අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කලා ක්ෂේත්‍රය නියෝජනය කරන සංගම් නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ (09) විජේරාමයේ පිහිටි නිල නිවසේ දී පැවැත්විණි.
කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ කලා ශිල්පීන්ට මුහුණදීමට සිදුව ඇති දුෂ්කරතාවන් පිළිබදව මෙහිදී අවධානය යොමු කෙරිණි.
වසංගත තත්ත්වය හමුවේ කැමරා, සංගීත, චිත්‍රපට, ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍යය යනාදී කලා ක්ෂේත්‍රයේ සියලුම අංශවල කලා ශිල්පීන් මුහුණ දී ඇති ගැටළුකාරී තත්ත්වයන් පිළිබඳව මෙහිදී කලාකරුවන් අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළේය.
සංගීත සංදර්ශන, ටෙලි නාට්‍ය රූගත කිරීම්, වේදිකා නාට්‍ය වේදිකාගත කිරීම වැනි සියලුම කලා කටයුතු අතරමඟ නැවතී ඇති පසුබිමක කලා ශිල්පීන්ට මුහුණ දීමට සිදුව ඇති ආර්ථික පසුබෑම පිළිබඳව ද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කෙරිණි.
තනි තනිව සටන් කිරීමෙන් අයිතිවාසිකම් දිනා ගැනීමේ හැකියාවක් නැති බවත් ඒ ඒ අංශ නියෝජනය කරන පිරිස් වෘත්තීය සංගම් ලෙස එක්ව කටයුතු කිරීම මඟින් අයිතිවාසිකම් දිනා ගැනීමේ හැකියාව ඇති බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා කලාකරුවන් සමඟ සදහන් කළේය.
මෙම අවස්ථාවට කලාකරුවන් වෙනුවෙන් චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස, ක්‍රියාකාරී අධ්‍යක්ෂ රොහාන් වැලිවිට, ප්‍රවීන නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ, ටවර්හෝල් රඟහල පදනමේ සභාපති ඩග්ලස් සිරිවර්ධන, ප්‍රවීන ඡායාරූප ශිල්පී ප්‍රසන්න හෙන්නායක, ගායන ශිල්පී රොෂාන් ප්‍රනාන්දු, භාතිය ජයකොඩි, ඇතුළු පිරිසක් ද තොරතුරු හා ජනමාධ්‍ය උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා, මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා, බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.