Connect with us
Advertisement

Mahawanshaya

සත්තුන්ගෙ ලෙඩවලින් මිනිසුන් බේරන චීන මෙහෙයුම

Published

on

මේ වෙන විටත් “කොවිඞ් 19” හෙවත් “කොරෝනා” වෛරසය යනු ලෝකයම වෙළාගෙන ඇති දරුණුතම වූ වෛරසයකි. ඇතැම් රටවල එහි යම්කිසි පාලනයක් තිබුණද තවමත් කොරෝනා බිය ලෝකයෙන් අවසන් නැත. දැනට එහි වත්මන් තත්ත්වය පිළිබඳව සැලකීමේදී සමස්ත ලෝකය පුරාම මෙම කොරෝනා ආසාධිතයින් ගණන දැනට මිලියන ගණනකි. මරණ ගණනද ලක්ෂ ගණනින් වාර්තා වේ. ශ්‍රී ලංකාවේද අද නව කොරෝනා ආසාධිතයින් ගණන තුන්දහස පසුකර තිබෙන අතර මේ ලියන මොහොත වෙනවිට පවා මරණ දොළහක් සිදුවී තිබිණි. මෙසේ බැලූ කල කොරෝනා යනු තවත් සැහැල්ලුවෙන් බැලීමට හැකි ප්‍රාථමික ගණයේ සුළු වෛරසයක්ද නොවේ. එම නිසාම කොරෝනා ඇරඹුණු චීනය රටේ අනාගතය වෙනුවෙන් දැන් සිටම යම්කිසි ක්‍රියාදාමයක යෙදෙන්නට පටන් ගෙන තිබේ. අද අපේ කතාව චීනයේ එම ක්‍රියාදාමය ගැනය. සැබෑවටම එහි වැදගත්කම ඇත්තේ අද නොව හෙට දවසේය.

කොරෝනා වෛරස් කාණ්ඩය යනු වැඩි වශයෙන් සතුන් අතරින්ම ආරම්භ වී ව්‍යාප්ත වෙන වෛරස් කාණ්ඩයක් ලෙසද ඉතා ප්‍රසිද්ධ වී ඇත. විශේෂයෙන්ම වවුලන් වැනි ක්ෂීරපායි පක්ෂීන් මඟින් මෙම වෛරස් කාණ්ඩය ව්‍යාප්තවීමේ වැඩි ඉඩක් ඇති බව කවුරුත් පිළිගන්නා මතයකි. ලෝකයේ මුලින්ම මේ කොරෝනා වෛරසයක් සොයාගත් බව පැවසෙන්නේ වර්ෂ 1960 පමණය. ඒ කුකුළන් තුළ බෝවෙන “බ්රොන්කයිට්ස්” නම් වූ වෛරසයයි. ඒ අනුව පැහැදිලි වන්නේ වෛරස් රැසක්ම සත්වයින් මඟින් ව්‍යාප්ත වෙන බවයි. තවද පක්ෂීන් යනු මෙවැනි වූ වෛරස් ව්‍යාප්ත කිරීමේ මහා රුසියෝය. අප මුලදී පැවසූ පරිදි චීනය දැනට අතගසා තිබෙන්නේ එතැනටය.ඒ වෛරස් ව්‍යාප්තියට එලෙස දායක වෙන සත්වයින් ගැන සෙවීමටය. මෙදා ඔවුන්ගේ ආරම්භක සත්වයා වවුලාය.

සැබෑවටම මෙය ඉතාම වැදගත් පර්යේෂණයකි. ඔවුන්ගේ පර්යේෂණය වන්නේ වවුල් ගුහාවලට රිංගා වවුලන් අල්ලාගෙන එම වවුලන්ගේ ශරීරය තුළින් ලබාගන්නා විවිධ සාම්පල් කොටස් පරීක්ෂාවට ලක් කිරීමයි. ඒ හරහා අනාගතයේ සතුන් මඟින් ඇතිවෙන වෛරසයන් තුළින් මිනිසුන්ට බේරීමට හැකියාව ඇති බව ඔවුන්ගේ පැහැදිලි විශ්වාසයයි. ඒ අනුව ඔවුන් සිදුකරන්නේ කුඩා කණ්ඩායමක් ලෙස මෙම වවුලන් පදිංචිව සිටින ගුහාවන් තුළට රිංගීමයි. එසේ කිරීමට පෙර විද්‍යාඥයින් පිරිස ඊට මනාව සූදානම් වෙයි. තවද විශේෂයෙන්ම ආරක්ෂිත ඇඳුම් මෙන්ම ඝනකම් වූ අත්වැසුම් සහ ආරක්ෂිත මුහුණු ආවරණද පලඳියි. ඒ විතරක් නොව ඔවුන්ගේ සමේ පිටතට නිරාවරණය වෙන සෑම කොටසක්ම ආවරණය කරගැනීමට පවා වගබලා ගනියි. ඊට හේතුව එසේ යනවිට වවුල් වසුරු සහ වවුල් මුත්‍රා ශරීරයේ හෝ සමේ තැවරුණහොත් ඔවුන්ට හඳුනා නොගත් බිහිසුණු වූ වෛරසයන්ට ගොදුරුවීමට ඇති හැකියාවයි. මෙහිදී ඔවුන් මුලින්ම කරනුයේ අන්ධකාර ගුහා දොරටුව අසල ඔවුන් විසින් ගෙන ආ දැල් ඇටවීමයි. පසුව රාත්‍රිය වෙනතෙක් බලා සිටියි. මෙය ඉවසිලිවන්තව කළයුතු කාර්යයකි. රාත්‍රිය උදාවීමත් සමඟ වවුලෝ ගුහාවෙන් පිටතට පැමිණෙන අතර එසේ පැමිණෙන වවුලන් රංචු කෙළින්ම පැමිණ පැටලෙන්නේ විද්‍යාඥයින් විසින් එදින දහවලේ ඇටවූ දැල්වලය.

මෙසේ විද්‍යාඥයින් විසින්ම ඔවුන් ඇටවූ දැල්වලට හසුවූ සියලුම වවුලන් එකතු කර පසුව ඉතාමත් මෘදු නිර්වින්දකයක් යොදා ගනිමින් නිද්‍රාවකට පත් කරනු ලබයි. අනතුරුව මහත් පරිස්සමින් වවුලන්ගේ කුඩා ලේ නහරවලින් ලේ සාම්පල ලබාගැනීම සිදුවෙයි. ඒ අයුරින්ම මුඛයේ මෙන්ම වවුල් වසුරු ආශ්‍රිත තවත් සාම්පලයන්ද ලබාගැනීමට කටයුතු කරයි. පසුව එම සාම්පල් සියල්ල ඉදිරියේ පරීක්ෂණ කටයුතු සඳහා යොදාගන්නා බව පැවසෙයි. එහි මූලික සෘජු අරමුණ වන්නේ හඳුනා නොගත් වෛරසයන් එම සතුන් තුළ තිබේද යන්න සහ එසේ තිබේ නම් ඊට පිළියම් සොයා අනාගතයේ රටට බලපෑ හැකි මහත් අනතුරකින් රට බේරගැනීමයි. සැබෑවටම සමාජයට නව වෛරසයන් පැමිණෙන්නේ කොහෙන්ද එය මිනිසුන්ට ආසාදනය වෙන්නේ කාගෙන්ද යන්න දැන සිටීම අතිශය වැදගත් කාරණාවකි. එය යම්කිසි නව වෛරසයක් කල් ඇතුව හඳුනා ගැනීමටත් ඊට එරෙහිව පියවර ගැනීමටත් අදාළ කරුණකි. අතීතයේ ආ ඇතැම් වෛරස මෙන්ම නව කොරෝනා වෛරසයද කිසිවෙකුත් කල් ඇතුවම හඳුනාගත්තේ නැත.එහි අනිසි විපාක දැන් ලෝකයා විඳිමින් සිටියි. එනිසා මෙම වවුලන් යොදාගෙන චීනය සිදුකරන පර්යේෂණ එරටට පමණක් නොව සමස්ත ලෝකයටම ඉතාමත් වැදගත්ය.

නව වෛරස හඳුනාගැනීම මෙන්ම නව වෛරස් වසංගත වැළැක්වීම පිළිබඳව විශේෂඥයින් වශයෙන් කටයුතු කරන ඇමෙරිකාවේ තිබෙන රාජ්‍ය නොවන සංවිධානයක් වූ “Eco Health Alliance” සංවිධානයේ ප්‍රධානියා වන්නේ පීටර් ඩසාක්ය. මුළු ලෝකයා ඔහුව හඳුන්වන්නේ වෛරස් දඩයක්කරුවෙක් ලෙසිනි. ඒ ඔහු මුලින් කී පරිදි නව වෛරස හඳුනාගැනීම මෙන්ම වෛරස් වසංගත වැළැක්වීම පිළිබඳව කටයුතු කරන නිසාය. ඔහු පසුගිය වසර දහයක කාලයක් පුරාවට නව වෛරස හඳුනාගනිමින් ඉදිරියේදී ඇති වෙන්නට හැකි මහා වසංගත තත්ත්වයන් වැළැක්වීමට කටයුතු කරනු පිණිස රටවල් විස්සක පමණ තම පර්යේෂණ කටයුතු දියත් කොට ඇත. එයින්ද ඔහු වැඩි වශයෙන් පර්යේෂණ සිදු කරන්නේ වවුල් ගුහා ආශ්‍රිතවය. ඊට හේතුව දැනට ලෝකයේ බොහෝ වෛරස් ප්‍රමාණයක් ව්‍යාප්ත කරන්නේ වවුලා නිසාය. මේ වෙනවිට අපගේ ලෝකය මුහුණ පා තිබෙනා නව කොරෝනා වෛරස් වසංගතය පිළිබඳවද ඔහු දැන් තොරතුරු ගවේෂණය කරයි. එයින් නොනැවතී එම කරුණු එකතුවෙන් ඔහු සියලුම සත්ත්ව වෛරසවල විවෘත මූලාශ්‍ර අඩංගු කර වටිනා පුස්තකාලයක් පවා දැනට නිර්මාණය කරමින් සිටියි. එනිසාම අනාගතයේ ලෝකයට මුහුණ දෙන්නට සිදුවන කොරෝනා වැනි මහා වසංගත ගැන ලෝකයා කලින්ම දැනුවත් කරන්නට නුදුරේදීම විද්‍යාඥයින් හට හැකියාව ලැබෙනු ඇත. මේ අතර පීටර් ඩසාක් මහතා දැනටත් වවුල් සාම්පල් 15,000ක් පමණ එක් රැස්කර ඇති අතර එයින් මෙම කොරෝනා වෛරස් ප්‍රභේදයන් පන්සීයක් පමණ හඳුනාගත් බවද සඳහන් කර තිබේ.

මේ ලියන මොහොතේදී ලෝකයට බලපා තිබෙන “කොවිඞ් 19” හෙවත් “නව කොරෝනා” නම් වෛරසයේ මූලාරම්භකයා වන්නේද 2013 වසරේදී චීනයේ වවුල් ගුහාවකින් එවකට සොයා ගන්නා ලද එවන් වෛරස ප්‍රභේදයක් යැයි සැලකෙයි. 2003 වසරේදී “සාර්ස්” නම් වෛරසය ඇති වෙන්නට පෙර “කොරෝනා” වෛරසය පිළිබඳව අධ්‍යයනයන් කිරීම කෙරෙහි එතරම් දුරකට අවධානයක් යොමු වූයේ නැත. ඊට හේතුව ලෙස “Eco Health Alliance” මඟින් එක්රැස් කරන සත්ව සාම්පල් විශ්ලේෂණය කිරීමේ උපකරණයන් වැඩිදියුණු කරන ආයතනය වෙන සිංගප්පූරුවේ “Duke – NUS” ලෙසට නම් දැරූ ආයතනයේ වෛරස් පිළිබඳව විද්‍යාඥයෙකු වෙන “වැන්ග් ලින්ෆා” පවසා සිටින්නේ එය පරීක්ෂණ කොහෙත්ම වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්‍රයේ එතරම් ආකර්ෂණීය අංශයක් වූයේ නැති බවයි. කෙසේ වුවද මීට ඉහතදී අනාගතයේ මිනිසා වෙතට බලපෑමක් එල්ල කිරීමට හැකි නව කොරෝනා වෛරස් ප්‍රභේද දෙකක් පමණ හඳුනාගෙන තිබුණු අතර ඒ වෛරස් ප්‍රභේද දෙකම හඳුනාගනු ලැබුවේ 1960 වසරේ බවට සඳහන් වෙයි. අප මුලදී සඳහන් කළ පරිදි කොරෝනා වෛරසයේ ආරම්භයද 1960 වසරේ පමණය.

අප මෙම ලිපියට පාදක කළ වවුලන් පරීක්ෂාව මෙහෙයවනු ලබන්නේ “Eco Health Alliance” නම් වූ සංවිධානයෙන් බව මුලදී පැවසුවද ඊට කැලිෆෝනියා ඬේවිස් විශ්වවිද්‍යාලයෙන්ද සහාය දෙනු ලබයි. දැනට එරට “ස්මිත් සෝනියන්” ආයතනය හා ඉතාම ප්‍රසිද්ධ කැලිෆෝනියානු සමාගමක් වන “Wildlife Conservation Society and Metabiota” යන ආයතන දෙක එක්ව එම වසංගත රෝග හඳුනාගැනීමේ ඒකකයක් පවා එරට පිහිටුවා තිබේ. මේ සියලු දේවල් තුළින් සිදුකෙරෙන මූලික කාර්යය වෙන්නේ සතුන්ගෙන් බෝවිය හැකි නව වසංගතයන් කල් ඇතුව හඳුනා ගැනීම සහ එය මිනිසුන් අතරට ව්‍යාප්ත වෙන්නට පෙර ඒවාට පිළියම් යෙදීමයි. එය පිහිටුවා ගෙවුණු දස වසරක කාලය තුළ කොරෝනා ඇතුළු තවත් මිනිසුන්ට බලපෑ හැකි නව කොරෝනා වෛරස ප්‍රභේද කීපයක් සොයාගත් බව සඳහන්ය. එමෙන්ම වවුලන් අතර තවත් කොරෝනා වෛරස ප්‍රභේද 15,000ක් පමණ සංඛ්‍යාවක් තිබිය හැකි බවත් මේ වෙනවිටත් ඔවුන්ට සොයාගැනීමට හැකිවී තිබෙන්නේ එයින් 100 ක් පමණ බවත් ”Eco Health Alliance” සංවිධානයේ ප්‍රධානියා වෙන පීටර් ඩසාක් පවසයි. දැනට මෙම පර්යේෂණ කණ්ඩායමේ වැඩිම අවධානය යොමුකොට තිබෙන්නේ කොරෝනා ආරම්භ වූ අධික වවුල් ගහනයක් මෙන්ම හුනුගල් ගුහා පද්ධති වැඩිම ප්‍රමාණයක් ඇති චීනයේ වූහාන් ප්‍රාන්තය වෙතය.

අප මුලදී කී වවුලන් පිළිබඳ ඉහත පර්යේෂණය සිදුකරන කණ්ඩායම විසින් එම සාම්පල නයිට්‍රජන් දියරයේ බහා ගබඩා කොට ලෝකයා පුරා ඇති විවිධ විද්‍යාගාරවල විශ්ලේෂණය සඳහා යවනු ලබයි. එහිදී එම විද්‍යාගාරවලදී හඳුනාගන්නා වෛරස් DNA දත්ත “US National Center for Biotechnology Information” (NCBI) නම් ආයතනය වෙතින් පවත්වාගෙන යන්නා වූ “Gen Bank” නම් වූ පරිගණක දත්ත ගබඩාවක මේ වෙනවිටත් ඇති වෛරස දත්ත සමඟින් සසඳා බලනු ලැබේ. එවිට අප මේ මුහුණ දෙන්නේ අලුත් වෛරස් එකකටද නැද්ද යන්න තීරණය වෙයි. එහිදී වෛරසය අලුත් වෛරසයක් යැයි සැලකෙන්නේ දැනට සොයන් ඇති වෛරස්වල DNA වලට වඩා එහි DNA 20%ක් පමණ වෙනස් වෙන්නේ නම් පමණි. මේ අතර තමන් මෙසේ මුහුණ දෙන්නේ අලුත්ම වෛරසයකට බව පර්යේෂකයින්ට හඳුනා ගැනීමට හැකිවන්නේ එම වෛරසය මිනිසුන්ට ආසාදනය වී කලකට පසුව යැයි හොංකොං විශ්වවිද්‍යාලයේ වසංගත රෝග අධ්‍යයන අංශයේ “පැටි්‍රක් වූ” මහතා පවසා සිටියි. කෙසේ වුවද මේ නව කොරෝනා වෛරසය මුලින්ම මතුවෙනවිට වෛරස් විද්‍යාව පිළිබඳව වූහාන් ආයතනයේ සිටිනා වෛරස විද්‍යාඥයෙකු වූ “ෂී ෂෙන්ග්ලි” මහතා විසින් එම වෛරස පෙර කී දත්ත ගබඩාව සමග සසඳා බලා තිබේ. එහිදී නව කොරෝනා වෛරසය චීනයේ යූනාන් ප්‍රදේශයේ 2013 වසරේදී සොයාගන්නා අශ්ව ලාඩම් වවුලෙකුගේ සිරුරෙන් සොයාගත් නව කොරෝනා වෛරස ප්‍රභේදයකට 96.2%ක් සමාන වූ බව දැනටත් අනාවරණය වී තිබේ.

රුවන් එස්. සෙනවිරත්න

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive4 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ