස දැනුම් දී සිටියේය. දෙමළ සන්ධානය සියඹලාපිටියට එරෙහිව ඡන්දය භාවිත කරන බවද සුමන්තිරන් ඔහුට දැනුම් දී සිටියේය. එතැනින් නොනැවතී දෙමළ සන්ධානයේ සිටින කොන්දක් ඇති තරුණ මන්ත්‍රිවරයකු ලෙස සැලකෙන ශානක්‍යයන් රාසමාණික්කම්ද සිය කතාවේදී රනිල්ගේ මේ ක්‍රියාකලාපයද දැඩිව විවේචනය කිරීමට කටයුතු කළේය. ඔහු කියා සිටියේ රනිල්ද ආණ්ඩුව සමග එක්ව රාජපක්‍ෂවරු ආරක්‍ෂා කිරීමට කටයුතු කරන බවත්, මෙවැනි නාට්‍යකාරයන් සමග විශ්වාසභංගය හෝ ජයග්‍රහණය කළ නොහැකි බවත්ය.
සියඹලාපිටිය ආණ්ඩුවේ ඉත්තෙක් -සජිත්
මේ ආකාරයට ඡන්ද විමසීමේදී සියඹලාපිටියට පොහොට්ටුවේ ඡන්ද හිමිවීමත් සමග සජිත් ද වහාම නැඟිට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අද රටටම ඩීල් කාරයන්ගේ හෙළුව පෙනෙන්නට ලැබුණු බවත්, සියඹලාපිටිය මේ ඩීල්කාරයන්ගේ ඉත්තෙක් වී ඇති බවත්ය. අනුර කුමාරද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සියඹලාපිටිය ඉල්ලා අස්වී යළිත් සියඹලාපිටියම එම තනතුරට පත්වීම හරහා නියෝජ්‍ය කතානායක ධුරය විහිළුවක් බවට පත්වී ඇතැයි කියාය.
විමල්ලාගෙන් සජිත්ට ලොකු මඩක්! සජිත්ගේ මවත් සම්බන්ධ කරගනී!
කෙසේ වෙතත් මෙම සිදුවීම් දාමය හරහා විමල්ලා හා බැසිල්ලාගේ පැවැති දේශපාලන ඩීල් එළියට පැමිණීමත් සමග එය කනපිට හැරවීමට විමල්ලාගේ පාර්ශ්වයෙන්ද දේශපාලන උප්පරවැට්ටියක් ක්‍රියාත්මක විය. එහිදී සිදුවූයේ විමල්ගේ නියෝජිතයකු වන මුසම්මිල් හරහා සජිත්ට පාර්ලිමේන්තුවේදී දැවැන්ත මඩ ප්‍රහාරයක් දියත් වීමය. එහිදී මුසම්මිල් සජිත්ගේ මවද දේශපාලනයට ඈඳා ගනිමින් කියා සිටියේ ඊට පෙර දින සජිත්ගේ මව තිරුකුමාර් නඩේසන් මහතාගේ නිවෙසේදී ආණ්ඩුවේ ප්‍රධානියකු හමුවී ඇති බවත්, එහිදී සියඹලාපිටියට ඡන්දය දෙනවා වෙනුවට වෙනත් නමක් යෝජනා කිරීමසඳහා දේශපාලන ඩීල් එකක් දමා ඇති බවත්ය. එහිදී මුසම්මිල් ඉඟි කළේ හේමා ප්‍රේමදාස මැතිනිය මහින්දව මුණගැසී මෙයාකාරයට දේශපාලන ඩීල් එකක් දමා ඇති බවකි. මීට අමතරව ප්‍රවෘත්ති සාකච්ජාවක් කැඳවමින් විමල්ද සජිත්ට මෙම චෝදනාවම එල්ල කර සිටියේය.
අපි හෙව්වා! තිරුකුමාර් ඉන්නෙ ඩුබායිවල!
මෙම තොරතුර පාර්ලිමේන්තුවේ ප්‍රකාශයට පත්වීමත් සමග අපද මෙම කතාවේ ඇත්ත නැත්ත විමසා බැලීමට පියවර ගත්තෙමු. එහිදී අපට දැනගන්නට ලැබුණේ මේ දිනවල තිරුකුමාර්ගේ මේ කියන නිවෙස වසා දමා ඇති බවකි. එමෙන්ම තිරුකුමාර් දැනට සති කිහිපයක සිට ලංකාවේ නැති බවද එහිදී අපට දැනගන්නට ලැබිණ. මේ වන විට තිරුකුමාර් ඩුබායිහි සිය බිරිය හා දරුවන් සමග සිටින බවද අපට වාර්තා විය. මීට සති කිහිපයකට ඉහතදී තිරුකුමාර් ඩුබායි බලා ගොස් ඇති බවත්, ඉන් අනතුරුව ආගමික කටයුතු කිහිපයක් සඳහා බැංගලෝරය බලා පැමිණ ඇති බවත්, පසුව නැවැතත් ඔහු ඩුබායි බලා ගොස් ඇති බවත් අපට ලැබුණු තොරතුරුවලින් වැඩිදුරටත් දැනගන්නට ලැබිණ. ඒ අනුව විමල් හා ඔහුගේ ගෝලයා වන මුසම්මිල් කළ කතාව සම්පූර්ණ අසත්‍යයක් බව ඒ අනුව අපට අනාවරණය විය. අප අනුමාන කරන්නේ විමල් හා බැසිල් අතර ආරම්භ වූ දේශපාලන ගනුදෙනුව වසා ගැනීම සඳහා විමල් මේ ආකාරයට හේමා ප්‍රේමදාස මැතිනියද ඈඳා ගනිමින් අසත්‍ය කතාවක් ගෙතුවාය යන්නය.
කතාව ලීක් කළේ මහින්ද!
ඊළඟට අප සොයා බැලුවේ මෙවැනි කතාවක් හිටිහැටියේම කරලියට පැමිණීයේ කෙසේදැයි කියාය. එහිදී අපට දැනගන්නට ලැබුණේ නියෝජ්‍ය කතානායක ධුරය තේරීම සඳහා පැවැති ඡන්ද විමසීමට දින දෙකකට කලින් ස්වාධීන යැයි කියා ගන්නා කණ්ඩායමේ කිහිප දෙනෙකු අරලියගහ මැඳුරට ගොස් මහින්ද සමග සාකච්ඡාවක් පවත්වා ඇති බවකි. එහිදී මහින්ද මෙම පිරිසට විහිළුවට මෙන් සිනාසෙමින් ‘අයියෝ මම තිරුගේ ගෙදරදි හේමාව හම්බවුණා.’ යැයි කියා ඇති බවක් දැනගන්නට ලැබිණ. මුසම්මිල්ගේත් විමල්ගේත් කතාවට පාදක වී තිබුණේ මහින්ද මේ සිනාසෙමින් විහිළුවට කී කතාවය.
ලයිස්තු මන්ත්‍රීට හේමා කී කතාව!
ඉන් අනතුරුව මේ ස්වාධීන යැයි කියන කණ්ඩායමේ සිටින ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයකු හේමා මැතිනියට දුරකතන ඇමැතුමක් ලබා දෙමින් මෙහි ඇත්ත, නැත්ත විමසීමට කටයුතු කර තිබේ. එහිදී හේමා මැතිනිය කියා ඇත්තේ ‘අනේ පුතා මට දැන් අවුරුදු 87ක්. මම දැන් කොහේවත් ඇවිදින්න යන්නේ නැහැ. ගෙදර තමයි දවසෙම ඉන්නේ. කවුද පුතේ ඔය වගේ බොරුවක් කිව්වේ.’ යැයි කියාය. එවිට මෙම මන්ත්‍රිවරයා කියා සිටියේ එම කතාව කීවේ මහින්ද යැයි කියාය. ඊට හේමා මැතිනිය දී තිබුණේ අපූරු පිළිතුරකි.
‘මොන බොරුවක්ද පුතේ කියල තියෙන්නේ. එහෙම කතාවක් කියල තියෙන්නේ මගේ පුතාට මඩගහන්න.’ යන්න එහිදී මැතිනිය මෙම මන්ත්‍රිවරයාට දුන් පිළිතුර විය. ඒ අනුව විමලුත්, මුසම්මිලුත් රටට කියා ඇත්තේ විශාල බොරුවක් බව පැහැදිලිව දැකගන්නට ලැබිණ.
ලැජ්ජාව වහගන්න විමල්ගෙන් කොන්දේසි!
කෙසේ වෙතත් මෙම බොරුව රටට, ලෝකයාට හෙළිවීමත් සමග ස්වාධීන යැයි කියාගන්නා කණ්ඩායම තමන්ගේ ස්වාධීන බව කෙසේ හෝ රටට පෙන්වීම සඳහා සජිත්ට ලිපියක් යැවීමට පියවර ගෙන තිබිණ. එම ලිපියෙන් කියා තිබුණේ විශ්වාසභංගයට සහාය දීමට නම් කොන්දේසි දෙකක සජබය විසින් සම්පූර්ණ කළ යුතුය කියාය. ඉන් පළමු කොන්දේසිය වී තිබුණේ සර්ව පාක්‍ෂික ජාතික එකඟතා ආණ්ඩුවකට සජබය එකඟ විය යුතු යැයි කියාය. දෙවැනි කොන්දේසිය වී තිබුණේ අනෙක් පක්‍ෂ සමග එකතුව ආණ්ඩුවක් පිහිටුවීමට සජබය අකැමැති නම් තනිව ආණ්ඩුවක් පිහිටුවීමට සජබය කටයුතු කළයුතු යැයි කියාය. මෙය පැහැදිලිවම තමන්ගේ හෙළුව වසා ගැනීමට ඉදිරිපත් කළ බොරු කොන්දේසි මාලාවක් බැවින් සජිත් සූදානම් සිටින්නේ ඉදිරි දින කිහිපය ඇතුළත දැඩි ප්‍රතිචාර දක්වමින් ඊට පිළිතුරු ලිපියක් යැවීමටය.
සජිත් නිමල්ට උත්තරයක් දෙයි!
කෙසේ වෙතත් මෙම සිදුවීම්වලින් පසුව ස්වාධීන යැයි කියාගන්නා කණ්ඩායමේ බොරුව අනාවරණය වූ බව වටහා ගැනීමත් සමග වහාම සජිත් ළඟට දුවගෙන ආ නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ මේ ප්‍රශ්නය මුල්කරගෙන සජබය සමග ආරම්භ කළ දේශපාලන සාකච්ඡාව අතරමග නොනවත්වා ඉදිරියට රැගෙන යා යුතු යැයි කියාය. නමුත් විමල්ගේ අප්‍රියජනක හැසිරීම සහ නියෝජ්‍ය කතානායක තෝරන ඡන්දයේදී ශ්‍රිලනිපය හැසිරුණු ආකාරය හේතුවෙන් මේ වන විට සජබය තීන්දු කර ඇත්තේ මින් ඉදිරියට ශ්‍රීලනිපය සමග කිසිදු දේශපාලන ගනුදෙනුවකට නොයෑමටය.