Connect with us
Redmi 9C
Advertisement

Exclusive

සියල්ලන්ගේම රෙදි ගැලවුණු ‘බදුර්දීන් නාටකය’ EXCLUSIVE

Published

on

කොවිඞ් 19 වෛරසය නැවතත් අපේ රටේ ජනතාව ගොදුරුකර ගනිමින් තිබේ. ඒ තුන්වැනි රැල්ලක් ලෙසිනි. කොවිඞ් 19 වෛරසය ආසාදනය වූ සංචාරක මග පෙන්වන්නෙක් හමුවීමත් සමග ඉකුත් මාර්තු මාසයේදී නිරෝධායන ඇඳිරි නීතිය පනවමින් රජය විසින් වෛරස ව්‍යාප්තිය පාලනය කරන්නේ අපේ රට මාස 04ක් පුරාවට වසා දමමිනි. එම අවස්ථාව සැලකෙන්නේ කොවිඞ් 19 මෙරට පළමු රැල්ල ලෙසිනි. කන්දකාඩුවලින් මතුවන්නේ දෙවැනි රැල්ලය. පළමු රැල්ල මෙන් එම දෙවැනි රැල්ලද ඉතා සාර්ථකව මෙරට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ පාලනය කරන්නේ රජයේ උපදෙස්ද ඇතිවය. හැබැයි ඒ නිරෝධායන ඇඳිරි නීතිය තෝරාගත් ප්‍රදේශවලට පමණත් පැනවෙමිනි. දැන් තුන්වැනි රැල්ල ආරම්භ වී ඇත්තේ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කම්හල් සමූහයේ මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාව කේන්ද්‍රකර ගනිමිනි. පළමු සහ දෙවැනි රැල්ලට නොදැවෙනි මෙම තුන්වැනි රැල්ලද පාලනය කිරීමට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ නොගන්නා වෙහෙසක් නොමැති තරම්ය. මෙම සටහන තබන මොහොත වන විට ඇදිරි නීතිය පවා පනවා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ තෝරාගත් පොලිස් වසම් කිහිපයකටද පමණි.

ජාලියගේ මාධ්‍ය සංදර්ශන

මෙම පූර්විකාව තබන්නේ කොවිඞ් 19 වෛරසය ගැන කියන්නට නොව, පළමු වටයේ කොවිඞ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙමින් පැවතියදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක එවකට පොලිස් අධිකාරී නීතීඥ ජාලිය සේනාරත්න විසින් කළ මාධ්‍ය සංදර්ශන කිහිපයක් ගැනය. එම මාධ්‍ය සංදර්ශනවලින් බොහොමයක්ම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හා බැදුණු සිදුවීම් විය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශයකවරයා පළමු මාධ්‍ය හමුව පවත්වන්නට යෙදෙන්නේ අප්‍රේල් මාසයේ මුල් සතියේ දිනකදීය. නිරෝධායන ඇඳිරි නීතිය අස්සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රටේ සියලුම මාධ්‍ය එසේ කැඳවන්නේ විශේෂ මාධ්‍ය හමුවකට යැයි කියාය. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවටය. මේ විශේෂ මාධ්‍ය හමුව කැඳවා ඇත්තේ කොවිඞ් ගැන කියන්නට නොව, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුවිශේෂී වැටලීමක් ගැන හෙළිකරන්නටය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම විශේෂ මාධ්‍ය හමුවේදී සඳහන් කරන්නට වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය. මඩකලපුව සියෝන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුට ප්‍රවාහන පහසුකම් සපයන ලද ඔවුන් කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු සමගද සම්බන්ධ බව ලුණු ඇඹුල්ද ඇතිව රස කරමින් සඳහන් කරන්නට විය. එම මාධ්‍ය හමුවේදී ඔහු බොහෝ දේවල් කීවේ ඇතැම් කරුණු ගිලගෙනය.

සී.අයි.ඩී. එක කරපු හෙළිදරව්ව

ඔහු සඳහන් කරන්නට වූ බොහෝ කරුණු සැක උපදවන සුළු විය. මේ නිසාම ලියුම්කරු මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ම විමසා ඇත්ත නැත්ත පරීක්ෂා කර බැලුවේ එදාමය. එහිදී හෙළිවන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කර ඇත්තේ ජනතාව හොඳට අන්දවමින් කොවිඞ් 19 අස්සේ මාධ්‍ය සංදර්ශනයක් කර ඇති බවය. එදා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතාටද පරිබව කළේය. ඒ මුල් විමර්ශන නිසි ලෙස සිදුවී නැති බව සඳහන් කරමිනි. මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ගෙන් කරුණු සොයා බැලීමේදී හෙළිවන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තලු මරමින් මාධ්‍ය ඉදිරියේ කළ සංදර්ශනයට අදාළ සැකකරුවන් දෙදෙනාව පාස්කු ප්‍රහාරයෙන් මසක් ඉක්ම යන්නට මත්තෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අවශ්‍ය නීතිමය කටයුතු කර ඇති බවය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තළු මරමින් සදහන් කළ ආකාරයට අනුව ඒ අත්අඩංගුවට ගත්තේ යැයි කියන සැකකරුවන් දෙදෙනා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හෝ ප්‍රහාරයට ඝෘජු සම්බන්ධයක් නොමැති අය බව විමර්ශකයන්ගේ අදහස විය. ඒ දෙදෙනා මහ මොළකරුවන් යැයි කියා හඳුන්වා ඇත්තේ පොලිස් ලොක්කන්ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් දැවැන්ත සංදර්ශනයක් පවත්වා ඇත්තේ එම පොලිස් ලොක්කන්ගේ මනදොල සපුරාලමිනි.
මුල් විමර්ශනයේදී එම සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු සම්බන්ධයෙන් කළ විමර්ශනයේදීය. එම බෝම්බකරු බෝම්බ බෑගයද රැගෙන අප්‍රේල් 20 වෙනිදා රාත්‍රියේ කොළඹ සිට මඩකලපුවට ගමන් කරන්නේ මගී බස් රථයක නැගීය. එම බස් රථය අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වන්නෙකි. අත්අඩංගුවට ගන්නේ එම බස් රථයේ ආසන වෙන්කිරීමේ කටයුත්තේ නිරතව සිටින පුද්ගලයින් දෙදෙනෙකි. ඊට හේතුව බෝම්බකරුට බස් රථයේ ආසනයක් වෙන්කර දී ඇත්තේ ඔවුන් දෙදෙනා වන බැවිනි. හැබැයි ඒ ඔවුන් දෙදෙනා එම ආසන වෙන්කර දී ඇත්තේ බස් මගියා බෝම්බකරුවෙක් බව කිසිසේත්ම නොදැනය. එසේම එම මගියා හෝ ඔහුට සම්බන්ධ කිසිවෙකුත් ඔවුන් දෙදෙනා පුද්ගලිකවම දැන හඳුනාගෙන සිටි බවක්වත් විමර්ශනවලින් අනාවරණය වන්නේද නැත. සියල්ල සිදුවී ඇත්තේ දුරකතන මාර්ග ඔස්සේය. ඒ නිසාම නීතිපති දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන්නේ එම සැකකරුවන් දෙදෙනා රජයේ සාක්ෂිකරුවන් කරන ලෙසය. කොවිඞ් 19 අස්සේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් දෙදෙනෙක් අල්ලාගත්තේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් සඳහන් කරන්නේ මේ දෙදෙනාටය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසම හමුවේද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළ මහ මොළකරුවන් දෙදෙනා ගැන දීර්ඝ ලෙස සාක්ෂි විමසීමක්ද කළේය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එකී විමර්ශන භාර පොලිස් පරීක්ෂකවරයා කොමිසම හමුවේ කරන පැහැදිලිකිරීම්වලදීද පෙනී යන්නේ ද ඔවුන් දෙදෙනා මහ මොළකරුවන් දෙදෙනෙක් නොව, පාස්කු ප්‍රහාරය ගැන කිසිවක් නොදැන සාමාන්‍ය මගියෙක් සේ සලකා බෝම්බකරුටද ආසනයක් වෙන්කර දුන් පුද්ගලයින් දෙදෙනෙක් බවකි.

ජාලියගේ දෙවන මාධ්‍ය රංගනය

කොවිඞ් 19 වෛරස ව්‍යාප්තිය අස්සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ දෙවැනි මාධ්‍ය රංගනය සිදුවන්නේ හිටපු ඇමති රිෂාඞ් බදියුදීන්ගේ සහෝදරයෙක් වන රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමේ මාධ්‍ය හමුව පවත්වමිනි. එම මාධ්‍ය හමුවද පැවැත්වෙන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදීය. හදිසි මාධ්‍ය හමුවක් ලෙස මාධ්‍ය කැඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රියාජ් අත්අඩංගුවට ගත් බව කියන්නේ පාස්කු ප්‍රහාරයට ඔහුගේ ඇති සම්බන්ධකම් ගැන ඉතා වැදගත් සාක්ෂි රාශියක් අනාවරණය වී ඇති බව සඳහන් කරමිනි. රියාජ් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමග සම්බන්ධ බව මෙන්ම තවත් බොහෝ දේවල් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. ඔහු ඒ ගැන පුද්ගලික මාධ්‍ය ආයතනයක දහවල් කාලයේ පැවැත්වෙන වැඩසටහනකටද ගොස් රියාජ් අත්අඩංගුවට ගැනීම ගැන කීවේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රියාජ් බදියුදීන්ව අත්අඩංගුවට ගන්නේ අප්‍රේල් 14 වෙනිදාය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මාධ්‍ය හමුවේ ඒ සදහන් කළ කරුණු එකී විමර්ශනයට සම්බන්ධ නිලධාරීන් දුටුවේ සුරංගනා කථාවන් ලෙසිනි. ඒ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන ඒ බොහෝ දේවල් ඒ අයද නොදැන සිටි නිසාය. එහෙත් මාධ්‍ය ප්‍රකාශකවරයා එම මාධ්‍ය වැඩසටහන්වලදී කියන්නට වූයේ විමර්ශනවලින් රියාජ් පාස්කු ප්‍රහාරයට ඝෘජුවම සම්බන්ධ බවට සාක්ෂි අනාවරණය වී ඇති බවකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ මේ ප්‍රකාශ රිස්සුවේ නැති නිසාම මේ ගැන විමර්ශන නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස්ට පැමිණිලි කළේය. එහිදී ඔහු ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ හිස මත දෑත තබා මද වේලාවක් කර්යාල මේසය මත හිස පහත්කරමින් සිට “මට උඩින් ඉන්න අයනේ මේවා කරන්නේ.” යනුවෙන් සඳහන් කරමිනි.

කාදිනල් හිමියන් හමුවී කියපු කතා

විමර්ශනයේදී ඒ වන විට හෙළි නොවූ කරුණු මාධ්‍ය සංදර්ශන පවත්වමින් පොලිස් ලොක්කන් සමාජ ගත කළා පමණක් නොව, මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවා මුණ ගැසී පාස්කු ප්‍රහාරයේ අලුත් විමර්ශන ගැන බොහෝ දේවල් කියා තිබුණේය. ඊට බදියුදීන්ලාගේත් හිස්බුල්ලලාගේත් ඇති සම්බන්ධකම් ගැනද කාදිනල් හිමිපාණන් දැනුවත් කර තිබුණේ ඒ අයට එරෙහිව සාක්ෂි ඇති බවත්, පසුගිය කාලයේ නිසි විමර්ශන සිදු නොවූ බවත් කියමිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පුද්ගලිකවම කළ දැනුවත් කිරීම් මුල්කරගෙන කාදිනල් හිමිපාණන්ද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන ගැන සතුටට පත්වෙමින් ඒ ගැන මාධ්‍ය හමුවේ විවිධ ප්‍රකාශයන් පවා කළේය. ඉකුත් මහා මැතිවරණයේදී කතෝලික ජනතාවගේ මනාපයටද එම ප්‍රකාශයන් යම් බලපෑමක් නොකළා යැයි කියන්නට බැරි තරම්ය.
කාදිනල් හිමියන් ඇතුළු රටේ ජනතාව අන්දවපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොකු ලොක්කන්ගේත් රෙදි ගැලවෙන්නේ ඉකුත් සතියේදීය. ඒ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෙක් බව සඳහන් කරමින් අත්අඩංගුවට ගෙන මාස පහමාරක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටි රිෂාඞ් බදියුදීන්ගේ සහෝදරයා වන රියාජ් බදියුදීන්ව අධිකරණයටවත් ඉදිරිපත් නොකර පිට පාරෙන්ම නිදහස් කිරීමට පියවර ගැනීමත් සමගිනි. ඒ ඔහු පාස්කු ප්‍රහරයට සම්බන්ධ යැයි කියන්නට තරම් සාක්ෂි නොමැති බව සඳහන් කරමිනි. එදා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෙක් වූ එසේම සාක්ෂි ඇති තරම් ඇතැයි කී රියාජ්ට එරෙහිව සාක්ෂි නැතැයි අද කියන්නේද එකම මාධ්‍ය ප්‍රකාශකවරයාය. එදා ඔහු එම ප්‍රකාශය කරන විට පොලිස් අධිකාරීවරයෙකි. රියාජ්ට සාක්ෂි නැතැයි කියන විට ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකි. රියාජ් බදියුදීන් නිදහස් කිරීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්නගේ අලුත්ම කථාව වූයේ එදා ඔහුව අත්අඩංගුවට ගත්තේ සාධාරණ සැකය මුල්කරගෙන බවය. එම සැකය සනාථ කිරීමට තරම් සාක්ෂි අනාවරණය නොවූ බැවින් මුදා හැරීමට පියවර ගත් බවද ඔහු පවසන්නට විය. මාධ්‍ය ප්‍රකාශකවරයාගේ එම දිව දෙකේ කථාව හේතුවෙන් අපහසුතාවට පත්වන්නේ වෙන කිසිවෙක් නොව, වත්මන් රජයයි. ඒ රියාජ් බදියුදීන් නිදහස ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි වගන්තිය සම්බන්ධයෙන් රටේ දැවැන්ත කථාබහක් ඇති වෙමින් පවතින මොහොතකදී නිසාය. රියාජ්ගේ නිදහස හා 20 අතර යම් සම්බන්ධයක් ඇතැයි දේශපාලන ක්ෂේත්‍රයේ දැවැන්ත ලෙස කතාබහටද ලක්වන්නට විය. ඒ රිෂාඞ් බදියුදීන්ගේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජන්දය 20ට පක්ෂව ලබා ගැනීමේ අරමුණින් රියාජ්ගේ නිදහස හිමිවූ බව සඳහන් කරමිනි. එය වඩාත් තීව්‍ර වන්නේ රියාජ්ගේ නිදහසට පසු දින මන්නාරම් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවැති රජයේ උත්සවයක රිෂාඞ් බදියුදීන්ද ආරාධිතයෙක් ලෙස සහභාගී වී සිටීම හේතුවෙනි. එම උත්සවය නිමාවීමෙන් පසු ඔහු මාධ්‍යට ප්‍රකාශ කරනුයේ සිය සහෝදරයා අහිංසක බවය. එසේම ඔහු 20 ගැනද යම් ප්‍රකාශයක් එහිදී කළේය. එම ප්‍රකාශය ජනතාවට දැනුනේ නම් 20 සම්බන්ධයෙන් ඔහුගේ පක්ෂයේ සහය ලැබෙන්නේ ආණ්ඩුව පැත්තට බවය. කාදිනල් හිමියන් සිය නිහඬතාව බිඳ දමන්නේ ඒත් එක්කමය. උන් වහන්සේ රියාජ්ගේ නිදහස දකින්නේ දේශපාලන ඩීල් එකක් ලෙසිනි. මාධ්‍ය හමුවක් පවත්වමින් උන් වහන්සේ වදින්නට ඕනේ තැන් තැන්වලට වදින ලෙස කියන්නට උවමනා හැම දෙයක්ම කීවේය. ඒ නිසාම මාධ්‍ය නිවේදනයක් මගින් තමාට දේශපාලන ඩිල් නැතැයි කියන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පවා සිදුවිය. රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමති චමල් රාජපක්ෂද පාර්ලිමේන්තුවේදී මේ ගැන කියන්නට විය. ඔහු පවසන්නට වූයේ රියාජ් අත්අඩංගුවට ගත්තේ සැකපිට යැයි කියාය. පරීක්ෂණ අවසානයේදී ඔහුට එරෙහි කිසිදු සාක්ෂියක් අනාවරණය නොවූ බැවින් රඳවා ගැනීමේ නියෝගය අවලංගු කර ඔහු නිදහස් කිරීමට පියවර ගත් බව චමල් ඇමතිවරයා කීවේය. රියාජ් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න විසින් කළ කී දේවල් ගැන නම් චමල් ඇමතිවරයාගේ ප්‍රසාදයක් නොවීය. ඇමති චමල් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාව දකින්නට වූයේ දේශපාලනඥයන් මෙන් ඔහු මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වූ අයෙක් ලෙසිනි.
චමල් රාජපක්ෂ ඇමතිවරයා විසින් එසේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාව දැඩිව විවේචනයට ලක්කරමින් ඔහු සම්බන්ධයෙන් යම් විමර්ශනයක් පැවැත්විය යුතු බවට පාර්ලිමේන්තුවේ කළ එම ප්‍රකාශයත් සමග ජාලිය සේනාරත්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් විසිවෙමින් ඒ වෙනුවට නැවතත් එම තනතුර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ කර මත පැටවෙමිනි.

ලොකු පුටු මාරුවෙයි

චමල් රාජපක්ෂ ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාව විවේචනය කරන විට ඔහුව මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉවත් කළාක් මෙන් රියාජ් නිදහස් කිරීම ගැන කාදිනල් හිමියන්ගේ විවේචනයෙන් පැය 48ක් ඉක්ම වන්නට මත්තෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහද විසිවී ගියේ බස්නාහිර පළාත් උතුරු දිසාවේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසිනි. ඒ වෙනුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොකු පුටුවට පත්කරන්නේ බස්නාහිර උතුරු දිසාවේ සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහවය. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද කලක් සේවය කර ඇති නිලධාරියෙකි.
චමල් රාජපක්ෂ ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කර ඇත්තේ ඔවුන්ගේ රාජකාරියයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ඇමතිවරයාට විවේචනයක් නොවූවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න ගැන ඇත්තේ විවේචනයකි. එහෙත් පසුගිය 08 වෙනිදා පාර්ලිමේන්තුවේදී ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පවසන්නේ නුවන් වෙදසිංහව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත්කරනුයේ රියාජ් නිදහස් කිරීම සම්බන්ධයෙන් බවය.

රියාජ් ගත්ත ෆෝන් කෝල්ස්…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගන්නේ රියාජ් භාවිතා කළ ජංගම දුරකතනයට සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේ බෝම්බය පුපුරවා ගත් ඉන්සාෆ් අහමඞ් විසින් දුරකතන ඇමතුම් 06ක් සහ රියාජ් බදියුදීන් ඉන්සාෆ් අහමඞ්ට ඇමතුමක් ලබාදී තිබීමක් සම්බන්ධයෙනි. එම ඇමතුම්වලින් 02ක් ලබාදී ඇත්තේ 2019 වසරේ පෙබරවාරි 26 සහ 27 යන දෙදිනය. සෙසු ඇමතුම් සියල්ලක්ම ලබාගෙන ඇත්තේ මාර්තු මාසයේ මුල් සතියේදීය. අත්අඩංගුවට ගන්නවා විට එම ඇමතුම් ගත්තේ ඇයිදැයි කිසිවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් නොදැන සිටි අතර ඒ ගැන නිසි විමර්ශනයක් ඔහුව අත්අඩංගුවට ගැනීමකින් තොරව කිරීමට හැකියාව තිබුණත් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වීමට සිදුවන්නේ ඉහළින් ලැබෙන නියෝග හේතුවෙනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරන ආකාරයට අනුව ප්‍රමාණවත් සාක්ෂි රැස් කිරීමකින් තොරව රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට මුල සිටම විරෝධය පෑ නිලධාරියා වන්නේ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාව සිටි ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්නය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී ජනාධිපති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂකවරයාව කටයුතු කළේ ඔහුය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුර සටනේ නිරතව සිටියදී ඔහුගේ ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරියා ලෙස පත්කර සිටියේද ඔහුය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පොලීසියේ සිදුවූ මුල්ම වෙනස වූයේ ඒ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර එම ධුරයෙන් ඉවත් කර තිලකරත්න ඒ තැනට පත් කිරීමය. එම පත්කිරීමත් සමග බොහෝ අය සිතුවේ ප්‍රති විරුද්ධ දේශපාලනඥයන් රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට පත්වේවි යැයි කියාය. නුවන් වෙදසිංහ ඒ වන විට සිටියේ ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසිනි. ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට ස්ථාන මාරුකරනුයේ නුවන් වෙදසිංහගේ පුද්ගලික සහකාර ලෙසිනි. එහෙත් වැඩි කලක් ඒ දෙන්නටම එකතැන සේවය කිරීමට ඉඩක් නොවීය. නුවන් වෙදසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොකු පුටුවට ස්ථාන මාරුවීමක් ලැබ පැමිණෙන අතර ශානි අබේසේකර වැඩ තහනමට ලක්විය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොකු පුටුව භාර ගැනීමෙන් පසු නුවන් වෙදසිංහට පැවරෙන ප්‍රධාන කටයුත්ත වන්නේ පාස්කු ප්‍රහාරයයි. ඔහු එම කටයුත්තට මුල පුරන්නේ මඩකලපුව සියෝන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල කිරීමට බෝම්බකරු ගමන් කළ මගී බස් රථයේ ආසන වෙන් කරන්නන් දෙදෙනා අත්අඩංගුවට ගනිමිනි. මේ වන විට ඔවුන් දෙදෙනාද සිටින්නේ නිදහස ලබාය. රියාජ් අත්අඩංගුවට ගැනෙන්නේ අනතුරුවය. එහිදී ඔහු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරීවරු සහ සහකාර පොලිස් අධිකාරීවරු තිදෙනෙක්ට පුද්ගලයින් 17 දෙනෙකුගේ ලැයිස්තුවක් ලබාදෙමින් ඒ සෑම අයෙක්වම පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දෙන්නේ එම නිලධාරීන් එම කටයුත්තට අදිමදි කරන විටදීය. ඒ යැයි කියා එම නිලධාරීන්ට ඉහළ නියෝග ක්‍රියාත්මක නොකර සිටින්නට ඉඩක් නොවීය. 17 දෙනා කෙසේ වෙතත් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තේය. රියාජ්ද සිටියේ ඒ අතරය.

සිනමන් බෝම්බකරු එක්ක රියාජ්ගේ සබධතාව

විමර්ශන නිලධාරීන් රියාජ් සහ සිනමන් ග්‍රෑන්ඞ් බෝම්බකරු අතර පැවති දුරකතන සම්බන්ධතාව ගැන දීර්ඝ ලෙස විමර්ශන පැවැත්වූයේය. එහිදී විමර්ශකයන්ට පැහැදිලි වන්නේ සිනමන් ග්‍රෑන්ඞ් බෝම්බකරුට අයත්ව තිබුණු වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත මිලි මීටර් 6 සහ මිලි මීටර් 08 ප්‍රමාණයේ තඹ කම්බි ඉන්දියාවට අපනයනය කිරීමට අවසර ලබා ගැනීමට ඇමති රිෂාඞ් බදියුදීන් සම්බන්ධ කර ගැනීමට එම දුරකතන ඇමතුම් හුවමාරු වී ඇති බවය. ඒ බව තහවුරු කිරීමට පමණක් විමර්ශකයන් ලබාගෙන ඇති විවිධ පුද්ගල කටඋත්තර ගණන පමණක් 250කි. එසේම මේ මාස පහමාරක කාලය තුළ රියාජ්ගේ ප්‍රකාශද 33ක් සටහන්කරගෙන ඇත. එසේම මුදල් විශුද්ධිකරණයෙන්ද රියාජ් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඇත්තේ තවදුරටත් ඔහු සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීමටය. මේ සියල්ල අවසානයේදී රියාජ් නිදහස් කිරීමට විමර්ශකයන් තීරණය කරන්නේ ඔහුට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කිරීමට තරම්වත් ප්‍රමාණවත් සාක්ෂියක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බැවිනි. එතෙක් කලත් රියාජ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින්නේ ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් රඳවා ගැනීමේ නියෝගයකට අනුවය. රියාජ්ව නිදහස් කරනුයේ ආරක්ෂක ලේකම්වරයාට විමර්ශන තත්වය දැනුම් දෙමින් එම රඳවා ගැනීමේ නියෝගය අවලංගු කරමිනි. ඇමති චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී සඳහන් කළ ආකාරයට ඒ කටයුත්තද සිදුව ඇත්තේ එකී ක්‍රමවේදයට අනුවය. එසේ නම් නුවන් වෙදසිංහව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මාරු කිරීමට තරම් වරදක් සිදුවී තිබේදැයි ඇත්තේ ගැටලුවකි. පොලිස් මූලස්ථාන අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරන ආකාරයට අනුව නුවන් වෙදසිංහට එම ස්ථාන මාරුවීම ලැබෙන්නේ වැඩ බලන පොලිස්පතිවරයාගේ නියෝගයක් පැහැර හැරීම හේතුවෙනි. ඒ රියාජ්ගේ විමර්ශන අවසන් බැවින් ඔහුව නිදහස් කිරීමට සිදුවන බව වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නව දැනුවත් කළ මොහොත් පවතින දේශපාලන තත්වය හමුවේ එය නොකරන ලෙසට නුවන් වෙදසිංහට කළ දැනුම්දීම නොසලකා හැරීම නිසාය. වැඩ බලන පොලිස්පතිවරයා රාජ්‍ය බුද්ධි සේවයේ වැඩි කාලයක් සේවය කර බුද්ධිය වැඩියෙන් මෙහයවන නිලධාරියෙකි. දත්තයන් විශ්ලේෂණය කරමින් අර්ථකථනයන් කිරීමට ඔහු හපනෙකි. 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් යම් අර්බුදයක් මේ මොහොතේ හටගෙන ඇති බැවින් රියාජ්ව නිදහස් කිරීමෙන් දේශපාලනිකමය වශයෙන් ආණ්ඩුව අපහසුතාවට පත්වන බව ඔහුගේ විශ්ලේෂණය විය. නුවන් වෙදසිංහට ඔහු උපදෙස් දෙන්නේ 20 ගැටලුව විසඳෙනතුරු රියාජ් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන ලෙසය. එහෙත් සිදුවන්නේ වැඩ බලන පොලිස්පතිවරයා විසින් අර්ථකථනය කළත් මෙන් ආණ්ඩුව අපහසුතාවයට ලක්කරමින් රියාජ්ව නිදහස් කිරීමය. වැඩ බලන පොලිස්පතිවරයාගේ නියෝග පැහැර හරිමින් නුවන් වෙදසිංහ හිතුමතේට රියාජ්ව නිදහස් කළා වන්නට බැරිය. ඊට ඉහළ තැනකින් නියෝගයක් නොවන්නට නුවන් වෙදසිංහ එවැන්නක් කරන්නට යයි කියා සිතන්නට බැරිය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්නද දේශපාලනඥයන් මෙන් මාධ්‍ය සංදර්ශන පවත්වන්නට ඇත්තේ ඔහුගේ හිතුමතේට නොවන්නට පුළුවනි. අද ඔහුට දොස් නගන දේශපාලනඥයන් එදා ඔහු ඒ ප්‍රකාශයන් කරන විට සතුටින් පිනා යන්නට ඇත. ඒ රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම ගැන ජනතාවට එවැනි තොරතුරු ඒ ආකාරයට සන්නිවේදනය කිරීම තුළින් දේශපාලනික වශයෙන් ආණ්ඩුවට මැතිවරණයේදී යම් වාසි සහගත තත්වයක් වූ බැවිනි.

රුවන් වෙඩිවර්ධන

Advertisement
Exclusive1 week ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology10 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive7 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology11 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive6 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive6 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive7 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive12 months ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)