මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීම ප්‍රකාශයට පත්කරන්නේ පසුගිය 09 වැනිදාය. අනුරාධපුරයට ගොස් ශ්‍රීමහා බෝධීන්වහන්සේ වැඳපුදාගෙන අටමස්ථාන වන්දනාවේද මහින්ද රාජපක්ෂ මහතා ඊට පෙර දිනයේ ගමන් කරන්නේ එම සමුගැනීමේ තීරණයට එළඹීමෙන් අනතුරුවය.
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ නාමයෙන් වැජඹුණු ඇතැම් දේශපාලනඥයන්ට දැනුණෙන් එම සමුගැනීම ඔවුන්ගේ දේශපාලන ඉදිරි ගමනටද දැඩිව බලපාන බවය.
පොහොට්ටුවේ ගමේ නායකයන් වන ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු අරලියගහ මන්දිරයට කැඳවා අගමැතිවරයාගේ සමුගැනීම ගැන යම් කතාබහක් ඇති වන්නේ ඒත් එක්කමය. එහිදී ගමේ නායකයන් එකහෙළා කියන්නේ ගෝල්ෆේස් උද්ඝෝෂකයන් හඬ නඟන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ගෙදර යන්නට කියා මිස, අගමැතිවරයාට නොවන බැවින් අගමැතිවරයා ඉවත් නොවිය යුතු බවට හඬ නගන්නට ගත්තේය. අරලියගහ මන්දිරයටද ‘ගෝඨා ගෝ හෝම්’ අරගලය ඇතුළු වන්නේ ඒත් එක්කමය. ඒ ගැන ජනාධිපතිවරයාට කියන්නට දහස් ගණනක් අරලියගහ මන්දිරයට කැඳවා ජනාධිපති මන්දිරය වෙත පාගමනකින් ගොස් පොහොට්ටුවේ ශක්තිය පෙන්වීමටද එහිදී තීරණය විය.
දිනක් දෙකක් තුළ සියල්ල සංවිධාන කෙරිණි. ඒ වන විටත් ගමේ නායකයන්ට සිය පාක්ෂිකයන් අරලියගහ මන්දිරයට රැගෙන ඒමට අවශ්‍ය පහසුකම් ලැබී තිබුණේය. ‘ජන වරමට පිටු නොපානු’ මැයෙන් සියල්ල සංවිධාන වන විට පොලීසියේ බුද්ධි අංශයක් වන විශේෂ කාර්යංශය මේ ගැන දැඩිව විමසිලිමත්ව සිටියේය. රට වටා විසිරුණු එම බුද්ධි අංශයේ නිලධාරීන් කොළඹ 07 මලලසේකර මාවතේ පිහිටි සිය මූලස්ථානයට තොරතුරු ලබාදෙන්නට වූයේ ගම්මානවලින් අරලියගහ මන්දිරයට පැමිණෙන්නට සූදානම් වන පිරිස් සම්බන්ධයෙන් ආසන්න ගණන් මිනුම් සමගිනි. ඊට අනුව 09 වැනිදා අරලියගහ මන්දිරයට දස දෙසින් රැස්වන පිරිස ගණනය කෙරුණේ 6,000ක් හෝ ඒ ආසන්න පිරිසක් බවටය.
එම තොරතුරු විශ්ලේෂණය කෙරන්නේ බස්නාහිර පළාත භාර විශේෂ කාර්යාංශයේ බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේය. ඔහුගේ විශ්ලේෂණයට අනුව අරලියගහ මන්දිරයට රැස්වන පිරිස් ගාලුපාර ඔස්සේ ජනාධිපති මන්දිරය වෙත ගමන් කිරීම මහා භයානක සිදුවීමකට මුලපිරෙනු ඇත. ඒ ගෝඨා ගෝ ගම පිහිටා ඇත්තේ එම මාර්ගයේ වන බැවිනි. එම විශ්ලේෂණය ඔහු විසින් සිය ප්‍රධානියා වන විශේෂ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත තැබුවේය. ඔහු 08 වැනිදා දහවල් වන විට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත යොමු කළේය. ඒ ‘ජනවරමට පිටු නොපානු’ මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන පාගමනක් යනුවෙන් සඳහන් කරමිනි.
තමා අතට පත්වූ එම බුද්ධි තොරතුරේ බරපතළකම සැණින් වටහා ගත් පොලිස්පතිවරයා එම පාගමන ගාලුමුවදොර හරහා ගමන් කිරීමේදී ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බව තේරුම් ගත්තේය. ඒ බව සඳහන් කරමින් ඒ සම්බන්ධයෙන් දැනුවත්ව සුදුසු ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඒත් එක්කම බස්නාහිර පළාත භාර පොලිස් ප්‍රධානියා වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලිඛිත නියෝගයක් නිකුත් කරනු ලැබුවේය.
මෙහිදී දේශබන්දු තෙන්නකෝන් මහතා එදින සිය අවධානයට එම ලිපිය යොමුකරමින් එය යොමුකරනුයේ කොළඹ පොලිස් ප්‍රධානීන් වෙතය. එහි ගතයුතු ආරක්ෂක පියවරක් ගැන කිසිදු සටහනක් නොවීය. නමුත් අඩුම තරමින් ඔහුගෙන් කිසිදු උපදෙසක් නොවීය. ගාලුමුවදොර අරගල භූමි ප්‍රදේශයේ මෙන්ම ජනාධිපති මන්දිරයේත් ජනාධිපති ලේකම් කාර්යාලයේත් ආරක්ෂාව භාරව පත්කර සිටි උසස් පොලිස් නිලධාරීන් ඒ ගැන දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අවධානයට යොමු කළත් ඒවා බීරි අලීන්ට වීණා වාදනය කරන්නක් බඳු වූ බව එම නිලධාරීහු පවසති. අඩුම තරමින් ඒ අයගේ යෝජනාවක් වූ ගාලුමුවදොර හෝටලය අසලින් ගාලු පාර වසාදැමීම, පාගමන කොම්පඤ්ඤවීදිය, ලේක්හවුස් වටරවුම ඔස්සේ ජනාධිපති මන්දිරය වෙත ගමන් කරවීම යන කාරණා කෙරෙහි කිසිදු තැකීමක් නොවීය. එවන් තත්ත්වයක් මත ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතා මෙන්ම තවත් පොලිස් ලොක්කෙක් හදිසියේම ලෙඩ විය. චම්පික සිරිවර්ධන මහතා ඇතුළත් වන්නේ නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලටය.
09 වැනිදා උදෑසන 6.00ට සූම් තාක්ෂණයෙන් පැවැත්වෙන බස්නාහිර පොලිස් ලොක්කන්ගේ හමුවේදී පවා බස්නාහිර බුද්ධි අංශය මෙන්ම කොළඹ පොලිස් ප්‍රධානීන් දේශබන්දු තෙන්නකෝන් මහතාට පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය එතරම් යහපත් නොවන බවකි. එහිදීද පවා නිසි උපදෙසක් හෝ නියෝගයක් ඔහුගෙන් ලැබුණු බවක් එම නිලධාරීන් පවසන්නේ නැත. ඒ වෙනුවට ලැබී ඇති එකම උපදෙස වී ඇත්තේ තමාගේ අවසරයකින් තොරව කිසිදු විටක ජල ප්‍රහාර හෝ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල නොකරන ලෙසටය. එම උපදෙස් තදින්ම පිළිපදින ලෙසට ඔහු දැනුම් දෙන්නේ අවධාරණය කරමිනි.
මේ අතර පොලිස්පතිවරයාට විටින් විට තොරතුරු ලැබෙන්නට වූයේ පවතින තත්ත්වය එතරම් යහපත් නොවන බවටය. ඒ නිසාම ඔහු දේශබන්දු තෙන්නකෝන් මහතාව දුරකතනයෙන් සම්බන්ධ කරගත්තේය. ඒ වන විට දේශබන්දු තෙන්නකෝන් මහතා සිටින්නේ අරලියගහ මන්දිරය තුළය. පොලිස්පතිවරයාට දේශබන්දු තෙන්නකෝන් මහතා පවසන්නේ විශාල පිරිසක් ගෝල්ෆේස් දෙසට ගමන් නොකරන බවත් වැඩිම වුණොත් 500ක් පමණ ගමන් කරනු ඇතැයි කියාය. ඒ නිසා මාර්ග වසාදැමීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ගෝඨා ගෝ ගම පැත්තට ඔවුන් ගමන් නොකරන බවත් ගාලුමුවදොර වටරවුම අසලින් නතරවන බවට සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා තමාට සහතික වූ බවත්ය.
කෙසේ වෙතත් ඒ වන විටත් අරලියගහ මන්දිරය ඉදිරිපිට ගාලුපාර දෙසින් තිබුණු ‘මයිනා ගෝ’ ගම්මානයට පහරදීමක් සිදුව තිබුණු අතර එතැන් සිට අරලියගහ මන්දිරයේ සිට පිරිස් ගමන් කරන්නට වූයේ ගාලු පාර ඔස්සේ ගාලුමුවදොර පිටිය දෙසටය. ඒ එන අතර තුර දේශබන්දු තෙන්නකෝන් මහතා සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සමග කිසියම් කතාබහක ද නිරත වන්නට විය. එහිදී සිදුවූ කතාබහ කුමක්දැයි මෙතෙක් එළියට නාවත් පසුව දේශබන්දු තෙන්නකෝන් මහතා මතුවන්නේ ගාලුමුවදොර පිටිය ආසන්නයෙනි. එතැන රැස්ව සිටි ගෝඨා ගෝ හෝම් ගම්මානයේ තරුණයන් පිරිසක් දේශබන්දු තෙන්නකෝන් මහතාට කියන්නට වූයේ විශේෂ කාර්ය බළකායටද පහරදී අරලියගහ මන්දිරය දෙසින් පැමිණෙන පිරිස් ඉදිරියට එන බවය. එම තරුණයන් සූදානම් වූයේ ඒ පිරිස් අතරමඟින් හැරවීමට යම් උත්සාහයක නිරත වන්නටය. එහෙත් ඊට ඉඩක් නොවීය. එම තරුණයන්ට එම ස්ථානයෙන් ඉවත්ව යන්නට යැයි කියන්නට වූයේ ගෝඨා ගෝ ගම්මානයේ ආරක්ෂාව ගැන තමා සහතික වන බව කියමිනි.
එහෙත් ඒ කියූ ආරක්ෂාවක් ඔහුගෙන් ලැබුණු බවක් පෙනෙන්නට නොවීය. ඒ වෙනුවට අරලියගහ මන්දිරයේ සිට පැමිණි පිරිස් ගෝඨා ගෝ ගම්මානය දෙසට ගමන් කරන්නට වූයේ ගම්මානය කුඩුපට්ටම් කිරීමේ අරමුණ ඇතිවය. ජනාධිපති ලේකම් කාර්යාලයට යාමට ඔවුන් සතුව සන්දේශයක්ද නොවීය. ඒ අනුව ඔවුන්ගේ ගමන ගෝඨා ගෝ ගම්මානයට පහරදීම පමණක් බව පැහැදිලි විය. ඒ එන්නට පෙර ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ ප්‍රකාශ කර තිබිණි. ඒ නිසාම එතැන ආරක්ෂාව භාරව සිටි පොලිස් ලොක්කෝ පවා ගැටුමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කළහ. ඒ නිසාම පොලු මුගුරු අතින් ගත් මේ පිරිස විසුරුවා හැරීමට අවම බලයක් වන ජල ප්‍රහාර එල්ල කිරීමට දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අනුමැතිය ඉල්ලා සිටියේය. ඒ වන විටත් ඉදිරියෙන්ම තිබුණු ජල ප්‍රහාරක රථයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් එල්ලී සිටියේ අනුමැතිය ලද සැණින් ජල ප්‍රහාර එල්ලකර ඒ පිරිස විසුරුවා හැරීමට අවසන් තත්ත්පරය දක්වාම සූදානමිනි. එහෙත් ජල ප්‍රහාරක රථය පසුකර ඔවුන් පිටව ගොස් ගෝඨා ගෝ ගම්මානයට පහරදී කුඩු පට්ටම්කර එම පිරිස සීසීකඩ විසිරී යන තුරුම එකී නියෝගය ලැබුණේ නැත. අවසානයට ඒ නියෝගය ලැබෙන්නේ ගෝඨා ගෝ ගම්මානය දෙසට ජල ප්‍රහාර එල්ල කිරීමට පමණි. ඒ වන විට සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරය. නිරායුද අරගලකරුවන් රැසක් දරුණු මැර ප්‍රහාරයකට ගොදුරුවී සිටියහ. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ රට පුරා ගිනි පුපුරු ඇවිළී නැවතත් 88-89 භීෂණයේ මතකයන් අවදි කරවමිනි.
දේශබන්දු තෙන්නකෝන් මහතාට කොම්පඤ්ඤවීදියේ පෙරහැර මාවතේදී තරුණයන් පිරිසකගෙන් පහර කෑමට සිදුවන්නේද මේ අතරවාරයේය. ජනතා ප්‍රහාරයකට ලක්වුණු පොලීසියේ ඉහළම නිලධාරියා ලෙස ඉතිහාසයට එක්වන්නේද දේශබන්දු තෙන්නකෝන් නාමයයි.
මෙම පහරදීම සිදුවන්නේ ඉකුත් 10 වැනිදා සවස් කාලයේදීය. සිය පුද්ගලික ආරක්ෂක නිලධාරියා, පොලිස් රියැදුරු කොස්තාපල්වරයා සහ පුද්ගලික සහයක පොලිස් අධිකාරී දසනායකද සමග දේශබන්දු තෙන්නකෝන් මහතා එදා ඒ ප්‍රහාරයට ලක්වන්නේ අරලියගහ මන්දිරය වෙත ගොස් නැවත පැමිණෙමින් සිටියදීය. ඒ වන විට සියලු දෙනාම සිටින්නේ සිවිල් ඇඳුමින් සැරසීය. වෙනදාට ඔහු ගමන් කරනුයේ මෝටර් රථයකින් පොලිස් පෙරගමන් රථ පිරිවරාගෙන වූවත් එදින ඔහු ගමන් කරමින් සිටියේ කැබ් රථයක නැගී සාමාන්‍ය වැසියන් ලෙසිනි.
අරලියගහ මන්දිරය වෙත ඔහු ගමන් කරනුයේ ඇයි දැයි නිශ්චිත ලෙස පැහැදිලි නැතත් තතුදත් තොරතුරුවලින් දැනගන්නට ඇති ආකාරයට අනුව ඒ ඔහු යන්නේ එහි සිරවී සිටින යම් පිරිසක් ගැන සොයා බලන්නටය. පෙර දින සිට එහි විශාල පිරිසක් කොටුවී සිටියහ. එදින අලුයම් කාලයේදී හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුළු පවුලේ සාමාජිකයන් අරලියගහ මන්දිරයෙන් ආරක්ෂිතව ඉවත්කර ගැනීමට ආරක්ෂක අංශ පියවර ගත්තද සෙසු පිරිස් ඉවත් වීමට එතරම් කැමැත්තක් නොදැක්වූයේ ඔවුන්ට යන එන තැන් නොවූ බැවිනි. ඒ අතර නම කියැවෙන දේශපාලනඥයන් රැසක්ද සිටි අතර ඒ වන විටත් ඔවුන්ගේ නිවාස හා දේපොළවලටද පහරදී ගිනිතබා විනාශ කරමින් තිබුණේය. ඒ අනුව ඔවුන්ට ආරක්ෂිතම ස්ථානය බවට පත්වූයේ අරලියගහ මන්දිරයයි.
දැනගන්නට ඇති ආකාරයට අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා අරලියගහ මන්දිරයට පිවිසෙන්නේ ඒ අය ගැන යම් සොයාබැලීමක් කරන්නටය. එම කටයුත්ත අවසන් කර ඔහුට නැවත මීටර් 500ක්වත් ගමන් කරන්නට ඉඩක් නොවීය. කැබ් රථය වටකරගත් තරුණ කණ්ඩායමක් එහි ගමන් කරමින් සිටින්නේ කවුරුන්දැයි සොයා බලන්නට ගත්තේය. ‘මේ ඉන්නේ දේශබන්දු’ යැයි තරුණියක් කෑගැසුවාය. ඒත් එක්කම කැබ් රථය වටකරගත් තරුණයන් තරමක් කුපිත වන්නට විය. ඔවුන් වාහනයෙන් දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිස බිමට බස්සවා ප්‍රශ්න කරන්නට ගත්තේ අරගලකරුවන්ට පහරදීමට නියෝග දුන්නේ කවුරුන්දැයි විමසමිනි. ඊට නිසි පිළිතුරු ඔහුට නොවීය. උපක්‍රමශීලීව එම ස්ථානයෙන් ඉවත්වීමට ඔහු උත්සාහ ගත්තද එය එතරම් පහසු නොවීය. ප්‍රකෝප වූ පිරිස පහරදීමට උත්සහ දරන විට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දසනායක ඔහුව බේරාගැනීමට දැඩි උත්සාහයක් ගත්තේය. ඒත් එක්කම එක් තරුණයෙක් ඔහුගේ කම්මුල හරහා පහරක් එල්ල කළේය. එහිදී තවත් අයෙක් පොලු පහරක් හිසට එල්ල කළේය. එම පොලු පහර වදින්නේ පිට හරහාය. නැවතත් පුද්ගලයෙක් යතුරුපැදි හෙල්මටයකින් දේශබන්දු මහතාගේ හිසට පහරක් එල්ල කළේය. ඒ හිසට මැහුම් හතර පහක තුවාලයක් ඇතිකරවමිනි.
එන පොට හොඳ නැති බව වටහාගත් දේශබන්දු තෙන්නකෝන්, සිය දෙපා වීරියෙන් දිවයන්නට වූයේ ඒ අසල නවතා තිබුණු කැරලි මර්දන පොලිස් නිලධාරීන් රැසක් රැඳී සිටි බස් රථයක් වෙතය. බස් රථයේ සිටි කිසිදු පොලිස් නිලධාරියකුගෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ගලවාගැනීමට ප්‍රතිචාරයක් නොවීය. ඔවුන්ට මේ සිදුවන්නේ කුමක්දැයි වගේ වගක් නැත. දේශබන්දු තෙන්නකෝන් මහතා සමග සිටි පොලිස් නිලධාරීන්ටද ඒ වන විටත් බිම පෙරළාගෙන පහරදෙමින් සිටියේය. දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පස්සෙන් ඒ වන විටත් තරුණයන් කිහිප දෙනෙක් පන්නමින් සිටියේය. ඔහුගේ වෙලාවට එම අවස්ථාවේදී පොලිස් කණ්ඩායමක් ආවේය. ඒ වෙඩි තබමිනි. ඒ අතර දේශබන්දු තෙන්නකෝන් මහතා වෑන් රථයක නැගී දිවි බේරාගෙන ඔහුගේ නවාතැන්පළ වෙත ගමන් ගත්තේය. ඒ අතර කොල්ලුපිටිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක්ද එහි පැමිණ දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදුන් තිදෙනෙක්ද අල්ලා ගත්තේය. බැලින්නම් ඒ අය අතර පොලිස් සැරයන්වරයකුගේ පුතෙක්ද සිටියේය. දෙදෙනක් අනුරාධපුරයේය. එක් අයෙක් දෙමටගොඩය. අනුරාධපුරයේ තරුණයෙක් මාලඹේ අධ්‍යාපන ආයතනයක උසස් අධ්‍යාපනය ලබන සිසුවෙකි. අනිත් තරුණයා පුද්ගලික ආරක්ෂක අංශයක සේවකයෙකි. දෙමටගොඩ තරුණයා කුරියර් සේවයක වැඩ කරන අයෙකි. ඔවුන් පවසන්නේ පෙර දින පහරදී ගිනිබත් කළ දේපල ගැන බලන්නට එහි පැමිණි බවය. දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීමට තමන් සම්බන්ධ නොවූ’බව ඔවුන් දස අතේ දිවුරමින් කියන්නේය. එහෙත් ඇඳිරිනීතිය අස්සේ ඔවුන් එහි පැමිණ සිටීම ගැටලුවකි. එතැන රැඳී සිටි සියලු දෙනාගේ අභිප්‍රාය වූයේ අරලියගහ මන්දිරය ඇතුළතින් පැමිණෙන පිරිස් සොයා පහරදීමය. දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමට පහර වදින්නේද ඒ අනුවය.
ලේ බේරෙන තුවාල සහිතව සිය නවාතැන්පළට ගිය දේශබන්දු තෙන්නකෝන් මහතා ඒ වන විට සිටියේ තරමක් තැතිගැන්මකට ලක්වය. ඒ නිසා ඔහු ප්‍රතිකාර ගැනීමට පොලිස් රෝහලට යන්නට තරමක් උනන්දුවක් නොවීය. ඒ නිසාම පොලිස් රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළු කාර්ය මණ්ඩලයට සිදුවන්නේ ඔහු සිටි ස්ථානයට පැමිණ හිසට මැහුම් දමා ප්‍රතිකාර කරන්නටය. එවන් තත්ත්වයකට මුහුණ පෑවද ඔහු සිය රාජකාරිය දේවකාරිය ලෙස ඉටුකරමින් සිටියේ ඒ වන විටත් ගිනිගෙන දැවෙමින් තිබුණු බස්නාහිර පළාතේ ආරක්ෂාව ගැන උනන්දු වෙමිනි.
කෙසේ වෙතත් තෙන්නකෝන් මහතාට සැබෑ ලෙසම පහරදීමට මෙම තරුණයන් තිදෙනා සම්බන්ධ දැයි යන්න පිළිබඳ ගැටලුවක් පවතින අතර ඔහුට පහරදීම දැක්වෙන වීඩියෝ පටයේ පවා එම තරුණයන් නොමැති බව දැකගැනීමට පුළුවන.
විජය රනබාහු