ඇමෙරිකා එක්සත් ජනපදයේ ගිනි අවි සම්බන්ධනීති වෙනස් කරන ලෙස ඉල්ලා රට පුරා දසදහස් ගණන් විරෝධතාකරුවන් වීදි බැස ඇත.
පසුගිය මාසයේ ටෙක්සාස්හී පාසලක සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් එම ඉල්ලීම් දැඩි වූ අතර ඇමෙරිකානු ජනාධිපතිවරයාද විරෝධතාකරුවන් සමඟ සිටගනිමින් තම රටේ ගිනි අවි නීති දැඩි කළ යුතු බව ප්‍රකාශ කර ඇත.
ඇමෙරිකාවේ දැනට පවතින නීතිය අනුව අවුරුදු 18 වැඩි ඕනෑම පුද්ගලයකුට ගිනි අවි සහ වෙඩි නොවදින උපකරණ මිලදීගත හැකි යි. එහෙත් එරට තුළ මත්පැන් මිලට ගැනීම සඳහා වයස අවුරුදු 21ට වැඩි විය යුතුය.
එම නිසා අදාළ නීති වෙනස් කරමින් ගිනි අවි මිළදී ගැනීම තහනම් කිරීම, අවි මිලදී ගන්නන් පිළිබඳ පසුබිම් පරික්ෂාවක් සිදු කිරීම හා අවි භාවිත කරන්නන් ලියාපදිංචි කිරීම යනාදී නීති දැඩි කරන ලෙස එරට ජනතාව කොංග්‍රස් මණ්ඩලයට බලකර සිටියි.
2018 වසරේදී පාක්ලන්ඩ් පාසලේ සිදුවූ වෙඩි තැබීමෙන් දිවි ගලවාගත් කණ්ඩායමක් විසින් ආරම්භ කළ “March for our lives” ව්‍යාපාරය විසින් මෙම විරෝධතා සඳහා පෙරමුණ ගෙන සිටින අතර ඔවුන් රට පුරා විරෝධතා රැලි 450ක් පමණ සංවිධාන කර තිබිණි.
පසුගිය මැයි 24 වැනිදා ටෙක්සාස් ප්‍රාන්තයේ උවාල්ඩේ රොබ් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් ළමුන් 19 දෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ගිනි අවි පාලන නීති සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීමට එම ඝාතනයන් හේතුවී තිබේ.

තිලාන් ජයසේකර