Connect with us
Advertisement

News

20න් තටු කැපෙන මහජන මුදලේ මුර දේවතාවා

Published

on

රටක මහජනතාවට (රජයට) අයිති දේපොළ තිබේ. ඒ මුදල් හදල් ගොඩනැගිලි ඉඩකඩම් යානවාහන ආදී චංචල නිශ්චල දේපොළය. ඊට ශ්‍රමය, සම්පත්, මුදල්, දේශීය සහ විදේශීය ණය, පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම්ද ඇතුළත් වේ. ඒ සියල්ල මේ රටේ සිටින දෙකෝටි විසි පන්ලක්‍ෂයකට (2,25,00,000) වැඩි මහ ජතාවට ඍජුව ආරක්‍ෂා කර ගැනීිමට නොහැකිය. රාජ්‍ය නිලධාරීන් විසින් (විධායකය) මහජන දේපොළ සහ මුදල් පරිහරණය කරනු ලබන්නේ කෙසේද යන්නද රටේ ඒ සියලු මහජනතාවට පරීක්‍ෂා කළ නොහැකිය. ඒ නිසා තම නියෝජිතයන් (පාර්ලිමේන්තුව) මගින් ඒ සඳහා කෙනකු පත්කරවනු ලබයි.
එසේ පත් කෙරෙන නිලධාරියා විගණකාධිපති නම් වන්නේය. ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකසිය පනස් හහතර වගන්තිය (154) යටතේ ඒ සඳහා අධිකාරි බලය පවරා ඇත.
විගණකාධිපතිවරයා මහජන මුදලේ මුර දේවතාවා යැයි කියන්නේ එහෙයිනි. එහෙත් විගණකාධිපතිවරයාට මහජනයා වෙනුවෙන් ඒ කාර්යභාරය ඉටුකිරීමට හැකිද? පිළිගත මැනවි. නොහැකිය. ඒ ඇයි. සාවදානව අසත්වා.
වත්තක් මුර කිරීමට මුරකාරයාට නිදහස (ස්වධීනත්වය) තිබිය යුතුය. මුරකරුට වැටුප් ගෙවන්නා වත්ත අයිතිකාරයා නොවී වෙනත් කෙනකු වූවේ නම් මුරකාරයා ක්‍රියා කළ යුත්තේ වැටුප් ගෙවන්නාගේ අණසකට යටත්ව මිස වතු හිමියාගේ අණට නොවේ. වතු හිමියාට අවනත වුවහොත් වැටුප ගෙවන්නා වැටුප් වර්ධක නොදී වැටුප් කප්පාදුවක්ද නොකර සිටින්නේද නැත. වැටුප් ගෙවන්නා වත්තේ ආදායම යටි මඩි ගසා ගත්තද මුරකරුට සිදුවන්නේ දත් කමින් ඔහුගේ බෙර පදයට නැටීමටය. එසේ නැතහොත් වැටුප් ගෙවන්නාගේ තාඩන පීඩනවලට ලක්වීමටය.
මහජනයා පැවරූ රාජකාරිය විගණකාධිපතිවරයාට ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ඉටු කරන්නට සිදුවූයේ ඔය කියන අන්දමට හෝ ඊට සමාන අන්දමකටය.
විධායකය යනු භාණ්ඩාගාරයද, ඇමැති මණ්ඩලයද, (මහජන නියෝජිතයන්ද) අතුළත් රාජ්‍ය නිලධාරීන්ය. රාජ්‍ය නිලධාරීන් අතින් වැරදීමකින් කෙරෙන හෝ හිතාමතාම කරන හෝ කිසියම් අයථා ක්‍රියාවක් අනාවරණය වීනම් එය මහජනයාට (පාර්ලිමේන්තුවට) පෙන්නාදීම (වාර්තා කිරීම) විගණකාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පැවරී ඇති රාජකාරියයි.
විගණකාධිපතිගේ රාජකාරිය දූෂණ වංචා සෙවීම හොරු ඇල්ලීම නොවේ. මහජනයා විසින් (පාර්ලිමේන්තුවෙන් හෙවත් ව්‍යවස්ථාදායකයෙන්) වෙන්කර දෙන ලද මුදල් (මූල්‍ය ප්‍රතිපාදන) තත්කාර්ය සඳහාම යෙදවිණි දැයි යන්න පිළිබඳව පරීක්‍ෂා (විගණනය) කර පාර්ලිම්න්තුවට වාර්තා කිරීමය. විගණනය මුර බල්ලා මිස දඩයම් බල්ලකු නොවන්නේය කියන්නේද එහෙයිනි. (Audit is only a watch dog,not an hound)
මහජනයා විසින් (ව්‍යවස්ථාදායකයෙන්) මහජන ශුභ සාධනය උදෙසා මුදල් වෙන් කරදෙනු ලබන්නේ නිලධාරීන්ටය (විධායකයටය) විගණකාධිපතිපති විගණනය (පරීක්‍ෂා) කළ යුත්තේ ඒ නිලධාරීන් කියන කරන දේවල්ය.
විගණනය සඳහා විගණකාධිපතිට මුදල (වැටුප් ගමන්ගාස්තු ඇතුළු දෙපාර්තමේන්තු වියදම්) වෙන්කර දෙන්නේ විධායකයයි (භාණ්ඩාගාරයයි). තමන්ගේ අඩුපාඩු පෙන්වන්නා නැත්තටම නැතිකර දමන්ට හැකි නම් එසේ නොකර ඔහුට පහසුකම් සලසන බෝසත්වරුන් නම් අපේ රාජ්‍ය සේවයේ තබා සමස්ත ශ්‍රීලංකාද්වීපයේද ඉපදී ඇත්දැයි සැකයකි.
“අපට කෙළින්නට එන එකාට කෙළිනවා යකෝ” යන ඔන්න ඔය කියන වාතාවරණය තුළ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ විගණකාධිපතිට සිය රාජකාරි කිරීමට සිදුවිය.
විගණකාධිපති දෙපාර්තමේන්තුවට මුදල් වෙන්කිරීම් (ප්‍රතිපාදන) අවම කෙරිණි. කිසියම් මුදල් අවභාවිතයක් (වංචාවක්) සිදුවන බවට (වැවක් භාගෙට ඉදිකර මුදල් ගෙවා ඇතැයි සිතමු) පෙත්සමක් ලැබුණු විට විගණන නිලධාරියකුට එය විගණනය කිරීමට යාමට මුදල් (ගමන් ගාස්තු) නැත්නම් රාජකාරිය කරන්නේ කෙසේද? භාණ්ඩාගාරය මූල්‍ය ප්‍රතිපාදන කප්පාදුකර විගණනය බෙලසුන් කළ අවස්ථා එමටය.
රාජ්‍ය ආයතනයක සිදුවූ ක්‍රියාවක් සම්බන්ධව විගණන විමසුමක් Audit Query හෝ විගණන ඡේදයක් Paragragh හෝ නිකුත් කිරීමට විගණනයට දායක වූ නිලධාරියකු විභාගයක් සමත්ව සම්මුඛ පරීක්‍ෂණයට ගිය විටෙක “මේකා තමයි අපට විරුද්ධව ඔඩිට් ක්වෙරියක් දැම්මේ”ය යන වාතාවරණයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ බිහි වූ සිරිසඟබෝලා දුසිම් ගණන්ය.
ඔය එක් පැත්තකි. අනිත් පැත්ත මහජන දේපොළ නිසි නින්දේ ගසා කෑමය. රාජ්‍ය නිලධාරීහු මහජන දේපොළ ගසා කෑහ. දේශපාලනඥයෝ ගසා කෑහ. දේශපාලනඥයන්ගේ ඔඩොක්කුවට වැටුණු නිලධාරීයෝ ගසා කෑවෝය. නිලධාරීන්ගේ සාක්කුවට වැටුණු දේශපාලනඥයෝ ගසා කෑවෝය. ඒ කෝටි ප්‍රකෝටි ගණනින්ය. (දෙදහස් හතරේ (2004) සිට දෙදහස් අට (2008) පමණ වන තෙක් ලක්බිම පුවත්පතේ සති පතා වැටත් නියරත් විශේෂාංගය යටතේ මේ ගසා කෑමේ විගණන වාර්තා දීර්ඝ වශයෙන් පළ විය)
විගණකාධිපතිවරයා කොපමණ විගණන වාර්තා පාර්ලිමේන්තුවට :ගිණුම්කාරක සභාවට-P.A.C. සහ රාජ්‍ය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට COPE ඉදිරිපත් කළත් මහජනයාට එමගින් මේ වන තුරු සිදුවූ යහපතක් ඇත්තේ දැයි විමසිය යුතුය. ඊට පිළිතුරද නැත යන්නය. අඩුම වශයෙන් මහජනයා අතර විගණන වාර්තාවක් සම්බන්ධයෙන් “හාවක් හූවක්” හෝ ඇති වුණා නම් ඇතිවුණේ හඳුන්නෙත්ති මහත්තයා (ඒ මහත්තයාට ගෞරව වේවා) සභාපතිව සිටි කාලයේය. නැතහොත් සාකච්ඡා කර සිසිල් බීම වීදුරුවක් පානය කර සභා තොමෝ සතුටින් විසිර ගියාහු යැයි දතයුතු.
ඇත්ත වශයෙන්ම මේ තත්ත්ව නැති කිරීමට නොහැකිනම් අඩුම වශයෙන් අවම කර මහජන දේපොළ ආරක්‍ෂා කිරීමට විගණකාධිපතිවරයාට ලැබිය යුත්තේ කවර වරමක්ද යන්න වසර තිහකටත් වැඩි කාලයක් තිස්සේ ඩබ්ලිව්. ගාමිණී ඈපා, සරත් මායාදුන්නේ, ඇස්.ඇම්. සබ්‍රි, ස්වර්ණ ජෝති, ඩබ්ලිව්. ප්‍රේමතිලක සහ ගාමිණී විජේසිංහ යන විගණකාධිපතිවරුන්ගේ නිලකාලවලදී රජයට යෝජනා වාර්තා කර ජාත්‍යන්තරයේ (වෙනත් රටවල) විගණනයට ඇති ස්වාධීනත්වය ලබා දෙන ලෙසට ඒ ඒ ආණ්ඩු යටතේ නිල වශයෙන් ඉල්ලීම් කෙරිණි. කන්නලව් කෙරිණි. උද්ඝෝෂණද කෙරිණි. ඒ සියල්ල කෙරුණේ මේ රටේ මහජන දේපොළ ආරක්‍ෂා කිරීම සඳහාය.
එහෙත් මේ රටේ දූෂණයට වංචාවට මහජන දේපොළ ගසා කෑමට රාජ්‍ය ආයතනවල ඉහළ පුටුවලට අධිගෘහිත (අරක්ගෙන සිටින) ආණ්ඩුවක් වෙනස් වූ විට ටයි පටිය වෙනස් කරන දූෂිත නිලධාරීන් (සියල්ලන්ම නොවේ) ඒ සඳහා වළ කැපුවා මිස ඉඩ දුන්නේ නැත. එහි ප්‍රතිවිපාකය, මේ රටේ උරුමය ඇති දෙකෝටි විසි පන් ලක්‍ෂයකට (2,25,00,000) වැඩි සියලුදෙනාම එක් අයකු මේ වන විට රුපියල් හය ලක්‍ෂයක (6,00,000) තරම් ලෝකෙට ණයකාරයින් වීමය.
මහජන දේපොළ ආරක්‍ෂා කිරීමට විගණකාධිපතිවරයාට අත්‍යාවශයෙන්ම තිබිය යුතු අධිකාරි බලය කවරේදැයි යන්න ගැන වසර තිහකට වැඩි කාලයක් තිස්සේ සිටි සියලුම විගණකාධිපතිවරුන් විසින් (රටේ වෙසෙන ක්‍ෂේත්‍රය පිළිබඳ බුද්ධිමතුන්ගේ එකඟතාවෙන්) රජයට ඉදිරිපත් කරන ලද ඒ සියලුුම ඉල්ලීම්වල තිබූ හරය මෙසේ කැටි කොට දැක්විය හැකිය.

  1. මූල්‍ය ස්වාධීනත්වය Financial Independence
  2. පරිපාලන ස්වාධීනත්වය Administrative Independence
  3. අධිභාර බලය Power of surcharge
    මූල්‍ය ස්වාධිනත්වය යනු මූල්‍ය ප්‍රතිපාදන භාණ්ඩාරය හරහා නොව පාර්ලිමේන්තුවෙන් එක එල්ලේම වෙන්කර දීමය.
    පරිපාලන ස්වාධීනත්වය යනු විගණකාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල පත්කිරීම්, මාරු කිරීම්, උසස් කිරීම් විනය කටයුතු කෙරෙහි ස්වාධීනත්වයක් තිබිය යුතු බවය.
    මහජන දේපොළ ආරක්‍ෂා කිරීම උදෙසා විගණකාධිපතිවරයාට අත්‍යාවශයෙන්ම තිබිය යුතු බලය “අධිභාර බලයයි” අධිභාර බලය යනු රජයට (මහජනයාට) කිසියම් අලාභයක් නොසැලකිල්ල නිසා හෝ දූෂණ වංචා නිසා හෝ මහජනයාට (රජයට) කිසියම් හානියක් සිදුවී ඇත්නම් ඊට වගකිවයුතු නිලධාරියාගෙන් හෝ නිලධාරීන්ගෙන් හෝ එය ආපසු අය කර ගැනීමට ඇති බලයයි.
    රටේ මහජනතාව මෙහිදී දැනුවත් වියයුතු කරුණක් ඇත. මේ රටේ මහජන අයිතියට (රජයට) තිබූ ලාභ ලබන ආයතන විශාල සංඛ්‍යාවක් සමාගම් බවට පත්කෙරී තිබේ. එයා ලංකා ගුවන් සමාගම, ටෙලිකොම් ආයතනය, පීපල්ස් ලීසී සමාගම සහ සිවිල් ගුවන් සේවා සමාගම ඊට උදාහරණ වේ. එසේම ලාභ ලැබූ තේ, පොල්, රබර් වතු ටිකද සමාගම් අතට ගියේය. සංස්ථා, මණ්ඩල සහ අධිකාරි වැනි අර්ධ රාජ්‍ය ආයතනද Semi Government රාශියකි. මේවා ඇතැමුන්ගේ ගසාකෑමේ තෝතැනි බවට දීර්ඝ කාලයක් තිස්සේ පත්කර ගනු ලැබ ඇත.
    මේ සියල්ල විගණනය කිරීමේ බලය විගණකාධිපතිවරයාට නැත. ඒවා විගණනය කෙරෙන්නේ පෞද්ගලික විගණන ආයතන මගිනි. පෞද්ගලික සමාගමකට විගණන කටයුතු පැවරීමේදී අදාළ රාජ්‍ය ආයතනය භාර ද්ශපාලනඥයාට ඒ සඳහා බලපෑමක් කළ නොහැකි යැයි සීතීමට උගහටය.
    මේ අන්දමින් විගණකාධිපතිවරයාට විගණනය කළ නොහැකි රාජ්‍ය ආයතන තුන්සියයකට (300) වඩා තිබිණි. (දහනම වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත විගණන සේවා කොමිසම යටතේ එම ආයතන විගණන කිරීමේ බලය බලය විගණාකාධිපතිවරයාට පැවරණි.)
    මේ වන විටත් පළාත් පාලන සහ විශ්වවිදා්‍යාල සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාට අධිභාර බලය පැවරී ඇත. විගණකාධිපතිවරයා පමණක් නොව මේ රටේ සාධු සම්මත මහජනතාවගේ ඒකායන ඉල්ලීම සියලුම රාජ්‍ය ආයතන කෙරෙහි බලපාන අන්දමින් විගණකාධිපතිවරයාට අධිභාර බලය පවරා දියයුතු බවයි.
    මේ රටේ දූෂිත නිලධාරීන් සහ දූෂිත දේශපාලනඥයන් සිටිනතාක් මේ අධිභාර බලය නම් නොලැබෙන බව ඉර හඳ මෙන් පැහැදිලිය.
    මේ උත්තරීතර බලය ලැබුණු විට කිසිදු නිලධාරියකුට මුදල් අවභාවිතයක් කළ නො හැක්කේය. අනිවාර්යයෙන්ම රාජ්‍ය ආයතනවල වග කිව යුත්තේත් Responsibility වග විය යුත්තේ Accountability අමාත්‍යාංශලේකම්වරයා හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියාය. ඒ අමාත්‍යංශ ලේකම්වරයා හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියා (මහජනයාට) පාර්ලිමේන්තුවට වගකිවයුතු පිළිවෙළින් ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා හෝ ගණන්දීමේ නිලධාරියා හෝ වන හෙයිනි.
    දහනම වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ විගණන සේවා කොමිසම සහ ප්‍රසම්පාදන කොමිසම යන ස්වාධීන කොමිසම් දෙක හඳුන්වාදෙනු ලැබීණි. ඒ යටතේ සියයට සියයක්ම නැතත් අඩුපාඩු මධ්‍යයයේ හෝ කිසියම් ප්‍රමාණයකට විගණකාධිපතිවරයාට මූල්‍ය සහ පරිපාලන මෙන්ම අධිභාර බලයද හිමි විය.
    එහෙත් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් දහනම වැනි ව්‍යවස්ථාව අහෝසි වන විට විගණන සේවා කොමිසම සහ ප්‍රසම්පාදන කොමිසම යන ස්වාධීන කොමිසම් දෙකද නිරායසයෙන්ම අහෝසි වන්නේය. විගණන කොමිසම අහෝසිවන විට එමගින් බලාත්මක විගණන පනතද අහෝසි වන්නේය. විගණන පනත අහා්සි වූ විට එම පනතින් විගණනයට බලය පැවරුණු බලයද (කාර්ය භාරය) අහෝසි වන්නේය. එසේ වූ කල්හි බලාත්මක මහජන මුදලේ ආරක්‍ෂකයාගේ (විගණකාධිපති වරයාගේ) ස්වාධීනත්වයද අහෝසිවී තටු කැපී යන්නේය. ජාතික විගණන කාර්යාලය නැත්තටම නැතිවන්නේය.
    එසේ වුවහොත් සමාගම් බවට පත් කෙරුණු තුන්සියයකට (300) වැඩි රාජ්‍ය ආයතන විගණනය කිරීමේ බලය විගණකාධිපතිවරයාට නැතිවීමයි. එසේ වූ විට වන්නේ මහජනයා යළිදු කබලෙන් ළිපට වැටීමය. බඩගෝස්තරවාදී සමාගම්කාරයින්, දූෂිත නිලධාරීන් සහ දේශපාලනඥයින් උඩ පිනුම් බඩ පිනුම් පමණක් නොව කස්තිරම්ද ඇල්ලීමයි.
    ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ උත්තරීතර මැතිතුමනි, මේ රටේ එක්කෝටි හැත්තෑ ලක්‍ෂයකට (1,70,00,000) ආසන්න පිරිසක් දහඩියෙන් පෙඟුණු දැත්වලින් ඔසවා කඩා හැලෙන සන්තෘෂ්ඨියේ කඳුළුධාරා දැස්වලින් වගුරුවමින් තම කරපිටින් ඔබතුමා ඔසවාගෙන ගොස් ජනාධිපති ආසන මස්තකප්‍රාප්ත කළෝ තමන් ලෝකෙට ගෙවිය යුතු ණය ගෙවා තම දරුවන්ට වේලක් කා වේලක් සැනසී සිටීමේ අපේක්‍ෂාවෙනි.
    ‘ඒ සඳහා මේ රටේ සුවාහසූ දහසක් ජනතාව දෑස් දල්වා බලා සිටින්නේ අන් කවරකු දියාවත් නොව ඔබතුමා දෙසය. ඔවුන් යහසාධක ශුභවර්ධක ආණ්ඩුක්‍රම සංශෝධනයකට අබමල් රේණුවක තරම් විරෝධතාවක් කිසිසේත්ම නැත.
    එහෙත් තමන්ගේ දේපොළ (මහජන දේපොළ) ආරක්‍ෂා කරන මුර දේවතාවාට (විගණකාධිපති) දහනම වැනි (19) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලද ස්වාධීනත්වය ආරක්‍ෂාකර දෙන ලෙසට ඔවුහු ඉතා ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිති.

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ හිටපු විගණන නිලධාරි චන්ද්‍රසේන මාරසිංහ

මහරජ අතේකෝට්

කේළම් කාරයෝ එමටය. තමන්ගේ බඩ වඩා ගැනීමට අයෙක් කේළම කියති. කෙනකුගේ දියුණුව දකිනු බැරි ඉසියෝද (ඊර්ෂා කාරයෝ) කේළම් කියති. එකිනෙකා කොටවන්නටද කේළාම් කියන්නෝ සිටිති. ඔය කොයිදේත් නපුරුය.
ගිහියන්ට පමණක් නම් මදැ. මහා සංඝරත්නයටද එරෙහිව ඇතැම්හු කේළම් කියති. රාජාධි රාජ සිංහ රජුගේ ගුරුතුමා වූ මොරතොට හාමුදුරුවන්ට එරෙහිවද රජතුමාට කේළම් කීවේ ගුරු ගෝල සම්බන්ධය පවා බිඳවන්නටය. කියපු කේළම අද රටේ හැටියට නම් ඒ තරම් බරපතළ එකක් නොවේ. හාමුදුරුවන් හම්බ වෙන්නට රෑට රෑට ස්තිරියාවක් එන බවය. හාමුදුරුවන්ගේ හොර අල්ලන්න සිතූ රජතුමා ගැහැනු ආයිත්ම්වලින් සැරසී පන්සලට ගොස් හාමුදුරුවන්ගේ කුටියේ fදාරට තට්ටුවක් දැම්මේය. තට්ටු කරන්නාට තට්ටු නොවුණත් fදාර ඇරුණේ නම් නැත. පහනක් පත්තු වෙන බවක් පෙනෙන්නට තිබුණේද නැත. එහෙත් කුටියේ කවුළුවක් නම් විවෘතව තිබිණි. සයනය වරින් වර කිරිස් කිරිස් ගා ඇඹරෙන හඬින් හාමුදුරුවන් සයනයේ නිදිවර්ජිතව සිටින සෙයක් රජතුමා සිතුවේය. ඒ නිසා මං ආවා යැයි නොකියා කියන්නට වළලු සිලිං බිලිං ගා සෙලවූ ගැහැනු රජතුමා අත කවුළුවෙන් ඇතුළට දැම්මේය. තම ගෝලයාගේ කට්ටකං උප්පරවැට්ටි අඳුනා ගන්න බැරි තරම් කෙනෙක් නොවූහ හාමුදුරුවෝ. ඒ නිසා අත අල්ලා ගත් හාමුදුරුවෝ “අයිඩින්ටිෆිකේෂන්” එක කවියෙන්ම මෙසේ දුන්හ.
සක ල මුව තඹර සිය ගත සිව්මැ ලි යේ
ඇසළ මස දුටිමි යනවා දෙව් කෙ ළි යේ
අසල කනම් නිතර දැකුමට සිතු ඇ ලි යේ
සකල සිරි ලකට අග රජ නුඹ ද ලි යේ

අමර ගුරු හරණ සත දත් මනා ව න්
විතර නොවන ගුණ නැණ සපිරිනා ව න්
පවර නමැති මොර තොට හිමි නා ව න්
සසර වසන තුරු මට වාසනා ව න්

ක්ලියෝපැට්‍ට්‍රායි කොට නාහෙයි

If the nose of the Cleopatra had been shorter,the whole face of the earth would have been changed.-Blaise Pascal (1623-1662)
ක්ලියොපැට්ට්‍රාට කොට නාසයක් තිබුණේ නම් සමස්ත පෘථිවි තලයේම මුහුණත ද වෙනස් වන්නට තිබිණි. බ්ලේස් පැස්කල් (1623-1662)

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ