පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන ඉන්දික අනුරුද්ධ සහ ඩී. වීරසිංහ යන මන්ත්‍රීවරුන් දෙදෙනා මෙන්ම මහාචාර්ය චන්න ජයසුමනගේ මැදිහත් වීමෙන් මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ජංගම දුරකථන දෙකක් පාර්ලිමේන්තුවේදී පැහැරගෙන තිබුණා.
ඒ ඊයේ (17) වෙනිදා යි. පසුව එම දුරකථන දෙක සභාගර්භයේදී කතානායකවරයා අසලට පැමිණ බාරදී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් කතානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.එමගින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා වන ස්වර්ණවාහිනී මාධ්‍යවේදී ප්‍රගීත් පෙරේරා සහ සිරස නිව්ස් ෆස්ට් මාධ්‍යවේදී කසුන් සමරවීර යන අයට පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී. වීරසිංහ සහ ඉන්දික අනුරුද්ධ යන දෙදෙනා විසින් ජංගම දුරකතන වලින් දර්ශන ලබා ගැනීම මන්ත්‍රීවරුන්ට බාධාවක් නොවන ආකාරයෙන් සිදු කරමින් සිටිය දී අදාළ දර්ශන ලබාගන්නේ කුමකටදැයි ප්‍රශ්න කරමින් අසභ්‍ය වචනයෙන් බැන වැදුණු බව කියනවා.
ඔවුන්ගේ මාධ්‍ය ආවරණ කටයුතුවලට බාධා කර තිබෙන බව එම ලිපියේ සඳහන් වෙනවා.
මාධ්‍යවේදීන් දෙදෙනාට පහරදීම වළක්වා තිබුණේ අසළ සිටි ආරක්ෂක අංශ විසින් බව කියන්නේ.මෙමගින් මාධ්‍ය නිදහස බරපතල ලෙස අභියෝගයට ලක්ව ඇති බවත්, රටේ වඩාත්ම ආරක්ෂාව සහිත ස්ථානයක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානම සංකේතයක් වන උත්තරීතර පාර්ලිමේන්තු සංකීර්ණය තුළ දී එහි කටයුතු වාර්තාකරණයට පැමිණෙන මාධ්‍යවේදීන්ට මෙලෙස මන්ත්‍රීවරුන් විසින් පහරදීමට තැත් කිරීම, ජංගම දුරකතන පැහැර ගැනීම සිදු කරන්නේ නම් මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තත්ත්වය පිළිබඳව ලෝකයට යන මතය යහපත් නොවන බව මින් කතානායකවරයා වෙත අවධාරණය කොට තිබෙනවා.
මෙවැනි තත්ත්වයක් ඉදිරියේදී ඇති නොවීමටත් පාර්ලිමේන්තුව තුළ දී මාධ්‍යවේදීන්ගේ රාජකාරි කටයුතු අනිසි බාධාවන්ගෙන් තොරව සිදුකරගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන ලෙසත් පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමයේ ජාතික සංවිධායක තුෂාර වීරරත්නගේ අත්සනින් යුතු ලිපිය මගින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා.
