සිංහල මව්වරුන් වඳ භාවයට පත්කළේ යැයි චෝදනා එල්ල වූ කුරුණෑගල රෝහලේ සේවයේ නිරතව සිටි ප්‍රසව හා නාරි වෛද්‍ය සාෆි සහබ්දීන් සම්බන්ධයෙන් පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
සාෆි සහබ්දීන් සම්බන්ධයෙන් මුල් විමර්ශන පැවැත්වූ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් විසින් පාස්කු කොමිසමට ලබාදුන් සාක්ෂිවලින් හෙළිවන කරුණු පදනම්කර ගනිමින් එම විමර්ශනය ආරම්භ වී ඇත.
හෙළිකළ නොහැකි මාර්ගවලින් සාෆි සහබ්දීන්ට මුදල් ගලා ආ බවත්, එම මුදල් සම්බන්ධයෙන් පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය විසින් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදි නිසි පිළිතුරු ලබාදීමට ඔහු අපොහොසත් වීමත් මුල් කර ගනිමින් එම විමර්ශනය පැවැත්වෙන බව කොමිසමේ තොරතුරු අනාවරණය කළේය.
සාෆි සහබ්දීන් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන පැවැත්වෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේය. පාස්කු කොමිසමේ විමර්ශන අංශය විසින් විමර්ශන ආරම්භකර ඇත්තේ ඊට අමතරවය.
පාස්කු කොමිසමේ කාලය පසුගිය 20 වෙනිදා අවසන් වීමට නියමිතව තිබුණි. කොමිසමේ ඉල්ලීමක් මත ජනවාරි 31 දක්වා එම කාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දීර්ඝ කරනු ලැබීය. සාෆ් සහබ්දීන් සම්බන්ධයෙන් වූ අලුත් විමර්ශනය එකී කාලයට පෙර අවසන් කළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් සාක්ෂි විමසීමක් පවා කළ යුතුව ඇති බවත් කොමිසමේ තොරතුරු අනාවරණය කළේය.
මේ වන විට කොමිසමේ පොලිස් විමර්ශන අංශය විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් 1500කට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සටහන්කර ගෙන තිබේ. ඒ අයගෙන් මෙතෙක් සාක්ෂි විමසා ඇත්තේ 500ක් පමණ වූ පිරිසකගෙන් පමණි. අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු වැදගත් සාක්ෂිකරුවන් බොහෝ දෙනෙක් සාක්ෂි ලබාදීමට සූදානමින් සිටින බවද කොමිසමේ තොරතුරු සඳහන් කළේය.