Connect with us
Redmi 9C
Advertisement

Exclusive

ලීක් වෙච්ච හඬපටවලින් මැකෝ කොලේ ඉරාගත්තාද?

Published

on

රාජ්‍ය සේවය යනු ජනතාව වෙනුවෙන් කැපවූ දෙයක් වුවද, අපේ රටේ රාජ්‍ය සේවකයන් පිළිබඳව ජනතාව තුළ ඇති ආකල්පය එතරම් යහපත් නැත. එවැනි රාජ්‍ය සේවකයන් බහුතරය සිටින රටක තම සේවය අකුරටම ඉටු කරන රාජ්‍ය සේවකයන් සමාජයේ කතාබහට ලක්වන්නේ නිතැතිනි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පිළිබඳවද අපේ රටේ බොහෝ දෙනකු තුළ ඇත්තේ එවැනි අදහසකි. පක්ෂ පාට භේදයකින් තොරව හැම දෙනාගේම ගෞරවය සහ ආදරය දිනා ගැනීමට දේශප්‍රිය මහතාට හැකි වී ඇත්තේද ඒ නිසාවෙනි.
මැතිවරණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරමින් සිටි මහින්ද දේශප්‍රිය මහතා 2015 වසරේදී මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවීමත් සමඟ එහි සභාපතිවරයා බවට පත් විය. සාමාන්‍යයෙන් මැතිවරණ කොමිසම පිළිබඳව රටේ ජනතාවගේ අවධානය යොමු වන්නේ මැතිවරණ සමයකදී පමණක් වුවද, එය මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට අදාළ නොවීමද විශේෂත්වයකි. මැතිවරණ පැවැත්වෙන කාල සමයන්හිදී පමණක් නොව මැතිවරණ නොපවත්වන කාල සමයන්හිදී පවා මහින්ද දේශප්‍රිය මහතා යනු නිරන්තරයෙන් කතාබහට ලක්වන චරිතයකි. පසුගිය වසර කිහිපය පුරා ඒ ජනප්‍රියත්වය ඒ ආකාරයෙන්ම රඳවා ගැනීමට ඒ මහතා සමත් වීමද කැපී පෙනෙන කරුණකි.
ඒ සඳහා හේතු වූ ප්‍රධාන කරුණ ලෙස බොහෝ දෙනකු පවසන්නේ තම රාජකාරිය අකුරටම ඉටු කිරීමට මහින්ද දේශප්‍රිය මහතා කැපවී සිටීමය. ඊට අමතරව ඒ මහතාගේ හැසිරීම සහ කතා විලාශයද බොහෝ දෙනකුගේ ප්‍රසාදයට හේතු වී ඇත. තම රාජකාරී සීමාවෙන් එහාට ගොස් සාහිත්‍ය උත්සව, පොත් දොරට වැඩීමේ උත්සව වැනි වෙනත් අවස්ථාවලද ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට මැ.කෝ යන ආදර නාමයෙන් හැඳින්වුණු දේශප්‍රිය මහතාට හැකියාව ලැබෙන්නේ ඒ අනුවය. ඊට අමතරව පසුගිය මාස කිහිපයේදී මෙරට සමාජ මාධ්‍යවල ජනප්‍රියම චරිතය වූයේද දේශප්‍රිය මහතාය. දේශප්‍රිය මහතාට හිමිව තිබූ ජනප්‍රියත්වය භාවිතා කරමින් තම ජනප්‍රියත්වය වැඩි කර ගැනීමට බොහෝ යූටියුබ් ක්‍රියාකරුවන් කටයුතු කළ ආකාරයද පසුගිය කාලය පුරාම දැකගත හැකි විය.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස දේශප්‍රිය මහතාට හිමි ජනප්‍රියත්වය සහ තම රාජකාරිය අකුරටම ඉටු කිරීම සම්බන්ධයෙන් ඒ මහතාට ඇති ජනතා ප්‍රසාදය තවමත් එසේමය. එහි කිසිදු වෙනසක් නැත. නමුත් ප්‍රශ්නයක් පැන නැඟී ඇත. තමන් මෙතරම් ආදරය කළ රාජ්‍ය සේවකයාද, ලංකාවේ බහුතරයක් රාජ්‍ය සේවකයන්ගේ ගොඩටම අයත් වූවෙක්දැයි සැකයක් ජනතාව තුළ පැන නැඟෙමින් ඇත. ඒ සඳහා හේතු වී ඇත්තේ එතුමාගේ හඬ පට කිහිපයක් ප්‍රසිද්ධියට පත් වීමය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට අයත් හඬ පට කිහිපයක් ප්‍රසිද්ධියට පත් වීම හරහා මීට මාස කිහිපයකට පෙර රටේ දැඩි ආන්දෝලනයක් ඇති විය. දැන් නැවත් වරක් හඬ පට සිද්ධියක් රටම කැලඹීමට සමත් කොට ඇත. කිසිවකු අපේක්ෂා නොකළ පරිදි එම හඬ පට තුළ අඩංගු වී ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය හඬය. එම හඬ පටිගත කර ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ මෙවර මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින ඕෂල හේරත් මහතාය. එලෙස ප්‍රසිද්ධියට පත් වී ඇති සංවාද අතර දුරකතන සංවාද මෙන්ම මුහුණට මුහුණ හමුවී සිදු කළ සංවාදයන්ද ඇතුළත් වී ඇත.

සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබලයන් පිරිසක් මෙවර මැතිවරණය සඳහා නාම යෝජනා බාර දුන්නේ ජාතික සමඟි ජන බලවේගය යටතේය. එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබලයන් පිරිසක් වෙනත් පක්ෂයකින් නාමයෝජනා බාරදුන් ආකාරය නීත්‍යානුකූල නොවන බවට අධිකරණය හමුවේ නඩුවක් ගොණු කිරීමට ඕෂල හේරත් මහතා කටයුතු කළේය. තේරුම් යන ආකාරයට ප්‍රසිද්ධියට පත් වී ඇති හඬ පටවල පටිගත ඇත්තේ එම නඩු කටයුත්තට අදාළව හේරත් මහතා සහ මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා අතර පැවැති සාකච්ඡාවන් කිහිපයකි. ඒ එක් සාකච්ඡාවක අදාළ නඩුව සම්බන්ධයෙන් සභාපතිවරයා විසින් ඕෂල හේරත් මහතා හට උපදෙස් ලබා දෙන ආකාරයද අසන්නට ඇත.
එම හඬ පට සම්බන්ධයෙන් කතාබහ කිරීමට පෙර ඒවායේ සඳහන් කරුණු කාරණා සියලු දෙනාම දැන ගත යුතුය. එබැවින් මෙතැන් පටන් පළ වන්නේ මේ වන විට ප්‍රසිද්ධියට පත් වී ඇති අපට හමුවූ ඕෂල හේරත් මහතා සහ මහින්ද දේශප්‍රිය මහතා අතර පැවැති සංවාදයන් කිහිපයකි. එම සංවාදයන් ඒ ආකාරයෙන්ම සටහන් කිරීමට අප කටයුතු කර ඇති අතර ප්‍රශ්නාර්ථ යොදා ඇත්තේ එහි අපැහැදිලි අවස්ථා සඳහාය.
ඒ අතරින් එක් සංවාදයක් මෙසේය. එය දුරකතන සංවාදයකි.
මැ.කෝ- ආයුබෝවන් ඕෂල මොකද අධිකරණ තත්ත්වය.
ඕෂල- හෙට ඉතිං නඩුවට එනවා.
මැ.කෝ- ආ. හෙට ඔයාගෙ එක. අද නඩුවේ තත්ත්වය මොකද? ඔයා ගියේ නැහැ?
ඕෂල- නැහැ. නැහැ. මම ගියේ නැහැ සභාපතිතුමා. එහෙම ගියාට යන්න දෙන්නෙත් නැහැනේ. මගේ නඩුවකුත් නැහැ අද.
මැ.කෝ- අපටවත් යන්න දෙන්නේ නැහැ ඒ කියන්නේ.
ඕෂල- සභාපතිතුමා ඉල්ලුවොත් නම් යන්න දේවි.
මැ.කෝ- මං තව වැඩකට කතා කළේ. හෙට නඩුව ගන්නවද? හෙටත් රොමේෂ් එන එකක් නැහැ නේ?
ඕෂල- දන්නේ නැහැ ගනියිද නැද්ද කියලා. මෙහෙමයි අපි සූදානම්. ඒ ගොල්ලෝ වෙන දවසක් ඉල්ලනවා හරි වෙන මොනවා හරි නම් ඒ ගොල්ලන්ගේ ගැටලුවක්. අපේ ලෝයර් තාම මොකුත් කිව්වේ නැහැ. මොකද ෆයිව් බෙන්ච් නඩුවක් තියෙනකොට ත්‍රී බෙන්ච් එක ෆයිව් බෙන්ච් එකට ඉඩ දෙනවනේ.
මැ.කෝ- හරි. හරි. හරි.
ඕෂල- ඒක හින්දා රොමේෂ් කිව්වොත් අතන පෙනී හිටින්න තියෙනවා කියලා මේකට වෙන දවසක් දෙනවා.
මැ.කෝ- අර රෙකෝඩින් එක දාන්නේ නැහැ නේද?
ඕෂල- නැහැ. නැහැ. නැහැ. ඒ ටික පිළිගන්න බව එදා හූල් වෙනුවෙන් එන ලෝයර් අස්ථිකත් කියලා තිබුණා.
මැ.කෝ- මම කොහොමටත් අපි ලියපු නෝට් එකේ කරුණ තියෙන්නේ එහෙමයි. 05 වැනිදා ඒගොල්ලෝ කොමිෂන් එකට ඇවිල්ලා තියෙනවා.?….. මගේ අතින් වැරදිලා තියෙනවා. පහ, හය ?….. එදා කියලා තියෙනවා කඩදාසිය හරිනම් දෙන්න පුළුවන් කියලා. එතකොට මේ ලියුම හය වැනිදා හදලා තිබුණට දහ වැනිදා තමයි ඇපෘව් කරලා තියෙන්නේ.
ඕෂල- එතකොට දෙක, තුන ඒගොල්ලන්ගේ සමස්ත ලංකා කාරක සභාව තිබුණා කියන එක. ඒගොල්ලෝ දීල තියෙන්නේ මාර්තු මාසෙදිනේ?
මැ.කෝ- හරි ඒවා දීපුවා ඬේට් ස්ටෑම්ප් ඒවා දීපු ඔක්කොම කඩදාසි අපේ ෆයිල් එකේ තියෙන්නේ ඒ විදියට.
ඕෂල- ඔව්. ඉතිං ඒක ප්‍රශ්නයක් නැහැනේ. ඒගොල්ලෝ හරි නං ඒක මාසයක් ඇතුළත දෙන්න ඕනෑ කියලා ඇක්ට් එකේ තියෙනවනේ. දෙවැනිදා එකක් නම් මාර්තු දෙවැනිදට කලින් දෙන්න ඕනෑ. මාර්තු 13නේ ඒගොල්ලන් දීල තියෙන්නේ. එතකොට ඒ ගොල්ලෝ ඒව දැම්මත් ඒවයේ වලංගුතාවය පිළිබඳ ප්‍රශ්නයක් එනවා.
මැ.කෝ- දැන් මගේ තියෙන මූලික කරුණ. මම එදා ඔයාට කිව්වනේ එහෙම කඩදාසි ගෙනත් දුන්නට ගෙනත් දෙන දවසේ ඇරෙන්න වෙන දවසක ඬේට් සැටෑම්ප් ගහන්නේ නැහැ කියලා.
ඕෂල- සභාපතිතුමා අන්තිම නිවැරැදියි. ඔහොම මේවා එකක් තියෙනවානම් සභාපතිතුමා ඕවා මට කියන්නේ නැහැනේ. ඒක ගැන කිසිම ඉන්ටෙන්ෂන් එකේ මේවා එකක් නැහැ.
මැ.කෝ- ඔයා ඔයාගේ ලෝයර්ට කියන්න ඒක ගැන විවාද කරන්නේ නැහැ කියලා. කොහොමත් ඔයාගේ අතේනේ ඒක තියෙන්නේ එයාගේ අතේ නෙවෙයිනේ.
ඕෂල- ඔව්. ඔව්. මගේ අතේ. එයාගේ අතේ නෙවෙයි.
මැ.කෝ- ආ එහෙනම් ඉතිං ඒක බුදු හාමුදුරුවෝ ඉල්ලුවත් හම්බ වෙන්නේ නැහැ. බුදු හාමුදුරුවෝ නෙවෙයි ඔයාගේ ජේසුස් වහන්සේ.
ඕෂල- සභාපතිතුමා එහෙම එකක් නැහැ. අරගොල්ලෝ කියන ඒවට අපි දන්න කරුණු කාරණා මත ආගියු කරනවා මිසක්. ඊට පස්සේ ඕනෙනම් ඉලෙක්ෂන් කොමිෂන් එකෙන් අහාවි මේක බාර දීල තියෙන්නේ මාර්තු 13ද කියලා. එතකොට කොමිෂන් එකෙන් ඒකේ ඬේට් ස්ටෑම්ප් එක තියෙන්නේ මාර්තු 13 කියලා කිව්වට පස්සේ එතැනින් ඒක ඉවරයිනේ.
මැ.කෝ- මම ඬේට් ස්ටෑම්ප් එක ගහලා අස්සන් කළේ එදාම. මම බුදුඅම්මෝ මෙහෙම එකක් තියෙද්දී, අනෙත් එක ඕෂල මෙහෙම එකක් තියෙනවනේ මගේ. මම බලනවා මේ කවුරු හරි ලියුමක් අරන් එනවා අද. ඬේට් එක ගහලා ගේනවා අප්‍රේල් 20. හරිද. මම යාළුකමට හරි කෙළල දාපි අපේ හුඟක් රජයේ නිලධාරීන් මේක කරනවා. ඉස්සර නම් ටයිප් රයිටරේ ගැහුවනම් ගහපු දිනේ හොයා ගන්න බැහැ. හරි. දැන් කම්පියුටර් එකෙන් ලියුම ගැහුවම ගහපු දිනේ ඕනෑ කෙනකුට හොයා ගන්න පුළුවන්නේ.
ඕෂල- ඔව්. ඔව්. ඬේටා තියෙනවනේ.
මැ.කෝ- ඒකට එහෙනම් හාඞ් එක ගලවලා කුඩු කරලා පුච්චලා දාන්න ඕනෑ.
ඕෂල- ඒක තමයි ඒ ගොල්ලන් තර්ක ගෙනේවි. ඒක වලංගු නැති වේවි.

මේ දේශප්‍රිය මහතා සහ ඕෂල හේරත් මහතා අතර පැවැති තවත් සංවාදයකි. පෙනී යන ආකාරයට එය දේශප්‍රිය මහතා සහ හේරත් මහතා අතර පැවැති හමුවකදී සිදුවූවකි.
මැ.කෝ- දෙකයි තුන දින තිබුණු සමස්ත ලංකා කාරක සභාවේ සංශෝධන දැනුම්දීම කියලා තියෙන්නේ. ඒකෙ කියනවා. අර මධ්‍යම කාරක සභාවේදී 22/1/2 වගන්ති නොසලකා සාමාජිකයන් බඳවා ගැනීමට කටයුතු කළ බව දන්වා සිටිමු.
ඕෂල- මේ කරැයි කියන්නෙත් පෙබරවාරි තුන් වැනිදමයි?
මැ.කෝ- දෙකයි තුන. ඔව්.
ඕෂල- දෙකයි තුන දැන් මේ කියන විදියට සමස්ත ලංකා කාරක සභාවකුත් තිබිලා තියෙනවා.
මැ.කෝ- ඔව්. දෙකයි තුන සමස්ත ලංකා එකත් තියලා තියෙනවා.
ඕෂල- ඊට කලින් තිබ්බා තුනයි හතර තිබුණා කියලා එකකුත්?
මැ.කෝ- නැහැ. නැහැ. තුනයි හතර තිබ්බා කියලා එකක් නැහැ.
ඕෂල- මේ තියෙන්නේ.
මැ.කෝ- මේ දෙකයි තුන කියන්නේ පරණ සේනකගේ එකක්.
ඕෂල- හැබැයි ඒක ෆස්ට් ටයිම් එන්නේ ඊයේ?
මැ.කෝ- ඊයේ නෙවෙයි. දැන් මේක රෙකෝඞ් කරන්න එපා.
ඕෂල- නැහැ. නැහැ.
මැ.කෝ- මේක ?…. ඇවිල්ලා කිව්වා පරණ දිනයකට ගන්න පුළුවන්ද කියලා. මං කිව්වා මල්ලි ගත්තත් මට ගන්න පුළුවන් වෙන්නේ තුනයි පහ. මට ඇත්තටම මට මේක ගන්න බැරි කමක් නැහැ. ගන්න පුළුවන්. ඒත් මම ගන්න බැහැ කිව්වා. මොකද මෙයා මට මේකට ඔයාට බොරු කරන්න බැහැනේ. මට මේකට දෙකයි තුන ඬේට් ස්ටෑම්ප් එකක ගහලා දුන්නා නම් ඔයාට කරන්න කිසිම දෙයක් නැහැ. එහෙම ඕනෑ නැහැ. හැබැයි මේකට රොමේෂ් සිල්වා මේගොල්ලන්ට කියලා තියෙනවා රුටිෆයි කරන්න කියලා. දැන් මොකක්ද දන්නවද කියන්නේ. අපිට මේක එව්වා. අපි මේක නැති කරගෙන.
ඕෂල- කවුද කතා කරන්නේ ඕවට. ගනුදෙනු කරන්නේ කවුද?
මැ.කෝ- මාත් එක්කද?
ඕෂල- ඕවා දැන් ඉල්ලන්නේ කවුද?
මැ.කෝ- සේනක තමයි.
ප්‍රසිද්ධියට පත් වී ඇති ඊළඟ හඬ පටයද දුරකතන සංවාදයකි. ඒ මෙසේය.
මැ.කෝ- ඕෂල. අපේ කෙල්ලෙක් අඬනවා. අපේ සිංහල එකේ විතරයි ?.. එකේ උන් අංක හදලා තියෙන්නේ. ඔයා මේ ෆේස්බුක් දාලා ඒ කෙල්ල ඉලෙක්ෂන් කොමිෂනර් ගෙන්නලා ඉලෙක්ෂන් ඕඩර් එක ගහන්න ඕනෑ කියලා.
ඕෂල- ඒක. ෆේස් බුක් එකේ දාලා තිබුණු එකක් මම ගත්තේ.
මැ.කෝ- කවුද දාලා තිබුණේ ඕක.
ඕෂල- ඕක මම දාපු එකක කමෙන්ට් එකකට දාලා තිබුණේ.
මැ.කෝ- රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ එකේ කියන එක අයින් කරනවද ඔයා දාපු එක.
ඕෂල- හා මං අයින් කරන්නම්.
මැ.කෝ- මොකද අනිත් උන් දාලා තිබුණට අනිත් උන් එහෙම දාලා නැහැනේ.
ඕෂල- මං අයින් කරන්නම්. සභාපතිතුමා කිව්වොත් මං ඕනෑ දෙයක් කරනවනේ.
මැ.කෝ- ආ.. මේ. මං කතා කළා මෙයාට. මේ.. සේනකට. මං කිව්වා උඹට හම්බවෙන්න වුණොත් කතා කරන්න කැමැතිද කියලා.
ඕෂල- මොනවද සභාපතිතුමා. මට තේරුණේ නැහැ.
මැ.කෝ- සේනක. සේනක සිල්වා.
ඕෂල- ඔව්. ඔව්.
මැ.කෝ- අර අර පක්ෂේ අයිතිකාරයා. මං කිව්වා නඩුවක් දානවා. සැරටම යනවා. උඹල සමහරවිට නඩුව දිනයි ලෝයර්ලා දාගෙන. නමුත් ඒක බොලාට අවුලක් තව. ඒ මනුස්සයා හම්බ වෙලා ඒ මනුස්සයාට සවන් දියල්ලා කියලා. හරි හරි සභාපතිතුමා මට ප්‍රශ්නයක් නැහැ. මං කිව්වා සජිත් එයාව හම්බ වෙන්න බැහැ කියනවා. මං කිව්වා එයා නරක මිනිහෙක් නෙවෙයි. මං හම්බ වෙන්න එයා හෙට එනවා. මං ඕනෙ නම් කියන්නම් හම්බ වෙන්න කැමැතියි කියලා. නැහැ නැහැ අයියේ ප්‍රශ්නයක් නැහැ. මං ඕන කෙනෙක් හම්බ වෙන්න කැමැතියි කිව්වා.
ඕෂල- එයා ඉතිං නළුවනේ සභාපතිතුමා. ඕක සජිත් එක්ක කතා කරලා විසඳ ගන්න ඕනෑ ප්‍රශ්නයක්නේ.
මැ.කෝ- නැහැ එයා කෙළින්ම අරයා ගාවට එක්ක යයි. උගේනේ ප්‍රශ්නේ. තාම ඌටනේ බලය තියෙන්නේ.
ඕෂල- තාම සේනකද? විධායක කාරක සභාව ඇත්තෙත් එයාගේ අතේනේ නේද? ඕන වෙලාවක ආයෙ ගන්න පුළුවන් ඇති නේද?
මැ.කෝ- ඔව්. ඒකනේ.
ඕෂල- මම සභාපතිතුමා අරක ඩිලීට් කළා. ඒක දාලා තියෙන්නේ මගේ කමෙන්ට් එකකට එක්කෙනෙක්. මම ඒ කමෙන්ට් එකත් ඩිලීට් කරන්නද?
මැ.කෝ- ඒක ඩිලීට් කරලා දාන්න. අපේ පිස්සෝ ඉංග්‍රීසි එකේ දානවා. සිංහල එකේ මේ කෙල්ලෝ හදලා. ඉංග්‍රීසි එකේ උඩින් පල්ලෙහාට අරන් එහෙම මෙහෙට දාන එකනේ කරන්නේ. සිංහල එකේ හැදුවා. අරක අස්සන් කරද්දී ඩුග් ගාලා කරා හැදුවේ නැහැ. දැන් ටැමිල් එකෙත් හැදුවා කිව්වා. අපේ උන් දන්නේ නැද්ද? මගේ ෆේස්බුක් එක කොයි වෙලෙත් බලනවනේ.
ඕෂල- මම ඩිලීට් කළා. මම හෙට එන්නම්. හෙට දහයට එන්නම් මම.
මැ.කෝ- හෙට මල්ලි. එකොළහට විතර එන්න. මොකද පොඩි රැස්වීමක් තියෙනවා.
ඕෂල- හරි. හරි.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ ඕෂල හේරත් මහතා අතර පැවැති සංවාදයන් අපට හමුවූ අවසන් සංවාදයද මුහුණට මුහුණ හමුවී සිදු කරන ලද්දකි. මේ එම සංවාදයය.
මැ.කෝ- එතකොට අපි අර දාපු ලියුම. ඔයා දාන්න මේක නඩුවෙදි ඔයාට දැන ගන්න ලැබුණු විදියට. දෙකයි හය දිනැති ලියුම නිකුත් කරලා තියෙන්නේ දෙකයි නවය කියලා. මොකද ඒ ගොල්ලෝ ෆේස්බුක් එකේ දැම්මේ දෙකයි නවයනේ. ඇත්තටම මේක දෙකයි නවය තමයි අස්සන් කරලා තියෙන්නේ.
ඕෂල- ඔබතුමා ලංකාවෙත් නැහැ එතකොට?
මැ.කෝ- නැහැ. නැහැ. සමන්නේ අස්සන් කරලා තියෙන්නේ. කොමිෂන් සභාව වෙනුවෙන් එයාට බලය තියෙනවනේ.
ඕෂල- කොමිෂන් සභාවේ මීටින් එක කවදද තිබුණේ මේ ඩිශිෂන් එක ගන්න?
මැ.කෝ- හයවැනිදා රැස්වීමක් තිබ්බනේ. ඒ තියෙන කොට මේගොල්ලෝ ආවනේ අපිව හම්බ වෙන්න. දෙකයි හය රැස්වීමට ආවා. ආවම අපි එක්ක සාකච්ඡා කළානේ. සාකච්ඡා කරන කොට අපි කිව්වා පක්ෂෙක නිලධාරීන් වෙනස් කරන එක ප්‍රශ්නයක් නැහැ. ව්‍යවස්ථාවට අනුකූලව ගෙනාවොත් නිලධාරීන් වෙනස් කරන්න පුළුවන් කියලා. සජිත් ආවෙ නැහැ. සුජීව, මද්දුම බණ්ඩාර එහෙම ආවා.
ඕෂල- අර දෙකයි විසි නවය මොකක්ද? අර රැටිෆයි කරපු ලියුම එවලා තියෙන්නේ එදාද?
මැ.කෝ- නැහැ. නැහැ. ඊට පස්සේ අපි මේගොල්ලන්ගෙන් ලියුම් ආවම නිමල් පුංචිහේවගෙන් ගන්නවනේ. එයා තමයි කියලා තියෙන්නේ විසි දෙක. අපි දෙකයි හයම කියලා තියෙනවා මේක පිළිගන්න පුළුවන් කියලා හරියට ආවොත්. මට එයාර් පෝට් එකේදී කතා කළා. අපේ අය මේක හරිද අහන්න.
ඕෂල- එතකොට හූල්?
මැ.කෝ- ප්‍රොෆෙසර් හූල් අපි ඔක්කොම එකඟ වුණානේ. ප්‍රොෆෙසත් ඒ මීටින් එකේ හිටියා. පස්සේ මේ ඩොකියුමන්ට් සේරම සමන් ඇපෘව් කරන්න එපැයි කමිෂන් එකට. දෙකයි දහ අට කමිෂන් එකට තමයි දාලා තියෙන්නේ. දෙකයි විසි හය සාකච්ඡා කරලා තියෙනවා.
ඕෂල- අර ඊට පස්සේ රැටිෆයි කළා කියලා එවපු ලියුමක් තියෙනවනේ නේද ඒගොල්ලන්ගේ. දෙකයි දෙක දිනයට දාපු එකක් මධ්‍යම කාරක සභාවේ තීන්දු ගත්තා කියලා. මොකක්ද දන්නෑ ඒ ගත්ත තීන්දුව?
මැ.කෝ- දෙකයි දෙක දැම්මට පස්සේ මල්ලි. දෙකයි දෙක තමයි මධ්‍යම කාරක සභාව තීරණය කරලා තියෙන්නේ අරක නොසලකා හැරලා ක්‍රියා කරන්න. දෙකයි තුන තමයි පත් කරලා තියෙන්නේ. දෙකයි තුනනේ සාමාජිකත්වය අරන් තියෙන්නේ.
ඕෂල- එතකොට දෙකයි විසිදෙක මොකුත් නැහැ?
මැ.කෝ- ඉන්නකෝ මේකේ ලියුම් වගයක් තියෙනවා. තුනයි පහ එකක් තියෙනවා මේ සංශෝධන සිදු කිරීමට අනුමැතිය ලැබුණා කියලා. තුනයි එක දිනැති රැස්වීමෙදි. ඒක අලුත් සමස්ත ලංකා කාරක සභාව.
ඕෂල- ඒක අලුතින් පත් කරපු කාරක සභාව නේද. එතකොට මේ අලුතින් පත් කෙරුව කාරක සභාවෙන් තමයි රැටිෆයි කරලා තියෙන්නේ.
මැ.කෝ- ඉන්නකෝ මං කියන්න. තුනයි එක සමස්ත ලංකා කාරක සභාව
ඒ සංවාදවල ඇතුළත් වී ඇති කරුණු එසේය. මෙම සංවාද පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඔබේ හිතට නැඟුණු හැඟීම විවිධාකාර විය හැක. නමුත් ලංකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියකු මේ ආකාරයෙන් කටයුතු කිරීම කෙතරම් සදාචාරාත්මකදැයි යන පැනය සියලු දෙනාම විමසන බව නම් නොඅනුමානය. එමෙන්ම අවංක රාජ්‍ය නිලධාරියකු ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇති කර ගෙන තිබූ ප්‍රතිරූපයට මේ හරහා සිදුවන හානියද සුළුපටු නොවන බව අපේ මතයය.
එම හඬ පට තමන් පටිගත කළ බව සහ ඒවා මුදා හැරියේද තමන් බව මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ඕෂල හේරත් මහතා සඳහන් කර සිටියේය. තමන් ඒවා පටිගත කරන ලද්දේ නීතිමය අවශ්‍යතාවයන් වෙනුවෙන් බවද සඳහන් කළ හේරත් මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා යනු කවරෙක්දැයි ජනතාවට තේරුම් ගැනීම සඳහා එම හඬ පට ප්‍රසිද්ධියට පත් කළ බවද සඳහන් කර සිටියේය. මේ සම්බන්ධයෙන් මෙතෙක් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කිසිවක් සඳහන් කර හෝ කිසිදු නිවේදනයක් නිකුත් කර නැත. මේ සම්බන්ධයෙන් විමසීම සඳහා ඒ මහතා සම්බන්ධ කර ගැනීමට අප කිහිප වරක් උත්සාහ කළද පවතින කාර්යබහුලත්වය හමුවේ ඒ උත්සාහය සාර්ථක වූයේ නැත. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය කිසිවක් මෙම කරුණු පිළිබඳව අවධානය යොමු නොකිරීමද විශේෂත්වයක් වී ඇත.
කෙසේ නමුත් ඉහත සංවාදයන්ට අදාළ නඩුව විභාගයකින් තොරවම ඉවත දැමීමට අධිකරණය කටයුතු කළ බවද සඳහන් කළ යුතුය. එබැවින් ඕෂල හේරත් මහතා මතු කරන කරුණුවල වැදගත්කම සම්බන්ධයෙන්ද සිතා බැලිය යුතුය. එමෙන්ම මෙතරම් කාලයක් පුරා අවංක රාජ්‍ය නිලධාරියකු ලෙස ගෞරවයට පාත්‍ර වී සිටි මහින්ද දේශප්‍රිය මහතා එම ගෞරවය සඳහා තවදුරටත් සුදුසුද නැද්ද යන්න තීරණය ගත යුත්තේ ජනතාවය.

චන්දන පොන්නම්පෙරුම

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ