වේල් තුන පිරිමසාගත නොහැකිව ජනගහනයෙන් අති බහුතරයක් උග්‍ර ආහාර අර්බුදයකට මුහුණපා සිටිද්දී ඔවුන් ඉන් මුදාගැනීම සඳහා දැවැන්ත වගා සංග්‍රාමයක් දියත් කිරීමට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන සමගි ජන බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත් තීන්දු කොට ඇත.
ඒ අනුව ගම් මට්ටමෙන් වගා ගොවිපළ ඇතිකොට ඒ හරහා ජනතාවට ආහාර ලබාදීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට මෙම පක්ෂ දෙක සැලසුම් කොට තිබේ.
මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ කළුතර පැවැති වැඩසටහනකදී පළමු වතාවට අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ රටම අසීරුතාවට පත්ව ඇති මේ මොහොතේ විපක්ෂයේ වගකීම ඉටුකරමින් ජනතාවට ආහාර සැපයීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට තම පක්ෂය සූදානම් බවයි.
මීට පෙරද විපක්ෂ නායකවරයා ‘හුස්ම’, ‘සක්වල’ යන වැඩසටහන් මගින් රෝහල්වලට හිඟ ඖෂධ, වෛi උපකරණ සහ පාසල්වලට ස්මාර්ට් පන්ති කාමර ලබාදීමට පියවර ගෙන තිබිණි.
එය කෙතරම් සාර්ථකව සිදුවූවාද කියනවා නම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද මීට සති දෙකකට ඉහතදී ‘හුස්ම’ වැඩසටහන අගයමින් රෝහල්වල හිඟ ඖෂධ එම වැඩසටහන යටතේ ලබාදෙන ලෙසට ඉල්ලීමක් කොට තිබුණු අතර එම ඉල්ලීම පිළිගැනීමටද විපක්ෂ නායකවරයා පියවර ගෙන තිබිණි.
විපක්ෂ නායකවරයාට අමතරව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාද පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ පියවර තුනක් යටතේ ගම් මට්ටමින් වගා සංග්‍රාමයක් දියත් කිරීමට තම පක්ෂය කටයුතු කරනවා යැයි කියාය.
එහිදී පළමු අදියර යටතේ වගා ගොවිපළ ඇතිකිරීමටත්, දෙවැනි අදියර යටතේ ගැබිනි මවුවරුන්ට සහ කුඩා දරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමටත්, තෙවැනි පියවර යටතේ රෝහල්වලට හිඟ ඖෂධ ලබාදීමටත් පියවර ගන්නා බව දිසානායක මහතා සඳහන් කර සිටියේය.
මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිතවරිය වූ හැනා සිංගර් මහත්මියද කියා සිටියේ මෙරට ජනගහනයෙන් 20%ක් මේ වන විට උග්‍ර ආහාර හිඟයකට මුහුණපා සිටින බවකි.