මෙරට තැනින් තැන බලය තමන් යටතේ තබාගෙන සිටීම මදිපුංචිකමකැයි සිතූ ඉංග්‍රීසිනට අවශ්‍ය වූයේ රටෙහි සම්පූර්ණ පාලන බලය තමන් සතුකර ගැනීමටය. එකල බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් මත්ව සිටි නෝර්ත්ටද වුවමනා කළේද උඩරට රාජ්‍යය බි්‍රතාන්‍ය කිරීටය යටතට පත්කිරීමටය. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය ඉතා බලවත්ව පැවැති 19 වැනි ශතවර්ෂයේ මෙසේ කිරීම උතුම් වැඩක් බව ඔහුගේ ඇදහීම විය. තවද ඉන්දියාවේ බලය අල්ලා ගැනීමේදී යෙදවූ උපායම මෙහිදීද යොදා රටෙහි අභ්‍යන්තර අවුල්වලට අතගසමින් තම බලය තහවුරු කරගැන්මට ඔහු නොඉවසිලිමත්ව බලා සිටියේය. පිළිමතලව්වේ හා රජු අතර වූ අවුලද ඉංග්‍රීසින් හා රජු අවුලක් අතිකිරීමට පිළිමතලව්වේ යෙදූ උපායද ඔහුගේ ව්‍යාපාරයට මහත් සේ උපකාරී විය.
තවද මුළු ලංකාවේ පාලන බලය බි්‍රතාන්‍ය අතට ගැනීමෙන් පාලන කටයුතුද පහසු කරගත හැකි විය. වෙන කිසි බලවතකුට ලංකාවේ මිත්‍රතාවක් ඇතිකර ගැනුමද වැළැක්වීමට හැකි විය. රට ඇතුළත පිහිටි රාජ්‍ය සමග පාලන බලයක් තිබුණු විට හමුදා බළකොටු සඳහා වියදම්ද අඩුවනු ඇත. තවද ලුණු සැපයීම වෙළෙඳාම ආදී ආදායම් මාර්ගද බි්‍රතාන්‍යයන් අත තිබුණු හෙයින් කලක් යන විට බි්‍රතාන්‍යයන් අතට උඩරට රාජ්‍යය ලැබෙන්නට කරුණු යෙදී තිබිණි. තවද ඉන්දියාවේ මෙන් උඩරට රාජ්‍යයට මිත්‍ර වූ හෝ සම්බන්ධ වූ තවත් රාජ්‍ය නොතිබුණු හෙයින් බි්‍රතාන්‍ය පාලකයන්ට එය යටත් කරගැනීමෙන් ප්‍රශ්නවලට මුහුණ පාන්නට සිදු නොවීය. 1800 ජනවාරියෙහි පිළිමතලව්වේ සමග සාකච්ඡාවට පසු නෝර්ත් ලියූ ලිපියකින් ඔහුගේ ප්‍රතිපත්තිය පැහැදිලි වෙයි.
‘මේ රාජ්‍යයේ දුබල බව හා එක්සත් බවින් රහිතව පවත්නා බව කොතරම් මහත් දැයි කියතොත් ටික කලෙකින් මෙය මහා බි්‍රතාන්‍යයේ පාලනයට ගොදුරු වනු ඇත. අපගේ ආරක්ෂාව නැතිව තම බලය තහවුරු බව සැලකිය නොහැකි පක්ෂයක් එහි නැත. හොඳ විශ්වාසය හා සාධාරණ බවෙහි පිළිවෙත් අතිධාවනය නොකොට එවැනි පිහිටක් දිය යුතු වූ විටෙක එසේ කිරීමට මැළි නොවෙමි.’
මෙසේ හෙයින් උඩරට රාජ්‍යය තුළ බලයට පැමිණීමට ආශා කළ අය බි්‍රතාන්‍යයේ පිහිටෙන් සිය අදහස් මුදුන් පමුණුවාගැන්මට සැරසී සිටි අතර ඔවුන් ඉල්ලූ පිහිට නිසා එම රාජ්‍යය කෙරේ තම බලය පැතිරවීමට බි්‍රතාන්‍යයන් සැරසී සිටි බවත් පැහැදිලි වනු ඇත. ප්‍රධාන අදිකාරම් තැන රජුට විරුද්ධව ගෙන ගිය ව්‍යාපාරය බි්‍රතාන්‍යයන්ටද වැදගත් වූ සැටි පසුවද පෙනෙනු ඇත. යම් හෙයකින් රජු පලවාහැර බලය අල්ලාගත හැකි වුවහොත්, එවිට බි්‍රතාන්‍ය ආරක්ෂාව යටතේ ඔහුගේ තත්ත්වය ආරක්ෂා කළ හැකි බවද පිළිමතලව්වේ හට බි්‍රතාන්‍යයන් විසින් කියන ලද්දේද ඒ ප්‍රතිපත්ති අනුවමය.
මේ සාකච්ඡා බිඳවැටීමෙන් පිළිමතලව්වේගේ බලය එතරම් මහත් නොවූ බවත්, රජුට හිතූ ආකාරයට ඔහු නොතකා ක්‍රියා කළ හැකි බවත් හෙළිවිය. තවද නෝර්ත් විසින් ලෙව්කේ වැනි උඩරට ප්‍රධානීන් සමගද සම්බන්ධතා ඇතිකරගන්නා ලදී, පිළිමතලව්වේ විසින් තවද රහස් සාකච්ඡා කරන ලදද ඒවා නිෂ්ඵල විය. මේ අතරතුර ලෙව්කේ දිසාව සතර කෝරලයේ අදිකාරම් පදවියට රජු විසින් පත්කරන ලදී. එහි සිටි පිළිමතලව්වේගේ අනුගාමිකයකු වූ දෙවැනි අදිකාරම් තැනට ඌව භාරකරන ලදී.
මෙසේ සාකච්ඡා පැවැත්වුණු අතර උඩරටද යුද්ධයක් සඳහා සැරසෙන ලදී. නෝර්ත් විසින්ද මේ ගැන පරීක්ෂාවෙන් කල් ගතකරන ලදී. තත්ත්වය මෙසේ තිබුණු අතර, තම අදහස් මුදුන් පමුණුවා ගැනීමෙහි නොසමත් වූ පිළිමතලව්වේ රජු හා බි්‍රතාන්‍යයන් අතරද යුද්ධයක් ඇතිකිරීමට උගුල් ඇටවීය. 1802 ජුනි 25 හා 30 දිනවල පුත්තලමේ සිට උඩරට රාජ්‍යයට ගනුදෙනු සඳහා ගිය තවලම් දෙකක ජනයාගේ පුවක් අමුනම් 300ක් පමණ රාජසන්තක කොට හිරිහැර කරන ලද බව වාර්තා විය. සාමාන්‍යයෙන් මෙසේ බොහෝ කලක් වෙළෙඳාම පැවැති නිසා මේ කළ සැහැසිකම අමුතු ආකාරයක එකක් විය. මේ අතරතුර තමන් වසඟයෙහි සිටි මුත්තුසාමි හෝ උඩරට සිහසුනේ තබා පාලනය තම අතට ගැන්මට නෝර්ත්ද බලා සිටියේය. මේ තත්ත්වය මෙසේ පවත්නා අතර පිළිමතලව්වේ හා ලෙව්කේ සමගද ලිපි හුවමාරු කළේය.
මෙසේ සාකච්ඡාවෙන් කිසිවක් සමථයට පත්කර ගන්නට නොලැබුණු හෙයින් අවි බලයෙන් තම යටත් වැසියන්ගේ අයිතිවාසිකම් ලබාගැනීමට නෝර්ත් ඉටාගත්තේය. එනිසා බි්‍රතාන්‍ය හමුදාවක ආරක්ෂාව රජු ලබාගත යුතු බවත්, ඒ වෙනුවට සබරගමුව බි්‍රතාන්‍යයන්ට භාරදිය යුතු බවත්, නැතහොත් වෙන අයකු රජකම සම්බන්ධව කරන ඉල්ලීම්වලට සහාය දෙන්නට සිදුවන බවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙත දැන්වීය.
ඉංග්‍රීසින් මෙසේ කළ තර්ජනවලට පිළිතුරු නොලැබුණු හෙයින් 1803 ජනවාරි 31 දා උඩරට රාජ්‍යය වෙත අවි බලය මෙහෙයවන ලදී. මේ සමගම උඩරට රාජ්‍යයේ නියම රජු ‘මුත්තුසාමි’ බව ප්‍රකාශ කොට ඔහු රජු බවට පත්කළ පසු ත්‍රිකුණාමලයට පාරක් උඩරට මැදින් සෑදීමට අවසරද උඩරට රාජ්‍යයේ කටයුතු බි්‍රතාන්‍ය පාලනය යටතේ කිරීමට ඉඩ දෙන බවටද බි්‍රතාන්‍යයේ රජුගේ ආධිපත්‍යය පිළිගන්නා බවටද ගිවිසුමක් ඔහුගෙන් අස්සන් ගන්නා ලදී.
මැක්ඩවල් යටතේ උඩරට ආක්‍රමණයට වන් බි්‍රතාන්‍ය හමුදා දඹදෙණියද ගලගෙදර හා ගිරාගම අල්ලා කටුගස්තොටදී බාබට් යටතේ ත්‍රිකුණාමලයෙන් පැමිණි හමුදා සමග එක්විය. සටනින් කිසි අලාභ හානියක් සිදු නොවූ අතර පෙබරවාරි 21 වැනිදා මහනුවරටද ඇතුළු වූහ. මොවුනට කිසිසේත් විරුද්ධත්වයක් උඩරට හමුදා මගින් ඇති නොවූ අතර රජුද ජනයාද නගරය අත්හැර දමා ගොස් සිටියහ. මේ අතරතුර රජු අල්ලාදී රාජ්‍ය නායකයා වීමට පිළිමතලව්වේ නැවත එකඟ වී සිටියේය. එහෙත් ඔහු නුවරට නොපැමිණි නිසා මෙය සිදු නොවීය.
ඉංගිරිසි සේනාව මහනුවරට ළඟාවන විට නගරය ජනයාගෙන් හිස්ව තිබිණි. සිංහල රජු හා පිළිමතලව්වේද හඟුරන්කෙත උප නගරයට පලාගියහ. සිංහල රජකම ගැන අයිතිවාසිකම් කියා සිටි මුත්තුසාමි කුමාරයා ඒ කාලයේ ඉංගිරිසින්ගේ ආරක්ෂාව ඇතිව මින්නේරියේ වාසය කළේය. ඉංගිරිසීහු ඔහු ගෙන්වා මාර්තු මස 08 වැනි දින සිංහල සිරිත් අනුව රජකමට පත් කළෝය. ඉංගිරිසීන්ගේ උදව්වෙන් මහනුවර රජකම ලබාගත් මුත්තුසාමි කුමාරයා ඔවුනට ප්‍රයෝජනවත් ගිවිසුමකට බැඳුණේය. ඉංගිරිසි බළඇණියක් මහනුවර නැවැත්වීමට ඒ ගිවිසුමෙන් ඉඩ ඇතිවූ නිසා මහනුවර නියම ආධිපත්‍යය ඉංගිරිසීන් වෙතම පැවරුණේය.
මුත්තුසාමි රජකමට පත්වී නියම රාජ බලය යොදා කටයුතු කිරීමට තරම් ශක්තියක් තිබීම පිළිමතලව්වේ කිසිසේත් බලාපොරොත්තු නොවූවකි. එහෙයින් ඔහු දණ්ඩෙන් ගසන ලද සර්පයකු මෙන් ඉංගිරිසීන් හා කිපුණේය. ඉංගිරිසීන් හා රහසින් කෙරුණු පණිවුඩ හුවමාරුව මේ කාලයේද නොනැවතීම කෙරුණු හෙයින් පිළිමතලව්වේ නිලමේ සිංහල රජු ඉංගිරිසීන්ට අල්ලා දීම පිණිස යුද්ධ සේනාවක් හඟුරන්කෙතට යැවීමට ඉංගිරිසි සේනාපති තැන කැමැති කරවා ගත්තේය. ඉංගිරිසීන් රවටා ඔවුන්ගේ ශක්තිය හීනකරවීම පිණිස පිළිමතලව්වේ යෙදූ මේ උපාය නොදත් ඉංගිරිසි සේනාපති තැන 800කින් යුත් සේනාවක් කර්නල් බේලි යටතේ මාර්තු මස 13 වැනි දින හඟුරන්කෙතට පිටත් කර හැරියේය. මාර්ගය දෙපස උස් බිම්වල සන්නාහ සන්නද්ධව සැඟවී සිටි සිංහල සෙනග බොහෝ අමාරුවෙන් ගමන්ගත් ඉංගිරිසි සේනාවට පහර දුන්හ. ඒ සේනාව හඟුරන්කෙතට ඇතුළු වන විට සිංහල රජ නගරය අතහැරදමා පලා ගියේය. ඉංගිරිසීහු හඟුරන්කෙත රජ මාලිගාව ආදිය ගිනිතබා පෙරළා මහනුවරට ඒමට පිටත්වූහ. ආපසු හැරී එන ගමනේදීද සිංහල සෙනඟ වරින් වර ඔවුනට පහරදුන්හ. එහිදී ඔවුහු බොහෝ දෙනෙක් මළෝය. තවත් බොහෝ දෙනකු තුවාල ලැබූහ. කර්නල් බේලි යටතේ හඟුරන්කෙතට ගිය ඒ සේනාවෙන් මහනුවරට පැමිණියේ ස්වල්ප දෙනෙකි. පිළිමතලව්වේ තමන් විනාශ කරන අදහසින් හඟුරන්කෙතට යැවූ බව ඔවුහු පසුව දැනගත්හ.
ඉන්පසු නුවර ප්‍රධාන නිලධරයා වශයෙන් මේජර් ඩේවි මැයි 31 දා පත්කරන ලදී. ඔහු විසින් මේ තනතුර ප්‍රතික්ෂේප කරන ලද ද ඔහුට එය බලකරන ලදී. තවද මේ වන විට තද වැසි ඇතිවූයෙන් උඩරැටියනට තවද තත්ත්වය පහසු විය. ජුනි 17 වන විට උඩරැටියන් විසින් නුවර හමුදාව හා කොළඹ අතර පණිවුඩ මාර්ග කපන ලදී. 23 දා ගලගෙදර හා ගිරාගම නැවත අල්ලාගන්නා ලදී. ඉංගිරිසීන්ගේ සිංහල හේවායෝද උඩරැටියන්ගේ පක්ෂයට පැනගියහ.
නොබෝ කලෙකින් ඉංගිරිසීන්ට පහරදීම පිණිස නුවර වටා මහත් සිංහල සෙනඟක් එක්වූහ. වර්ෂ 1803 ජුනි 24 වැනි දින උදය කාලයේ දෙපක්ෂය අතර සටන් ඇරැඹුණේය. සිංහලයෝ හැම අතින්ම ඉංගිරිසීන්ට පහරදෙන්නට වූහ. ඉංගිරිසි සේනාව භාරව සිටි මේජර් ඩේවි තම නිලධාරීන්ගේ උපදෙස් පිට සවස 2ට පමණ සුදු කොඩියක් එසෙව්වේය. මෙහිදී මේජර් ඩේවි හා පිළිමතලව්වේ යන දෙදෙනා අතර ගිවිසුමක් ඇතිවිය. ඉංගිරිසීනට තුවක්කු ආදිය පමණක් ගෙන මහනුවරින් පිටත් වන්නටත්, ඒ සමග මුත්තුසාමි ගෙන යන්නටත් ඉඩ දෙතොත් වහාම මහනුවර සිංහලයන්ට පාවාදෙන බවට මේජර් ඩේවි එකඟ විය. රෝගාතුර වූ ඉංගිරිසි හේවායන් සනීපවී මහනුවරින් ගෙන යන තුරු ඔවුන් ආරක්ෂා කිරීමට පිළිමතලව්වේ පොරොන්දු විය.
එදින සවස 5ට ඩේවි ඔහුගේ සේනාව ගෙන නගරයෙන් පිටවිය. ඒ පිරිසට ඉංගිරිසීහු 34 දෙනෙක්ද, මලයානුවෝ 390 දෙනක්ද අයත් වූහ. මුත්තුසාමි හා ඔහුගේ පිරිවරද ඒ සමග ගමන් ගත්හ. නිරිතදිග මෝසම් සුළඟේ වැස්ස නිසා මහවැලි ගඟ පිරී ඉතිරී ගලන්නට විය. ඩේවිගේ සෙනඟ ගඟෙන් එතෙර විය නොහී එදින රාත්‍රියෙහි ගංතෙර නැවතුණහ. මුත්තුසාමිට බේරීමට ඉඩ දීම ගැන ඒ අතර කේන්ති වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අණ ලත් නිලමේවරු කිහිප දෙනෙක් ඩේවි වෙත ගොස් මුත්තුසාමි පාවාදෙන ලෙස ඉල්ලා සිටියහ. මුත්තුසාමි පාවා දෙතොත් ගඟෙන් එතෙර වීමට ඔරු පාරු සපයා දෙන බව ඔහු ඉංගිරිසි සේනාපති තැනට කීවේය. ඔවුන්ගේ කීමට විරුද්ධව ක්‍රියා කළ නොහැකි බැව් දත් මේජර් ඩේවි අසරණ මුත්තුසාමිව ඔවුනට පාවා දුන්නේය. නිලමේවරු ඔහු ගෙන ගොස් උඩුවෙල නතරවී සිටි සිංහල රජුට දැක්වූහ. රජු ඔහු මරණයට පත්කළේය. ඉංගිරිසීහු වාගොල්ලේ මිටියාවතට ගෙන ගියහ. සිංහල රජු යටතෙහි වැඩ කළ කාපිරි මිනිස්සු ඒ අසරණ ඉංගිරිසි හේවායන් මරාදැමූහ. මේජර් ඩේවි හා ඔහුගේ සහකාර නිලධාරියකු වූ රම්ලිද නිදහස් කරනු ලැබූහ. කලක් මහනුවර හා තවත් කලක් හඟුරන්කෙතද සිරකරනු ලැබූ ඒ දෙදෙනා රෝගාතුරවී මළහ.
රෝගාතුරව මහනුවර නතරවී සිටි ඉංගිරිසි හේවායෝ 123 දෙනාද වාගොල්ලේ සිද්ධිය වූ දිනම සිංහලයෝ විසින් මරණයට පත්කරනු ලැබූහ. ඩේවිගේ අවාසනාවන්ත සේනාවෙන් බාන්ස්ලි නමැති හේවායා පමණක් ගැලවී ගියේය. හෙතෙම තුවක්කු මිටිවලින් හා පොලුවලින්ද පහර ලැබ විසංඥව බිම ඇදවැටුණේය. සෙස්සන් මෙන් ඔහුද මැරී වැටුණයි කාපිරියෝ සිතූහ. හෙතෙම මළ කඳක් මෙන් එහි වැතිර සිට ඇඳිරි වැටුණු පසු කැලයට රිංගා පසුදා උදයෙහි ගඟෙන් එතෙර වීම පිණිස ගංතෙරට පැමිණියේය. එහිදී පොලු පහර ලැබ තුවාල ලත් ඒ අසරණයා දුටු තොටියා සංවේගයට පැමිණ ඔහුට බඩකට පුරා කන්නටදී ගඟෙන් එතෙර කළේය.
මාර්ගය අසල කැලෑ මැදින් ගමන් ගත් හෙතෙම අවසන මාතලේ මැක්ඩවල් කොටුවට පැමිණියේය. කොටුව භාරකාර මුලාදෑනියා වූ මැජ් කපිතන් තැන මේජර් ඩේවිගේ සේනාවට පැමිණ ඉරණම අසා මහත් භීතියට පත්විය. හෙතෙම එවලේම තම හේවා කණ්ඩායමත් සමග ත්‍රිකුණාමලය බලා ගමන් ගත්තේය. බාන්ස්ලිද ඔවුන් සමග ත්‍රිකුණාමලයට පැමිණියේය. නිසි කල පසුබැසීමට නෝර්ත් අවසර නොදීමෙන් මේ හදිය සිදුවිය.
කුමාර රත්නායක