මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ (ආර්.එම්.වී.) නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයට සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවට පත්කරමින් පුද්ගලයන් 20 ක පමණ පිරිසක් එම කාර්යාලය ඉදිරිපිට කිසිඳු බාධාවකින් තොරව හැසිරෙමින් වංචාකාරී ක්‍රියාවල නිරතවන ආකාරය දැකගත හැකිය.
මෝටර් රථ සම්බන්ධයෙන් සේවා ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන්ට විවිධ සේවා සැපයීමට එම පුද්ගලයන් ඉදිරිපත් වන අතර එම සේවා අතර වංචාකාරී ක්‍රියා රැසක් දැකිය හැකිය.
වාහන ලියාපදිංචිය සඳහා වන පෝරමය සම්පූර්ණ කිරීමේ සිට සාමදාන විනිශ්චකාරවරුන්ගේ නිල මුද්‍රාව තබා ඡායාරූප සහතික කිරීම ඇතුළු විවිධ සේවා සැපයීමට කිසිඳු බියක් නොමැතිව ඔවුහූ ඉදිරිපත්ව සිටිති.
මෙම වංචාසහගත ලියවිලි ඉදිරිපත් කළ පසු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් සහතික නිකුත් කිරීම වඩාත් භයානක තත්වයක් බවට පත්ව තිබේ.
එම පුද්ගලයන්ගේ වැඩි සංඛ්‍යාවක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් බව බැලූ බැල්මට කිවහැකි අතර සේවා ලබාගැනීමට එන කාන්තාවන්ට යතුරුපැදියෙන් බැසීමටත් අවස්ථාව නොදී දැළට හසුකර ගනිති.
වාහන ගාල්කිරීමේ නිරත සිටින කාන්තාවක් ද ඒ මුවාවෙන් එහි රැදෙමින් වංචාකාරී ලේඛණ ලබාදී මුදල් ලබාගන්නා ආකාරය දැකිය හැකි අතර එම පුද්ගලයන් අතර ආබාධිත පුද්ගලයන් කීපදෙනෙක් ද සිටිති.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තුළ පොලිස් ඒකකයක් ද තිබෙන අතර මෙම වංචාකාරී සිදුවීම් වන ස්ථානයේ සිට නාරාහේන්පිට පොලිසියට මීටර 100 ක පමණ දුරක් තිබේ.