■ වහළෙන් තෙමුණෙ නෑ
■ හිරිකඩ ආවෙ හුළඟට
■ අලුත් කොළ දුන්නා
■ ශාලාව මාරු කළා
■ දහය වසරෙ පන්තිය
සාමාන්‍ය පෙළ විභාගය අවසන් විය. ඒ තවත් වරක් සමස්තය අසමත් කරමින්ය. විභාග ක්‍රමය රටට ආඩම්බරක් වී තිබූ රටක අසමත් වීම දිගින් දිගටම ඉවසා හිඳීමම සමස්තයක් ලෙස අධ්‍යාපනයේ අභාග්‍යයකි. අධ්‍යාපනය අභාග්‍යයක් වීම රටකට ඉතා ඉක්මනින් දරා සිටින්නට සිදුවනු ඇත.
මේ ලියන්නට යන්නේ අලුත්ම සිදුවීම ගැන බව මේ වෙනකොටත් ඔබ දන්නේය. ඒ පහුගිය දිනෙක සමාජ ජාලවල දකින්නට ලැබුණ ප්‍රකට පින්තූර කීපය සහ එහි අතුරු කතාවයි. ඒ සම්බන්ධව විවිධ කයි කතන්දර සමාජගතව ඇති යුගයක මෙවැන්නක් ලිවීම සීරු මාරුවෙන් කළ යුත්තකි. මක්නිසාද යත් මෙය අද වන විට රට තුළ බරපතළ සංවේදී කාරණයක් නිසාය.
මේ පිළිබඳව අප එදා මේ විභාග ශාලාවේම විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් ප්‍රශ්න කළ අතර නම්ගම් හෙළි කිරීමකින් තොරව මේ කතන්දරය ඔබට කියන්නේ බොහෝ දේ අප දන්නවාට වඩා වෙනස් විය හැකි බව දැනුම් දෙන්නටය. සැබෑය. එය ඇතැම් සමාජ ජාල වාර්තා කළ පරිදි රත්නපුරේ පැත්තේ දුෂ්කර පාසලක සිදුවීමක් නොවේ. මේ ගම්පහ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයයි. ගම්පහ තක්ෂිලාව ගම්පහ ඇති ප්‍රධානතම පාසලකි. මෙය පහසුකම්වලින් අනූන පාසලකි. ඒ ගැන තර්කයක් නැත. මේ පාසලේ සුපුරුදු පරිදි විභාග කටයුතු සිදුව ඇති අතර මේ සිදුවීම වෙන්නේ සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයයන් තිබුණු දිනයේය. මේ කියන ශාලාවේ තිබුණාය කියන්නේ සංගීත විෂයට අදාළ ප්‍රශ්න පත්‍රයයි. එදා වැස්සට හසුවෙන්නේ මේ සිසුන් පිරිසය.
අප සමග තොරතුරු කී දරුවා පවසන පරිදි, මේ ශාලාවේත් සිසුන් කීප දෙනෙක්ට මේ ප්‍රශ්නයට බරපතළ ලෙස මුහුණ දෙන්නට සිදුවී ඇති අතර ශාලාවේ පිටත දැල්වලට ආසන්නව හිඳ සිටි සිසුන්ට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදුවී තිබේ. නමුත් ක්‍රමයෙන් ඈතට වෙන්නට සිටි සිසුන්ට වැස්සේ හානිය මේ තරම්ම බලපා නැත. මේ පින්තූරයට අනුව සිදුවීම සීයට සීයක්ම සත්‍යයකි. අපට එය සාධාරණීකරණය කිරීමේ කිසිම වුවමනාවක් නැත. නමුත් සත්‍ය පමණක් සමාජගත විය යුතු බව අපේද අදහසයි. ඒ හේතුවෙන් මේ පිළිබඳ මෙසේ සටහන් තබන්නෙමු.
මෙය දැනගන්නට ඇති පරිදි පාසලේ දහය වසර පන්ති පැවැත්වෙන ස්ථානයයි. එය තෙමහල් ගොඩනැගිල්ලකි. තෙමහල් ශාලාවක උඩුමහල වූ මෙම ගොඩනැගිල්ල සාමාන්‍යයෙන් විශාල වර්ෂාවකට තෙමෙන මට්ටමේ එකකි. අදාළ සිසුන් පවසන පරිදි මේ තත්ත්වය පැවත ඇත්තේ ද විනාඩි කීපයකි. ඒ වැස්ස සමග ආ දැඩි සුළං තත්ත්වය නිසාය. මේත් සමග වහාම අදාළ ගුරු මහත්ම මහත්මීන් ක්‍රියාත්මක වී තිබේ. අදාළ දරුවන් පවසන පරිදි වහාම ඔවුන්ට අලුත් කඩදාසි කට්‍ටල ලබාදීමටද ගුරුවරු පියවර ගෙන ඇති අතර, මේ විභාග ශාලාව මාරු කිරීමට ද කටයුතු යොදා ඇත. අප මේ කියන්නේ අරයාගෙන් මෙයාගෙන් අසාගත් ඒවා නොව අදාළ විභාග ශාලාවේ දරුවන්ම අප සමග කී ඒවාය. ඒ නිසාම සමාජ මාධ්‍යවල යන කතන්දරයට වඩා මෙය වෙනස් විය හැක. මේ සිසුන්ට අනුව ඊළඟ දිනයේ වහාම වෙනත් ශාලාවක් ලබාදීමටද කටයුතු කර ඇති අතර ඉන් පසු මේ තත්ත්වය උද්ගතවී නැත. පහුගිය දිනක විභාග කොමසාරිස්වරයා මේ ගැන නිවැරදි පැහැදිලි කිරීමක් කළේ නැත. ඔහු කීවේ මේ තත්ත්වයට ශාලාධිපතිවරයා වගකිව යුතු බවකි. නමුත් එය අසත්‍යයක්ම නොවේ. මෙහි වගකීම දැරිය යුත්තේ ඔහුය. අදාළ පියවරගත යුත්තේද ඔහු හෝ ඇයමය. කොමසාරිස්වරයා මේ කියන කතාව ඇත්තය. නමුත් විභාග ශාලාවේ වූ සැබෑ සිදුවීම ඔහු දන්නේ නැත. සාමාන්‍යයෙන් ලංකාවේ හුඟක් අය ඇඟ බේරාගැනීමේ කලාවේ ඔස්තාර්ලා නිසා සත්‍යය අදාළ නැත. මේ දරුවන් කියනා කතාව කිසිසේත්ම අසත්‍ය විය නොහැක. එහෙම නම් මේ බර ශාලාධිපතිවරයාගේ කරමත තබා පැනගැනීමේ වුවමනාව කාගේද? කොහොම නමුත් තර්කය නිවැරදිය. නෙලුම් කුලුනු, බොරු රැස්වීම් ශාලා විගඩම්වලට අපේ තුට්ටු දෙක වියදම් කළ එකට උන්ට ශාප විය යුතුය. රටේ දරුවෝ දහස් ගණනක් පීඩා විඳිමින් හිඳී. නමුත් මේ කතාව ඕකය.
මේ ශාලාවේ බිත්ති අතරින් කොහොමත් හිරිකඩ එන බව කලින් තක්ෂිලාවේ හිටි අයද අපට කීවේය. ඒ නිසා මේ තත්ත්වය සාමාන්‍ය දෙයකි. එහෙම නම් ඊට සූදානම් වී හිටියා නම් හොඳ බව ඇත්‍තකි. විභාගය යනු සෙල්ලමක් නොවනා බව සියලු බලධාරීන් දැන සිටිය යුතුය. නමුත් කුමන තත්ත්වයකදී වුව හදිසි දේ සිදුවිය හැක. මේ දවස්වල විභාගයට දින දමා ගැනීමම අර්බුදයක් විය හැකිව තිබුණේය. මීට පෙර වසර කීපයකම මැයි මස අග ගංගා පිටාර ගලා රට පුරාම ගංවතුර තත්ත්වයන් ඇතිවිය. වාසනාවකට මේ අවුරුද්දේ ගං වතුර ආවේ දවස් කීපයක් පසු වීය. ඒ නිසාම මේ ප්‍රශ්නය මේ මට්ටමෙන් අවසන්ව ගියේය.
තක්ෂිලාවේ සිදුවූ මේ සත්‍යම කතාව මේකය. මෙය සිසුන් සමග කතා බස් කොට සකස් කරන ලද ලිපියකි. අපට මේ කිසිවෙක් සුද්ද කරන්නට වුවමනාවක් නැත. නමුත් රැල්ලට යනු වෙනුවට සත්‍ය සොයා යාම ඔබේත් මගේත් වගකීමකි.
ජීවන පහන් තිළිණ