නිදන් සම්බන්ධව විවිධ කතා පුවත් අසන්නට ලැබේ. ජනප්‍රවාද ඇසුරේ ඇසෙන එවැනි කතා පුවත් අතර බොහොමයක් ත්‍රාසය භීතිය අතිකරවනසුලුය. ඊට ප්‍රධාන හේතුව නිදන් සම්බන්ධව කතාබහේදී බහිරවයන් අමතක කළ නොහැකි බැවිනි. එලෙස නිදන් සහ බහිරවයන් සම්බන්ධ කතා පුවත් අතරේ ඇසෙන එක් කතාවක් මෙසේයි.
හෙතෙම අතිදක්ෂ යන්ත්‍ර මන්ත්‍රකරුවෙකි. ප්‍රදේශයේ නමගිය ගුරුකම්කාරයෙකි. යකුන් බැඳ වැඩගත් පරම්පරාවක අයෙකි. එහෙත් නිධානයක් ගන්නට ගොස් හෙතෙම බහිරවයාගේ බලයට යටත් වූයේ බහිරවයාගේ සූක්ෂ්ම සහ තියුණු බලය සහ ඥානය නිසා බව ජනප්‍රවාදයේම එයි. දිනක් සිය ගෝලබාලයන් පිරිවරාගෙන එක්තරා ප්‍රදේශයක තිබූ තරමක් ප්‍රසිද්ධ නිධානයක් ගන්නට ගියේය. අවශ්‍ය යන්ත්‍ර මන්ත්‍ර පුද පූජා කටයුතු සියල්ල නිසි පරිදි ඉටුකළ කට්ටඬි මහතා අවසාන පියවරට ළඟා වූයේ සිය ශිල්ප ඥානය නිසාමය. මොහොතකින් ගල් දොර ඇරුණේය. මේ සියල්ල ඉතා සූක්ෂ්මව බලා සිටි බහිරවයා තමාට කළ හැකි දෙයක් සොයමින් සිටින්නට ඇත.
කට්ටඬි මහතා නිධානය වෙත සමීප වෙද්දී බහිරවයා කට්ටඬි මහතාගේ ඉණ පටියෙන් ඇද්දේය. ඒ මොහොතේ කියමින් සිටියේ මන්ත්‍රයේ විශේෂ කොටසකි. සරම කැඩෙතැයි සිතූ කට්ටඬි මහතාට, ‘ඔහොප්’ යැයි කියැවීමෙන් මන්ත්‍රයේ බලය වෙනස්වී ගල් දොර වැසී ගියේ කට්ටඬි මහතාගේ පාදයක් සම්පූර්ණයෙන්ම බිලි ගනිමිනි. එදා මන්ත්‍රයේ අර්ථය වැරැදී ගිය හෙයින් වැසුණු ගල් දොර යළි කිසිවකුට කිසිදු මන්ත්‍රයකින් විවෘත කළ නොහැකි බවට එම ප්‍රදේශයේ ජනයා අදටත් විශ්වාස කරති.
මේ ආකාරයේ තවත් කතා රාශියක බහිරවයන් සිය රාජකාරි ඉටු කරන්නට ගත් උත්සාහයන් ගැන අසන්නට ලැබේ. ඇතැම් විට බහිරවයන් සියැසින් දුටුවා යැයි පවසන්නෝද සමාජයේ බොහෝ දක්නට ලැබේ. ඒ අතරින් විශාල පිරිසක් තැතිගැන්මට බියට පත්වූ බවද පවසති.