Connect with us
Advertisement

News

අද්භූත නකල්ස් වනයේ භාවනා කරන සුදු හාමුදුරුවන් සොයා ගිය ගමන

Published

on

ඉන්දියාවේ හිමාල වනයේ භාවනානුයෝගීව වැඩ වාසය කරන භික්ෂූන්වහන්සේලා, යෝගීන්වහන්සේලා ගැන අපි ඕනෑ තරම් තොරතුරු අහලා තියෙනවා. අපේ රටෙත් වනාන්තර ඇතුළේ භාවනානුයෝගීව වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා ඉන්න බව අපි අහලා තියෙනවා. ඒත් ඒ භික්ෂූන් වහන්සේලා දැක ගන්න හරි අමාරුයි. ඉන්දියාවට හිමාලය වගේ තමයි අපේ රටට නකල්ස්. හිමාලය තරමටම නැති වුණත් නකල්ස් රක්ෂිත වනාන්තරය හරිම විශාලයි. ඒ වගේම සුන්දරයි. ඒ තරමටම අද්භූතයි. තවමත් මේ ඉසව්වේ මිනිස් පා පහස නොලද තැන් බොහොමයි. මෙන්න මේ චමත්කාරජනක භූමියේ වැඩ වාසය කරන විදේශීය ස්වාමීන් වහන්සේලා කිහිප නමක් ගැන මීට ටික කාලයකට කලින් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ආන්දෝලනයක් ඇති වුණා. නකල්ස් ගන වනාන්තරයේ වැඩ වාසය කරන මේ විදේශීය ස්වාමීන් වහන්සේලා සමාජ මාධ්‍ය ඔස්සේ ඒ ඡායාරූප ප්‍රසිද්ධ කළා. ඒ ඡායාරූප ඉතාම සිත්ගන්නාසුලුයි. ලංකාවේ අපිවත් ගිහින් නැති නකල්ස් වනාන්තරයේ සැඟවුණු ඉසව්වල අරගෙන තිබුණු ඒ ඡායාරූප ගැන බොහෝ දෙනා කතා කරන්න පටන් ගත්තා. ඒ හරහා නකල්ස් කැලේ ඉන්නවා කියන සුදු ස්වාමීන් වහන්සේ ගැන බොහෝ දෙනා හොයන්න බලන්නත් පටන් ගත්තා. අපි මේ පළ කරලා තියෙන්නෙත් උන්වහන්සේලා සමාජ මාධ්‍ය වෙත මුදා හැරිය ඡායාරූප. ඒ බව මුලින්ම කියලා ඉන්න ඕනෑ.
ඒ සුදු ස්වාමීන් වහන්සේලා භාවනානුයෝගීව වැඩ වාසය කරන්න නකල්ස් වනාන්තරය තෝරා ගත්තේ ඇයි කියන එක ගැන බොහෝ දෙනෙක් කතා කරන්න ගත්තා. ඉන්දියාවේ හිමාල වනාන්තරයේ වගේම අපේ නකල්ස් වනාන්තරයත් විශ්ව ශක්තිය ගබඩා වුණු තැනක් කියලා බොහෝ දෙනෙක් කියන්න ගත්තා. සුදු හාමුදුරුවරු නකල්ස් වනයට වැඩම කරලා තියෙන්නේ ඒ හින්දා කියලත් සමහරු කියන්න ගත්තා. හැබැයි ඒ කිසිම දෙයක් තාම හෙළිදරව් වෙලා නැහැ.
ඒත් මීට ටික කාලයකට කලින් සමාජ මාධ්‍ය එක්ක තිබුණු ගනුදෙනුව නවත්වන්න උන්වහන්සේලා කටයුතු කරලා තිබුණා. උන්වහන්සේලා විසින් ෆේස්බුක් ජාලයේ සහ ඉන්ස්ටර්ග්‍රෑම් ජාලයේ පවත්වාගෙන ගිය ගිණුම් දෙකම එක පාරටම නවත්වලා තිබුණා. ඒ එක්කම සමාජ මාධ්‍ය හරහා උන්වහන්සේ ගැන හොයා බැලුව වැඩි දෙනකුටත් ඒ කතාව අමතක වෙලා ගියා.
නකල්ස් කැලේ වැඩ වාසය කරන සුදු ස්වාමීන් වහන්සේලා ගැන ලොකු උනන්දුවකින් හිටිය කෙනෙක් තමයි මව්රට පුවත්පතේ ප්‍රධාන කර්තෘ තුෂාර ගුණරත්න මහත්මයා. සුදු හාමුදුරුවරු සමාජ මාධ්‍යවලින් අතුරුදන් වීමත් එක්ක උන්වහන්සේ ගැන බොහෝ දෙනකුට අමතක වෙද්දී, ඒ අතුරුදන් වීම අපේ කර්තෘතුමාට ප්‍රශ්නයක් වෙලා තියෙන බව අපිට තේරුණා. ඒ වගේම ඒ හාමුදුරුවන්ට මොකද වුණේ කියන එක හොයන්න කියලා එතුමා අපිට පැවරුවා. ඒ විතරක් නෙවෙයි ඒ වැඬේ ඉක්මනින් කරන්න කියලා එතුමා අපිව නිතරම උනන්දු කරන්න ගත්තා.
ඒ හින්දම මේ වැඬේ ඉක්මනින් කරන්න අපි තීරණය කළා. ඒත් ඒක ලේසි වැඩක් වුණේ නැහැ. ඒකට ප්‍රධානම ප්‍රශ්නය වුණේ මේ සුදු හාමුදුරුවරු වැඩ වාසය කරන්නේ නකල්ස් වනාන්තරයේ කොයි ඉසව්වේද කියලා හොයා ගන්න එක. එහෙම නැතිව ගිහින් නකල්ස් කැලේ පීරලා හාමුදුරුවරු හොයන එක කරන්න බැරි වැඩක්. ඒ හින්දා ගමනට දින දාගන්න කලින් අපි මුලින්ම කළේ මේ හාමුදුරුවරු වැඩ වාසය කරන්නේ මොන ඉසව්වෙද කියලා හෝඩුවාවක් හොයා ගන්න උත්සාහ කරන එක. ඒ ගැන අපි අපේ කැලෑ කොලම එක්ක සම්බන්ධ වෙන වනජීවී එකත් එක්ක ගොඩක් සමීප මහත්වරුන්ගෙන් ඇහුවා. ඒත් ඒ අයත් ඒ ගැන හරි තොරතුරක් දැනගෙන හිටියේ නැහැ. “මව්රට හොලිඬේ” විශේෂාංගය හරහා නකල්ස් වනාන්තරය ගැන බොහෝ ලිපි පළ වෙලා තිබුණත් ඒ එකකවත් මේ හාමුදුරුවරු ගැන කිසිම සඳහනක් තිබුණෙත් නැහැ. ඒ හින්දා ඒ හෝඩුවාව හොයා ගන්න එක හිතන තරම් ලේසි වැඩක් වුණේ නැහැ.
අන්තිමට හාමුදුරුවරු වාසය කරන ඉසව්ව ගැන හරියටම දැන ගන්නේ නැතිවම අපි ගමනට දින දා ගත්තා. මහ කැලේ දවස් දෙකක්, තුනක් ඉන්න ඕනෑ කරන බඩු මුට්ටු සූදානම් කර ගත්තා. හවසට පොඞ්ඩක් ඇවිදලා කැලේ ඇතුළේ ඇවිදින්න ඇඟට පෙර සූදානමක් දුන්නා. මේ ඔක්කොම එක්ක ගමන යන්න දවස ළං වුණා. කලින් කිව්වා වගේම නකල්ස් කියන්නේ මහා විශාල වනාන්තරයක්. තොරතුරු නොදැන ඇතුළට ගියොත් අතරමං වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මධ්‍යම පළාතේ මහනුවර සහ මාතලේ කියන දිස්ත්‍රික්ක දෙකටම අයත්වයි මේ වනාන්තරය පිහිටලා තියෙන්නේ. අපේ අතක් මිට මෙළෙව්වම පේන්න තියෙන හැඩය සහිත කඳු මුදුන් පහකින් සමන්විත වීම හින්දයි මේ කඳු පන්තිය නකස්ල් විදියට නම් කරන්න සුදු ජාතිකයන් තීරණය කරලා තියෙන්නේ. ඊට කලින් දුම්බර කඳුවැටිය විදියට තමයි මේක හඳුන්වලා තියෙන්නේ. නකල්ස් කැලේ ඇවිදින්නත් මාර්ග කිහිපයක්ම තියෙනවා. මහනුවර, වත්තේගම හරහා බඹරැල්ලට ගියාම තමයි නකල්ස් මුදුන් පහට යන මාර්ගය හමු වෙන්නේ. ඊට අමතරව දුම්බර ඇල්ල, දූවිලි ඇල්ල සහ ඉන්ෆිනිටි පූල් නමින් හැඳින්වෙන් බොහොම සුන්දර ස්ථාන රැසකුත් මේ කැලය ඇතුළේ තියෙනවා. දුම්බර සහ දූවිලි ඇලි වෙත යනවා නම් ඒ ගමනට මාර්ග දෙකක් තියෙනවා. එකක් අපි කලින් කිව්ව බඹරැල්ල හරහා. අනෙක් එක මාතලේ, රත්තොට, ඇටන්වල හරහා.

සුදු හාමුදුරුවරු සමාජ මාධ්‍යයන් වෙත මුදා හැරිය ඡායාරූප එකතුවේ ඉන්ෆිනිටි පූල් අසල ගත්ත ඡායාරූපයකුත් දකින්න ලැබුණා. ඒ හින්දා සුදු හාමුදුරුවරු හොයා ගෙන මාතලේ, රත්තොට, ඇටන්වල හරහා නකස්ල් මහ වනයට ඇතුළු වෙන්න අපි තීරණය කළා. ඇටන්වල ඉඳන් දවසක, දෙකක අති දුෂ්කර ගමනකින් පස්සේ ඉන්ෆිනිටි පූල් වෙත ළඟා වෙන එක තමයි අපේ සැලසුම වුණේ. කොහෙන් ගිහින් කොහෙන් මතු වෙයිද කියලා නිශ්චිතව කියන්න බැරි හින්දා, වෙනදා යන ඔෆිස් වාහනේ වෙනුවට පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමින් මේ ගමන යන්නත් අපි තීරණය කරලා තිබුණා.
හැබැයි ගමන යන දවසට කලින් දවස වනතුරුත් මේ ගමන ගිහින් සුදු හාමුදුරුවරු හොයා ගන්න අපිට පුළුවන් වේවිද කියන සැකය සම්පූර්ණයෙන් දුරුවෙලා තිබුණේ නැහැ. ඒ හින්දා ගමන යන දවස වනතුරුත් මේ ගැන විස්තර හොයන එක අපි නතර කරලා තිබුණෙත් නැහැ. අපේ වාසනාවට කොළඹින් ගමන පිටත් වෙන්න පැය දෙකකටත් අඩු කාලයකදී අපිට සුදු හාමුදුරුවෝ ගැන හරි හෝඩුවාවක් හම්බ වුණා. “මචං හාමුදුරුවෝ ඉන්නේ බඹරැල්ල කිට්ටුව.” මව්රට හොලිඬේ එක්ක නිතරම සංචාරක අත්දැකීම් බෙදා ගන්න නකල්ස් කැලේ ගොඩක් තැන්වල හොඳ හැටි කරක් ගහල තියෙන චාමර වීරතිස්ස සහෝදරයා තමයි ඒ සුබ ආරංචිය දුන්නේ.
ඒ ආරංචියත් එක්ක වහාම අපි අපේ ගමන් සැලසුම් වෙනස් කෙරුවා. ඇටන්වල යන්න හිටිය අපි බඔරැල්ලේ යන්න කොළඹින් නුවර බස් එකට ගොඩ වුණා. ඒ එක්කම නුවර යාළුවෙකුගෙන් මහනුවර ඉඳන් බඔරැල්ලට යන ලේසිම විදිය අහ ගත්තා. කොළඹ කොටුවෙන් පාන්දර 1.30ට පිටත් වුණු සී. ටී. බී. බස් රථය හරියටම පාන්දර 4.30 වෙද්දී මහනුවරට ළඟා වුණා. එතැනින් 4.40ට පිටත් වුණු මාතලේ දුම්රියෙන් අපි වත්තේගමට ගියා. වත්තේගම බස් නැවතුමේ තිබුණු තනි දොරේ ලේලන්ඞ් ලිනක්ස් බස් රථය හරියටම පාන්දර 6.10ට බඔරැල්ල බලා පිටත් වුණා. වත්තේගම ඉඳන් පන්විලට යනකම් කාපට් පාර. එතැන් ඉඳන් නම් යන්තම් බස් එකට විතරක් ඉඩ තියෙන, තාර කට්ටේ ගැලවුණු, අංශක 90ට ආසන්න වංගු පිරුණු, අබලන් පාරක තමයි ගමන යන්න වුණේ. එතැන් ඉඳන් ගමන ගිය පාරත් පුදුම ලස්සනයි. අපේ ඇස් මානයට පේන තරම් එක යායට කොළ පාට. ඉඳහිටලා එහා වංගුවෙන් මතු වෙන වාහනය එනකම් බස් එක මෙහා වංගුවේ නවත්වාගෙන. මොකද වාහන දෙකකට හැම තැනදිම මාරු වෙන්න ඒ පාරේ ඉඩ නැහැ.
කොහොම හරි මේ දේවල් විඳිමින් කුකුල් නින්දකුත් එක්ක උදේ 8 වෙද්දී සීතල බඹරැල්ලෙන් බැහැ ගන්න අපිට පුළුවන් වුණා. බස් නැවතුමක් කිව්වට එතැන තියෙන්න බස් එක හරවන්න පොඩි ඉඩකුයි, පුංචි කඩයකුයි විතරයි. චාමර කිව්ව විදියට සමහර දවස්වලට සුදු හාමුදුරුවරු මේ බඹරැල්ලටත් උදේට පිඬු සිඟා වඩිනවා. ඒ හින්දා බැහැපු ගමන් අපි කළේ කඬේට ගිහින් විස්තර අහපු එක. “සුදු හාමුදුරුවෝ අද උදෙත් පිණ්ඩපාතේ වැඩියා. පාන්දර 6.30ට විතර. හැබැයි ආයේ කවදා මේ පැත්තට ඒවිද කියලා නම් කියන්න බැහැ”. ඒ තමයි කඬේ හිටිය නැන්දා අපිට දීපු උත්තරේ. ඒ කියන්නේ අපිට පැය එකහමාරකින් සුදු හාමුදුරුවෝ මඟ හැරිලා. ඒත් එහෙමයි කියලා අපිට ආපහු හැරෙන්න බැහැ. අපි කොහොම හරි සුදු හාමුදුරුවෝ හොයා ගෙන යන්නම ඕනෑ.

හාමුදුරුවෝ හොයා ගෙන කුටියට යන එක තමයි අපේ ඊළඟ සැලසුම වුණේ. ඒත් ඒක සාර්ථක වුණේ නැහැ. මොකද අවේලාවේ කුටියට ගිහින් උන්වහන්සේලා එක්ක කතා කරන්න බැහැ කියලත් කඬේ නැන්දා අපි එක්ක කිව්වා. හාමුදුරුවෝ ඊළඟ දවසේ බඹරැල්ලට පිණ්ඩපාතේ වඩින්නෙත් නැහැ. එහෙනම් අපි මොකද කරන්නේ. ඒ කතාව ඊළඟ සතියේ කියන්නම්. යූරෝපීය රටක ඉපදිලා සියලු සැප අත්හැරලා සීතල මහ වනයක් මැද දුෂ්කරක්‍රියා කරන ඒ සුදු හාමුදුරුවන්ව මුණගැහෙන්න අපි කෙරුව දුෂ්කරක්‍රියාව ගැනත් ඊළඟ දවසේ කියන්නම්. දකුණු අතේ පච්චයක් කොටපු පඬු පාට කෙටි සිවුරුක් ඇඳපු සුදුම සුදු පාට හමක් තියෙන ස්වාමීන් වහන්සේ නමක් කූඩැල්ලෝ පිරුණු ලේ බේරෙන කකුල් දෙකක් එක්ක පිණ්ඩපාතේ වඩින ඒ අතිශය දුර්ලභ සුන්දර දර්ශනය ගැනත් ඊළඟ සතියේ කියන්නම්. එතකම් සිත පහන් කර ගන්න.

චන්දන පොන්නම්පෙරුම

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive4 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ