උදේම ලිපියක් ලියන්න කරුණු එකතු කෙරුවා. කරුණු එකතු කරලා ඉවර වෙද්දි දැනුණා පුදුම සන්තෝෂයක්. ඒ කියන්නේ කරුණු එකතු කරද්දි දැනුණෙත් පුදුම ජොලියක්. වෙලාවකට හිතුණා මම මිස්ටර් බීන්ගෙ, නැත්නම් චාලි චැප්ලින්ගෙ මේ ඔක්කොම චරිත එකතු වෙලා හදපු එක චිත්‍රපටයක් බලනවද කියලා. මොකද ඒ තරම් විහිළු. හැබැයි අවාසනාවකට මම මේ විස්තර එකතු කෙරුවේ එකෝමත් එක රටක වගකිව යුතු ඇමැති කෙනෙක් ගැන. ඒ ඇමැතිතුමා හරි සිරියාවන්තයි. නිතර හිනාවෙනවා. නිතර විහිළු කරනවා. පුදුමාකාර උගතෙක්. බුද්ධිමතෙක්. විශේෂයෙන්ම මේ මහත්තයගෙ තියෙන උගත්කම වැඩිපුරම පාවිච්චි වෙන්නේ නම් දාන වැඩේට. ඒ වැඩේ හරියට කළා නම් අරිසෙන් අහුබුදු මහත්තයලා කරන නම් දැමීමේ ව්‍යාපාර සියල්ලම කඩාගෙන වැටෙනවා. මොකද ශක්‍රයගෙ පුතාට නම දැම්මෙත් මේ මහත්තයා. අපි ශක්‍රයගෙ පුතාට වයිමා කිව්වාට, ඇත්තටම ශක්‍රයගෙ පුතා වයිමා කියලා අපට කිව්වේ ශක්‍රයා නෙවෙයිනෙ. අපට ඕක කිව්වේ ඒ රටේ ඒ මහත්තයා.
ඉතින් ඒ රටේ ඒ මහත්තයගෙ හැකියාවන් දක්ෂතාවන් ගැන කතා කරන්න ගියොත් මේ ලියන ලිපිය කොච්චර දිග පළල වෙයිද කියලා හිතාගන්න බෑ. ඒ නිසා පුළුවන් තරමට පුළුවන් විදියට ලියන්නම්. හොයලා හොයලා හොයාගත්ත සමහර දේවල් තියෙනවා. ඒවා ලියනවට වඩා බලන්න ඕනෙ. බලද්දි නම් ඉල ඇදෙනවා. සමහර වෙලාවට තරහා යනවා. හැබැයි ඉතින් ඔය කවුරුත් එක්ක නෙවෙයි තරහා යන්නේ. කණ්ණාඩියකින් මූණ බලලා, කණ්ණාඩියට හැටක් අනින්න හිතෙනවා. ඇයි, ඒ රටේ ඒ ඇමැතිව ඒ විදියට තාම තියාගෙන ඉන්නේ ඒ රටේ පුරවැසියො නම් උන්ට නොගහා ඒ මනුස්සයට ගහලා වැඩක් නෑනෙ. ඒ අහිංසක මනුස්සයා රස්සාව විදියට කරන්නේ දේශපාලනය. ඉතින් ඔය වගේ දේශපාලනය කරන අහිංසක මහත්තුරු ඕනෙ තරම් ඉන්නවා. ඒ මහත්තුරු තමන්ගෙ ප්‍රධාන ව්‍යාපාරය විදියට දේශපාලනය තෝරගත්තට, අතුරු ව්‍යාපාර විදියට සමහර හොර මැර වංචා එහෙමත් කරනවා. ඉතින් එහෙම මහත්තුරුන්ගෙ පැටිකිරිය දැනගෙන එහෙව් අයව නීතිය හදන තැනට නොයවා ඉන්න ඒ රටේ මිනිසුන්ට බැරි නම්, ඒ රටේ මිනිසුන්ගෙ හොම්බට අනිනවා මිසක් කොහෙවත් ඉන්න අහිංසකයන්ට ගහලා වැඩක් නෑනෙ මහත්තයො.
ඔය මහත්තයා එක පාරක් ගානක් හැදුවා මහ පුදුමාකාර විදියට. අපට හිතුණෙ එතුමාට නොබෙල් තෑග්ග හම්බවෙයි කියලා. නොබෙල් තෑග්ග නැත්නම් මොකක් හරිම තෑග්ගක් ඔය මනුස්සයට හම්බවෙන්න ඕනෙ කියලා අපි ඒ කාලෙ හිතුවා. මොකද ඒ මහත්තයා ගණන් හැදුවා රු. 2500කින් පවුලකට මාසයක් කන්න පුළුවන් කන්න විදියට. රු. 2500කින් පවුලකට මාසයක් කන්න පුළුවන් කියලා නිකං හිටියෙ නෑ. එක ඔප්පු කළා. ඒ ගැන කරුණු ඉදිරිපත් කළා. ඒ සම්බන්ධව බොහෝම වැදගත් විදියට අදහස් දැක්වූවට පස්සේ අපේ රටේ ඉන්න මෝඩ මිනිස්සු ඒකට හිනාවෙන්න පටන් ගත්තා. එක මනුස්සයෙක්වත් හිතුවෙ නෑ මේ උගත් මහත්තයා ඒ රටේ ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රධාන පෙළේ දේශකයෙක් කියලා. වෙන එකක් තියා ඔය මහත්තයගෙ උගත්කමින් ප්‍රයෝජන අරගත්තු ඒ මහත්තයගෙ ගෝලයොත් අද ඒ මහත්තයත් එක්කම මැතිසබේ ඉන්නවා කියන එක මේ රටේ මිනිසුන්ට අමතකයි. සමාවෙන්න මේ රටේ ඒ රටේ මිනිසුන්ට අමතකයි. අපි මේ කතා කරන්නේ කොහේදෝ රටක් ගැනනේ.
දැන් ඔය මහත්තයා පහුගිය දවස්වලත් ඔය වැඩේට ටිකක් වැඩිපුර උනන්දු වෙන ගතියක් අපි දැක්කා. ඊයේ පෙරේදා නම් කිව්වේ තෙල්වල මිල අඩුකිරිල්ල එහෙම ලෝක වෙළෙඳපොළට සාපේක්ෂව කරන්න බෑ කියලා. හැබැයි ඉතින් ඒ මහත්තයා එහෙම කිව්වට අපට හම්බවුණා හොයාගෙන යද්දි වීඩියෝ පටයක්. ඒකෙ ඒ මහත්තයා සාමාන්‍යයෙන් එක තෙල් වර්ගයක මිල ගණන් 10ක් 12ක් විතර කියනවා. ඒක ඉතින් ඒ මහත්තයගෙ වරදක් නෙවෙයි, එතුමාට ඔය කතාව ලියලා දුන්නු හාදයගෙ වැරැද්දක්.
ඒ මහත්තයා භූමිතෙල් 58යි කියනවා, 44යි කියනවා, 157යි කියනවා. ආයෙත් ඩීසල්වල මිල කියනවා. කොහොම හරි මේ මනුස්සයා මේ කියන්න උත්සාහ කළේ බොර තෙල් මිල අඩුවෙනවා නම් තෙල් මිල අඩුකරන්න පුළුවන් කියලා. අරුමපුදුම දේ කියන්නේ දැන් ඒ මහත්තයා ආයෙම කියනවා ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල අඩු වුණාට ඒ රටේ තෙල් මිල අඩුකරන්න බෑ කියලා. මං දන්නෙ නෑ ඒ මහත්තයා ඒවා කියන්නේ කොයි තරම් වගකීමෙන්ද, දැනුමකින්ද, බුද්ධියකින්ද කියලා. ඒත් ඒ රටේ මිනිසුන්ට ඒක තේරෙන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙ. පහුගිය දවස්වල ඒ රටේ තිබුණා අපූරු වෙළෙඳපොළක්. ඒ වෙළෙඳපොළ අයිති රජයට. රජය එක එක කාලෙට එක ආතල් අරගෙන එක එක සෙල්ලං දාන වෙළෙඳපොළක් තමයි ඒ රටේ ඔය තියෙන්නේ. ඕං ඕකෙ මිල ගණන් අඩුවීම සම්බන්ධව කතන්දරයක් ආවා. මොකක්දෝ අංකයක් කතා කළාම සාමාන්‍ය වෙළෙඳපොළට වඩා රුපියල් දහසක වාසියක් සහිතව බඩු මල්ලක් ගෙදරටම ලැබෙනවා කියලා තමයි කිව්වේ. හැබැයි ඉතින් මේ ලියුම්කරුත් ඔය දුරකතන අංකයට කතා කරලා බැලුවා. ඒ තරම් වැඩේ සාර්ථක වුණේ නෑ. ඒක සමහර වෙලාවට ලියුම්කරුගෙ නොතේරුම්කම වෙන්න පුළුවන්. ඒ වුණාට ඒ රටේ මිනිස්සු ඒකෙන් ඵල ප්‍රයෝජන ගන්නවත් ඇතිනේ. මෙහෙම තියෙද්දි එක වෙලාවක ඒ රටේ පාර්ලිමේන්තුවෙදි විපක්ෂ මන්ත්‍රීවරයෙක් කියනවා සීනි ගන්න නම් අනෙක් බඩුත් ගන්න ඕනෙ කියලා. එතකොට මේ මහත්තයා කියනවා එහෙම එකක් නෑ කියලා.
හැබැයි ඇත්ත කතන්දරේ නම් එහෙම සීනි විතරක් මිලට ගන්න බැරි ප්‍රශ්නයක් ඔය කියන වෙළෙඳපොළේ තිබුණා. ඒක ලියුම්කරුත් දන්නවා. හැබැයි ඉතින් මේ මහත්තයා ඒක දන්නෙ නෑ. මොන හේතුවක් නිසා දන්නෙ නැද්ද, කවුරුවත් ඒක ගැන එයාට කියලා නැද්ද කියන්න අපි දන්නෙ නෑ. කොහොම නමුත් මේ මහත්තයා කරන්නේ හැම වෙලාවකම ඒ කතාව මෙහෙටයි, මේ කතාව එහෙටයි කියලා මොකක් හරිම සෙප්පඩවිජ්ජාවක් දාලා ඒකෙන් බේරෙන එකයි කියලා ඒ රටේ මිනිස්සු කියනවා. අපි දන්නෙ නෑ ඒවයෙ ඇත්ත නැත්ත. ඒ වගේම ඔය මහත්තයා පහුගිය දවසක කියලා තිබුණා ජනතාවට සල්ලි නැතුවට මං මොනව කරන්නද කියලා. ඇත්ත තමයි. කවුරු හරි කියනවා නම් ජනතාවට සල්ලි නෑ කියලා, ඒ මහත්තයා ඒකට වගකියන්න ඕනෙද? නෑ. ඒ මහත්තයා ඇතුළු කැබිනට් එකවත්, රජයවත් ජනතාවට සල්ලි නැති එකට වගකියන්න උවමනාවක් නෑ. ඒ මහත්තුරුන්ට සල්ලි තියෙන්නේ. එහෙම නම් ඕනෙ තරම් අපේ රටේ ව්‍යාපාරිකයන්ට සල්ලි තියෙන්නේ. ඒ මිනිසුන්ගෙ හැකියාවෙන් ශක්තියෙන් බලයෙන් නිලයෙන් කරගන්න දේවල්. ඒ නිසා මිනිසුස් දැනගන්න ඕනෙ තමන්ට බලය නිලය ධනය එකතු කරගන්න. ඒකට පුළුවන් නම් පාර්ලිමේන්තු යන්න. පාර්ලිමේන්තුවට ඕනම ගොබ්බයකුට යන්න පුළුවන් වගේ ගතියක් ඒ රට දිහා බැලුවාම ඕනෙ කෙනකුට තේරෙනවා නම් ඉතින් තව මොන කතන්දරද? ඒ නිසා අපිටත් ඉතින් ඕවට කරුණු කාරණා ඉදිරිපත් කරන්න බෑ. මොකද කවුරු හරිද, කවුරු වැරැදිද කියලා කියන්න අපට තේරෙන්නෙත් නෑ.
ඔය කියන මහත්තයා පහුගිය කාලෙ දවසක හාල් මිල පාලනයට ඒ රටේ ප්‍රධාන මෝල් හිමියො ඉන්න පැත්තටත් ගියා. ඒ පැත්තට ගියා කියලා උත්තරයක් හම්බවුණාද නැද්ද කියලා නම් දන්නෙ නෑ. හැබැයි භාණ්ඩ පිටරටින් ගෙන්වන එක ගැන පහුගිය දවසක පැහැදිලි කිරීමකදි මේ මහත්තයා කියලා තිබුණා ඒ රටේ මහ කැබිනට් එක ගත්ත සමහර තීරණ හින්දා ඒ මහත්තයායි, මෝල් හිමියොයි කරපු සාකච්ඡාවල ප්‍රතිඵල ජනතාවට භුක්ති විඳින්න බැරිව ගියා කියලා. හැබැයි ඉතින් දැන් ජනතාව ඒක හොඳට භුක්ති විඳිමින් ඉන්නවා. මොකද රටේ ඇමැති කෙනෙක් හිටියට ඇමැතිව පයිසෙකට මායිම් නොකර ඒ රටේ වෙළෙන්දො, ව්‍යාපාරිකයො තමන්ට ඕනෙ ඕනෙ විදියට මිල ගණන් වැඩි කරනවා.
ඒ වගේම මේ මහත්තය හරි ෂෝක් කතාවක් පහුගිය දවසක කියලා තිබුණා. ඒ කියලා තිබුණේ ලෝකෙ කිසිම රටකට අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කරන්න බෑ කියලා. හැබැයි ඉතින් අපට මොකක් හරි නිකම් හාවක් හූවක් මතකයක් තියෙනවා ඒ මහත්තුරු විපක්ෂයෙ හිටපු කාලෙ නම් මිල පාලනය ගැන බොහෝම ලස්සන තියරි ඉදිරිපත් කළාය කියලා. ඒ සම්බන්ධව බොහොම දක්ෂ විදියට මිල පාලනය කරන හැටි ලස්සනට කිව්වා. බලාගෙන ඉන්න ආසයි. හැබැයි දැන් කියනවා එහෙම මිල ගණන් පාලනය කරන්න බෑ, ලෝකෙ තියෙන මේ වසංගත තත්ත්වය නිසා මේක දරාගන්න සිදුවෙනවා වගේ දේවල් ටිකක්. ඉතින් දැන් එහෙම මිල ගණන් පාලනය කරන්න බැරි නම් මේ මිල පාලනය කියලා එකක් දැම්මෙ ඇයි? මිල පාලනයට ගැසට් නිකුත් කළේ ඇයි කියලා අපට ඉතින් ඕවා අහන්න තියෙන්නේ ඇමැතිතුමාගෙන් නෙවෙයි. මොකද මේ ගම්වල ඉන්න කොල්ලො කුරුට්ටොනෙ මේ මිල පාලනයට ගැසට් නිකුත් කළේ. ගම්වල ඉන්න එවුන්ට තේරෙනවද රටක් කරන්න? රටක් කරන්න නම් ඕකට යන්න ඕනෙ. ඒකට ගියාට පස්සේ තමයි ආර්ථික විද්‍යා දැනුම පාවිච්චි කරලා මේ රට සුඛිත මුදිත සුරපුරයක් කරන්න ඒ මහත්තරු වෙන මහන්සිය අපට දැනෙන්නේ. ඒ මහත්තුරු හරියට වේලක් නොකා, වෙහෙස මහන්සි වෙලා තමන්ගෙ දරුමල්ලන්ගෙ අනාගතේ අන්ධකාරෙ දාලා හරියට පඩියක් නඩියක් නැතුව යන්න එන්න වාහනයක් නැතුව මේ රට කරවන්න විඳින දුක නොතේරෙනවා නම් ඔය වගේ කයි කතන්දර කියන්නෙ නෑ.
හැබැයි ඔය මහත්තුරු පහුගිය කාලෙ හැමදාම වගේ ඒ කියන්නේ ඒ මහත්තුරු විපක්ෂ ඉන්න කාලෙ මේ රටේ මිල වැඩිවෙන හැටි, ආර්ථිකයෙ අඩුපාඩු ගැන හරියට දේවල් ඉදිරිපත් කළා. කවුරු හරි කෙනෙක් ඉන්නව නම් ඒ මහත්තුරු ඒ කාලෙ ඉදිරිපත් කරපු වීඩියෝවක්ම ඒ මහත්තයට දාලා පෙන්නන්න. එතකොට ඒ මහත්තයට තේරෙයි ඕක කරන විදිය. මොකද දැන් වැඩ වැඩි හින්දා අමතක ඇතිනේ. කොහොමත් දැන් ඉතින් වයසයිත් නේ. ඒවට ඉතින් බැණලා ගහලා හදන්න බෑනේ. පොඩි ළමයි නෙවෙයිනේ. කොහොම හරි ඔය කියන ඇමැතිතුමා මරු කතාවක් කියලා තිබුණා. ඒ තමයි හාල් කිලෝ තුනකින් සාමාන්‍යයෙන් පවුලකට සති තුනක් ජීවත් වෙන්න පුළුවන් කියලා. ඕක අපි ගණන් හදලා බැලුවා. මේ ගණන් හැදිල්ලේ සමහර තැන් වැරදෙන්න පුළුවන්. සති තුනක් කියන්නේ මහත්තයො දවස් විසි එකක් නේ. එතකොට එක දවසකට හාල් ග්‍රෑම් 142.85ක් තමයි ඒ පවුලට පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට මේ හාල් ග්‍රෑම් 142 පාවිච්චි කරනකොට අපි හිතමුකො මේගොල්ලෝ තුන් වේලටම බත් කන මිනිස්සු කියලා. එතකොට තුන් වේලටම බත් කනවා නම් එක දවසකට ඒ ගෙදරට පාවිච්චි කරන්න වෙන හාල් ප්‍රමාණය ග්‍රෑම් 47යි. දැන් මේ හාල් ග්‍රෑම් 47 පාවිච්චි කරන්න ගෙදර අම්මෙක්, තාත්තෙක් සහ දරුවො දෙන්නෙක් කියලා හතර දෙනෙක් ඉන්නවා නම් එක්කෙනෙකුට හාල් ග්‍රෑම් 11ක් තමයි සාමාන්‍යයෙන් දවසක එක වේලකට පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට හාල් ග්‍රෑම් 11ක් වේලකට පාවිච්චි කරලා බඩගින්න නිවාගන්න පුළුවන් මේ පවුල ඔය කියන විදියට සමහර විට කුරුලු පවුලක් වෙන්න පුළුවන්. ඒ නිසා අවුලක් ඇතිකරගන්න එපා. මේ හිත හොඳ මහත්තයා මාස හතකට කලින් කියලා තියෙන්නේ.
සමහර වෙලා කුරුලු පවුලක් ගැන වෙන්න ඇති. ඔහොම හොයාගෙන හොයාගෙන යනකොට මරු තැනක් තිබුණා. ඒ මීට අවුරුද්දකට කලින් අනුර කුමාර දිසානායක මහත්තයා කියල තිබුණු කතාවක්. එක නමක් කියලා එයා කියනවා සරමක් ඇඳගෙන ඔළුවෙන් හිට ගැනීම අවදානම් කියලා. ඒ නිසා මේ ලියමන අවසානයේදී ඔබට පුළුවන් චිත්ත රූප මවාගන්න. අපි කියන ඇමැතිතුමාගෙ රූපෙ මවාගෙන එතුමා සරමක් ඇඳගෙන ඔළුවෙන් හිටගත්තොත් කොහොම වෙයිද? දැනුත් ඉතින් ඔළුවෙන් හිටගන්නෙ නැති එක විතරයි වෙනසකට තියෙන්නේ. සරමක් ඇඳගෙන නම් ඔය කතා කියන්න බෑ. අනේ මං දන්නෑ. කවුරුත් තරහ ගන්න එපා. අපි මේ කිව්වේ එකෝමත් එක රටක. එකෝමත් එක ඇමැති කෙනෙක් ගැන. ඒ එකමත් එක ඇමැති ඔයා කියලා හිතෙනවා නම් ඔයා තොප්පිය දාගන්න. එහෙම තොප්පිය දාගත්තොත් අපට කියන්න. අපි අනිවාර්යයෙන්ම ඒ ඔයාමයි කියලා රටට කියන්න ලෑස්තියි.
ජීවන පහන් තිළිණ