Connect with us
Redmi 9C
Advertisement

Mahawanshaya

ඔටුන්න ගඟට දාපු ලංකාවේ එකම රජ්ජුරුවෝ

Published

on

මෙරට අවසාන රජතුමා කවරෙක්ද යන්න මෙන්ම අන්තිම සිංහල රජතුමා කවරෙක්ද යන්න පිළිබඳවද පවතින්නේ එකිනෙකට පරස්පර මතවාදයන්ය. වර්තමාන අධ්‍යාපන ක්‍රමය හරහා පොදු සමාජයේ මතය බවට පත්කර ඇත්තේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා මෙරට අවසන් සිංහල රජතුමා ලෙසත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මෙරට අවසන් රජතුමා ලෙසත්ය. නමුත් ඉතිහාසය දෙස විමර්ශනාත්මකව අදහස් ඉදිරිපත් කරන උගතුන්ගේ මතය වන්නේ මෙරට අවසන් රජු ලෙස ඉගැන්වෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අතීත සිංහලයේ හෙවත් නූතන ශ්‍රී ලංකාවේ අවසාන රජු නොවන බවයි. ඔහුගෙන් පසුව ඉංග්‍රීසීන්ට මෙරට යටත් වූ නමුත් ඉංග්‍රීසි පාලනයට විරුද්ධව මෙරට පිහිටුවාගත් රජයන් තුළ රජ වූ සිංහල රජවරුන් පිළිගත හැකි රජවරුන් නිසා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා මෙරට අවසන් සිංහල රජතුමා නොවන බවට කරුණු එම විද්වතුන් විසින් ඉදිරිපත් කරනු ලබයි.

කෙසේ නමුත් නූතන සමාජය තුළ වඩාත් ප්‍රචලිත මතය වන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා මෙරට අවසන් සිංහල රජතුමා බවයි. සැබැවින්ම සිංහලයන් සතුව අඛණ්ඩව පැවති සිංහල රාජ උරුමය වඩුගයන් අතට පත්වීම සිදුවන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගෙන් පසුවය. මේ නිසා වසර දහස් ගණනක් තිස්සේ පැවති ශ්‍රේෂ්ඨ සිංහල රාජවංශය අවසානය දක්වා ගෙන ගියේ යැයි ප්‍රබල චෝදනාවක්ද ලබමින් මෙරට ජනතාවගේ දෝෂදර්ශනයට, ගර්හාවට, උපහාසයට ලක්වෙමින් රාජාවලිය තුළ රැඳී සිටීමට ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාට සිදුවී තිබේ. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා පිළිබඳ පවතින බොහෝ ලිඛිත සාධක ද පෙන්වා දෙන්නේ සිංහල රාජ වංශයේ අවසානයට වග කිය යුතු ජාති ද්‍රෝහී නායකයා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා බවයි. මේ නිසා ශ්‍රී වීර පරාක්‍රම ලෙස හැඳින්වුවද ඔහු කිසිදා වීරයකු නොවන බවට මතයක්ද සමාජය තුළ පැතිර තිබේ. නැටුම් – ගැයුම් – වැයුම්, ස්ත්‍රිය – සුරාව – සූදුව ප්‍රිය කළ කෙළිලොල් රජෙකු ලෙස සඳහන් වෙන මේ රජතුමා ඇතැම් පිරිස් එකල හඳුන්වා ඇත්තේ “සෙල්ලම් නිරිඳු” නමිනි. නමුත් ඔහු වඩාත් ද්‍රෝහී රජකු ලෙස සැලකීමට හේතු වූයේ වසර දහස් ගණනක් තිස්සේ පැවති ශ්‍රේෂ්ඨ සිංහල රාජවංශය ඔහු නිසා අවසාන වූ බැවිනි. මේ නිසා සිංහලයාට රාජවංශය අහිමි කරමින් අවසානයේ මෙරට බටහිර ජාතීන්ට යටත් වීමට මග පෑදුවේ යැයි යන බරපතළ චෝදනාවෙන් අද දක්වාම නිදොස් කොට නිදහස් වීමට නරේන්ද්‍රසිංහ රජතුමාට හැකියාවක් ලැබී නොමැත.

නමුත් සිංහලයාට සිය රාජවංශය නැතිවී යාමේ වරද නරේන්ද්‍රසිංහ රජතුමා වෙත තනිවම පැටවීම යුක්තිසහගත නොවන බවටද ඇතැම් උගතුන් අදහස් දක්වයි. පසුකාලීන උඩරට රජවරුන් තම අගබිසව සඳහා දේශීය කුමාරිකාවන් වෙනුවට මධුරා පුරයෙන් කුමාරිකාවක් ගෙන්වා සරණපාවා ගැනීම සිදුකළ අතර ඔවුන් අනුගමනය කළ මධුරාවෙන් බිසෝවරුන් ගෙන්වා ගැනීමේ ක්‍රියාමාර්ගය උඩරට රාජ්‍යයට එතරම් හිතකර නොවීය. මධුරාවෙන් බිසෝවරුන් ගෙන්වා ගැනීම නිසා රජමාලිගාවේ වඩුග බලය වර්ධනය වූ අතර මේ නිසා රජ්‍යත්වය සඳහා බලපෑම් කිරීමේ හැකියාවක් රජවාසල තුළ ගොඩනගා ගැනීමට වඩුගයන්ට හැකියාව ලැබුණි. මේ නිසා නරේන්ද්‍රසිංහ රජතුමාට පමණක් චෝදනා කිරීම යුක්තිසහගත නොවන බවට මත ඉදිරිපත් කරන්නෝද වෙති.

නරේන්ද්‍රසිංහ රජතුමා කෙළිලොල් වගකීම් විරහිත රජකු ලෙස ප්‍රකට වූවද මහාවංශයෙහි හා බොහෝ ජනප්‍රවාදවලද ඔහු කළ සේවාවන් පිළිබඳවද සඳහන් වෙයි. නමුත් ඔහුගේ පාලන සමය වන විට රජ වාසල තුළ වඩුග බලය දැඩි ලෙස වර්ධනයවී තිබූ අතර තම බලය රැක ගැනීම සඳහා උඩරට සිංහල ප්‍රධානීන් සහ වඩුගයන් අතර අනවරත බල අරගලයක් විය. මේ වන විට ලන්දේසීන් මූදුබඩ ප්‍රදේශවලවල සිට උඩරට දක්වා තම බලය ව්‍යාප්ත කිරීමට උත්සාහ ගනිමින් සිටි නිසා ඒවාට මුහුණ දීමටද රජුට සිදුවිය. වඩුග බලපෑම්වලට විරුද්ධව සිංහල ප්‍රධානීන්ගේ විරෝධය නිරන්තරයෙන් එල්ල වූ නමුත් තම ඥාති පරපුරට පිටුපෑමේ හැකියාවක්ද රජුට නොවිණි. රජවාසල තුළ විශාල ආර්ථික ශක්තියක්ද ඔවුන් සතු විය. මෙරට ජනතාවගේ වැඩි සහය ලබා ගැනීමේ හැකියාවත් උඩරට සිංහල නායකයන්ට තිබූ නිසා ඔවුන්ට විරුද්ධවීමට රජුට නොහැකිවිය. මේ නිසා රට පාලනයේදී මේ දෙපිරිස සමගම ගැටීමට රජුට සිදුවිය. රජුට තමාට රිසි සේ තීරණය ගත හැකිය යන්න පොදු සමාජයේ මතය වූවත් අතීතයේ සිටම රට පාලනය වූයේ නීති පද්ධතියක් හා එය යටතේ ස්ථාපිත වූ පාලන ක්‍රමයක් මගිනි. මේ නිසා රජු රජයේ ප්‍රධානියා නමුත් ඔහුට තනි තීරණ ගැනීමට නොහැකිය. මේ වන විට රාජ සභාවේ බලයද එකිනෙකාට විරුද්ධ පිරිස් අත පැවතීම නිසා තීන්දු තීරණ ගැනීමද අපහසු විය. රජුගේ කෙළිලොල් ජීවිතය නිසා රටවැසියා තුළද ඔහු කෙරෙහි අප්‍රසාදයක් මතුවෙමින් පැමිණි අතර රජු සමීපව ඇසුරු කළ විදේශ ජාතිකයන් සහ පූජකයන්ට රජයේ තනතුරු ලබාදීම නිසා රජු කෙරෙහි උඩරට ප්‍රධානීන්ගේ සහ ජනතා අප්‍රසාදය වැඩිවෙමින් තිබුණි. රජුගේ අග බිසවද රජුගේම අධිකාරම හා අනියම් සබඳතාවක් පැවැත්වීම නිසා රජුට බොහෝ පුද්ගලික ගැටලුවලට මුහුණ දීමටද සිදුවිය. රජුගේ ජීවන රටාව නිසා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයද පිරිහෙමින් තිබූ බැවින් ඇතැම් වැදගත් වගකීම් අමාත්‍ය මණ්ඩලයට පැවරීමටද රජුට සිදුවිය. මේ සියලු කාරණා නිසා රජතුමා බොහෝ පීඩාකාරි වටපිටාවක තම පාලනය ගෙන ගිය බව ඉතිහාසඥයන්ගේ මතයයි.

නරේන්ද්‍රසිංහ රජතුමාගෙන් පසුව රජකමට උරුමකම් කීමට ඔහුට දාව අග බිසවට දරුවන් නොසිටි නිසා පැවති නීති සම්ප්‍රදාය අනුව ඊළඟ රජු ලෙස සිංහාසනරූඪ වීමට සුදුස්සෙක් නොවිණි. මේ නිසා ඊළඟ රජු තෝරා ගැනීමේදී රාජ සභාව කැඳවා සුදුස්සකු තේරීමට රජුට සිදුවූ බව සඳහන් වේ. එහිදී රජතුමා විසින් අගබිසවගේ සහෝදරයා වෙත රජකම පවරා දුන් බව සඳහන් වෙන නමුත් එය රාජ සභාවේ අනුමැතිය මත රාජ සභාව මගින් සිදුකරන ලද්දක් බව සඳහන් වේ. මේ වන විට රාජ සභාවේ විශාල බලයක් වඩුගයන් සතුවූ අතර ඔවුන් සිංහල ප්‍රධානීන් හා එක්ව අග බිසවගේ සහෝදරයා රජ බවට පත්කළ බව සඳහන් වේ. මේ තොරතුරු ලිඛිත මූලාශ්‍රවලට වඩා ජනතාව අතර පවතින කතා පුවත් තුළ හමුවන අතර ඒවා අනුව රජකම වඩුගයන් අතට පත්වීමේ එකම වරදකරු නරේන්ද්‍රසිංහ රජතුමා පමණක් නොවන බව පෙන්වා දෙයි. ඒ පිළිබඳව දැක්වෙන ජන කතාවල නරේන්ද්‍රසිංහ රජතුමා හට යම් සාධාරණයන් කිරීමට උත්සාහ දරන බවද පෙනෙන්නට තිබේ.

ක්‍රි.ව. 1707 දී මෙරට රජු ලෙස ඔටුනු පැලඳූ නරේන්ද්‍රසිංහ රජතුමා නිතර රෝගී වීම නිසාත් රජු වයස්ගතවන තුරුත් අග බිසවට දරුවන් නොසිටි නිසා ඊළඟ ඔටුන්න හිමි කුමරා කෙරෙහි වැඩි අවධානයක් උඩරට ප්‍රධානීන් අතර පැවතිණි. ඊළඟ රජකම අග බිසවගේ සහෝදරයා වෙත ලබා ගැනීමට වඩුගයන් කුමන්ත්‍රණය සිදුකළ අතර අගබිසවට හිතවත්කම් දැක්වූ ඇතැම් උඩරට ප්‍රධානීන්ගේ සහයද එයට හිමි විය. රජුට දාව අග බිසවට දරුවන් නොසිටි නමුත් රජුගේ යකඩ දෝලියේ බිසෝවරුන් හට දරුවන් සිටි නිසා ඔවුන් හට රජකම උරුම කරදීමටද ඇතැම් උඩරට ප්‍රධානීන් උත්සාහ ගන්නා ලදී. මෙලෙස තමාගෙන් පසු සිහසුනෙහි උරුමකරු තෝරා ගැනීම සඳහා වන ගැටුම පිළිබඳව රජතුමාගේ අවධානයට ලක්ව තිබූ බව බොහෝ ජනප්‍රවාද කතා පුවත්හි දැක්වෙන අතර තමාගෙන් පසු සිහසුන වඩුගයන් අතට පත්වේ යැයි බියක් රජතුමා තුළ තිබූ බවත් තමාට හිතවත් ප්‍රධානීන් සමග ඒ පිළිබඳ නිරන්තරයෙන් සාකච්ඡා කළ බවත් එම කතා පුවත් වාර්තා කරයි.

තමාගෙන් පසුව සිහසුන සඳහා සිංහල උරුමකරුවකු නොමැති වීම නිසා රජු කනස්සල්ලෙන් පසු වෙද්දී, රජු කුඩා කල ගතකළ කුරුකොහොගම පල්ලේ වලව්වේ රූපශ්‍රීයෙන් යුත් කුමාරිකාවක් සිටින බවත් ඇය අගමෙහෙසිය කරගත යුතු බවත් රජුගේ හිතවත් ප්‍රධානීන් යෝජනා කොට තිබේ. (ඇතැම් කතා පුවත්වල දැක්වෙන්නේ ඇයගේ රූපශ්‍රීයට වශීවූ රජු ඇය අන්තඃපුරයට ගැනීමට උත්සාහ කළ බවත්ය.) කෙසේ නමුත් වයස් ගත රෝගී රජුගේ අග මෙහෙසිය වීමට ඇය අකමැතිවන අතර රජුගෙන් බේරීම සඳහා ගස් බෙනයක සැඟවී සිටි බව සඳහන් වේ. කෙසේ හෝ ඇයව සොයා ගන්නා රාජ පුරුෂයන් බලහත්කාරයෙන් ඇයව රජවාසල වෙත රැගෙන එන අතර ගමන අතර මගදී ඇය සිය දිවි නසා ගත් බවත් ඉන් ශෝකයට පත් රජතුමා ඇය සිහිකරමින් ඇය දිවි නසා ගත් ස්ථානයේ බෝධි වෘක්ෂයක් රෝපණය කළ බවත් සඳහන් වේ.

එලෙස සිංහල කුමරියක අගමෙහෙසිය කොට රාජවංශයට උරුමකරුවකු බිහිකර ගැනීම අසාර්ථක වීමත් සමග රජු උත්සාහ කරන්නේ රජුගේ යකඩ දෝලිය හෙවත් ගොවිකුල බිසෝවරුන්ට දාව උපත ලැබූ මාම්පිටයේ බණ්ඩාර හෝ උනම්බුවේ බණ්ඩාර යන කුමාරවරුන් දෙදෙනාගෙන් කෙනෙකුට තමාගේ ඈවෑමෙන් රජකම පැවරීමය. මේ සඳහා රජුට හිතවත් ඇතැම් උඩරට ප්‍රධානීන් මනාපය දැක්වූ නමුත් අගමෙහෙසියට හිතවත් ප්‍රධානීන් මෙන්ම රදල පවුල්වලට සම්බන්ධ යකඩ දෝලියගේ දරුවකුට රජකම උරුම වූ විට තම බලය අහිමි වේ යැයි සිතූ අනෙක් රදල ප්‍රධානීන්ද මෙම කුමාරවරුන් දෙදෙනාට රජකම පැවරීමට විරුද්ධ වී තිබේ.

මේ නිසා රජුගේ ඇවෑමෙන් පසු සිහසුනෙහි උරුමක්කරු ලෙස අග බිසවගේ සොහොයුරෙකු වූ, හඟුරන්කෙත නැවතී සිටි නිසා හඟුරන්කෙත කුමාරයා යැයි ප්‍රකටව සිටි වඩුග කුමාරයාට රජකම පැවරීම සිදුකළ යුතු යැයි යෝජනාවක් අගබිසවට පක්ෂපාත පිරිස් වෙතින් රාජ සභාවට පැමිණි අතර අගබිසවගේ ඉල්ලීමද එය විය. අගබිසවගේ ඉල්ලීමට එක්වර විරුද්ධ වීමේ හැකියාවක් රජුට නොවූ අතර අගබිසවද ඇමති මණ්ඩලයෙහි කොටසක් තමාට අවනත කරගෙන තිබූ හෙයින් ඒ හරහා රජුට බලපෑම් කිරීමටද ඇයට හැකියාවක් විය. මේ වන විට රජු ඉතා දුර්වල තත්ත්වයක සිටි බැවින් මහ අධිකාරම හා ඇමති මණ්ඩලයේ අදහස්වලට සෘජුව විරුද්ධවීමට ශක්තියක් රජුට නොමැති විය. මේ වනවිටත් රාජ අනුග්‍රහය ලබා සිටි වඩුගයින් බලවත් වූ නිසා විශාල ආර්ථික ශක්තියක්ද ඔවුන් වෙත විය. ඒ නිසා අගබිසව හා ඇගේ ඥාතීන් විසින් ඇමතිවරුන්ට අල්ලස් දුන් බවද ඇතැම් කතා පුවත්හි දැක්වේ. කෙසේ හෝ අගබිසවගේත් ඇමති මණ්ඩලයේ බහුතරයකගේත් තර්ජනයට මුහුණු දීමට තරම් ආත්මශක්තියක් නොවූ අසරණ රජු නොකැමත්තෙන් නමුත් ඇමති මණ්ඩලයේ යෝජනාවට අත්සන් කළ බව සඳහන් වේ.

මේ කතා පුවත් අනුව නරේන්ද්‍රසිංහ රජතුමා සිංහල සිංහාසනයෙහි උරුමය පිළිබඳ නීතිය වෙනස් කළ, රජුගේ උවමනාව මත තම මස්සිනාවූ නායක්කර් වංශිකයාට රජකම ලබා දීමට කටයුතු කළ, සිංහල සිංහාසනය වඩුගයන්ට පාවාදුන් රජෙකු බව පැවසීමට වඩා එය රජු ලවා බලයෙන් සිංහාසනය ලබා ගත් බව සැලකීම යුක්තිසහගත වේ. මෙලෙස සිංහාසනය වඩුගයන් හට පැවරීමට සිදුවීම නිසා රජු බොහෝ ශෝකයෙන් කාලය ගතකළ බවද ජනප්‍රවාද කතා පුවත් තුළ දැක්වේ. මෙලෙස ශෝකයෙන් ඒ පිළිබඳව සිතමින් සිටීම නිසා රජුගේ මරණය ඉක්මන් වූ බවද සඳහන් වේ. ඩී.පී. වික්‍රමසිංහ මහතාගේ මගදිගට ජනකතා නම් කෘතියෙහි දැක්වෙන අන්දමට ඇමති මණ්ඩලයේ බල පෑමට වඩුග කුමරාට රජකම පැවරීමේ යෝජනාව සඳහන් තල්පතට රාජ ලාංඡනය තබා අත්සන් කළ පසු සිරියහන් ගබඩාවට වැදී “අහෝ මගෙන් පසු අවුරුදු දෙදහස් පන්සිය ගණනක් සූර්ය වංශික සිංහල රජ දරුවන් මත බැබළුණ මිණි කිරුළ වඩුගයකුගේ හිස මතට යන්නේය. මේ සඳහා අනාගත සිංහලයන්ගේ චෝදනාව මා වෙත පැටවෙන්නේය” යැයි සිත සිතා රජු ඇඬීමට පටන් ගත් බවත් මෙයින් හටගත් චිත්ත සංවේගය රජතුමාගේ රෝගය උත්සන්න කිරීමට හේතු වූ බවත් දක්වා තිබේ. එම කතාවේ දැක්වෙන අන්දමට රජුගේ මරණයට දින කිහිපයකට පෙර “මෙතෙක් කල් සිංහල ක්ෂත්‍රියන්ගේ හිස මත බැබළුණ මෙම ඔටුන්න වඩුගයකුගේ හිසට යා නොදෙමැයි” පවසා රාත්‍රියේ තමාට හිතවත් රාජ පුරුෂයකු සමග මහවැලි ගං තෙරට ගොස් රාජකීය ඔටුන්න එහි ගැඹුරු වක්කලමක ගිල්වා දැමූ බවද සඳහන් වේ.

කෙසේ හෝ 1739දී මෙම සිදුවීමෙන් දින කිහිපයකට පසුව ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා මියගිය අතර රජුගේ මරණයෙන් පසු ඇමතිවරුන් එක්ව රජුගේ අග බිසවගේ සහෝදරයා ශ්‍රී විජය රාජසිංහ නමින් සිංහාසනාරූඪ කරවූහ. නමුත් නරේන්ද්‍රසිංහ රජතුමා මියයාමට පෙර රාජකීය ඔටුන්න මහවැලි ගඟෙහි ගිල්වා දැමූ හෙයින් විජය රාජසිංහ රජුට නිල වශයෙන් රජවීම සඳහා ඔටුනු පැලඳීමට ඔටුන්නක් නොවිණි. මේ නිසා ඔටුනු පැලඳීමේ උත්සවයට පෙර මුළු අට සහිතව මැණික් ඔබ්බවා රන් ඔටුන්නක් සකස් කළ බව සඳහන් වේ. දැනට කොළඹ කෞතුකාගාරයේ පවතින ද්‍රවිඩ කලාවට නෑකම් කියන ඔටුන්න එය විය හැකි බව පී. වික්‍රමසිංහ මහතා පවසයි. වසර දහස් ගණනක රාජ පරපුරක ඔටුන්න මෙයට වඩා කලාත්මක සිංහල කලාවට නෑකම් කියන ගාම්භීර එකක් විය යුතු නමුත් හදිසියේ සකස් කළ නිසා එවැනි පෙනුමක් නොලැබෙන්නට ඇති නිසා වික්‍රමසිංහ මහතා දක්වන අදහසද ප්‍රතික්ෂේප කළ නොහැකිය.

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගෙන් පසු වඩුගයන් අතට පත් සිංහලයේ රාජවංශය තවත් රජවරුන් හතරදෙනෙකුට පසුව ශ්‍රී වික්‍රමරාජසිංහ රජ සමයේ ඉංග්‍රීසීන් අතට පත්විය. ඉන් පසුව සිංහලේ නායකයන් පත්තර ගත් රජවරුන් සඳහා නිල පිළිගැනීමක් නොලැබෙන අතර එම රජවරුන්ට ස්ථිර ලෙස රාජ්‍යයක් පිහිටුවා පාලනය කිරීමට අවස්ථාවක්ද නොලැබිණි. එසේ අවසානය දකින සිංහල රාජවංශය ඉංග්‍රීසීන්ගෙන් නිදහස දිනාගත් පසු මහජන ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරයකු මගින් යළිත් සිංහලයන් අතටම මේ වන විට මාරුවී තිබේ.

අසිරු වේදිත කරුණාරත්න

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)