ගාලු මුවදොර අරගලය තවමත් නොනැවතී ඉදිරියට ගමන් කරමින් සිටීම බොහෝ විට ඇතැමුන්ගේ මවිතයට හේතුවකි. එහෙම කියන්නේ ඇයි කියා කවුරුවත් අසන්නේ නම් එයට උත්තරය මෙහෙමය.
මේ ශ්‍රී ලාංකේය සමාජය තුළ දේශපාලනික වශයෙන් කිසිම විටෙක සිදු නොවූ සංසිද්ධියකි. මීට කලින් කලට ආණ්ඩුවෙන් ආණ්ඩුවට ඕනෑ තරම් අරගල සහ උද්ඝෝෂණ පැවැත්විණි. කොළ පාට සහ නිල්පාට ආණ්ඩුවලට විරුද්ධව විපක්ෂ සහ සෙසු පක්ෂ විසින්ද විශ්වවිද්‍යාල සිසු සිසුවියන් විසින්ද රජයේ සේවක සේවිකාවන් විසින්ද විවිධාකාර වූ උද්ඝෝෂණ දස දහස් ගණනක් පැවැත්විණි. නමුත් කඳුළු ගෑස් ප්‍රහාරයක් හෝ දෙකකින් එකී අරගලය හෝ උද්ඝෝෂණය කම්මුතු කර දැමීමට ඒ ඒ කාලයට අනුව එවක පැවැති රජයන් සමත් විය. ඇතැම් විට එයට පසුව උද්ඝෝෂණය කළ පිරිස්ම එවක පවතින රජයත් සමග ඇඟෑලුම්කම් දක්වන සමහර ඡායාරූපද පසු කලෙක පුවත්පත්වල පළවූ අවස්ථාද වේ. පැත්තකටවී නිල් පාටට හෝ වෙනත් පාටකට දොස් කියන තැනැත්තා තව ටික කලකින් ඡන්දය තියෙන දවස්වලට වෙනත් පක්ෂයකට ගිහින් කොළ පාට කට්ටියව පතුරු ගසයි. පාට හෝ පක්ෂ වශයෙන් හැමදාමත් සිදුවූයේ එහෙම සිදුවීම්ය.
ඒ සිදුවීම්වල පසුබිමෙහි හැමදාමත් වූයේ බාස්මතී සම්බාවලින් හැදූ රසවත් ෆ්‍රයිඩ් රයිස් පැකට් එකක අල්ලසකි. නැත්නම් රුපියල් පන්සියයේ දාහේ නෝට්ටුවකි. එහෙමත් නැත්නම් අරක්කු භාගයක් හෝ බෝතලයකි. ඒ ඊනියා අල්ලස් ක්‍රමය හැමදාමත් පැවැත්විණි. වෙනස් නොවී වසර ගණනක් තිස්සේ පක්ෂ පාට සමග හුවමාරුව ශ්‍රී ලංකාවේ කැත දේශපාලනය සමග පැවැත්විණි.
කවියන්, ලේඛකයන්, ගායකයන් මෙන්ම චිත්‍රපට, ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය නිර්මාණකරුවන්ද එක්ව ඒ කැත දේශපාලනය අශෝභන යැයි තම නිර්මාණ කාර්යයන් හරහා කොතෙක් පෙන්වා දුන්නද ලෝකය සහ ජන සමාජයට එය ඇසුණේ නැත. දැනුණේ නැත. ඔවුන් එය දුටුවේද නැත. කලා නිර්මාණය රසවිඳ ‘ෆන්’ එකක් ගන්නවා මිසක හරි ක්‍රමය හෝ නිවැරැදි දැක්ම ඔවුන් හැමදාමත් තේරුම් ගත්තේ නැත. තේරුම් ගත්තද එය ක්‍රියාවට නැංවූයේ නැත.
හරි ක්‍රමය හෝ නිවැරැදි දැක්ම යනු එකක්ද? හරි ක්‍රමය සහ නිවැරැදි දැක්ම යනු නිදහස් අදහස් පිරුණු පිරිසිදු අරගලයයි. ඒ අරගලයට බත් පැකට්ටුවක හෝ ගල් අරක්කු බෝතලයක අල්ලස් නැත. දෙකට නමා කවරයක දැමූ මොනර කඩදාසියක් නැත. රසට පිසූ චයිනීස් ෆ්‍රයිඩ් රයිස් බත් පැකට් එකක් නැත. තිබුණේ පිරිසිදු අදහස් සහ පක්ෂ භේදයක් හෝ ජාති භේදයක් නැති ජාතිමාමක වූ හැඟීම් පමණය. එලෙසම එවන්වූ අරගලයක දැක්ම ලංකාව වැනි පහත් දේශපාලනයක් තිබුණු රටකට නම් හැමදාමත් හීනයක්ම විය. කලාකරුවන් බුරුතු පිටින් අල්ලසට යටවන විට ඒ හීනය තව තවත් පුපුරා ගියේ එතරම් දුර නොවූ මෑත දේශපාලනය තුළය. හැබැයි නොසිතූ මොහොතක සිදුවන සමහර අනුහස් හිටි අඩියේ මහ පොළොවට පාත්වෙන අදිසි අවස්ථා සේම, කාලය විසින් මවන අරුම පුදුම වෙනස්කම්ද සමහර අවස්ථාවල සිදුවේ.
ගාලු මුවදොර අරගලයද එවැන්නකි. කවදාවත් එවැනි අරගලයක් ඉන්දීය සාගරයේ මුතුඇටය හමුවේ දකින්නට කිසිවකු අපේක්ෂා නොකළ වග සහතිකය.
‘ඕකත් ඉතින් දවසයි දෙකයි…’ අරගලය ආරම්භව ගෙවී යන දෙවැනි දිනයේදී ඇතැමුන් එහෙම නොකීවා නම් පුදුමය. ‘සිංහලයට යමක් මතක හිටින්නේ දවසයි දෙකයි’ කියා මිනීමරු ප්‍රභාකරන් කී එකේ අපේ සමහර සිංහලයන් අරගලය පීචං කොට කතා කළේ අතීතයේ එවැනි දෑ සිදුවූ නිසාය. සත්තකින්ම කියනවා නම් පොතට පතට නාට්‍යයට, චිත්‍රපටයට පමණක් සීමාවූ මානුෂීය වූ පිවිතුරු අරගල මුහුණු පොත තුළ හැමදාමත් වාගේ තව්සන්ඩ් ටෝක් දෙන වචනයට පමණක් සීමා වූ දේශමාමක පිවිතුරු අරගල, ගාලු මුවදොර හිස්තැන් පුරවාවි යැයි සිතුවේ කවුරුන්ද? එය ඔබ සිතුවාද? අප සිතුවාද? වෙනත් කිසිවකු හෝ නැතත් දීන දේශපාලකයන්වත් එය සිතුවාද?
නැහැ. එය කිසිවෙක්වත් සිතුවේ නැත. මෙතරම් දිගට අරගලය ඇදී යාවිද? එය දැක රටේ හතර කොන ඇවිළී පාරට බසින්නට ගනීවි යැයි කවුරුවත්ම හිතුවේ නැත. අරගලය ආරම්භවී දැන් සති තුනක්ම ඉක්ම ගිහින්ය. තවමත් අරගලය උණුසුම්ය. අරගලය නිසා ආණ්ඩු පක්ෂයටත් රාජපක්ෂ රජ මැඳුරටත් මදි නොකියන්න රිදුණේය.
අරගලය නිසා ආණ්ඩුවට හෝ අනෙකුත් දේශපාලන පක්ෂවලට රිදුණේ නැතැයි ඔබ සිතන්නේද? ඒ සිතුවිල්ල මකාදමන්න. මන්දයත්, රාජපක්ෂ මැඳුරේ වෙසෙන ධන කුවේරයන් වෙනදා පුරුද්දට අවුරුදු උත්සවය සමරන්නට මෙවර වටිනා සළුපිළි ඇඟලාගෙන ජාතික රූපවාහිනියට වැඩියේ නැත. අපේම මුදල් භාවිතයට ගනිමින් එහා මෙහා හුවමාරු වන ඩයලොග්, මොබිටෙල් අවුරුදු සුබ පැතුම් මෙවර රාජපක්ෂ රජමැඳුරෙන් නිකුත් වූයේ නැත.
මේක්-අප් තට්ටුවක් උලාගෙන එන රාජපක්ෂ රැජිනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කාල්ටන් නිවාසයේ අවුරුදු උත්සව මේ පාර කැන්සල්වී ඇත.
සියල්ලටත් වඩා නුවරඑළියම අවුරුදු සිරියෙන් නහවන වසන්ත සැණකෙළියටද 2022දී කෙළවී ගියේය.
‘ඉතින් ගාලු මුවදොර අරගලය ඊනියා දේශපාලකයන්ට ඒ තරමටවත් තම බලය පෙන්වීමට ආඩම්බර නැතිද…?’
ඒ සටහන මුහුණු පොත පුරා දසතින් ෂෙයාර්වී තිබුණේ 2022 බක් මස දහසය වැනිදාය.
අරගලය හිතුවාට වඩා බොහෝ හපන්කම් පෙන්වා හමාරය. අරගලයක් අසලකින්වත් යතැයි නොහිතන අපේ කලාකරුවන්ද අද ගාලු මුවදොරට පය තබා ඇත. ඒ විතරක් නොවේය. පූජ්‍ය පක්ෂය සේම විශේෂ අවශ්‍යතා සහිත සමාජයක වෙසෙන දූදරුවන්ද හඬගා කියන්නට බැරි දේ සංඥා බසින් කියන්නට අරගල භූමියට පැමිණීම විශේෂයකි.
කණ්ඩායම් වශයෙන් නැතිව පුද්ගලිකවද තම දායකත්වය අරගලය වෙනුවෙන් තිළිණ දීමට තනිවම පාගමනින් තනිව දුර බැහැරක සිට පැමිණි අයද ඒ අතර වේ.
වයස අවුරුදු 59ක් වූ ජූඩ් මාලන් සිල්වා මහතාද එවැන්නෙකි. වෙළෙඳ දැන්වීම් වෘත්තිකයකු වූ ජූඩ් මාලන් පවසා සිටියේ, ‘මේ අරගලය අලුත් අදහස් තියෙන අලුත් පරම්පරාවේ හොඳ දැක්මක්. මෙහෙම විප්ලවයක් ලංකාව වාගෙ අසික්කිත දේශපාලනයක් තියෙන රටක ඇතිවෙයි කියල කවුද හිතුවේ. අපි කවුරුත් හීනෙකින්වත් හිතුවෙ නැහැ. අපේ දේශපාලකයො හිතුවද, රාජපක්ෂලා වැනි මේ රට අවනඩුවෙන් ආක්‍රමණය කරපු පිරිසක් කවදාවත් මෙහෙම අරගලයක් එයාලට විරුද්ධව එයි කියලා හිතුවද? කවදාවත් නැහැ. ඒ නිසයි ඒ අය අන්දොස් වෙලා ඉන්නෙ. ආඩම්බරයි මේ අරගලය ගැන. ආයුධ වෙනුවට සිංහ කොඩිය අතේ තියාගෙන, අල්ලස වෙනුවට ලැබුණු දෙයක් බඩට දාගෙන ඔවුන් ගෙන යන මේ අරගලය උදාරයි…’
‘ගෝඨා ගෝ ගම’ අරගලයට ජූඩ් මාලන් පැමිණියේ රාජපක්ෂවරුන් රට හිඟමනට ඇද දැමුවා යන කියමන සහිත පුවරුවක් බෙල්ලේ එල්ලාගෙනය.
40 හැවිරිදි රණවිරුවකු වූ සරත් මහින්දසිරි තම කෘත්‍රිම පාදයද සමග අරගල භූමියට ආවේ විසිහතර පැයක උපවාසයක්ද සමගය.
‘මේ අපේ රට, අපේ ජීවිත අතපය උකසට තබා බේරාගත් රට. සොර මුළකට එය නාස්ති කරන්න ඉඩ දෙන්න බැහැ. අප වැනි රණවිරුවන් රජයට නෙවෙයි අපේ රටට පක්ෂපාතී වියයුතුයි…’
රණවිරු සරත් මහින්දසිරි එලෙස සිය අදහස් ප්‍රකාශ කළේය. සරත් මහින්දසිරි ඇතුළු තවත් රණවිරුවන් පිරිසක් වරින් වර උද්ඝෝෂණයට සහභාගි වෙමින් දින දහයක් පුරා ඊට සිය උදාර දායකත්වය දුන්නේ නිදහස් අදහසක් ප්‍රකාශ කරමින්ය.
අරගලය ආශ්‍රිතව ඉදිවූ ‘ගෝඨා ගෝ ගම’ කාලානුරූපීව අරගලයට කදිම පිටිවහලක් සපයා ඇත. අතුරුදන්වූ සහ මියගිය පුද්ගලයන්ගේ සිතුවම් දැක්මක්ද එහි ප්‍රදර්ශනය වේ. රාජපක්ෂවරුන් රටට කළ හානිකර දේද ඒ සිතුවම් හරහා චිත්‍රයට නඟා ඇත. ‘වැඩ කරන අපේ විරුවා’ගේ පැමිණීමත් සමග වීදි පුරා චිත්‍ර ඇන්ද තරුණ තරුණියන්ද මෙයට එක්ව සිටීම විශේෂයකි.
පාස්කු සමයේ අවසන් දින කිහිපයේදී කුරුසියක් කරෙන් දරාගත් ජෙහාන් අප්පුහාමි නම් රංගනවේදියාද ගිනි අව්වේ ජේසු නසරේනු වාගේම ඉණකඩක් පමණක්ම ඇඳ පාගමනින්ම පැමිණ අරගලයට එක්වීම කාගේත් හිතට වැදුණු කාරණයක් විය. දහදිය ඉහින් කනින් දමමින් සිටි ජෙහාන් අප්පුහාමිව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් සිප වැලඳ ගැනීමද හරි අපූරු සිදුවීමක් ලෙස මුහුණු පොතේ පළවී තිබිණි. ජෙහාන් අප්පුහාමිගේ කුරුසියේ පාගමන ගැන සටහන් වූ එක් පෝස්ටුවක් මුහුණු පොතේ මෙලෙස පළවී තිබිණි.
‘වටාපතක් අතින්ගත් හිමිනමකි,
කුරුසිය කරට ගත් කිතු පුතෙකි,
ඔහු යන මඟට පැන් සිසිල ඉසින්නේ ඉස්ලාම් දියණියකි,
ඉතින් අනේ ආඩම්බර නැතිද මේ අරගලය ගැන?
අපව වෙන් කරන්නට හැදූ උන් සැඟව ගිය කල අපි හැමෝම දැන්ම එකම රටක් එකම අරගලයේය…’
මතක විදියට නම් සංවේදී පින්තූරයක්ද සමග වූ ඒ පෝස්ටුව පාමුල සටහන්ව තිබූ කමෙන්ටු අටසියය ඉක්මවා තිබිණි. ඒ සිය්ලල මැද ‘ගෝඨා ගෝ ගම’ මූලිකව රාජපක්ෂලාට සහ ආණ්ඩු ක්‍රමයන්ට විරුද්ධව පෙත්සම් කිහිපයකටද අස්සන් ගැනීම ඉතා සාර්ථකව සිදුවෙමින් පවතී. ‘ගෝඨා ගෝ ගම’ තරුණ තරුණියන් පවසා සිටින්නේ ‘උන් යනතුරු අපි ඉන්නවා. රාජපක්ෂලාගේ ඔත්තුකාරයො මෙතැන ඉන්නවා නම් උන්ටත් ඇහෙන්නයි මේ කියන්නේ. අපිව මැරුවත් තව අය මේ අරගලය ගෙනියනවා. අරගලයට ජය වේවා…’ යනුවෙනි.
අපේ නිදහස් අදහස් පිරුණු, බාල අදහස් නැති, අරගලය ගැන උන් නගන හඬ එතරම් ශක්තිමත්ය. ඒ ජවයට, ඒ බයනැතිකමට ආශීර්වාද නොකරන්නේ කවුද?
ජාති භේදයක් නැති මිනිසුන් පමණක්ම නොවේ. සෑම ආගමක්ම නියෝජනය කරන සර්වාගමික දෙවියන්ද උන් සමග අරගල බිමට වැඩසිටිනු ඇත.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු