මේ අපි ගෙවාදමමින් ඉන්නේ අතිශය නරක කාලයක්. සමහර විට ඔබේ අපේ ජීවිතවල මේ තරම් නරක කාල මුණගැසිලා නැතිවෙන්න පුළුවන්. සමහර විට මනුෂ්‍ය ශිෂ්ටාචාරයේම මේ තරම් නරක කාලයක් ගතවෙලා නැතිව ඇති. මේ මිනිස්සු මියයන කාලයක්. මේ මිනිස්සු අහිමි වෙන කාලයක්. මේ මිනිස්සු රෝගී වෙන කාලයක්. රෝහල් පිරී ඉතිරෙන කාලයක්. රෝහල් කාර්යමණ්ඩල හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙන කාලයක්. රටවල් වහල දාන්න වෙච්ච කාලයක්. මිනිසුන්ට මිනිසුන්ගේ ආදරේ නොදැනෙන කාලයක්. මිනිසුන්ට මිනිසුන්ගේ ආදරේ අත්‍යාවශ්‍යම කාලයක්. මිනිසුන් තනිවෙලා කියලා කියලා දැනෙන කාලයක්. හුදෙකලා වෙච්ච මිනිසුන් ගාවට ආදරේ අරගෙන යන්න බැරි කාලයක්. කොහෙවත් ඇවිදින්න බැරි කාලයක්. මිනිසුන්ගේ ජීවිතවල හිස් තැන් පුරවගන්න බැරි කාලයක්. මේ, මහ පුදුම කාලයක්. එහෙම කාලයක ආයෙත් මෙහෙම ලිපියක් ලියන්න වෙයි කියලා මම කවදාවත් හිතුවෙ නැහැ. ඒත්, මේ හිස් බව මේ භයානක බව මේ නපුරු බව හැම තත්පරේකම හිතට දැනෙමින් තිබුණා.
මේ සිංහල අවුරුද්දේ වෙනදා වගේ කොහා ඇඬුවට, වෙනදා වගේ කිරිබත් ඉදුනට අවුරුද්ද අපේ ගමට ආවෙ නෑ. වෙනදා අවුරුද්දේ තිබිච්ච ආදරේ, වෙනදා අවුරුද්දෙ තිබිච්ච සුන්දරත්වය වෙනදා අවුරුද්දේ තිබිච්ච බැඳීම අපට මේ වතාවෙ දැනුණේ නෑ. වෙනදා වගේ වෙසක් මල් පිපුණට ඒ මල් හෙවනේ වෙනදා වගේ දන්සල් දෙන්න බැරි වුණා. තොරණ බඳින්න බැරි වුණා. පහන් කූඩු පත්තු කරන්න බැරි වුණා. අපි රංචු ගැහිලා ඇවිදින්න ගිය වෙසක් පෝයට ගෙවල් ඇතුළට වෙලා තනිවෙන්න වුණා. පොසොන් පෝයත් එහෙමයි. ඇසළ පෝයත් එහෙමයි. නුවර පෙරහැරත් එහෙමයි. ඇතා පිටේ කරඬුව වැඩියට මිනිසුන්ට සාදු කියන්න බැරි වුණා. මිනිසුන්ට පෙරහැරට බලන්න බැරි වුණා. නැට්ටුවො මාලක්කම් කැරකුවේ කැමරා ඉස්සරහ විතරයි.
ඒත්, මේක මහා අවාසනාවන්ත කාලයක්, මේක හිතාගන්න බැරි කාලයක් කිව්වේ ඒක නිසා නෙවෙයි. අපට අපේ ආදරණීයයන් එකිනෙකා අහිමි වෙමින් යනවා. මුළු රටක් ආදරේ කරපු මිනිස්සු එක මොහොතකින් දෑස පියාගන්නවා. එක රාත්‍රියක් නිමාවෙලා තවත් දවසකට අලුත් පහන් දැල්වෙනකොට කී දෙනකුගෙ නෙත් පියවිලාද කියන එක හිතාගන්නවත් බෑ. දවසකට මරණ දෙසීයක්, නැත්නම් දෙසිය දහයක් සිද්ධ වෙච්ච කාලයක් ගැන අපි අපේ ජීවිතවල අහලා නෑ. තිස්තුන් අවුරුද්දක් යුද්දෙ තිබුණත් අපේ මිනිස්සු මෙච්චර අපිව දාලා ගියේ නෑ. අපට අපේ මිනිසුන්ව බේරගන්න බැරි වෙච්ච, අපේ මිනිසුන්ගේ හුස්ම ටික පරිස්සම් කරගන්න බැරි වෙච්ච මේ වගේ නපුරු කාලයක් අපි කතා පොතක, චිත්‍රපටයක විතරයි දැකල තියෙන්නේ. ඒත් අපි මේ මොහොතේ ඒ සියල්ල අත්විඳිමින් සිටිනවා. මේ ශිෂ්ටාචාරයේ බිහිවෙච්ච අවාසනාවන්තම මිනිස්සු අපි කියලා දැන් අපිට ටිකෙන් ටික හිතෙනවා. මේ ලිපිය ලියන්න හේතු වෙන්නෙත් ඒකමයි.
පසුගිය සතිය උදාවෙන්නේ වෙනදා වගේම මරණය පිළිබඳ නරක ආරංචිත් එක්ක. රාත්‍රී ප්‍රවෘත්තිවලට ගණන් හදලා කියන මළ සිරුරු ගාන, ඒ මළසිරුරු ඔක්කොම එකතු වුණාට පස්සේ කීයද කියලා රජය විසින් නිකුත් කරන නිවේදන, රෝගීන් ප්‍රමාණය, ඔක්සිජන් මදිවීම, රෝහල් පිරී යෑම, මේ සියලු ආරංචි පසුගිය සතිය උදාවෙද්දිත් අපේ ගෙවල්වලට ආවා. ඒත්, මේ සියල්ලටම වඩා කම්පා කරන ප්‍රවෘත්තියක් හදිසියේම එල්මෝ ගුණරත්න මහත්තයා ජීවිතයෙන් සමුඅරගෙන කියන ප්‍රවෘත්තිය.
ඒ ප්‍රවෘත්තියටම ඈඳුණු තවත් කොටසක් තියෙනවා. ඒ තමයි එල්මෝ ගුණරත්න මහත්තයාගේ ලොකු පුතත්, දමිත ගුණරත්න මහත්තයත් ඒත් එක්කම යන්න ගිහිල්ලා. මේ පවුල එහෙමයි. සාමාන්‍යයෙන් තාත්තාව කවදාවත් මේගොල්ලො තනි කළේ නෑ. තාත්තා වෙනුවෙන් ආදරේ දුන්නා. කවුරු හරි කෙනෙක් ඉතිරි වුණා. තාත්තා එක්ක දමිත ගුණරත්න මහත්තයත් මේ ගමන පිටත් වෙන්නෙ සමහර විට ඒ නිසා වෙන්න ඇති. තාත්තාව තනි කරන්න අකැමැති ලොකු පුතත් එක්ක තාත්තත් යන්න ගියාට පස්සේ අපිට තිගැස්මක්, වේදනාවක්, කරකියාගන්න බැරි අසරණකමක් දැනෙන්න පටන් අරගත්තා. එහෙම දැනෙන්නේ මේ මරණය මුළු රටක් කම්පා කරවන එකක් නිසා. එහෙම දැනෙන්නේ එල්මෝ ගුණරත්න කියලා කියන්නේ පත්තර කලාවේ මහා රජුන් නිසා. එහෙම දැනෙන්නේ ඔහු මේ රටට අත්‍යාවශ්‍ය පුද්ගලයෙක් නිසා. ඒත්, කොවිඩ් වසංගතයට මේ කිසිම දෙයක් කියලා මේක තේරුම් බේරුම් කරගන්න බැරි තැනකට කොවිඩ් ඇවිල්ල ඉවරයි. ඒක එහෙම වුණේ කාගෙ වරදින්ද, කොවිඩ් ලංකාවට එනකම් මේ රටවල් ඇරගෙන හිටියෙ කවුද, කොවිඩ්වලට හරියට නීති රීති දාලා පාලනය නොකළෙ කවුද කියන එක හොයන වෙලාව නෙවෙයි මේ.
අපි, ‘මව්රට’ ජාතික පුවත්පත විදියට කොවිඩ් ලංකාවට එන්න කලින් ඉඳලා කොවිඩ් එක්ක සටන් කළා. අපි කොවිඩ්වලින් බේරෙන හැටි කිව්වා. කොවිඩ් එක්ක ජීවිතයට මුහුණ දෙන විදිය අපි පුළුවන් හැම වෙලාවකම කිව්වා. කොවිඩ් සම්බන්ධව ලෝකයේ ඉන්න විශිෂ්ටතමයන් අපි අසීරුවෙන් හොයාගෙන ගියා. ඒ අයගෙන් නිතර කොවිඩ් ගැන ඇහුවා. අපේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් හැම සතියකම කොවිඩ් එක්ක සටන් කරන, හැප්පෙන, කොවිඩ් හඳුනන නොහඳුනන සියලු දෙනා හොයාගෙන ගිහින් මුළු රටටම කොවිඩ් ගැන කිව්වේ ලංකාවේ පාලකයන්ටත් වඩා කොවිඩ්වල භයානකකම දැනගෙන හිටපු නිසා. ඒත් අපේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ තුෂාර ගුණරත්න මහත්තයාගේ වටිනාම සම්පත හොරකම් කරගන්න කොවිඩ්වලට පුළුවන් වුණා. අපේ හිත් ඇතුළේ කනගාටුදායකම ප්‍රවෘත්තියක් ඉතිරි කරන්න කොවිඩ්වලට පුළුවන් වුණා.
ඒ නිසා කොවිඩ් උඹ මහා පුදුම නපුරු බලවේගයක්ය කියන එක අපි දැන් දන්නවා. ඒ නිසා ආදරණීය පාඨකයිනි. මේ ලිපිය පටන් අරගෙන ටික වෙලාවක් යද්දිම ඔබට කියන්න තියෙන්නේ පුළුවන් තරම් පරෙස්සම් වෙන්න. කොවිඩ් කියන්නේ කිසිම හිතක් පපුවක් තියෙන ජීවියෙක් නෙවෙයි. කොවිඩ් කියන්නේ මහ පුදුම අඳුරු බලවේගයක්.
මේ කතාවේ කොතැනක හෝ එල්මෝ ගුණරත්න මහත්තයා ගැන කියන එක පටන් ගන්න ඕනෙ. ඒත්, මේ නපුරුකම ගැන, මේ භයානකකම ගැන, මේ නරකකම ගැන, මේ කාලය ගැන කියන එක නතර කරන්නේ කොතැනින්ද කියන එක මට හිතාගන්න බෑ. ඒත් අපි දැන් කතා කරමු. මේ කොවිඩ් වසංගතය විසින් අපට අහිමි කළ අපේ පත්තර ලෝකයේ රජ්ජුරුවො ගැන.
වෙස්ලියෙන් ආනන්දයට..

ඔහුගේ නම එල්මෝ ගුණරත්න. එල්මෝ ගුණරත්නයන්ගේ තාත්තා ඉපදිලා තියෙන්නේ නුවරඑළියේ. ඔහු රාජකාරිය කළේ තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙක් විදියට. අම්මා අක්මීමන. කන්ද උඩරටයි, ලංකාවේ එහා කොනකයි හිටපු මේ දෙන්නා කොළඹදි මුණගැහිලා දරුවො තුන් දෙනෙක් ඉන්න පවුලක් බවට පත්වෙනවා. එල්මෝ ගුණරත්න මහත්තයාගෙ පවුලේ තව ඉන්නේ නංගිලා දෙන්නෙක්. එල්මෝ ගුණරත්නයන් තමන්ගෙ පාසල් අධ්‍යාපනය ආරම්භ කරන්නේ කොළඹ වෙස්ලි විද්‍යාලයෙන්. හැබැයි මේ විදියට වෙස්ලි විද්‍යාලයේ ඉගෙනගනිමින් ඉන්න කාලෙ ලංකාවට දෙවැනි ලෝක යුද්ධයේ උණුසුම දැනෙන්නට පටන් ගන්නවා. කොළඹට බෝම්බ දායි කියලා බයවෙච්ච බලධාරීන් මේ පාසල් එහෙට මෙහෙට අරගෙන යනවා. එල්මෝ ගුණරත්න පවුලටත් සිද්ධ වෙනවා කොළඹින් ගම්පහට යන්න. එහෙම ගම්පහට ගිහිල්ලා ඉන්න කාලෙ, කොළඹින් ගම්පහට ආපු මරදානෙ ආනන්ද විද්‍යාලෙට එල්මෝ ගුණරත්නයන් ඇතුළත් වෙනවා. එදා ඒ විදියට ආනන්ද විද්‍යාලයට ඇතුළත් වුණු එල්මෝ ගුණරත්නයන් ආනන්දෙත් එක්ක කොළඹ එනවා. වෙස්ලි විද්‍යාලයෙ අධ්‍යාපන ගමන නතර වෙලා එල්මෝ ගුණරත්නයන්ව මරදානෙ ආනන්ද විද්‍යාලයට අයිති වෙනවා.
මේ විදියට ආනන්ද විද්‍යාලයෙ ඉගෙන ගන්න කාලෙත් ආනන්දෙ සමහර කලබල අස්සේ එල්මෝ ගුණරත්නයන් ආනන්දෙන් අධ්‍යාපනය ලබනවා. මේ කාලෙ වෙනකොට ද්වී භාෂා අධ්‍යාපනය එල්මෝ ගුණරත්නයන්ට ඉතාම හොඳින් ලැබෙනවා. මේ ද්වී භාෂා අධ්‍යාපනයත් එක්කයි මේ අපූරු මනුෂ්‍යයා හැදී වැඩෙන්නේ. ඒත් එක්කම සමාජවාදී දේශපාලනික හෙවනැලි මේ තරුණයන්ගේ හිත්වලට වැටෙනවා. ඒ හෙවනැලි යට ඔවුන් උස්මහත් වෙනවා. එන්.එම්. පෙරේරා මහත්තයාගෙ පුංචි බොරැල්ලෙ ගෙදරදි මේ අය මාක්ස්වාදය ඉගෙන ගන්නවා. අද වෙනකොට පත්තර ලෝකයේ රජවෙලා හිටියට සමසමාජය පත්තරේ පාරේ විකුණපු කොල්ලො රොත්තත් එක්ක එල්මෝ ගුණරත්නත් ඉන්නවා.

ඔහුම වරක් ඔහු ගැන කියන තැනකදි කියනවා තාත්තා මාව ගෙදර අරන් ගිහිල්ලා කිව්වා ඕවා කරනවා වගේ හොඳට ඉගෙනගන්නත් කියලා. එදා පාරේ පත්තර විකුණමින් හිටපු කොලුගැටයට ගහන්නෙ බණින්නෙ නැතුව ඔහුව එතැනින් ඉවත් කරලා වෙන් කරලා තියන්නෙ නැතිව ඒ තාත්තා ඔහුට දෙන උපදෙස තමයි ඕවා කරනව වගේම ඉගෙන ගන්න එකත් හොඳින් කරන්න කියන එක.
සමාජවාදී අක්මුල්…
එස්.එස්.සී. විභාගෙ හොඳින් සමත් වෙන එල්මෝ ගුණරත්නයන් ‘පෝස්ට් මැට්‍රික් ස්ටුඩන්ට්ස් යුනියන්’ කියන ශිෂ්‍ය සංගමයත් එක්ක ලොකු ඇයි හොඳයියක් ඇති කරගන්නවා. මේ කාලෙ වෙනකොට ධනපතීන් විසින් බලය අල්ලාගෙන හිටපු ශිෂ්‍ය සංගමයේ බලය තමන් සතුකරගන්න සටන් කරන එල්මෝ ගුණරත්න රටේ ධනපතීන් විසින් අල්ලා ගත්තු බලය නිර්ධන පන්තියට හිමිකර දීමේ සිහිනය දැකපු පොදු තරුණයාගේ භූමිකාව නිරූපණය කරනවා. ශ්‍රී ලංකා නීති විද්‍යාලයට සිය පියාගේ අතින් අල්ලාගෙන තරුණයෙක් පැමිණෙන්නේ ඒ අතරෙදි. එසේ පැමිණෙන මේ තරුණයා නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි දෙවසරක කාලයෙදි සිය ජීවිතයේ අලුත් මංකඩක් වෙත පැමිණෙන්නට සමත් වෙනවා.
අලුත්කඩෙන් පත්තරයට…
මේ, තරුණ නීති ශිෂ්‍යයා නීති විද්‍යාලයට වඩා උසාවියේ ගැවසෙන්නට පටන් ගත්තා. උසාවියේ ගැවසෙන්නට පටන්ගන්නා තරුණයාට ඒ අතරෙදි උසාවියේ රාජකාරියේ නියුතුව ඉන්නා පත්තර මහත්වරු කිහිප දෙනකුගේ ඇසුර ලැබෙන්නට පටන් ගන්නවා. ඒ ඇසුරත් සමග නීතිඥවරුන්ගේ කළු ලෝගුවට වඩා පත්තරයට ලියන මහත්වරුන්ගේ පෑනේ බලය ගැන ඔහුගේ හිත ඇදී යනවා. නීතිඥවරයකු වෙන්න සිටි එල්මෝ මහත්තයා පත්තරකාරයකු වන්නේ ඒ විදියට. අලුතින් පටන් ගන්නට නියමිතව තිබූ පත්තර දෙකක් ගැන එල්මෝ මහත්තයාට ආරංචි වෙන්නේ මේ කාලයෙදි. මේ ආරංචියත් සමග එල්මෝ මහත්තයා තමන්ගේ ජීවිතයේ ඉතාමත්ම තීරණාත්මක තීන්දුවක් ගන්නවා. ඒ, නීති ශිෂ්‍යයාගේ භූමිකාව හමාර කොට මාධ්‍යවේදියාගේ භූමිකාවට පණ පෙවීම අරඹමින්.
‘සිංහල ජාතිය’ සහ ‘ගාඩියන්’ පුවත්පත් දෙක අලුතෙන් පටන්ගනිද්දී ඊට එක්වූ මාධ්‍යවේදීන් අතර එල්මෝ ගුණරත්නද සිටියා. මේ විදියට ඇරැඹි සිය පුවත්පත් ජීවිතය, ඔහුගේ දිවියේ එක්තරා රස ගුලාවක් බවට පත්වෙනවා. ජීවිතයේ අපූර්වත්වය විඳිමින් සිටි මේ යෞවනයාට ඊළඟ ආරංචිය ලැබෙන්නේ ලේක්හවුසියට අලුතෙන් මාධ්‍යවේදීන් බඳවාගන්නා බවට වූ සුබ පෙරනිමිත්ත සමග.
මීමන යටතට…

ලේක්හවුසියට රතු ටයි පටියක් දමාගෙන ගොඩවුණු වාමාංශික පෙනුමැති මේ අපූරු ක්‍රියාශීලී තරුණයා සමග විනාඩි හතළිහක සම්මුඛ පරීක්ෂණයකින් පස්සේ ඔහු ලේක්හවුසියේ ස්ථිර සාමාජිකයකු බවට පත්වෙනවා. ඒ, මීමන ප්‍රේමතිලක නම් වූ විශිෂ්ට මාධ්‍යවේදියා යටතේ.
මෙසේ ගමන් අරඹන එල්මෝ ගුණරත්නයන් සිය ජීවිතය මල් ඕවිල්ලක් නොවන බව බොහෝ තැන්වල කියා තිබෙනවා. ලේක්හවුසිය රජයට පවරාගන්නා වෙලාවේ ඒ තීන්දුවට එරෙහිව ඉල්ලා අස්වුණු මාධ්‍යවේදීන් කිහිප දෙනා අතරට එල්මෝ ගුණරත්න කියන නමද ඇතුළත්.
ලේක්හවුසියෙන් තායිලන්තයට…
මේ ආන්දෝලනාත්මක තීරණයෙන් පස්සේ ලේක්හවුසියෙන් එළියට බහින එල්මෝ ගුණරත්නයන් නතර වෙන්නේ තායිලන්තයේ. තායිලන්තයේදිත් ඔහුට සුපුරුදු පරිදි ආලවන්තකම් පෑව පත්තර රස්සාව අතහැරලා දාලා ජීවත් වෙන්න බැරි වෙනවා. ලංකාවෙන් පිටවෙලා ගියත් ඔහු නතර වෙන්නේ පත්තරයක් ළඟ. ඒ පත්තරය තමයි ‘බැංකොක් පෝස්ට්’ පුවත්පත. ‘බැංකොක් පෝස්ට්’ පුවත්පතේ ප්‍රධාන උපකර්තෘවරයා වශයෙන් එල්මෝ ගුණරත්නයන් තමන්ගේ රාජකාරිය පටන් ගන්නවා. මේ විදියට ඉංග්‍රීසි පත්තරේ රාජකාරි කරමින් හිටපු එල්මෝ ගුණරත්නයන්ට 1978දී ආයෙත් ලංකාවට එන්න සිද්ධ වෙනවා. එහෙම ලංකාවට එන්නේ ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ ආයතනයේ කළමනාකාර කර්තෘවරයා වශයෙන් රාජකාරි ආරම්භ කරමින්.
පත්තර ලෝකේ වාර්තාවක්…
මේ ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ ආයතනයේ රාජකාරි ආරම්භ කරන එල්මෝ ගුණරත්නයන් අදත් නොබිඳුණු වාර්තාවකට හිමිකම් කියනවා. ඒ තමයි මේ ආයතනය මගින් මුද්‍රණය කරපු ‘ලංකාදීප’, ‘සන්ටේ ටයිම්ස්’ පුවත්පත සහ ‘ඩේලි මිරර්’ කියන පුවත්පත් ත්‍රිත්වයේම, එහෙම නැත්නම් මේ සිංහල ඉංග්‍රීසි පුවත්පත් තුනේම එකවර කර්තෘ ධුරයට පත් වන්නට එල්මෝ ගුණරත්නයන්ට පුළුවන් වෙනවා. ඒක අදටත් ලංකා ඉතිහාසයේ එකම කර්තෘවරයෙක් සිංහල ඉංග්‍රීසි පත්තර තුනකම කර්තෘවරයා වුණු බොහෝම විරල අවස්ථාවක් විදියටයි සලකන්නේ. මේ විදියට පත්තර ක්ෂේත්‍රය උඩු යටිකුරු කරපු එල්මෝ ගුණරත්නයන් කීප වතාවක්ම ජනාධිපති සම්මාන, විශිෂ්ටතා සම්මාන ලබපු කෙනෙක්.
ගාමිණී එක්ක ජීවිතේ…

එල්මෝ ගුණරත්න මහත්මයා පත්තර රස්සාවෙන් පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා විදියට පත්වුණා. මේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පස්සේ තවත් වතාවක් ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා විදියටත් කටයුතු කළා. සමෘද්ධි හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා වශයෙනුත් කටයුතු කරලා තියෙනවා. ඒ විදියට ගත්තාම එල්මෝ ගුණරත්නයන් කියලා කියන්නේ ලංකාවේ පත්තර ක්ෂේත්‍රයේ අතිශය දැවැන්තයෙක්. ඔහු පත්තර ක්ෂේත්‍රය උඩුයටිකුරු කරපු කෙනෙක්. ඔහු අලුත් මිනිසුන් හඳුන්වා දුන්නු කෙනෙක්. වරක් ඔහු ගාමිණී ෆොන්සේකා ගැන අපූරු කතාවක් කියනවා. චිත්‍රපට ශාලාවක් ඉදිරියේ ඔහුට මේ අපූරු තරුණයාව මුණගැහෙනවා. ඒ මුණගැහෙන දවසෙ ගාමිණී ඒ චිත්‍රපටයේ පුංචි චරිතයක් රඟපාපු කෙනෙක්. එල්මෝ මහත්තයා ගිහිල්ලා ගාමිණීගෙන් අහනවා, ‘ඔබ මේ චිත්‍රපටයේ රඟපෑවද?’ කියලා. ගාමිණී දෙනවා උත්තරයක්, ‘ඔව් මම රඟපෑවා පුංචි චරිතයක්’ කියලා. ඉන් පස්සේ ගාමිණීගෙ සමීපතම මාධ්‍යවේදියා විදියට කටයුතු කරන්න එල්මෝ ගුණරත්න මහත්තයට පුළුවන් වෙනවා.
ගාමිණී කියලා කියන්නේ ටිකක් අහංකාර මනුස්සයෙක් විදියටයි ක්ෂේත්‍රය තුළ සලකන්නේ. ඔහු, ඔහුගේ ජීවිතය ඇතුළට වද්දා ගත්තේ ඔහුට ගැළපෙන මිනිසුන්ව විතරයි. ඔහු ආදරය කළේ ඔහුට ගැළපෙන මිනිසුන්ට විතරයි. ඔහු තමන්ට ගැළපෙන කෙනකු විදියට තමන්ගෙ ජීවිතයට වද්දාගත්තු එල්මෝ ගුණරත්නයන් එක්ක සෑහෙන කාලයක් තිස්සේ ගනුදෙනු කරනවා. එය වෙන කිසිවකුට නැති වරප්‍රසාදයක්, එල්මෝ ගුණරත්නයන් ලබා තිබුණු. හැබැයි එල්මෝ ගුණරත්නයන් වරක් කියනවා ගාමිණී ගැන. ‘මම තරුවක් නෙවෙයි, නළුවෙක්’ කියලා. ඒක සමහර විට ගාමිණී කියපු දෙයක්ද, එහෙම නැත්නම් එල්මෝ ගුණරත්නයන් විසින් නිර්මාණය කරපු එකක්ද කියන්න දන්නෙ නැහැ. හැබැයි එල්මෝ ගුණරත්නයන් තරු වෙනුවට නළුවෝ හදපු කෙනකු විදියට අදටත් මේ ක්ෂේත්‍රය ඔහුට හිස නමා ආචාර කරනවා.
දැනට ප්‍රධාන පුවත්පතක ප්‍රධාන මට්ටමේ කර්තෘවරයකුව ඉන්න මහත්මයෙක් එක්තරා සටහනක සඳහන් කරනවා, ‘බොහෝ දෙනෙක් ලියුම් කියුම්වලට, නැත්නම් දේශපාලකයන්ගේ ලියුම්වලට, තනතුරු තාන්න මාන්නවලට මිනිස්සු බඳවාගනිද්දි එල්මෝ ගුණරත්නයන් මිනිසුන්ව බඳවාගත්තේ හෘදයසාක්ෂියේ ලියමනට එකඟව’ කියලා. දක්ෂයන් බිහිකරන්නට අලුත් පැල පූදින්නට, අලුත් හෙට දවසක් වෙනුවෙන් මහ ගස් හදන්නට එල්මෝ ගුණරත්නයන් එදා ඉඳන්ම වෙහෙසුනා. ඒ හෙවන යට හැදුණු මහ ගහක් අදත් අපට හෙවන දෙනවා. ඒ තමයි ‘තුෂාර ගුණරත්න’. තුෂාර ගුණරත්නයන් කියන්නේ එල්මෝ ගුණරත්නයන්ගේ පුතා. ඔහුත් ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් කිහිපයකම ප්‍රධාන කර්තෘ ධුරය දරමින් සිටි කෙනෙක්. ලංකාවේ පත්තර ලෝකය උඩු යටිකුරු කරන්න සමත් වෙච්ච කෙනෙක්. ‘මව්බිම’ පත්තරේ විශාල වෙනසක් කරන්නෙ, පත්තර පෙරළියක් කරන තුෂාර ගුණරත්න මහත්මයා පත්තර ලෝකෙට දැවැන්තම වෙනස සිද්ධ කරන්නේ ‘ජනයුගය’ හරහා. ‘ජනයුගය’ කියලා කියන්නේ පත්තර කලාව ඉතාම ඉහළට ඔසවා තබපු තැනක්. අදමිටු දේශපාලකයන්ගේ කුළුගෙඩි පහරින් කැඩී බිඳී වෙන් නොවුණා නම් ඒ පත්තර සවිය ඒ ශක්තිය අදත් සියලු පත්තරවලට ඉහළින් හෙවනැල්ලක් වෙලා සියලු මාධ්‍යවේදී සගයන්ගේ ආරක්ෂාව තහවුරු කරනවා කියලා මේ ලියුම්කරුට වගකීමෙන් කියන්න පුළුවන්කම තියෙනවා. ඒත් අවාසනාවකට ඒ හෙවන කැඩිලා බිඳිලා යද්දී තුෂාර ගුණරත්නයන් අලුත් පත්තරයකට පය ගහනවා. ඒ තමයි ‘මව්රට’ ජාතික පුවත්පත.

මේ විදියට පත්තර කිහිපයකම කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා විදියට කටයුතු කරමින් ඔහුත් හෙටක් වෙනුවෙන් පත්තරකාරයන් හදන්නට මාධ්‍යවේදීන් තනන්නට, එහෙමත් නැත්නම් මිනිසුන් හදන්නට වෙහෙසුණු කෙනෙක්. ඒ වෙහෙසට අදත් අපි හිස නමා ආචාර කරනවා. ගෞරව කරනවා. ස්තුතිවන්ත වෙනවා.
එල්මෝ ගුණරත්නයන් වෙනුවෙන් සිය කනගාටුව ප්‍රකාශ කළ අය අතර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අගමැති මහින්ද රාජපක්ෂ මහත්තය වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයත් හිටියා. ඒ වගේම කොවිඩ් කාර්යසාධක බළකායේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහත්තයත් මේ වෙනුවෙන් හැකි ඉක්මනින් තමන්ගෙ කනගාටුව ප්‍රකාශ කළා. ඒ, එල්මෝ ගුණරත්නයන් අප සමග ගෙවූ අසූනව වස පුරා පෑ දේශපාලන ඇයි හොඳයිකම් නිසා. ලංකාවේ ප්‍රබලතම දේශපාලකයන් කොයි තරම් ළඟින් ඇසුරු කළත් ඒ දේශපාලනයට යට නොවුණු අපූරු ප්‍රතිපත්තිගරුක බවක් ඔහු ළඟ තිබුණා.
මේ අසිරිමත් මනුස්සම පිළිබඳ ඉරිදා ලංකාදීප කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත මහත්තයා තැබූ සටහනින් කොටසක්.
“මම අද ‘ඉරිදා ලංකාදීප’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වෙමි. ඒ සා දුර බැහැර ගමනක් මට ඒමට හැකි වූයේ එල්මෝ ගුණරත්න මහතා නිසා බව අපමණ කෘතවේදීත්වයෙන් යුතුව පළමුව මෙහි සටහන් කර තබමි. එතුමන්ගේ උපදෙස් හා ආශීර්වාදය නොවන්නට මෙබඳු ගමනක් මට සිහිනයක් පමණක් වන්නට ඉඩ තිබිණි.
මා පුවත්පත් කලාවට සම්බන්ධ වූයේ 1970 දශකයේ අගභාගයේ පමණ ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනයේ ශ්‍රී ලංකාදීප පුවත්පත හරහාය. පොල්ගහවෙල වැනි කොළඹින් දුර බැහැර පෙදෙසින් පැමිණි අප වැනි පත්තරකාරයන්ට ලැබුණේ කුඩම්මාගේ සැලකිල්ලකි. නිදහස් මාධ්‍යවේදීන් වූ අපට කර්තෘ මණ්ඩලයට ඇතුලුවීමට පවා අවකාශයක් නොවීය. අප ලියාගෙන පැමිණි ප්‍රවෘත්ති විශේෂාංග පිළිගැනීමේ කවුන්ටරයට ලබාදී යාමට අපට සිදුවිය. ගමෙන් පැමිණි තරුණ පත්තරකාරයන් වූ අපට ඉංග්‍රීසි උගත් ටයිකෝට් පලඳින කොළඹ මහත්වරුන්ගේ පිළිගැනුම එපරිදි විය. එල්මෝ ගුණරත්න නම් කර්තෘවරයා අපට සුවිශේෂ වන්නේ එවන් පසුබිමකය.
සම්පූර්ණ යුරෝපීය ඇඳුමකින් සැරසී සිටි ප්‍රධාන කර්තෘවරයා වූ එල්මෝ ගුණරත්න මහතා ගමෙන් පැමිණි අපට සෙනෙහෙබර පියෙක් විය. දයානුකම්පාවෙන් අප දෙස බැලුවේය. ‘කොල්ලට හොඳ අනාගතයක් තියෙනවා. හරි විදියට යන්’ එතුමා නිතරම කීවේය. දක්ෂයාට තැන දීමට එතුමා පැකිළුනේ නැත. එමෙන්ම දක්ෂයා හඳුනා ගැනීමට වැඩි කාලයක් ගත්තේද නැත. අපට මේ සා දුරක් ඒමට හැකි වූයේ ඒ නිසාය. එතුමාගේ මරණය සම්බන්ධයෙන් මගේ සිත මෙතරම්ම සසල වී තිබෙන්නේද එහෙයිනි.
මා ශ්‍රී ලංකාදිපයේ කර්තෘ මණ්ඩලයට බඳවා ගැනීමේදීද අපූරු සිදුවීමක් විය. ඒ වන විට ටයිම්ස් ආයතනය රජයේ නිසි බලධාරියකු යටතට පත්කර තිබිණි. මා කර්තෘ මණ්ඩලයට බඳවා ගැනීමට නම් ඇමැතිවරයකුගේ ලිපියක් අවශ්‍ය බව එල්මෝ ගුණරත්න මහතා මට පැවසීය. එවැනි කිසිදු කෙනකු හඳුනන්නේ නැති බව මම කීවෙමි. සත්‍යම තත්ත්වය එය විය. එහෙත් රජයේ ආයතනයක් වූ ටයිම්ස් ආයතනයට බැඳීමට නම් ඇමැතිවරයකුගේ ලිපියක් අවශ්‍යම විය.
එකල කුරුණෑගල දිසා ඇමැති වශයෙන් සිටියේ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාය. මම ඒ මහතා හමුවී අවශ්‍යතාව සැලකර සිටියෙමි. ඒ මහතා මට ලිපියක් දුන්නේය. ඒ, එක් කොන්දේසියකට යටත්වය. එනම් තමන් මෙසේ ලිපියක් දුන් බව පොල්ගහවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රංජන් ජයකොඩි මහතාට කිසිම ලෙසකින් ආරංචි වීමට ඉඩ නොතබන ලෙස දැනුම් දෙමින්ය. මා ටයිම්ස් ආයතනයේ ශ්‍රී ලංකාදීප කර්තෘ මණ්ඩලයට එක් වූයේ ඒ අනුවය.
80 දශකයේ මුල් භාගයේදීම ටයිම්ස් ආයතනය වසා දැමුණි. එම ආයතනයෙන් පළකළ ප්‍රකාශනවල අයිතිය විජය පුවත්පත් ආයතනය නිල වශයෙන් හිමි කර ගත්තේය. එම බැරෑරුම් කටයුත්තේදී එල්මෝ ගුණරත්න මහතා සුවිශේෂ කාර්යභාරයක් ඉටු’ කළේය. අද ලංකාද්වීපයම දිග්විජය කිරීමට සමත් පුවත්පත් ආයතනයක් බවට ලංකාදීපය පත්වී තිබේ. මෙම අතීත සැමරුම් මේ මොහොතේ හිතට බර වැඩිය.
විජය පුවත්පත් සමාගමට සම්බන්ධවීමේ අවශ්‍යතාව මට ඇති විය. ‘ඉතාම දක්ෂයෙක්. මොහු බඳවා ගන්න’ යනුවෙන් විජය පුවත්පත් සමාගමට ලිපියක් එවීමට තරම් එතුමා කාරුණික විය.”
බණ්ඩාරනායකත් එක්ක රට පුරා…
මේ එල්මෝ මහත්තයා වරක් සිය මාධ්‍ය ජීවිතය ගැන කියා තිබූ විදියයි.

“ඒ කාලෙ සර් ජෝන් අගමැති. එයත් එක්ක ලංකාව වටේ යන්න හිටියා රිපෝටර්ලා 15ක් විතර. බණ්ඩාරනායක මහත්තයා ගාවට යන්න එකෙක්වත් කැමැති නැහැ. සර් ජෝන් ගාවට යන එවුන්ට හරි වාසියි නේ. අන්තිමට බණ්ඩාරනායක ළඟට යන්න වුණේ මට. මං රොස්මීඩ් ගිහින් එතුමා හම්බවෙලා විස්තරේ කිව්වා. මිනිහා ඒක අහලා හයියෙන් හිනාවෙලා ඇහුවා ලේක්හවුස් එකටත් මාව මතක් වෙලාද කියලා. ලේක්හවුස් එකෙන් මට බණ්ඩාරනායකගේ රැස්වීම් කවර් කරන්න යන්න වාහනයකුයි සල්ලියි දෙනවා කියලා කලින් කිව්වට ශත පහක් දුන්නේ නැහැ. මං බස් එකේ ගිහින් රිපෝට් ලිව්වෙ. ඒවත් කෑල්ලයි පළවෙන්නේ. බණ්ඩාරනායක මේ ප්‍රශ්නෙ දැනගෙන මාව එයාගේ කාර් එකේ එක්කරගෙන යන්න පටන් ගත්තා. මම රට පුරා ගියේ ඔහු සමගයි….”
එල්මෝ ගුණරත්නයෝ පත්තරය නිසා බැබළුණු කෙනෙක් නෙමේ, පත්තරය බැබළෙන්නේ ඔහු නිසා. ඔහු පත්තරෙන් හම්බ කළාට වඩා පත්තරේ ඔහු නිසා හම්බ කරගන්නවා. අදත් මේ අය මාධ්‍යවේදීන්ට විශාල පාඩමක් උගන්නවන්වා.
මේ සියල්ල පිටුපස්සේ හිටපු අයෝමය හෙවනැල්ල, අයෝමය ශක්තිය, අයෝමය දෑත හිමිකාරයා වෙන කවුරුවත් නෙවෙයි, එල්මෝ ගුණරත්නයන්. ඔහුගේ ආදරය තමයි මේ විදියට මහා පොළොවේ පූදින්නේ. ඔහුගේ අකුරු තමයි අද පැළවෙලා තියෙන්නේ. ඔහුගේ සිතුවිලි තමයි මේ සියලු සිත් සතන් නිවන ආශීර්වාදයේ හෙවනැල්ල බවට පත්වෙන්නේ. ඔහු තමයි අදත් අපේ මතකය පාරන්නේ. එල්මෝ ගුණරත්නයන්ගේ අවසන් හුස්ම වාතලයට මුහුවෙලා දින කිහිපයක් ගතවෙලා ගිහින්. ඈත දුම් රොටුවක් වෙලා පාවෙලා යන ඔහුගේ අපූරු චින්තනය මේ අහස උඩින් මහ පොළොවට වැස්සක් වෙලා ඇදවැටිලා මේ මහ පොළොවේ අලුත් මල් පූදිනවා නම්, අන්න එදාට මේ අහස යට මේ පොළොව උඩ බලාපොරොත්තුව තව පාරක් මල්පල ගැන්වේවි.
එල්මෝ ගුණරත්නයනි,
ආදරණීය මාධ්‍යවේදියාණනි,
මාධ්‍ය ලෝකයේ මහ රජුනි,
ඔබට අපේ උත්තමාචාරය.
ජීවන පහන් තිළිණ