ජුනි මස 14වන දින සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබුණ ද, ජුනි 11 වන දින මරණ 101ක් වාර්තා වූ බවට ලැබුණු දත්ත පදනම් කරගනිමින් ජුනි 21 වනදා තෙක් සංචරණ සීමා දීර්ඝ කිරීමට පියවර ගැනුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කොවිඩ් මර්ධන කමිටුවේ දී අනාවරණය විය.
මෙම මරණ සිදුව ඇති ආකාරය පිළිබඳව සෞඛ්‍ය සහ බුද්ධි අංශ මගින් නැවත පුළුල් විමර්ශනයක් කර ලබාගත් දත්ත පිළිබඳව ජනාධිපතිතුමා දීර්ඝ ලෙස එහිදී කරුණු පැහැදිලි කර සිටිය බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.
එහිදී ඇතැම් මරණ පෙබරවාරි 06 සිට ජුනි 11 දක්වා මාස 04ක කාලසීමාව තුළ සිදුව, මරණ සහතික ද නිකුත් කළ තිබූ බවට ද අනාවරණය විය.
ඇතැම් මරණ පිළිබඳව තොරතුරු දෙවතාවක් සඳහන් වි ඇති බව සොයා ගැණුනු බවයි එහිදී හෙළිවී ඇත.
ජුනි 11 වන දින සිදුව ඇති මරණ සංඛ්‍යාව 101ක් නොව 15ක් පමණක් බව සිදුකළ පුළුල් විමර්ෂණයෙන් පසු අනාවරණය කරගත් බව ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියේය.
දත්ත සැපයිමේදී නිවැරදි වීම සහ කාලීන වීම, නිවැරදි තීරණ ගැනීමට අත්‍යාවශ්‍ය බව ජනාධිපතිතුමා අවධාරණය කර සිටියේය.
ජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති නීති තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කෙරේ. රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යාමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතු වන අතර සියලුම වෙළෙඳ සහ ආර්ථික මෙහෙයුම් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කර සිටියේය.
කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කෙරිණ.
කොවිඩ් නොවන මරණ පී.සී.ආර් පරීක්ෂණයට ලක්කිරීමෙන්, අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව බොහෝ දෙනාගෙන් චෝදනා එල්ල වී තිබේ. එමගින් මියගිය අයගේ පවුල්වල අය මුහුණ දෙන ආර්ථික සහ දැඩි අපහසුතා සැලකිල්ලට ගෙන කොවිඩි නොවන හේතූන් මත මියයන අයගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට අනුමැතිය දීමට ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.
මේ වන විට එන්නත් මිලියන 04කට අධික ප්‍රමාණයක් ගෙන්වා තිබේ. ජුලි මස අවම වශයෙන් තවත් එන්නත් මිලියන 04ක් ලැබීමට නියමිත බවත්, ඒ අනුව ඉදිරි කාලය තුළ ඉහළ ප්‍රතිශතයකට එන්නත් දීමේ හැකියාව ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කර සිටියේය.