ජයසක් නාදය හා ධජ ඉහළ එසවීමෙන් අනතුරුව දසමහා යෝධයන් ප්‍රමුඛ ගැමුණු රජුගේ සේනාව විජිතපුරයට අවසන් පහරදීම ආරම්භ කළේය. මාස හතරක් තිස්සේ ඇදී ගිය දරුණු සටනින් පසුව දිය මඩ අගල්වලට අමතරව රියන් 18 බැගින් උස්වූ ප්‍රාකාර බිත්ති තුනකින් වටවූ දිසා හතරෙහි යකඩවලින් නිමවන ලද ශක්තිමත් ගේට්ටු හතරකින් යුක්ත ආරෝහ සන්නාහයෙන් සැරසුණු යුද භටයන් දහස් ගණනකින් පිරි විජිත පුර බලකොටුව බිඳදැමීමට සිංහල හමුදාවට හැකිවිය.
ඵුස්සදේවගේ ජය සක් නද අහස් තලයේ ගිගුම් දෙමින් මෙරට ඉතිහාසයේ පැවති විශිෂ්ට හා තීරණාත්මක සංග්‍රාමයක් නිමාවේ විජිත පුරය සිංහලයන් අතට පත්වීම එළාරට එරෙහි සටන නියත ලෙසම ජයගැනීමක් බඳු විය. ඒ මගින් වසර හතළිස්හතරක් තිස්සේ ආක්‍රමණික පාලනයක් ගෙන ගිය එළාර සමය නිමාකිරීමට ගැමුණු මහරජුට හැකිවූ අතර සටන අවසානයේ රට බේරාගැනීමේ සටනට උරදුන් නායකයන් හට ගම්වර තෑගි ලෙස ලැබිණි. දක්ෂ ලෙස දුනු ඊතල මෙහෙයවීමෙන් මහා මෙහෙයක් කළ ගැමුණු සේනාවේ දසමහා යෝධයන් අතරින් දුනු විදීමෙහි හා සක් පිඹීමේ දක්ෂයකු වූ ඵුස්සදේව යෝධයා හට හිමිවූයේ පල්ලේබැද්ද ගම්වරයයි. ගම්වරය පිළිගත් ඵුස්සදේව එහි පදිංචියට පැමිණ ගම්මානයක් ගොඩනඟා දුටුවන්ගේ සිත් පහන් වන පරිදි ගම්මානයේ සුන්දර කඳු මුදුනක මනරම් විහාරයක්ද ඉදිකරන ලදී.
සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවෙහි පිහිටි අටකළං කෝරළයේ තඹගමු පත්තුවේ 224 ත් සංඛපාල ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇති සංඛපාල රජමහ විහාරය එදා ඵුස්සදේව යෝධයා ඉදිකරන ලද විහාරය ලෙස සැලකේ. ගැමුණු රජ සේනාවේ හක් ගෙඩිය හෙවත් සංඛය පිඹීමේ දක්ෂයකු වූ ඵුස්සදේව යෝධයා මෙම විහාරය නිර්මාණය කළ නිසා මෙම විහාරයට සංඛපාල යන නාමය යෙදෙන්නට ඇතැයි සැලකේ. ඵුස්සදේව යෝධයාගේ ජය සංකේතය වශයෙන් සලකන හක් ගෙඩියේ ලාංඡනය ප්‍රධාන විහාරය පිහිටි ගල් ලෙනෙහි නිර්මාණාත්මකව කොටා තිබෙන ආකාරය අදටද දැකිය හැකිය. යුද්ධයේදී ඵුස්සදේව යෝධයා ජය සක් හඬ නඟන ලදැයි සලකන දක්ෂිණාවෘත හක්ගෙඩිය මෙම විහාරය පිහිටි ගල මුදුනේ තැන්පත් කොට ඇතැයි විශ්වාසයක්ද ජනප්‍රවාදයේ දැක්වෙන අතර සංඛය තැම්පත් කර ඇති විහාරය සංඛපාල වන්නට ඇතැයිද විශ්වාසයක් පවතී. මෙම විහාරය ඉදිකළ ඵුස්සදේව යෝධයා පසුකාලීනව පැවිදි දිවියට එළඹි අතර ඵුස්සදේව හිමියන් පසු කලෙක විදසුන් වඩා රහත් වූ බවද ඓතිහාසික තොරතුරුවල සඳහන් වේ. “ඵුස්සදේව සොහොන” නමින් හඳුන්වන ඵුස්සදේව රහතන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඉදිකළ බව සලකන දාගැබක්ද මේ සමීපයෙහි පිහිටා තිබේ.
ස්වභාවික ලෙන් සහ පසුව ඉදිකළ විහාර අංගයන්ගෙන් සමන්විත මෙම විහාරය යුග කිහිපයකට අයත් විහාරයකි. මෙම විහාරයේ ඇති ස්වභාවික ලෙන් තුළ මධ්‍ය ශිලා යුගයේ ජීවත්වූ බළන්ගොඩ මානවයාගේ සමීපතමයන් වාසය කරන්නට ඇති බවට සලකුණු හමුවී ඇත. ක්‍රිස්තු පූර්ව 161 – 137 අනුරාධපුර යුගයේ මෙහි විහාරස්ථානය ඉදිකිරීමත් සමග බළන්ගොඩ මානවයාගේ සලකුණු මැකීයන්ට ඇතැයි විශ්වාස කරයි. අනුරාධපුර යුගයේ ඉතා දියුණු ආරාමයක් බවට පත්වූ මෙම විහාරය පසුකාලීනව නොයෙකුත් ආපදා වියවුල් නිසා වල් බිහිවී ගිය අතර යළි මෙම විහාරය සම්බන්ධ තොරතුරු හමුවන්නේ මහනුවර යුගයේ රාජාධි රාජසිංහ රජ දවසිනි.
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අභාවයෙන් පසුව ඔහුගේ සහෝදරයා වූ රාජාධි රාජසිංහ උඩරට රජු බවට පත්වූ අතර සබරගමු දිසාව ඇතුළත් ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය මල්වතු මහා විහාරයෙහි වැඩවාසය කළ කරතොට ධම්මාරාම හිමියන්ට පවරා දෙනු ලැබීය. මෙහිදී කරතොට හිමියෝ තමන් උඩරට හා පහතරට දෙරටෙහිම නායක පදවියට පත්කරන ලෙස ඉල්ලා රජතුමා වෙත සන්දේශයක් යෑවූහ. මෙයින් දැඩි ලෙස උදහසට ලක්වූ රාජාධි රාජසිංහ රජු කරතොට ධම්මාරාම නාහිමියන් නගරයෙන් පිටුවහල් කොට සිරගත කරන ලෙස නියෝග කරන ලදී. මේ නියෝගය අනුව කරතොට නාහිමියන් කටුගස්තොටින් එතෙර කොට සිර ආරක්ෂා සහිතව වාසය කරන්නට ඉඩකඩ සැලැස්වූ අතර උන්වහන්සේට රැවුල සහ කොණ්ඩය බූගෑමද රජතුමා තහනම් කළ බව සඳහන්වේ.
මෙලෙස රාජ උදහසට ලක්වූ කරතොට ධම්මාරාම හිමියෝ රාජ උදහසින් බේරීමට ඇති හොඳම ක්‍රමය නම් තමන්ගේ පාණ්ඩිත්‍ය පෙන්වීම බව සිතා කවි තුනකින් කවි දොළහක් කියෑවෙන ආකාරයේ ප්‍රබන්ධයක් සකස්කොට රජතුමා වෙත යෑවුහ. එය බාරස කාව්‍ය ලෙස ප්‍රකටය. රජතුමා සිංහල භාෂාව මෙන්ම කවිය පිළිබඳ මනා දැනීමක් ඇති උගතකු වුවත් ඔහුටද මෙම ප්‍රබන්ධය තේරුම් ගත නොහැකි වූ බැවින් රාජ සභාවේ උගතුන්ට මෙය කියවා පැහැදිලි කරන ලෙස ඉදිරිපත් කළද එය පැහැදිලි කිරීමට සමත් විද්වතකු රාජ සභාව තුළද නොවීය. එබැවින් කරතොට නාහිමියන් සිරෙන් නිදහස් කළ රජතුමා රජ මාලිගයට වැඩම කර මෙම ප්‍රබන්ධය පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටියේය. එවිට කරතොට හිමියෝ කවි තුනකින් නිර්මාණය වන කවි දොළසම වෙන් වෙන්ව කියවා එහි අර්ථ ද සමග පැහැදිලි කළහ. මෙයින් ප්‍රීතියට පත් රජතුමා කරතොට නාහිමියන්ට පහතරට සංඝනායක පදවියද සමග සබරගමුවේ සංඛපාල විහාරයද අතුළුව පල්ලේබැද්දේ ගම්වරයද තඹ සන්නසකින් ලියා පූජා කරන ලදී. පල්ලේබැද්දේ ගම්වරය පූජා කිරීම කවියෙන් ප්‍රකාශ කරන ලෙස රජතුමා නාහිමියන්ගෙන් ඉල්ලීමක් කළ විට නාහිමියන් කවි දෙකක් පුස්කොළ පොතක ලියා ගායනා කරන ලදී. එයින් පැහැදුණු රාජාධි රාජසිංහ රජු කරතොට ධම්මාරාම හිමිට රන් පන්හිඳක් හා රන් නියපොත්තක්ද පූජා කරන ලද බව සඳහන්වේ. ඒ අනුව දුටුගැමුණු මහ රජතුමා ඵුස්සදේව යෝධයාට පළමුවරට පරිත්‍යාග කළ පල්ලේබැද්ද ගම්වරය දෙවැනි වරට ශ්‍රී රාජාධි රාජසිංහ රජතුමා කරතොට කීර්ති ශ්‍රී ධම්මාරාම හිමියන්ට පූජා කර ඇත. මෙය එකම විහාරය දෙවතාවක් පුදකළ දුර්ලභ අවස්ථාවක් ලෙස ඉතිහාසයට එක්වේ.
පහතරට සංඝනායක ධුරයට පත් කරතොට හිමි උඩරට වාසය අතහැර මාතර වේරගම්පිට විහාරස්ථානයේ වාසයට පැමිණ එහි හා සංඛපාල විහාරයෙහි වැඩ වසමින් මහත් ශාසනික සේවාවක් ඉටු කළහ. මේ වන විට වෙරළබඩ ඕලන්ද බලය දැඩි ලෙස පැතිර තිබුණු අතර නාහිමියන් ඕලන්ද ආණ්ඩුකාරයාට ස්තුතිය ප්‍රකාශ කොට සංදේශයක් යෑවීම නිසා සතුටට පත් වූ ආණ්ඩුකාරයා, උන්වහන්සේට ශ්‍රී රාජාධි රාජසිංහ රජතුමාගෙන් ලැබුණු නායක පදවියේ සියලු බලතල නිසි පරිදි භාවිත කිරීමට හැකිවන ලෙස බලය පවරා සන්නසක් ලබාදෙන ලදී. තවද සංඝනායක හිමියන්ට මාස්පතා පතාග 25ක් ගෙවන ලෙසද ආණ්ඩුවට නියම කරන ලදී. මේ වන විට කරතොට ධම්මාරාම හිමියන්ගේ ශ්‍රාස්ත්‍ර ඥානය පිළිබඳ පැහැදුණු රජතුමාද මෙම හිමියන්ගේ සමීප මිතුරකු වූ අතර මේ මිතුරුදම නොරිස්සූ පිරිසක් නාහිමියන් ලන්දේසින්ට උදවු කරමින් ලන්දේසීන්ගෙන් වරප්‍රසාද පවා ලබා ගත්තේයැයි රජතුමාට මුසාබස් කියා ඇත. මෙයින් කෝප වූ රජතුමා නැවත හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙසට දොඩංවල නිලමේට නියෝග කළ අතර මේ ආරංචිය ලද කරතොට හිමියෝ පල්ලේබැද්ද සන්නසත් රැගෙන මාතර වෙහෙරගම්පිටිය විහාරයට පලාගිය බව ඉතිහාස පුවත්වල දැක්වේ. ඉන් පසුව සංඛපාල විහාරය නැවතත් වල් බිහිවූ අතර යළි විහාරය දියුණුවට පත්වී වර්තමානයේ පවතින තත්ත්වයට පැමිණියේ පසුකාලීනව ඇතිවූ බෞද්ධ ප්‍රබෝධයත් සමගිනි. කදුරුපොකුණේ සුමනජෝති හිමි, මහගම සුමනතිස්ස හිමි අත්තුඩාවේ ගුණරතන හිමි වැනි නායක ස්වාමින් වහන්සේලා වර්තමාන තත්ත්වයට මෙම විහාරය ගෙන ආ අතර වර්තමානයේ සංඛපාල විහාරය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නම් කොට තිබේ.
සංඛපාල විහාර භූමිය තුළ කටාරම් සහිත ගල් ලෙන් රාශියක් ඇති අතර ඒවා ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේ භාවනායෝගීව වැඩ සිටි ආවාස කුටි බව සඳහන්වේ. සංඛපාල කඳු පාමුල පිහිටි පැරැණි ගල්ලෙන් කීපයක් මේ වන විට බුදු මැඳුරු වශයෙන් සකස්කර ඇති අතර විහාර ලෙස භාවිත වූ පැරණි ලෙන් කුටි, නටබුන් ස්තූප මෙන්ම පැරැණි බෝධි වෘක්ෂයක්ද මෙහිදී දැකගත හැකිය. මෙම පුදබිමෙහි ක්‍රි.පූ. දෙවැනි ශතවර්ෂයට පමණ අයත් බ්‍රාහ්මී අක්ෂර සහිත ශිලා ලිපි කිහිපයක් දක්නට ලැබෙන අතර ඒවා බොහොමයක් විනාශයට පත්වී ඇත. අපහසුවෙන් කියවිය හැකි ශිලා ලේඛනවල “පුත පුශ දෙවශ ලෙණෙ ශගශ”, “පුශ දෙවශ ගුතශ දාන ලෙණෙ”,” පුශ දෙවන පුත ගුතශ දෙනෙ ලෙණෙ” ලෙස දක්වා ඇති අතර පුත්‍ර ඵුස්සදේවගේ ලෙන මහා සංඝයාට පූජා කරන ලද බවත් ඵුස්සදේවගේ සහ ගෘහපති ගුප්තගේ ලෙන මහා සංඝයාට පූජා කළ බවත් ඉන් කියැවේ. විහාරයේ පැරණි ඉදිකිරීම් සංරක්ෂණය කර ඇති අතරම පසුකාලීන දියුණුවත් සමග විහාර අංග ගණනාවක්ද මෙයට එක්වී ඇත. ඒ අතරට ඵුස්සදේව යෝධයාගේ ප්‍රතිමාවක් මෙන්ම රාජාධි රාජසිංහ රජතුමා කරතොට කීර්ති ශ්‍රී ධම්මාරාම හිමියන්ට සංඛපාල විහාරය පූජාකරන අන්දම දැක්වෙන ප්‍රතිමාවක්ද ඇතුළත්ය. ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගයේ මනස්කාන්ත කඳු ගැටයක් මත පිහිටි මේ විහාරස්ථානය එම මාර්ගයේ ගමන් කරන්නන් අතර ඉතා ප්‍රකට නැවතුම්පොළක් බවට අද වන විට පත්වී තිබේ.
යුද ජයග්‍රහණයක උදාරත්වය සහ බාරස කාව්‍ය අභියෝගයෙන් ලද ජයග්‍රහණයෙන් අභිමානවත්වූද මහරහතන් වහන්සේගේ පහසින් පරම පවිත්‍ර වූද සංඛපාල රජ මහා විහාරය අපගේ වංශ කතාව වර්ණවත් කළ ඓතිහාසික පුදබිමකි. බළන්ගොඩ මානවයාගේ යුගයේ සිට අනුරාධපුර යුගය, නුවර යුගය හරහා වර්තමාන යුගය දක්වා යුග හතරක අභිමානවත් ඉතිහාස කතාවට උරුමකම් කියන සංඛපාල විහාරය සිංහල ජාතියේ අභිමානවත් වංශකතාව ලොවට හඬගා කියනු ඇත.
අසිරු වේදිත කරුණාරත්න