පෙම් කතාවක සුන්දරත්වයත්, රසයත් දැනෙන්නේ ඒ අතර ගැටුමක් තිබුණොත් තමයි. නැතිනම් කවුරුත් කියන්නේ ඒ කතාව වැඩක් නැහැ බෝරින් කියලා. ඉතින් එහෙම ආදර කතා ගණනාවකට වීරයො බහිකරපු සුවිශේෂී වීරයෙක් අපට හමුවුණා. ඔහු වසන්ත කුමාරවිල.
සිනමාවේ දක්‍ෂ සටන්කරුවෙක් වූ ඔබට ගේමක් දෙන්නේ කවුද?
සුරංග ද අල්විස්ගේ නවතම චිත්‍රපටය තමයි “ද ගේම්.” එහි සටන් අධ්‍යක්‍ෂණය වගේම රංගනයෙනුත් දායක වෙනවා. ඒ වගේම ජීවන් කුමාරතුංග අධ්‍යක්‍ෂණය කරන ‘ජීවා’ චිත්‍රපටයෙත් වැඩකටයුතු කරනවා. ගේමක් නැතුව හැමදේම හොඳින් කරගෙන යනවා.
ඔබ ලොකු නැඹුරුවක් දක්වන්නේ සිනමාව පැත්තෙන් ඉදිරියට යන්න නේද? එයට හේතුව කුමක්ද?
මගේ ලොකුම ආශාව සිනමාව පැත්තෙන් යන්න. එයට අමතරව හොඳ ටෙලිනාට්‍ය කිහිපයකම වැඩ කළා. ළඟදි මතික පෙරේරා අධ්‍යක්‍ෂණය කළ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබුණා. අවුරුදු 16දී තමයි හේමසිරි සෙල්ලප්පෙරුම අධ්‍යක්‍ෂණය කළ “කියල වැඩක් නැහැ” චිත්‍රපටයේ සනත් ගුණතිලක එක්ක රඟපෑවේ.
නව පරපුරේ සටන් නළුවෝ අතර සාම්ප්‍රදායික සටන් කලාවක් හෝ රංගනයක් අපි දකින්නේ නැහැ?
විවිධ සටන් කලාවන් තියෙනවා. හැබැයි එහෙමයි කියලා අපි හැමෝටම සටන් නළුවො වෙන්න බැහැ. මම සිනමාවට සම්බන්ධ වුණෙත් සටන් නළුවෙක් විදයට. සටන කියන්නේ ප්‍රබල රංග කලාවක්. ඒ සටන තුළ අපි රඟපාන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕන. ඉන්පසු සාර්ථක රංගනයකට ප්‍රවිෂ්ට වුණොත් තමයි සාර්ථක සටන් ශිල්පියෙක් වෙන්නේ කියලා මම හිතනවා.
අද නිර්මාණවල සටන් කරන්නේ සටන් අධ්‍යක්‍ෂවරුන් කිව්වොත් හරිද?
ටෙලි නාට්‍ය හෝ චිත්‍රපටවල සටන් නිර්මාණ කළ යුත්තේ සටන් අධ්‍යක්‍ෂවරුන්. මොකද ඒ ශිල්ප කලාව දන්නේ ඔවුන් පමණයි. 70 දශකයේ නිර්මාණවල සටන් කලාවේ දක්‍ෂ ශිල්පීන් කළේ ඇත්තටම සටන් කරපු එක. ඒත් දැන් තිබෙන තාක්‍ෂණයත් එක්ක සටන් කලාවත් වෙනස් වෙලා. ඉතින් මට චිත්‍රපට 67ක විතර සටන් අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කරන්න ලැබීමත් සතුටක්.
නව තාක්‍ෂණයේ දියුණුවත් සමඟ ඔබ නිර්මාණය කළ ඩබ්ලිව්. කේ. කේබල් යුනිට් කලාව ගැන අදහසක් පැවසුවොත්?
ඩබ්ලිව්.කේ. කියන නමින් තමයි කේබල් සටන් කලාව ආරම්භ කිරීමට කටයුතු කළේ. මේක අලුත් සටන් කලාවක්. එහිදී කේබල් තාක්‍ෂණය උපයෝගී කරගෙන තමයි සටන් කරන්නේ. පසුගිය දවස්වල රියැලිටි වැඩසටහන්වලටත් මම ඒ කේබල් ක්‍රමය ලබා දුන්නා.
නව පරපුරේ දක්‍ෂ පිරිසක් මේ ක්‍ෂේත්‍රයට යොමුවෙලා ඉන්නවා. හැබැයි ඔවුන් වෙනුවෙන් රජයේ කිසිම මැදිහත් වීමක් නැහැ නේද?
ඔබ පැවසූ දේ හරි. දක්‍ෂ ශිල්පීන් ඉන්නවා. ඔවුන් දක්‍ෂ නිර්මාණ බිහිකරනවා. එය ඉදිරියට ගෙනියන්න ඔවුන්ගේ වටිනාකම රජයට දැනෙන්නේ නැහැ. මෙය සුන්දර විෂයක්. කලාත්මක විදියට නිර්මාණයක් කරලා ජනගත කරන්න ගියාම තමයි ප්‍රදර්ශනයේදී ප්‍රශ්න මතුවෙන්නේ. චිත්‍රපට සංස්ථාව වුණත් තියෙන්නම් වාලේ තිබිලා වැඩක් නැහැනේ. අලුත් ක්‍රමවේදයක් සකසා නිර්මාණකරුවන්, නිෂ්පාදකවරු රැකගත යුතුයි.
වසන්ත විතාරණගේ