Connect with us
Redmi 9C
Advertisement

Exclusive

‘අංගොඩ ලොක්කා’ ඝාතනයේ රහස් ඉන්දීය පත්තරයක් පළමුවරට හෙළිකරයි

Published

on

සිනාව ඉනාවක් බව අපේ ආප්තෝපදේශයකි. සිනාව ඉනාවක් වී ඇත්තේ කෙනකු වසඟ කර ගැනිමේ ප්‍රවේශය සිනාව බැවිනි. සිනාවක් නැති මිනිහා වෙළෙඳ ව්‍යාපාරයක් ආරම්භ නොකළ යුත්තේය යන මතවාදය ගොඩ නැගී ඇත්තේද ඒ හේතුවෙනි. බ්‍රින්දාවනම්ට මන මෝහන සිනාවක් පමණක් නොව ඕනෑම කෙනකු ආශක්ත (හිතවත්) කර ගැනීමේ කතා ශෛලියක්ද තිබේ. වැඩි දෙනා දැපනෙ වැටෙන ඔහුගේ භාෂා ශෛලියද මුඛරිකමක් නම් නොවේ. ඔන්න ඔය කියන හැකියාව නිසා ඔහුගේ අවන්හලට බත් කෑමට බොහෝ දෙනා ආවෝය. ගියෝය. අවනක් යැයි කීවාට එය පොඩි මඩුවක්ය. එසේ වුවත් කටට රහට දෙන කෑම ටිකට වැඩි ගණනක් අය කෙළේද නැත. පළාතේ සෑම කෙනකුම පාහේ ඔතෙන්ට ආව ගිය හෙයින් බි්‍රන්දාවානම් නොදන්නා කෙනකු වී නම් ඔහු පළාතට අමුත්තෙකි. අනෙක් අතට ඒ හරියේ ජීවත් වුයේද සීමිත පිරිසකි. ජනාකීර්ණ නොවූ හෙයින් පරිසරයද නිසන්සලය. ශාන්තය. පදිංචිකරුවෝද එදාවේල සොයා ගන්නා අන්දමේ ආර්ථික මට්ටමේය.එහෙත් ඔය බත් කඩය තිබුණේ කොයිම්බතෝර් නගරයට ආසන්න බාලාජිනගර් ගම්මානයේය. ඔහුගේ බත් මඩුව අසන්නයේම වැදගත් පෝසතකුගේ පෙනුමක් තිබුණු මහත දෙහෙත අයකු ජීවත් වූ තට්ටු දෙකේ නිවෙසක්ද තිබුණේය.
පසුගිය පළමු වැනිදා (අගෝස්තු 1දා) දාවල් කෑමට කඬේට හත් අටදෙනකු ඇවිත් සිටි මොහොතේ ජීප් හත අටක නැගී සන්නද්ධව පැමිණි පොලිස් නිලධාරීන් සහ සාමාන්‍ය ඇඳුමින් සැරසුණු හැඩි දැඩි පිරිසක් තට්ටු දෙකේ මන්දිරය වටලා අර වැදගත් මහත්තයා අල්ලා ගෙන ගියෝය.
ඒ සිද්ධියෙන් බ්‍රින්දාවනම් මඳක් සලිත වුවේය.
“මොකද දන්නෙ නෑ ඒ මහත්තයා අල්ල ගෙන ගියේ” කෑම කන්නට ආ අයෙක් කීහ.
“අපේ පොලිසියට මිනිස්සු අල්ලාගන යන්ඩ වැරැද්දක් තියෙන්නම ඕනැයැ” කෑම කන ගමන්ම කෙනෙක් ඊට පිළිතුරු වශයෙන් කීය.
“කාටවත් කරදරයක් නැති විදිහට තමන්ගේ පාඩුවේ ජීවත් වෙච්චි කෙනෙක්” බ්‍රින්දාවනම් සියල්ලන්ටම ඇසෙන්න කීවේය.

ලොක්කා ජීවත් වූ නිවස

සතියකට වරක් දෙකක් ඔය මහත්තය ගෙදර කුණු මල්ල ඇරගෙන ඇවිල්ල පාරෙන් එහා පැත්තෙ තියෙන කුණු බක්කියට දානවා. ඒ එන්නෙ ඉර බැහැල අඳුර වැටුණාමයි. එහෙම ඇවිත් ආපහු යන සමහරදාට මෙහාට ඇවිත් තෝසෙ දෙකක් ඔතාගෙන යනවා. වැඩි කතාබහක් නෑ. කැඩිච්චි දෙමළෙන් කතා කෙරුවේ.
දවසක් මම කඬේ වැඩ කරකර ඉන්න කොට පොලිසියෙ මහත්තයෙක් ඇවිල්ල ෆොටෝ එකක් පෙන්නල ඇහුව මේ මනුස්සය දැකල තියෙනවද? කියල. ඒ ෆොටෝ එකේ මනුස්සයගෙ උරිස්සෙ පච්චයකුත් කොටල තිබ්ණා.
“මම නෑ කීව” කඬේ වැඩ කරන අත්උදව්කරු (වේටර්) එසේ පවසා” ඔය මනුස්සයත් එක්ක සමහර දවස්වලට ගෑනු කෙනකුත් ඉන්නව මම දැක්කා. තමන් යමක් දන්නා බව පැවසීමට මෙන් කීවේය.
එහෙත් ඊට පසුදා (2දා) නාලිකාවක ප්‍රවෘත්තිවලින් අර මහත්තයාගේ ඡායාරූපය පෙන්වමින් විස්තර කියන විට බ්‍රින්දාවනම් පමණක් නොව අහල පහල උදවිය පවා විමතියට පත් වූහ. ඒ මහත්තයා ලංකාවේ නම ගිය අපරාධකාරයකු බව ප්‍රවෘත්තියන් කියැවිණි.

අංගොඩ ලොක්කා නැතහොත් ප්‍රදීප් සිං, එසේත් නැතහොත් මද්දුමගේ ලසන්ත චන්ඳන පෙරේරා නමැත්තා හොර රහසේ ඉන්දියාවට පැමිණ හොර රහසේ ජීවත්ව සිටියදී අභිරහස් අන්දමින් මිය ගොස් ඇති බවත්, මරණය නොවිසඳුණු ප්‍රශ්න ගණනාවක් ඉතුරු කර ඇති බවත් ප්‍රවෘත්තියෙන් කියැවිණි.
අංගොඩ ලොක්කා ප්‍රදීප් සිං නමින් ඉන්දියාවේ බාලාජි නගරයේ විසූ සමයේ කිසියම් අන්දමකින් කතා බහ කර තිබූ අයකු හෝ සිටියේ නම් ඔහුගෙන් පවා ප්‍රශ්න කරමින් පොලීසිය පරීක්‍ෂණ පවත්වා තිබේ.
මරණය සම්බන්ධයෙන් පැවැත්වුණු පරීක්‍ෂණයේදී අනාවරණය වූ කරුණු තමිල්නාඩුවේ ජනමාධ්‍යවේදියකු වන විල්සන් තෝමස් මෙසේ වාර්ථා කර තිබිණි.
අංගොඩ ලොක්කා ජීවත් වූ තට්ටු දෙකේ නිවස අසල බත් කඩයක් පවත්වාගෙන ගිය බ්‍රින්දාවනම් සහ ඔහුගේ අතවැසියා (වේටර්) ඉහත සඳහන් කරුණු ප්‍රකාශ කර තිබුණේ ඒ මරණ පරීක්‍ෂණයට අදාළ ප්‍රශ්න කිරීම්වලදීය.
අංගොඩ ලොක්කා තම වාසස්ථානයට ආසන්නව තිබූ කායවර්ධනායතනයකට නිරන්තරයෙන් ගිය අයෙකි. එම ආයතනයේ හිමිකරු වන ප්‍රභූ සාක්‍ෂි වශයෙන් කියා තිබුණේ ප්‍රදීප් සිං පසුගිය වසරේ (2019) අගොස්තු මාසයේ සිට තම කායවර්ධන ආයතනයට පැමිණි බවය. අඩු කතාබහක් තිබූ ඔහු ගැන ඊට වඩා යමක් තමා නොදන්නා බවද කට උත්තරයට කියා ඇත. වැඩිදුර යමක් දැන ගැනීම කායවර්ධනායතනයේ සහ ඒ ආසන්නයේ චෙරාන් මා නගර් කැමරා පරීක්‍ෂා කර ඇතත් ඒවා මකා දමා තිබේ.
තමිල්නාඩු ජනමාධ්‍යවේදී විල්සන් තෝමස්ගේ විස්තරයෙහි අංගොඩ ලොක්කා ශ්‍රී ලංකාවේ කළ කී අපරාධ සම්බන්ධයෙන් ද කරුණු සඳහන් කර ඇත.
ඒ මෙසේය. අංගොඩ ලොක්කාගේ නම ඉන්දියාවේ එතරම් ප්‍රචලිත නැතත් ශ්‍රී ලංකාවේ අපරාධ රැසකට සම්බන්ධ අයකු බව මාධ්‍යවලින් කියයි. මත්කුඩු ජාවාරමට සම්බන්ධ කිසියම් කෙනකු අත්අඩංගුවට ගැනුණේ නම් ඒ හාම අංගොඩ ලොක්කාගේ නම කියැවීමද වරදින්නේ නැත. ඔහු ලංකාවේ මිනීමැරීම් ගණනාවකටද, නීති විරෝධී වැලි හැරීම්වලටද, බලෙන් ඉඩම් අත්පත් කර ගැනීම්වලටද, කප්පම් ගැනීමේ සිද්ධීන්වලටද සම්බන්ධ බවට ලංකාවේ මාධ්‍යවල නිතර පළ වෙයි. බන්ධනාගාර රැඳවියන් ප්‍රවාහනය කරන රථයකට දෙදහස් දහ හතේදී (2017) වෙඩි තබා පාතාල නායකයකු වූ “සමයං ඇතුළු” තවත් කීප දෙනකු ඝාතන සිද්ධියේ මොළකාරයා අංගොඩ ලොක්කාය. ශ්‍රී ලංකා පොලිසිය විශ්වාස කරන අන්දමට අංගොඩ ලොක්කා රටින් (ලංකාවෙන්) පැන ඇත්තේ බන්ධනාගාර රථයට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසුවදාය.
එ හෙත් ඔහු දෙදහස් දහ හතේ මාර්තු පළමු වැනිදා (2017.03.01) මන්නාරමේ සිට බෝට්ටුවකින් ඉන්දයාවට පැමිණ තිබේ. මන්නාරම සහ ඉන්දියාව අතර ඇත්තේ පටු මුහුදු පරතරයකි. එය පෝක් සමුද්‍ර සන්දියෙන් වෙන්ව ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා (ඒ දිනවල) පැවසුවේ අංගොඩ ලොක්කා ඉන්දියාවට පැන යන්නට ඇතැයි සැක කරන බවය. ඒ කාලයේ මාකඳුරේ මධුෂ් සිටියේද ඩුබායිවලය. මාකඳුරේ මධුෂ් පාතාලයේ කුඩු රජෙකි. අංගොඩ ලොක්කාද ඉන්දියාවෙන් මධුෂ් සොයා ඩුබායිවලට පැන යන්නට ඇතැයිද සැකයක් තිබිණි.
මාකඳුරේ මධුෂ් ඇතුළු සහචරයන් ඩුබායිවලදී අත්අඩංගුවට පත්ව ශ්‍රී ලංකාවට එවනු ලැබූ සිද්ධිය ලංකාවේ මාධ්‍යවල ප්‍රධාන පුවත බවට පත් වුවත් අංගොඩ ලොක්කා සැඟ වී සිටින ස්ථානයක් ගැන කිසිදු සඳහනක් එම ප්‍රවෘත්තිවල නොවිණි.
අංගොඩ ලොක්කා සහ ඔහුගේ සහචරයකු වන අතුරුගිරියේ ලඩියා චෙන්නායිවලින් පැනගොස් ඇති බවට පුවතක් දෙදහස් දහ අටේ (2018) මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සන්ඬේ ඔබ්සවර් පුවත් පතෙහි පළවිය. මේ පිළිබඳව ශ්‍රීලංකා පොලිසිය ප්‍රකාශ කර තිබුණේ පාතාල කල්ලි අතර යුද්ධයක් පවතින බවය. මධුෂ් සහ අංගොඩ ලොක්කා පිටරට සිට මේ යුද්ධ මෙහෙයවන බවය. මේ දෙදෙන දෙදහස් දහහත (2017) සහ දෙදහස් දහඅට (2018) අතර කාලයේදී පොලිස් නිලධාරියකු ඇතුළුව මිනිස් ඝාතන ගණනාවක් කර ඇති බවට පොලිස් ප්‍රකාශන මාධ්‍යවල පළවිය.
වැඩිදුරටත් කරුණු දක්වන විල්සන් තෝමස්ගේ ලිපියේ සඳහන්ව ඇත්තේ එරට (ඉන්දියාවේ) පොලීසිය මහත් වෑයමකින් අංගොඩ ලොක්කාගේ රූප සටහනක් නිර්මාණය කළ බවයි. එහි ප්‍රතිපලයක් වශයෙන් අංගොඩ ලොක්කා කොයිම්බතෝර් ප්‍රදේශයේ බාලාජි නගර්වල නිවෙසක දෙදහස් දහඅටේ (2018) සිට පදිංචිව සිටින බවට තොරතුරු ලැබුණු බවයි. එපමණක් නොව අංගොඩ ලොක්කා බාලාජි නගර් ප්‍රදේශයේ සිට කිලෝ මීටර් පහක් පමණ දුරින් වූ සරවනම්පති ප්‍රදේශයේද වාසය කර ඇති බවටද තොරතුරු පොලීසියට ලැබී ඇත.
කට්ටි පනින අපරාධකාරයා පසුගිය ජූලි මාසයේ මුල් භාගයේදී ඉන්දියාවේදී ඝාතනය කරනු ලැබ ඇති බවට තොරතුරු ශ්‍රී ලංකාවේ මාධ්‍යවල පළවී තිබිණි. අංගොඩ ලොක්කාගේ මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වූයේ අන්වර්ථ නාමයකින් පෙනී සිටි ඔහු ජූලි තුන් වැනිදා (3දා) මිය ගොස් ඇති බවයි.
පරීක්‍ෂණ පවත්වන පොලීසිය මධුරෛ දිස්ත්‍රික්කයේ පදිංචි තිස් හය හැවිරිදි ඩී. සිවකාමසුන්දරී නමැති අධිනීතිඥවරියක ඇතුළු තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකාර අධිනීතිඥවරියගේ කණිෂ්ඨ නීතිඥවරයකු වූ ඉරෝඞ් දිස්ත්‍රික්කයේ පදිංචි තිස් දෙහැවිරිදි එස්. දියනේශ්වරන් සහ අංගොඩ ලොක්කාගේ හිතවතියක වූ තණ්ජි යන අය මෙසේ අත් අඩංගුවට ගැනිණි. (තණ්ජි ශ්‍රී ලංකාවාසී කාන්තාවකි. ඇය මේ වර්ෂයේ 2020 – මාර්තු මාසයේදී අංගොඩ ලොක්කා සොයා ගොස් තිබේ.) අපරාධයක් සඳහා කුමන්ත්‍රණය, කූඨ ලේඛන සැකසීම සහ අපරාධකරුවකුට ආරක්‍ෂාව සැපයීම සැකකරුවන් තිදෙනාට එරෙහි චෝදනාවලින් සමහරකි. අංගොඩ ලොක්කාගේ මරණය සම්බන්ධයෙන් පළමු මූලික වාර්තාව සටහන් කෙරී ඇත්තේ පීලමෙඩු පොලිස් ස්ථානයේය.
අංගොඩ ලොක්කා සිය වාසස්ථානයේ හෘදයාබාදයකින් සිහිසුන්ව වැටී සිටිය දී ඔහු සමග විසූ තණ්ජි නමැත්තිය විසින් අසල්වැසියන් දෙදෙනකුගේද සහායෙන් ඔහු (අංගොඩ ලොක්කා) පෞද්ගලික රෝහලකට භාර දුන් බවට ඒ සටහනය. ජූලි තුන් වැනිදා (3) පෙරවරු නමයයි තිහට (9.30) එසේ භාරදී ඇති බවද පොලිස් වාර්ථාවේ දැක්වේ.
සිරුර පරීක්‍ෂා කළ රෝහල් වෛද්‍යවරයා සිරුර ගෙනා තණ්ජිට පවසා ඇත්තේ ඒ වන විටත් ඔහු (අංගොඩ ලොක්කා) මිය ගොස් සිටි බැවින් මළ සිරුර කොයිම්බතෝර් වෛද්‍ය විද්‍යාලීය රෝහලට භාරදෙන ලෙසටය.
මේ අවස්ථාවේ දී තණ්ජි සිය හිතවතිය වූ අධිනීතිඥ ඩී. සිවකාමසුන්දරීගේ සහය පතා තිබේ. ඒ අවස්ථාවේදී මධුරෛයි දිස්ත්‍රික්කයේ සිට පැමිණි ඇය තමා මරණකරු වන ප්‍රදීප්සිංගේ ඥාතිවරියක බවත්, මරණකරුගේ පදිංචි ස්ථානය මධුරෛයි බවත් පොලිසියට පවසා ඒ ප්‍රදේශයේ ලිපිනයක්ද ඉදිරිපත් කර අවශ්‍ය සියලු ලේඛන පුරවා ජූලි පස් වැනිදා (5දා) පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට කටයුතු යොදාගෙන තිබේ.
ඉන් අනතුරුව ජූලි පස් වැනිදා (5) මරණ පරීක්‍ෂණයෙන් පසුව අංගොඩ ලොක්කාගේ මළ සිරුර අධිනීතිඥ ඩී. සිවකාමසුන්දරී විසින් භාර ගනු ලැබ මධුරාපුරයට (මධුරෛ) ගෙනගොස් ආදාහනය කර තිබේ.
විල්සන් තෝමස්ගේ ලිපියේ සඳහන් අන්දමට මධුරාවේදී කෙරුණු අංගොඩ ලොක්කාගේ අවසන් කටයුතු පිළිබඳව දර්ශන අඩංගු වීඩියෝ පටයක් ලංකාවේ වෙසෙන ඔහුගේ (අංගොඩ ලොක්කාගේ) ඥාතීන්ට ලැබෙන්නට සලස්වා ඇත. (මේ සිදුවීම ලංකාවේ මාධ්‍යවලින් ඇසු දුටු එකක් බව විල්සන් තෝමස් සඳහන් කරයි)
ලාංකික කාන්තාව අංගොඩ ලොක්කා සමග විසු බව කියන ආරංචිය පොලීසියට මේ අතර ලැබීමෙන් අනතුරුව පොලීසිය යළිදු පරීක්‍ෂණයක් කිරීමෙන් අධිනීතිඥ ඩී. සිවකාමසුන්දරී ඇතුළු සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ. විල්සන් තෝමස්ගේ ලිපියේ සඳහන් අන්දමට ප්‍රදේශයේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියකු කී බව කියන්නේ 2017 දී අනවසරෙන් ඉන්දියාවට ගොස් සිටියදී අංගොඩ ලොක්කා චෙන්නායි පොලීසියෙන් අත්අඩංගුවට ගත් බවකි. අනතුරුව ඒ චෝදනාවට ඇපමත නිදහස් වුවත් අංගොඩ ලොක්කා ආපසු ලංකාවට පිටමං කළාද එසේ නැතිව ඉන්දියාවේම රැඳී සිටින්නට අවසර දුන්නාදැයි යන්න ගැන පොලීසියට හරි අවබෝධයක් නැති බවය.
තමන්ට ලැබුණු වැඩිමනත් තොරතුරු අනුව පරීක්‍ෂණ පවත්වන විට ප්‍රදීප් සිං (අංගොඩ ලොක්කා) සතුව තිබූ ආධාර පත බටහිර බෙංගාලයෙන් ලබා ගෙන ඇති බවත්, පසුව එහි ලිපිනය මධුරෛවලට මාරුකර ගෙන ඇති බවත් අනාවරණය වු බව පොලිසිය කියයි.

මරණකරුගේ මරණය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විශේෂ කණ්ඩායම් හතක් (7) ස්ථාපනය කර තිබේ. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් ඉන්ස්පෙක්ටර් ජනරාල් පවසන්නේ කොයිම්බතුරේදී මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු කර ගත යුතුව ඇති බවය. එතකුදු වුවත් මියගිය පුද්ගලයා අංගොඩ ලොක්කා බවට සිවකාමසුන්දරීගේත්, දියණේශ්වරන්ගේ සහ තාණ්ජිගේ ප්‍රකාශන අනුව මරණකරු අංගොඩ ලොක්කා බවට තොරතුරු ලැබී ඇති බවත්, ඔහු ශ්‍රී ලාංකික සරණාගතයකු බවට හඳුනාගෙන ඇති බවත්, එහෙත් මේ තොරතුරු සනාථ කර ගැනීමට අධිකරණමය පරීක්‍ෂණයක් අවශ්‍ය බවත් ප්‍රාදේශීය පොලිසිය ප්‍රකාශ කර තිබේ.
තාණ්ජි විසින් යොදවන ලද කලහකාරීන් විසින් අංගොඩ ලොක්කා මරා දැමූ බවට පැතිරී ඇති කටකතා පොලිසිය ගණන්ගනු නොලබන්නේ පශ්චාත් මරණ පරීක්‍ෂ වාර්තාවේ තීරණය දැන ගන්නා තෙක් යැයි පොල්සිය පවසා ඇත. යම් හෙයකින් එහි මරණය අස්වාභාවික මරණයක් යැයි සඳහන් වුවහොත් සිවකාමසුන්දරී, දියණේශ්වරන් සහ තාණ්ජි යන තිදෙන ප්‍රකාශ කරන පරිදි මරණය සිදුවූයේ හෘදයාබාදයකින් බව කියන කතාව පසෙකලා පරීක්‍ෂණ පවත්වන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
තාණ්ජි මෙසේ ලොක්කා ඝාතනය කිරීමට හේතුව වී ඇත්තේ ඇගේ සැමියා දෙදහස් දහ හතේදී (2017) මරා දැමීමේ සිද්ධියට අංගොඩ ලොක්කා සම්බන්ධ බව කියන සිද්ධිය නිසාවෙනි.
කෙසේ වෙතත් වෝහාරික වෛදා්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති මරණ සහතිකයේ මරණය අස්වාභාවික එකක් බවට සඳහනක් නැති බව හින්දු පුවත්පතේ සඳහන් කර ඇති බව විල්සන් තෝමස් සිය ලිපියේ දක්වා ඇත. එහෙත් පශ්චාත් මරණ පරීක්‍ෂණයට දායක වූ ජ්‍යේෂ්ඨ ශල්‍ය වෛදා්‍යවරයකු සඳහන් කර ඇත්තේ මරණකරුගේ ඇඟිලි සහ පා නිය පොතු නිල් පැහැ ගැන්වී තිබුණු බවයි. එහෙත් වෝහාරික ශල්‍ය වෛදා්‍යවරයා පැවසුවේ මේ අන්දමින් පාට වෙනස්වීම හේතූන් කීපයක් නිසා විය හැකි බවය. ඔක්සිජන් ඌණතාවය, හෘදයාබාදයකින් මිය යාම, ගෙල මිරිකීම යන හේතුවලින් එසේ නිල් පහැ ගැනෙනවා මිස වස දීමකින් නොවන බව ඔහු පවසයි. මරණකරුගේ සිරුරේ බාහිර හෝ අභ්‍යන්තර හෝ තුවාල නො වේ නම් මරණය අපරාධයක් සේ තැකීමට වාතාවණයක් නැතැයිද ශල්‍ය වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. වසදීමක් පිළිබඳව සැක කිරීමටද සාක්‍ෂි නැති බව සඳහන් කර ඇත.
මරණය සම්බන්ධව රසායනික පරීක්‍ෂණ වාර්තාව ලැබෙන තුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට මග බලා සිටියි. සිරුරේ කොටස් කීපයක් රසායනික පරීක්‍ෂණ සඳහාද යවා තිබේ.
පරීක්‍ෂණ කඩිනම් කර වාර්තා ලබා දෙන්නැයි අපි ඒ ඒ පරීක්‍ෂණ කණ්ඩායම්වලින් ඉල්ලීම් කර තියෙනවා යැයි මේ සම්බන්ධයෙන් වෝහාරික වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානි ටී. ජෙයසිං කියයි.
ලොක්කට පදිංචියට ගෙයක් හොයල දීල තියෙන්නේ දියනේශවරන් යැයි පොලිසිය කී බව තම ලිපියේ සඳහන් කරන විල්සන් තෝමස් මාධ්‍යවේදියා පොලිසිය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසා ඇති තොරතුරු සිය ලිපියේ මෙසේද දක්වා ඇත.
තාණ්ජි මේ අවුරුද්දේ (2020) මාර්තු මාසයේ මුල් භාගයෙදී ඉන්දියාවෙ මධුරෛයි ගුවන් තොටුපොළෙන් බැහැල සිවකාමසුන්දරීගෙ උදව්වෙන් ලොක්කගෙ කොයිම්බතෝර්වල ගෙදරට ගිහින් තියෙනවා. ඇය පොලිසියට කියල තියෙන්නෙ කොරා්නා වෛරසය නිසා ගුවන් තොටුපොළවල් වහලා පළාත ලොක්ඩවුන් කරලා නිසා ලංකාවට යන්න බෑ කියලයි.
දියනේශ්වරනුයි, සිවකාමසුන්දරියි අංගොඩ ලොක්කට අවස්ථා කීපයකදිම නොසෑහෙන්න උදව් කරල තියෙනවා. එයාට නාහෙට ප්ලාස්ටික් සැත්කමක් කරගන්න උදව් කරල තියෙන්නෙත් ඒ දෙන්නා. නාහෙට ප්ලාස්ටික් සැත්කමක් කරන්නේ ඇයි කියල වෛදා්‍යවරුන් ඇහුවාම ලොක්කා කියල තිනේනෙ තමන් රඟපාන්න යනවා, ඒනිසා මුහුණෙ හැඩය ලස්සන කරගන්න නාහෙ වෙනස් කරනවා කියලයි.

හිතාගන්න බැරි තරම් මුදල් ඇවිත්

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්ස්පෙක්ටර් ජනරාල්වරයා මෙසේ කිය.
අංගොඩ ලොක්කා ලංකාවෙ මන්නාරමේ සිට තමිල්නාඩුවට ආරක්‍ෂක අංශවලටත් හොරෙන් ආවෙ කොහාමද කියන එකත් ප්‍රශ්නයක්. මේ සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානෙන් සහය ලැබුණද කියලත් අපි හොයනවා. ලොක්කාගෙ අතීත ක්‍රියාකාරකම් ගැන හොයන විට තවත් බොහේ දේ අනාවණය වෙලා තියෙනවා. ලොක්කගෙ බොහෝ ක්‍රියාකාරකම්වලට සහය දීල තියෙන අධිනීතිඥ සිවකාමසුන්දරීගෙ බැංකු ගිණුම් ගණනාවකට හිතා ගන්නත් බැරි තරමේ මුදල් තොග තැන්පත් කෙරෙමින් ගනුදෙනු වෙලා තියෙනවා. ඇගේ පියා තිනකරන් දෙදහස් හයේදි (2006) තමිල්නාඩුවේ සිවඥාණම් දිස්ත්‍රික්කයේ මානමදුරෙයි පොලිසියට කොටුවෙලා තියෙනවා. එසේ කොටු වෙලා තියෙන්නෙ ලංකාවට එවන්න පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටිද්දි. මේවා ගැන වැඩිදුරටත් පරීක්‍ෂණ කෙරෙනවා.

ලොක්කා ජංගම දුරකතන පාවිච්චි කරලා නෑ

කොයිම්බතොරේ නගර පොලිසියේ නියෝජ්‍ය කොමසාරිස් ටී. ස්ටාලින් මෙසේ කීය.
පරීක්‍ෂණ පවත්වන පීලමෙඩු පොලිසියට තාණ්ජිට, දිණේශ්වරන්ට සහ සිවකාමසුන්දරීට අයිති ජංගම දුරකතන, ටැබ්ලට් සහ සිම්කාඞ්පත් විශාල ප්‍රමාණයක් හමුවෙලා තියෙනවා. ඒත් ලොක්කා ජංගම දුරකතනයක් පාවිච්චි කරන බවක් මෙතෙක් අනාවරණය වෙලා නෑ. ඔහු තමන්ගෙ ආහාර අවශ්‍යතා පවා ඩිලිවරි සේවා ඇණවුම්වලින් ගෙන්නගෙන තියෙන්නෙ ලියුම් කෑලිවලින් මිස ජංගම දුරකතනවලින් කතා කරල නෙමෙයි. ලොක්කාගෙ නිවසේ තිබිල සිංගප්පූරු සහ ඇමරිකානු ඩොලර් වාගෙම ඩිනාර් විශාල තොගයක් සොයාගත්තා. මේ සම්බන්ධයෙන් දැන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ පවත්වනවා.

‘ද හින්දු’ පුවත්පතේ පළවූ ලිපිය පරිවර්තනය කළේ චන්ද්‍රසේන මාරසිංහ

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)