‘වෙහෙරක් ගිලපු එකාට අග්ගලාවත් කජ්ජක්ද..?’ යැයි අපූරු කියමනක් අපගේ පැරැණි සිංහල ජනවහරේ ඇත. පමණින් විශාල යමක් විනාශයට පත්කළ තැනැත්තාට ඊට පසුව ලැබෙන පමණින් කුඩා යමක් විනාශ කිරීම එතරම් අපහසු කාරියක් නොවන බැව් මෙයින් හැඟවෙයි. මෙහිදී විනාශ කරනවා කියන අරුතෙහි විවිධ අර්ථ තිබෙන්නට හැකිය. එනම් එය විටෙක ධනය විනාශ කිරීම හෝ ධනය සොරකම් කිරීම යන අරුතක්ද ලෙස ගත හැකිය. අද මෙලෙස වර්තමානයේදී අපගේ රටට බොහෝ සෙයින් ගැළපෙන මෙම ‘ජන කියමන’ එක්තරා අපූරු වටාපිටාවක් නිර්මාණය කරයි.
එසේ වන්නේ කෙසේද..?
එනම් අද අපේ රටින් නිරන්තරයෙන්ම අසන්නට ලැබෙන්නේ මහා විනාශයන්ය. මුදල් කාබාසිනියාවන්ය. මේ සියල්ලම ජනතාවගේ පොදු වස්තුවය. එහෙත් ඒවා ගිලදමන්නේ විවිධ දේශපාලනික සහ වෙනත් බලගතු බහිරවයන් විසිනි. අද පඳුරකට ගල් ගැසුවාම සතර දෙසටම පනින්නේ වංචාවන් හා දූෂණයන්ය. මෙම විනාශයන් සැබැවින්ම හද පැළීයන ශෝකාන්තයන්ය. එසේම අපගේ ගත-සිත කෝපයෙන්ද පුපුරවන උග්‍ර තිරිසන් කතාන්දරය.
කෙසේ හෝ ඔබට මෙලෙස අප රටේ වත්මන් සත්‍යය ගැන යමක් ලියා තැබුවේ, මේ දිනවල යම් සුවිශේෂී රාජ්‍ය සභාවක් හරහා නිරන්තරයෙන්ම අසන්නට ලැබෙන ආන්දෝලනාත්මක කතාන්දර වැලක් හේතුවෙනි. මෙම සුවිශේෂී රාජ්‍ය සභාව නම් මෙකල බොහෝ ප්‍රකටත්වයට පත්ව ඇති ‘කෝප්’ කමිටුවයි. ‘කෝප්’ කමිටුව ඉංග්‍රීසි බසින් අර්ථ දැක්වෙන්නේ (The Committee on Public Enterprises – COPE) ලෙසින් වන අතර, එය සිංහල බසින් අර්ථ ගන්වා ඇත්තේ ‘පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව’ ලෙසිනි. කෙසේ හෝ අද සමාජයේ බොහෝ දෙනෙකු මෙම රාජ්‍ය ආයතනය පැහැදිලිවම හඳුන්වන්නේ ‘කෝප් කමිටුව’ ලෙසිනි. මෙය 1979 වසරේ ජුනි 21දා පාර්ලිමේන්තුව හරහා ස්ථාපිත කෙරුණු අතර, අදට එහි ඉතිහාසයට වසර 43ක් ගතවී ඇත. කෙසේ හෝ මෙම සුවිශේෂී සභාවේ කටයුතු පසුගිය කාලයක් පුරාම පැවැතියද, එම කිසිම කාලයකට වඩා මෙම ගතවන සමයේදී එහි කටයුතු දැඩි ආන්දෝලනයකට පත්ව ඇත. මෙම රාජ්‍ය සභාව හරහා බොහෝ විට විමර්ශනයට සහ විනිශ්චයට ගැනෙන්නේ රාජ්‍යමය දේපොළ විනාශයන්ය. එනම් මූල්‍යමය වංචාවන් සහ දූෂණයන්ය. අද මෙලෙස කෝප් කමිටුව හරහා දිගහැරෙන රාජ්‍ය විනාශයන්ගේ වගතුග විටෙක සිතාගත නොහැකි මහා විනාශයන්ය.
වත්මන් කෝප් කමිටුවේ නායකත්වය සහ සහභාගිත්වය දරන්නේ මෙරට සිටින ප්‍රකට වියතකු වන මහාචාර්ය චරිත හේරත් මහතාය. ඔහු ප්‍රධාන, ප්‍රවීණ සාමාජික මණ්ඩලයක් විසින් මෙහි කටයුතු සිදුකරන අතර, එහිදී විවිධ රාජ්‍ය දේපොළ අවභාවිතාවීම ගැන විමර්ශනයන් සිදුකෙරෙයි. මෙහිදී මෙයට දින කිහිපයකට පෙර අසන්නට ලැබුණේ එක්තරා අපූරු ආකාරයක වංචා දූෂණයකි. එනම් එය පරිගණක සහ තොරතුරු තාක්‍ෂණික ක්‍ෂේත්‍රයට අදාළ වූ මහා මූල්‍යමය වංචාවක් ලෙසට ප්‍රකාශ විය. බොහෝ විට සිදුවන වංචා දූෂණයන්ට වඩා මෙහි ස්වරූපය වෙනස් වූ අතර, මෙහි ප්‍රධානතම විෂය ලෙස පෙනෙන්නට වූයේ, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ එක්තරා ප්‍රකට පරිගණක හා තොරතුරු තාක්‍ෂණ සමාගමක් හා සම්බන්ධ වූ වගතුගකි.
මේ කතාව කුමක්ද..?
පසුගියදා රාජ්‍ය ආයතනවල කාර්යය සාධනය විමර්ශනය සඳහා ‘කෝප්’ කමිටුව ඉදිරියේ පෙනී සිටියේ, අපගේ සමාජය ප්‍රකට ලෙස හඳුනන SPC නොහොත් රාජ්‍ය ඖෂධ සංස්ථාව (State Pharmaceuticals Corporation) සහ එයට අනුබද්ධිත වෛද්‍ය සැපැයුම් අංශය (Medical Supplies Division) යන රාජ්‍ය ආයතනයන්ය. වර්තමානයේ ඇති දැඩි විදේශ විනිමය අර්බුදය මත මෙරට ඖෂධ ක්‍ෂේත්‍රය අතිශය බරපතළ කඩාවැටීමකට ලක්වී ඇති අතර, ඉහත රාජ්‍ය ආයතනයද මේ හෙයින් ප්‍රශ්න රැසකට මුහුණ දී ඇත. මෙවැනි වටපිටාවක් යටතේ ඉහත රාජ්‍ය ආයතනවල උසස් නිලධාරීන් කිහිප දෙනෙකු තම ආයතන තුළ ඇති ගැටලු ගැන ප්‍රකාශයන් සිදුකිරීමට පසුගියදා ‘කෝප් කමිටුව’ ඉදිරියෙහි පෙනී සිටියේය. මෙහිදී ඔවුන් ප්‍රධානතම ලෙස මතු කරන ලද ප්‍රබල ප්‍රශ්නයක වගතුග එහිදී හෙළි වන්නට විය. කෝප් කමිටුවේ විමර්ශනය ඉදිරියේ මෙම රාජ්‍ය නිලධාරීන් හෙළිකර සිටියේ ඉතාමත්ම ආන්දෝලනාත්මක වගතුගකි. එනම් තමන්ගේ ආයතන තුළ ක්‍රියාත්මක වන ‘පරිගනකමය වෛද්‍ය බඩු තොග ලේඛනය කළමනාකරණය’ කිරීම සඳහා පරිගණක මෘදුකාංගයක් (Medical Inventory Management Software) නිර්මාණය කිරීම උදෙසා රුපියල් මිලියන 644ක අති සුවිශාල මුදලක් එක්තරා තොරතුරු තාක්‍ෂණ සමාගමකට ලබා දීමේ පුවතයි. එනම් මෙම මුදල රුපියල් හය කෝටි හතළිස් හතර ලක්‍ෂයකි. මෙම ‘මෘදුකාංගය’ (සොෆ්ට්වෙයාර්) නිර්මාණය කිරීමේ කොන්ත්‍රාත්තුව පවරා ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රකට පරිගණක සහ තොරතුරු තාක්‍ෂණ ආයතනයක් වන ‘ඊ-විස්’ (E-Wis) නැමැති සමාගම වෙත යැයි මෙම නිලධාරීන් ප්‍රකාශ කර සිටියේය. ශ්‍රී ලංකාව සඳහා අවශ්‍ය වන ඖෂධ පිළිබඳ මෙරට සහ විදේශය යාවත්කාලීන කිරීම උදෙසා, මෙම සංකීර්ණමය, නවීන මෘදුකාංගය නිර්මාණය කිරීමට ඉහත සමාගමට මුදල් ගෙවා කොන්ත්‍රාත්තුව බාරදුන් බැව්ද මෙම නිලධාරීන් ප්‍රකාශ කර සිටියේය.
ඖෂධ දත්ත යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය නිසි අයුරින් සිදු නොවන්නේ යැයි, කෝප් කමිටුව විසින් ප්‍රකාශ කළ පසු මෙම මෘදුකාංග ව්‍යාපෘතියේ වගතුග බොහෝ හෙළිවන්නට ගත්තේය. මෙහිදී කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ඉදිරියේදී මෙම විමර්ශනය සිදුකෙරිණි. මෙම මෘදුකාංගය නිර්මාණය කිරීම සඳහා මෙසේ රාජ්‍ය මුදල් රුපියල් මිලියන 644ක් වැයකර ඇති අතර, එම මෘදුකාංග ක්‍රියාවලියේ මෙහෙයුම් කටයුතු සඳහා මාසිකව තවත් මිලියන 05ක (ලක්‍ෂ 50ක්) මුදලක්ද එම සමාගමට ලබා දෙන බැව්ද මෙම රාජ්‍ය ඖෂධ බලධාරීන් කෝප් කමිටුවට ප්‍රකාශ කර ඇත. සෞඛ්‍ය ආරක්‍ෂණ සහ පෝෂණ කටයුතු අමාත්‍යාංශය විසින් 2008 වසරේදී මෙම මෘදුකාංග නිර්මාණ කොන්ත්‍රාත්තුව ‘ඊ-විස්’ සමාගම වෙත ලබාදී ඇතත්, එය නිසි ලෙස නිර්මාණය කර ක්‍රියාත්මක කිරීම සඳහා වසර 07ක පමණ කාලයක් ගිය බැව්ද ඖෂධ බලධාරීන් කෝප් කමිටුව ඉදිරියේ හෙළිකර සිටියේය. එනම් එය ක්‍රියාත්මක කරන්නට ගත්තේ 2015 වැනි කාල වකවානුවක් තුළදී බවත් ප්‍රකාශ කර ඇත. මෙය අතිශය ප්‍රශ්නකාරී සිදුවීමක් යැයි සභාපති චරිත හේරත් මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය ‘ඊ-විස්’ සමාගමට දී ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ යටතේය. එවකට අමාත්‍යංශ ලේකම්වරයා ලෙස කටයුතු කළේ සුධර්මා කරුණාරත්නය.
දැනට මෙලෙස විශාල මුදලක් වැය කරමින් ක්‍රියාත්මක කෙරෙන මෘදුකාංග ක්‍රියාවලිය හරහා, බොහෝ ඖෂධ වර්ග සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ඖෂධ සේවා පිළිබඳව නිසි තොරතුරු ලබා ගැනීමට නොහැකි බැව්ද ඖෂධ බලධාරීන් කෝප් කමිටුවට පැමිණිලි කර ඇත. එහිදී මෙම රාජ්‍ය නිලධාරීන් පවසා ඇති තවත් සුවිශේෂී කරුණක් නම්, ඉදිරියේදී මෙම පරිගණකමය, ඩිජිටල් ක්‍රමවේදයන් උදෙසා තවත් රුපියල් බිලියන 07ක අති සුවිශාල මුදලක්ද වැය විය හැකි බැව්ය. එහෙත් මෙතරම් සුවිශාල මුදලක් එවැනි කටයුත්තකට වැය වන්නේ ඇයි දැයි පිළිබඳ තදබල ප්‍රශ්න ඇති බැව්ද කෝප් කමිටුවේදී ප්‍රශ්නයට නැඟී ඇත. කෙසේ හෝ මෙහිදී කමිටු සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ, ඉදිරියේදී ‘භාණ්ඩ කළමනාකරණය, ප්‍රසම්පාදන කළමනාකරණය සහ අවශ්‍යතා තක්සේරු කිරීම’ සිදුකළ හැකි මෘදුකාංගයක් තැනීමට සහාය වන ලෙසට තාක්‍ෂණික ප්‍රජාවගෙන් විමසා ඉල්ලීමක් ද සිදුකරන බැව්ය. එසේම මහාචාර්ය චරිත හේරත් ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාවේ ස්මාර්ට් පන්තිකාමර සංකල්පය සාර්ථකව ඉටුකළ ‘ඊ-විස්’ සමාගමට මෙම මෘදුකාංගය නිර්මාණය කිරීමේ කාර්ය සාර්ථකව කළ නොහැකි වීම පුදුමයට කරුණක් බැව්ය.
කෙසේ හෝ කෝප් කමිටුව ඉදිරියේ එම පිටු ගලාගෙන ගොස් ගතවූයේ දින කිහිපයක් පමණි. එම කතාවේ අනෙක් පිටු පෙරළෙන්නට වූයේ එතැන සිටය. එනම් රාජ්‍ය ඖෂධ බලධාරීන්ගේ මෙම ප්‍රකාශයන්ට ප්‍රතිප්‍රහාර එල්ල වන්නට ගත්තේය. ඒ වෙනත් කොතැනකින්වත් නොව එක එල්ලේම ‘ඊ-විස්’ (E-Wis) පරිගණක සහ තොරතුරු තාක්‍ෂණ සමාගම හරහාය. එම සමාගමේ සභාපති ධුරය දරන ප්‍රවීණ පරිගණක විශේෂඥයකු වන සංජීව වික්‍රමනායක මහතා විසින්, මෙම සිදුවීමට අදාළව විශේෂිත ලිපියක් කෝප් කමිටුව වෙත ඉදිරිපත් කළේය. එම ප්‍රකාශය හරහා ඔහු දැඩි ලෙස ඖෂධ බලධාරීන්ගේ ප්‍රකාශයන් ප්‍රතික්‍ෂේප කර සිටියේය. ඔහු එහිදී ප්‍රධාන වශයෙන් දැඩි ලෙස අවධාරණය කර සිටියේ, යටකී මෘදුකාංග නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා රජයෙන් රුපියල් මිලියන 644ක මුදලක් ලබා නොගත් බවත් එය මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් බවත්ය. එහිදී ‘ඊ-විස්’ සමාගම ලබාගෙන තිබුණේ රුපියල් මිලියන 223ක මුදලක් පමණක් බවත්, ඔහු කෝප් කමිටුව වෙත ලිපිය මගින් ප්‍රකාශ කර සිටියේය. එසේම මාසික නඩත්තු ගාස්තු ලෙස රුපියල් මිලියන 05ක් ගෙවීමද අසත්‍ය බැව්ද ඔහු ප්‍රකාශ කර ඇත. ඔහුගේ එම ප්‍රකාශය මෙසේය.
‘අපගේ ‘ඊ-විස්’ සමාගම යටකී මෘදුකාංග නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 644ක මුදලක් රජයෙන් ලබාගෙන තිබෙනවා යැයි රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ව්‍යාජ සහ නොමඟ යවන සුළු එකක්. එසේම මාසිකව නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 05ක් ගෙවීම් කරනවා කියන එකත් අසත්‍ය ප්‍රකාශයක්. මෙම රාජ්‍ය ව්‍යාපෘතිය සඳහා අප සමාගම අය කරන ලද මුදල රුපියල් මිලියන 223ක් පමණයි. 2008 වසර නොවැම්බර් මාසයේදී මෙම කොන්ත්‍රාත්තුව සෞඛ්‍ය ආරක්‍ෂණ සහ පෝෂණ කටයුතු අමාත්‍යාංශය විසින් අපට පිරිනැමුවා. අප මෙය ලබාගත්තේ නියමිත නිල ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටියක් හරහායි. ඒ අනුව එම ව්‍යාපෘතියේ කටයුතු අපි විසින් ආරම්භ කරනු ලැබුවා. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඍජුවම ආරෝපණය කළ හැකි යම් හේතූන් මත මෙම ව්‍යාපෘතියේ කටයුතු ප්‍රමාදයකට ලක්වුණා. එහෙත් කොන්ත්‍රාත්තුවට අනුකූලව ‘ඊ-විස්’ සමාගම විසින් මෙහෙයුම් පිළිගැනීමේ පරීක්‍ෂණය අවසන් කර පද්ධතිය වෛද්‍ය සැපැයුම් අංශයට ලබාදුන්නා. ඒ අනුව මෙම පද්ධතිය 2015 වසරේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් භාවිතයට ගනු ලැබුවා. E-Wis (ඊ-විස්) සමාගමේ සභාපති සංජීව වික්‍රමනායක මහතා තවදුරටත් තම ප්‍රකාශය මගින් කෝප් කමිටුව වෙත තවත් කරුණු අවධාරණය කර ඇත. එසේම මෙම තත්ත්වය වඩාත් පැහැදිලි කිරීම උදෙසා නැවැත පසුගියදා විශේෂ පුවත්පත් සාකච්ඡාවක්ද ඔහු විසින් පවත්වන ලදී. එහිදී ඔහු මෙලෙස පැවැසීය.
‘2015 වසරේ සිට මෙම පද්ධතිය හරහා ඇණවුම් 45,000කට අධික ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. එසේම 2020 ජනවාරි මාසයේ සිට මේතාක් දක්වාත් විශාල ඇණවුම් ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා. එවැනි වටපිටාවක් තිබියදී මෙම පද්ධතිය නිසි ලෙස ක්‍රියා කරන්නේ නැහැ කියලා මෙම රාජ්‍ය නිලධාරීන් දොස් කියන්නේ කෙසේද..? රාජ්‍ය ඖෂධ සංස්ථාව ප්‍රකාශ කර ඇත්තේ අපට සියලු ගෙවීම් සිදුකර ඇති ආකාරයටයි. එහෙත් 2015 වසරේ සිට එම ගෙවීම් නිසි අයුරින් සිදුවුණේ නැහැ. ගෙවීම් නිසිලෙස සිදුවුණේ 2020 වසරින් පසුවයි. එසේම අප සමාගම කිසිදු බාහිර අයකිරීමක් නොමැතිව 2015 සිට 2017 වසර දක්වා නඩත්තු කටයුතුද සිදුකර තිබෙනවාා. 2017 සිට 2020 දක්වා අප වගකීමේ කාලයකුත් ලබාදී තිබුණා. අප මේ ව්‍යාපෘතියේ සියලු කටයුතු නිසි ප්‍රමිතියකින්ද යුතුව ඉටුකර තිබෙනවා.’
‘ඊ-විස්’ (E-Wis) ආයතනයේ සභාපති සංජීව වික්‍රමනායක කෝප් කමිටුවට ප්‍රකාශ කර ඇත්තේ, මෙලෙස රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකර ඇති අසත්‍ය සහ පදනම් විරහිත චෝදනා මගින් තම සමාගමේ කීර්ති නාමයට බලවත් ලෙස හානි සිදුවූ බැව්ය. එසේම මෙම සිදුවීම පිළිබඳව වහාම පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස ඔහු කෝප් කමිටුවෙන් ඉල්ලා ඇති අතර, ඒ පිළිබඳ තමන්ගේ උපරිම සහාය ලබාදෙන බවත් ඔහු ප්‍රකාශ කර ඇත. පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද පනතේ 14 වැනි වගන්තිය යටතේ මෙම පරීක්‍ෂණය සිදුකරන ලෙසත් ඔහු කෝප් කමිටුවෙන් ඉල්ලා ඇත.
කෙසේ හෝ මෙලෙස රාජ්‍ය ඖෂධ බලධාරීන්ගේ චෝදනාවට ලක්වුණු ‘ඊ-විස්’ (E-Wis) නැමැති ආයතනයේ වගතුග කුමක්ද..? මෙම සමාගම ශ්‍රී ලංකාව තුළ පරිගණක සහ තොරතුරු තාක්‍ෂණයේ නිරතව සිටින ප්‍රධානතම පෙළේ සමාගම් කිහිපයෙන් එකකි. දැනට දශක 02ක (වසර 20ක) පමණ කාලයක් පුරා ශ්‍රී ලංකාවේ පරිගණක ක්‍ෂේත්‍රයේ කටයුතුවල නිරතව සිටින මෙම සමාගම තුළ ඇති විශේෂත්වය වන්නේ, ඔවුන් පරිගණක සහ එම උපාංග නිෂ්පාදනයේද නිරතව සිටීමය. මේ අනුව මෙම සමාගම ශ්‍රී ලංකා තුළ සිදුකළ විශේෂ මෙහෙවරක් වන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රථම පරිගණක නිමැවුම් කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමය. එම මධ්‍යස්ථානය ඔවුන් 2013 වසරේ නොවැම්බර් 08 වැනිදා හම්බන්තොට, සූරියවැව ප්‍රදේශයේදී ස්ථාපිත කරන ලදී. මෙම ‘ඊ-විස්’ පරිගණක කර්මාන්ත ශාලාව අක්කර 02ක භූමි භාගයකදී වර්ග අඩි 25,000ක ගොඩනැඟිල්ලක් තුළ ආරම්භ කරන ලදී. මෙහි හම්බන්තොට ප්‍රදේශයේම තරුණ, තරුණියන් 250කට රැකියාවද හිමිවීම විශේෂත්වයකි. මේ ආකාරයට ඔවුන් ජාත්‍යන්තර ප්‍රමිති තත්ත්වයෙන් යුත් විවිධ වර්ගයේ පරිගණක සහ පරිගණක උපාංගද නිෂ්පාදනය කරන්නට විය. මෙහි නිෂ්පාදන මෙරට පමණක් නොව විදෙස් රටවල් කිහිපයකටද අලෙවි කෙරිණි. ‘ඊ-විස්’ සමාගම මෙම නිෂ්පාදන ක්‍රියාවලියට අමතරව සිදුකරනු ලබන අනෙක් ප්‍රධානතම මෙහෙවර වන්නේ, විවිධ ක්‍ෂේත්‍ර ගණනාවක් සඳහා තොරතුරු තාක්‍ෂණය ලබාදීමය. මෘදුකාංග නිර්මාණය සිදුවන්නේ එවැනි වටපිටාවක් තුළදීය. ඉහත අර්බුදයේ කතාන්දරයද එවැන්නකි.
කෙසේ හෝ මෙම සිදුවීම ‘නරියාට කුකුල් කොටුව බාර දුන්නා වගේ’ කතාවක් දැයි තවම දන්නේ නැත. එය සොයා බලන්නට කෝප් කමිටුවේ ඇත්තන්ට බාර කරමු. ‘අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයිලු.’
ප්‍රියන්ත හෙට්ටිගේ