ශ්‍රී ලංකාවේ ප්‍රධාන මහා මාර්ගය ලෙස තවමත් පැවසෙන්නේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයයි. එය ඉදිකරනු ලැබුවේ බි්‍රතාන්‍ය ජාතිකයන් හෙවත් එවකට සිටි සුද්දන් විසිනි. ඒ ඔවුන්ගේ වෙළෙඳ කටයුතු කරගැනීමේ පහසුව පිණිසය. මෙම කොළඹ මහනුවර මහා මාර්ගයේ අපූර්වතම ස්ථානයක් වන්නේ සීතල කඩුගන්නාවයි. ඉපැරණි කඩුගන්නාවේ ගල් ගෙයද රටේ ප්‍රසිද්ධ ස්ථානයකි. එහෙත් අප අද කතාබහ කරන්නේ එම ගල්ගෙය ගැන නොව ගල් ගෙය අසල ඇති විශාල කුලුන ගැනය. නමින් “කැප්ටන් ඩෝසන් කුලුන” ලෙස හඳුන්වන එය ඉපැරණි කුලුනකි. තවද එය දෙස් විදෙස් සුප්‍රසිද්ධ කුලුනක් ලෙසද හැඳින්විය හැකිය.
කැප්ටන් ඩෝසන් යනු කොළඹ මහනුවර මහා මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල පුරෝගාමියකු ලෙස කටයුතු කළ බි්‍රතාන්‍ය ඉන්ජිනේරුවෙකි. වර්තමානයේ කඩුගන්නාවේ දැකිය හැකි කුලුන හෙවත් ස්මාරකය ඇත්තේ ඔහු සිහිවීමට සහ ගෞරවයක් පිණිසය. ඔහු මෙම මහා මාර්ගය ඉදිකරන අතරතුර වර්ෂ 1829 දී මියගිය අතර ඔහු වෙනුවෙන් මෙම කුලුන ඉදිවන්නේ 1832 වර්ෂයේදීය. එහි විශේෂත්වය වන්නේ කුඹුක් ලී කඳන් මැදිව බොහෝ උසට එය ඉදිකර තිබීමයි. එය ඉදිකරනු ලබන්නේ එවකට සිටි බි්‍රතාන්‍ය පාලකයන් විසිනි. කොළඹ මහනුවර මාර්ගයේ කඩුගන්නාවේ ඉදිකර සුදු පැහැ ගන්වා ඇති එම කුලුන හෙවත් ස්මාරකය අදටත් දැකගත හැකිය.
එදා බි්‍රතාන්‍ය ජාතිකයන් විසින් මෙරට ඉදිකළ මුල්ම මහා මාර්ගය වූයේ කොළඹ මහනුවර මහා මාර්ගයයි. එහි වැඩ කටයුතු ආරම්භ කරන ලද්දේ 1820 වර්ෂයේදීය. එම මාර්ගයේ වරකාපොළ සිට අඹන්පිටිය දක්වා වූ සැතපුම් එකොළහක පමණ දුර ප්‍රමාණයේ ඉදිකිරීම් මේජර් තෝමස් ස්කිනර්ගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමටත් එහි සම්පූර්ණ දුර ප්‍රමාණයේ ඉදිකිරීම් කැප්ටන් ඩෝසන්ගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමටත් එදා නියමිතව තිබූ බව පැවසෙයි. එහෙත් සිදුවන්නේ අවාසනාවන්ත සිදුවීමකි. එනම් මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වී එහි කටයුතු සම්පූර්ණ කිරීමට ප්‍රථමව කැප්ටන් ඩෝසන් එක්වරම අසනීප වීමයි. පසුව ඔහුට ප්‍රතිකාර කරනු පිණිස කොළඹට රැගෙන යන අතර එයින් කිසිදු ඵලක් නොවන්නේ වර්ෂ 1829 මාර්තු 28 වැනි දින කොළඹදී කැප්ටන් ඩෝසන් මියයෑම නිසාය.
එසේ කැප්ටන් ඩෝසන් එක්වරම අසනීපවීමට හේතුව වන්නේ විෂ සහිත සර්පයකුගේ දෂ්ට කිරීමක් නිසා බව පැවසෙයි. එහෙත් එය විශ්වාසයක් පමණි. කෙසේ හෝ කැප්ටන් ඩෝසන් නමින් මෙසේ ස්මාරකයක් හැදෙන්නේ ඉන් පසුවය. එනම් කැප්ටන් ඩෝසන්ගේ මියයෑමත් සමඟිනි. එසේ ස්මාරකයක් හැදෙන්නට බලපාන්නේ ඩෝසන්ගේ ඉන්ජිනේරු මිතුරන්ට ආ එක්තරා සිතුවිල්ලකි. ඒ අනුව මාර්ගය ඉදිකිරීමේදී කැප්ටන් ඩෝසන් විසින් සිදුකරන ලද කැපකිරීම් ඇගයීමකට ලක්කළ යුතු යැයි සිතූ ඔහුගේ මිතුරන් ඊට අදාළ යෝජනාවක් එවකට සර් රොබට් හොර්ටන් ආණ්ඩුකාරවරයා වෙතට ඉදිරිපත් කරනු ලබයි. කැප්ටන් ඩෝසන් විසින් මාර්ගය ඉදිකරන කාලයේ සිටි බාන්ස් ආණ්ඩුකාරවරයා ඒ වන විටත් සිය තනතුරින් නික්ම ගොස් සිටීම නිසා සර් රොබට් හොර්ටන් ආණ්ඩුකාරවරයා ඊට අනුමැතිය ලබාදෙයි. කැප්ටන් ඩෝසන් වෙනුවෙන් කැප්ටන් ඩෝසන් කුලුන හෙවත් ස්මාරකය ඉදිකර ඇත්තේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ගල් ගෙය අසලය. අතීතයේ “සුද්දා ගල විද්ද ස්ථානය” ලෙස හඳුන්වන්නේද එම ඉපැරණි ගල් ගෙයයි. එමෙන්ම එදා කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය තිබුණේද මෙම ගල් ගෙය තුළිනි. එහෙත් ඉතා උස වාහන එයින් ගමන් කිරීමට නොහැකි නිසාවෙන් අද ඒ සමීපයෙන් මාර්ගය වෙනස් කර තිබේ. එහෙත් අලුත් මාර්ගයේ යන විටද එය අදටත් දැකගත හැකිය. මහනුවර දෙසට ගමන් කරනා විට ගල් ගෙය ඇත්තේ වම්පසින් වන අතර අප අද කතාබහ කරන කැප්ටන් ඩෝසන් කුලුන ඇත්තේ දකුණු පසිනි. එමෙන්ම ඊට මඳක් නුදුරින් එදා කොළඹ මහනුවර මාර්ගයේ කටයුතු සඳහා යොදාගත් ඉපැරණි යන්ත්‍ර සූත්‍රද දැකගත හැකිය.
මෙම කැප්ටන් ඩෝසන් කුලුන ඉදිකිරීම සඳහා ඊට මුල්ගල තැබෙන්නේ එංගලන්තයේ වෙලින්ටන් ආදිපාදිවරයා අනුස්මරණය කිරීම සඳහා ලන්ඩනයේ හයිඞ් පාක්හි තැනූ විශේෂ කුලුනට මුල් ගල තැබූ දිනයේදීම බව පැවසෙයි. මෙම ස්මාරක දෙකෙහිම උස ප්‍රමාණය එකක් බවද කතාවක් තිබේ. ඒ අඩි 200කි. එහෙත් ඇතැම් තැන්හි සඳහන් වන්නේ කැප්ටන් ඩෝසන් කුලුනේ උස වන්නේ අඩි 150ක් බවයි. කෙසේ හෝ මෙම කුලුනේ උස ප්‍රමාණය අඩි 150 ට වඩා වැඩි මිසක් අඩු නම් නැත. ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් වන මහනුවර නගරය වෙත ගමන් කරන ඔබටද කැප්ටන් ඩෝසන් කුලුන දැකබලා ගැනීමට හැකිය. සැබෑවටම කොළඹ සිට මහනුවරට යන ඔබ අද ගමන් කරන්නේ ඔහුගේ අධීක්ෂණය යටතේ ඉදිකළ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේය.
නලින්ද සම්පත්