පකිස්තාන ආරක්ෂක අමාත්‍ය පර්වේස් ඛට්ටක් සියල්කොට්හි දී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීම හෑල්ලූවට ලක් කරමින් තරුණයින් හැඟීම්බර වූ විට “ඝාතන පවා සිදු වේ” යැයි පවසා ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කොට ඇත.
ඛට්ටක් පවසා ඇත්තේ සියල්කොට්හි මැර පිරිසක් අතින් ශ්‍රී ලාංකිකයෙකු දරුණු ලෙස ඝාතනය කිරීම, Tehreek-i-Labbaik Pakistan (TLP) සංවිධානයේ තහනම ඉවත් කිරීමට පකිස්ථාන රජය ගත් තීරණයට සම්බන්ධ නොකළ යුතු බවයි.
ඉරිදා පෙෂාවර් හි පැවති මාධ්‍ය සාකච්ඡාවකදී වාර්තාකරුවෙකු රජය විසින් TLP තහනම ඉවත් කිරීමෙන් පසුව සියල්කොට් ඝාතනය සිදු වූ බවත්, එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා එවැනි කණ්ඩායම්වලට එරෙහිව “ඵලදායි මර්දනයක්” රජය සලකා බලන්නේ දැයි කළ විමසීමේදී ආරක්ෂක අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම කරුණු දෙක සම්බන්ධ නොකළ යුතු බවයි.
“[මෙම සිදුවීම පිටුපස] හේතු ඔබත් දන්නවා. දරුවන් … වැඩෙන විට, ඔවුන් උද්යෝගිමත් වී හැඟීම්වලින් දේවල් කරයි. මෙයින් අදහස් කරන්නේ ‘මෙය එම ක්‍රියාවේ ප්‍රතිඵලයක්’ යන්න නොවේ,” යැයි ඔහු අවධාරණය කළ අතර, සියල්කොට්හි ද ඇතැම් තරුණයන් රැස්වී කර්මාන්තශාලා කළමනාකරු ප්‍රියන්ත කුමාර ඉස්ලාමයට අගෞරව කළ බවට කළ චෝදනා එම “හදිසි” ඝාතනයට හේතු වී ඇති බව ඔහු සදහන් කොට ඇත.
කෙසේ වෙතත්, පසුව අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඝාතනය හෙළා දකින අතර යුක්තිය සහතික කිරීමටද පියවර ගත්තේය.