Connect with us
Advertisement Redmi Note 9

Exclusive

පාස්කු වාර්තාවේ රහස් එළියට CID SPECIAL

Published

on

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තා කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කළ ජනාධිපති කොමිසම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පවා ඉදිරියට පවත්වාගෙන ගියේ ඒ වන විට කතෝලික ජන සමාජය තුළ කොමිසම කෙරෙහි දැඩි විශ්වාසයක් ගොඩනැගී තිබුණු බැවිනි. කතෝලික ජනතාවගේ නායකයා ලෙස සැලකෙන අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් අගරදගුරු හිමියන් නිරන්තරයෙන් හඬ නැගුවේ ප්‍රහාරය පිටුපස සිටින මහ මොළකරුවන් මෙන්ම ඊට අනුබල දුන්නෝ කවුරුන්දැයි සොයන්න කියාය. පාස්කු ප්‍රහාරයෙන් පසු පැවැති ජනාධිපතිවරණ සහ මහා මැතිවරණ වේදිකාවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබුණේද පාස්කු ප්‍රහාරයයි. පාස්කු ප්‍රහාරකයන් පෝෂණය කළේ මුස්ලිම් සුළු පක්ෂ සහ එම පක්ෂවලට නායකත්වය ලබාදෙන දේශපාලනඥයන් බවට චෝදනා පවා එල්ල විය. වසර එකහාමාරකට වැඩි කාලයක් තිස්සේ පැවැති පාස්කු කොමිසමේ අවසන් වාර්තාව දැන් එළියට පැමිණ අවසන්ය. ඊට අනුව කතෝලික ජනතාව ප්‍රමුඛ මුළු රටක්ම බලා සිටි සාධාරණය පාස්කු කොමිසමෙන් ඉෂ්ඨ වී තිබේදැයි මේ වන විට සමාජය තුළ ඇතිව තිබෙන්නේ දැඩි කථාබහකි. ඒ පාස්කු කොමිසමෙන්ද ප්‍රහාරය පිටුපස සිටින මහ මොළකරුවන් සැඟවී ඇති බැවිනි.

ඥානසාර හිමි පළමු ප්‍රහාරය එල්ල කරයි

කෙසේ වෙතත් මෙම කොමිසන් සභා වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමේදී කොමිසමේ සාමාජිකයන් නම් විශ්වාස කළේ මෙරට ඉතිහාසයේ සුවිශේෂී වාර්තාවක් බවට මෙය පත්වනු ඇති බවටය. මෙම කොමිසන් සභා වාර්තාව ඓතිහාසික වාර්තාවක් වනු ඇතැයිද කොමිසම ආරම්භයේ සිට අවසානය දක්වා එහි ක්‍රියාකාරීත්වය අධ්‍යනය කළ බොහෝ දෙනා සිතූහ. එහෙත් මේ වන විට කොමිසන් සභා වාර්තාවේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් එල්ලවන විවේචන අති මහත්ය. බොදුබල සේනා සංවිධානයේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොමිසන් සභා වාර්තාව ගැන විවේචනයක් කරන්නේ අනාගත දේශපාලන බල උවමනාව සදහා කාගේ හෝ තක්කඩි දේශපාලනඥයෙකුගේ මැදිහත්වීමක් මත වාර්තාවේ බොදුබල සේනා සංවිධානයට විරුද්ධව කරුණු ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවටය.
පාස්කු කොමිසන් සභා වාර්තාව සම්බන්ධයෙන් ඥාණසාර හිමියන්ට එවැනි විවේචනයක් ඇත්තේ කොමිසන් සභා වාර්තාවෙන් උන්වහන්සේට චෝදනා එල්ලකරමින් උන්වහන්සේ නියෝජනය කරන බොදුබල සේනා සංවිධානය තහනම් කිරීමට නිර්දේශ කර තිබීම හේතුවෙනි. මෙම නිර්දේශයට තදින්ම බලපානු ලබන්නේ 2013 සහ 2014 යන වර්ෂවලදී මහරගම සහ අලුත්ගම පැවැති බොදුබල සේනා රැස්වීම් දෙකකදී උන්වහන්සේ ජනතාව අමතමින් කළ දේශනාවන්ය. මෙම නිර්දේශය ඉදිරිපත් වන්නේද එම රැස්වීම්වලදී උන්වහන්සේ කළ ප්‍රකාශ ඇතැම් මාධ්‍ය විකෘති කර පළකර තිබුණු බව සාධක සහිතව කොමිසම හමුවේ පෙන්වා දීමටද ඥනසාර හිමියන් සමත්ව තිබුණු පසුබිමකදීය.
ඥානසාර හිමියන් සටන් කළේ මුස්ලිම් අන්තවාදයට එරෙහිවය. උන්වහන්සේගේ ක්‍රියාකලාපය නොවන්නට අද වන විට අන්තවාදී වහබ්වාදය මේ වන විට මුළු රටම වෙලාගෙන හමාරය. වහබ්වාදී අධ්‍යාපනයන් ලබාදෙන අධ්‍යාපන නිකේතන රැසක් ගැන මෙන්ම වහබ්වාදය පතුරුවන්නන් ගැන නිරන්තරයෙන් ඥානසාර හිමියෝ හඩ නැගූහ. පාස්කු කොමිසම හමුවේද දින ගණනාවක් රැයක් දවාලක් නොමැතිව උන්වහන්සේ වහබ්වාදීන් ගැන දීර්ඝ ලෙස සාක්ෂි ලබාදුන්නේ සූෆි මුස්ලිම්වරුන් යැයි කියන සාම්ප්‍රදායී මුස්ලිම්වරුන්ට පවා වහබ්වාදීන්ගෙන් එල්ලවන තාඩන පීඩන ගැන හෙළිකරමිනි. සූෆි මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් පාසල් පෙළපොතේ ඇති කරුණු ඉවත් කර ඊට වහබ්වාදී කරුණු අඩංගු කිරීම් ගැන ඉස්ලාම් පෙළ පොත් කොමිසම හමුවට ඉදිරිපත් කරමින් උන්වහන්සේ සාක්ෂි ලබාදුන්නේද කොමිසන් සභාවේ සාක්ෂි විභාගයන් පවා නව මානයකට රැගෙන යමිනි. ඒ අනුව සූෆි මුස්ලිම්වරුන් කිහිප දෙනෙක්ම කොමිසම හමුවට කැඳවා කළ සාක්ෂි විභාගයේදීද ඥානසාර හිමියන් සම්බන්ධයෙන් පළවූයේ යහපත් ආකල්පයන්ය. එසේ තිබියදී ඥානසාර හිමියන්ට නඩු පැවරීමේ හැකියාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවට වූ’නිර්දේශය සමාජයේ මේ වන විට දැඩි කථාබහකට ලක්ව හමාරය.

මේ ගැන ඥානසාර හිමියන් අදහස් දක්වන්නේ අන්තවාදී ක්‍රියා හෙළිකිරීම වරදක් නම් තමන් වහන්සේ ඕනෑම දේකට මුහුණ දීමට සූදානම් බවය. “අධිකරණ ඇමති අලි සබි්‍රගේ ගුරුවරයා ඔස්තාද් මන්සූර්. ඔහු වහබ් දේශකයෙක්. ඒ බව කරුණු ඇතිව තොරතුරු වාර්තා කළා. ඔහුගේ හොඳයි කොමිසන් සභා වාර්තාවේ තියෙන්නේ. කොමිසන් වාර්තාව විකෘතියක්“ කොමිසන් සභා වාර්තාව සම්බන්ධයෙන් ඥානසාර හිමියන් දක්වන්නේ එවන් ප්‍රතිචාරයකි.
පාස්කු කොමිසම මගින් තහනම් කිරීමට නිර්දේශ කර ඇති සංවිධාන අතර ඇත්තේ බොදුබල සේනා සංවිධානය පමණක් නොවේ. ශ්‍රී ලංකා ජමාතේ ඊ. ඉස්ලාම් සංවිධානය, ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය සංවිධානය තහනම් කළ යුතු බවට නිර්දේශයන්ද කොමිසම විසින් ඉදිරිපත්කර ඇත. එසේම ශ්‍රී ලංකාවේ ඉස්ලාම් රාජ්‍යයක් පිහිටුවීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් රෂිඩ් හජ්ජුල් අක්බාර්ට එරෙහිව අපරාධ නඩු පැවරීමට නීතිපතිවරයාට නිර්දේශයක් පවා කොමිසන් සභා වාර්තාවේ සඳහන්ය. මේ පුද්ගලයා සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ සිට කරුණු වාර්තා කරනු ලැබුවේය. ආරක්ෂක අංශ විසින් ඔහුව අවස්ථා කිහිපයකදීම අත්අඩංගුවට ගෙන මුදා හැරීම්ද කර තිබුණේය.

වහාබ්වාදය

මාවනැල්ලේ බුදු පිළිම කැඩූ සාහිඩ් සහ සාහිත් යන අයියා මලෝ දෙදෙනාගේ පියාගේ වැඩිමහල් සහෝදරයා වන්නේ ඔහුය. හීන් නූලෙන් වැඩ කරන්නෙක් වන ඔහු පාස්කු කොමිසම හමුවේද පෙනී’සිටියේ තමා අන්තවාදියෙක් නොවන තැනැත්තෙක් ලෙසිනි. එහෙත් ඔහු අන්තවාදයේ සැඟවුණු නායකයෙකි. ජමාතේ ඉස්ලාමික් සංවිධානයේ නිර්මාතෘ ලෙස සැලකෙන්නේද ඔහුය. ඉස්ලාමික් රාජ්‍යක් ගොඩ නැගීමට ඔහු විසින් මෙරට තෝරාගත් මුස්ලිම් තරුණයින් පකිස්තානයට සහ සිරියාවට පවා යැවූ බව හෙළි විය. 2014 වසරේ සාහිත් ව පවා සටන් පුහුණුවකට සිරියාවට යවා තිබුණේ යැයි කොමිසමේදී හෙළිවන්නේ මොහු විසිනි. එහෙත් කොමිසම හමුවේ මොහු සාක්ෂි දීමට එන විට සිටියේ ඇප මතය. අදටත් ඔහු සිටින්නේ ඇප මත නිදහසේය. එහෙත් ඔහු භයානක පුද්ගලයෙක් බවට තොරතුරු අනාවරණය වී තිබේ. තරුණ කොටස් සන්නද්ධ කළේ ඔහු බව කියවේ. ජමාතේ ඉස්ලාමික් ශිෂ්‍ය සංවිධානය යැයි කියා සංවිධානයක් පවා ගොඩ නගා පාසල් සිසුන් පවා අන්තවාදයට යොමු කිරීමට ඔහු පියවර ගත් බව පැවසේ. එම සංවිධානය රට පුරාම ව්‍යාප්තව පැවැති අතර සහරාන්ගේ දේශන සහ සටන් පුහුණුව සදහාද ඒ අය යොමුකර තිබුණු බව කොමිසමේදී අනාවරණය විය. මේ සංවිධානය ගැන මව්රට දිගින් දිගටම එදා හෙළිකරනු ලැබුවේ මොවුන් නිදැල්ලේ සිටියදීය. එදා අපි කී දේ අද සනාථ වී ඇත්තේ පොලීසිය රෂිඩ් හජ්ජුල්ලාට එරෙහිව මෙතෙක් කිසිදු පියවරක් නොගෙන තිබෙන පසුබිමක ඔහුට අපරාධ නඩුවක් ගොනු කරන ලෙසට කොමිසම විසින් නීතිපතිවරයාට නිර්දේශ කිරීමක් හමුවේය.
සිලෝන් තවුහිත් ජමාත් හී ප්‍රධානියා වන රාසික් රෆිදීන් නොහොත් අබ්දුල් රාසික්ට එරෙහිව අපරාධ චෝදනා ගොනුකළ හැකිද යන්න කඩිනමින් සලකා බැලීමටද නීතිපතිවරයාට කොමිසන් සභා වාර්තාවෙන් නිර්දේශ කර ඇත. ඒ 2014 වසරේ මැයි 06 වෙනිදා ඔහු බුදු දහම අගෞරවයට ලක්කරමින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි. පාස්කු ප්‍රහාරකයා වන සහරාන් හෂිම් හැදී වැඩෙන්නේ මෙම පුද්ගලයාගේ සංවිධානය හරහාය. අන්තවාදී බීජය වැපිරෙන්නේ මෙතැනින්ය. ඔහු ගැනද මව්රට පසුගිය කාලය පුරාවටම වාර්තාකරණයක නිරතවූයේය. කටුවපිටිය බෝම්බකරුට පුලස්තිනී රාජ්න්ද්‍රන් නැමැති දෙමළ තරුණිය විවාහකර දී ඇයව මුස්ලිම් ආගමට හරවා සාරා ජෙස්මින් යැයි කියා නම් තබන්නේද ඔහුය. සියල්ල සිදුවන්නේ වහබ්වාදයෙන් ඔහු ඉලිප්පෙමිනි. ඔහුට යම් දේශපාලනික හෝ ආරක්ෂක අංශයක හෝ බලයක් පැවැති බවද කොමිසම හමුවේ කියැවුණු ඇතැම් සාක්ෂිවලින් පෙනී ගියේය. සාරාව මෙහෙයැවූයේ සහ සහරාන් සම්බන්ධයෙන් සියලු රහස් දැන සිටින පුද්ගලයා රාෂික් බවද ඔහුගේ ඇතැම් ක්‍රියා කලාපයන්ට අනුව පෙනී ගියේය. එහෙත් කොමිසම ඔහුට එරෙහිව ක්‍රියාත්මක වන්නට නීතිපතිට නිර්දේශ කරන්නේ 2014 වසරේ ඔහු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පමණි. ඥානසාර හිමියන්ගේ පවා දැඩි විවේචනයන්ට ලක්වූයේ අබ්දුල් රාශික්ගේ ක්‍රියා කලාපයන්ය.
පාස්කු ප්‍රහාරයත් සමග සමාජයේ දැඩිව විවේචනයන්ට ලක්වූ පුද්ගලයින් කිහිප දෙනෙක් සිටින්නේය. ඒ රිෂාඩ් බදියුදීන් , අසාද් සාලි සහ හිස්බුල්ලා යන දේශපාලනඥයන් තිදෙනාය. පසුගිය මැතිවරණ වේදිකාවල කෙරුණු කථාබහවලට අනුව පාස්කු ප්‍රහාරය පිටුපස සිටින මහ මොළකරුවන් විය යුතු වූයේ ඔවුන්ය. කාදිනල් හිමියන් පවා මේ අය සම්බන්ධයෙන් සිටියේ දැඩි අවදියකිනි. එහෙත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ අයට කිසිදු චෝදනාවක් එල්ලවී ඇති බවක් පෙනෙන්නට නැත. එහෙත් පොලිස් විමර්ශනයන්ට මැදිහත්වීමක් සම්බන්ධයෙන් නම් අසාද් සාලි සහ රිෂාඩ් බදියුදීන් යන දේශපාලනඥයන් දෙදෙනාට යම් චෝදනාවක් කොමිසම මගින් එල්ල කර ඇතිබව කොමිසන් සභා වාර්තාවට අනුව පෙනී යන කරුණකි. අසාත් සාලිට එරෙහිව චෝදනා එල්ලවන්නේ මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කළ අයියා මලෝ දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කෙරුණු කෙරුණු පොලිස් විමර්ශනවලට කළ බලපෑම් සම්බන්ධයෙනි. එකල ඔහු බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාය. රටේ සියලු ජනමාධ්‍ය අසාද් සාලි විසින් කළ ඒ බලපෑම් ගැන වචනයක් ප්‍රසිද්ධ කිරීමට පසුබට වෙද්දී ඒ ගැන නම් ගම් සහිතව රටට මුලින්ම හෙළිකරනු ලැබුවේ මව්රටය. පාස්කු කොමිසම හමුවේ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධනද අසාද් සාලි විසින් කළ බලපෑම් ගැන සාක්ෂි ලබාදුන්නේ මව්රට විසින් හෙළිකළ කරුණු තවදුරටත් සනාථ කරමිනි. එහිදී අසාද් සාලිද හඬ පට කිහිපයක්ද කොමිසම හමුවේ දිගහරින්නට වූයේ තමාගේ පැත්තෙන් නිරවද්‍යතාවය පෙන්වීමටය. එහෙත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පවා අසාද් සාලි විසින් බලපෑම් කළ බව කියන්නට වූයේ මව්රට කථාව තවදුරටත් සනාථ කරමිනි.

බදුර්දීන්ට ඇති චෝදනාව

බදියුදීන්ට එරෙහිව ඇත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසුව කළ හමුදා මෙහෙයුමකින් දෙහිවල පැත්තේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙක් සම්බන්ධයෙන් එවකට හිටපු හමුදාපති මහේෂ් සේනානායකගෙන් කළ විමසීමක් සම්බන්ධයෙනි. එම සැකකරුව නිදහස් කරන්නැයි බදියුදීන් බලපෑම් කළ බව මුලින් කියැවුණත් අවසානයේදී හෙළිවන්නේ එම සැකකරු සම්බන්ධයෙන් ඔහු විමසීමක් පමණක් කර ඇති බවකි. ඒ සම්බන්ධයෙන් බදියුදීන්ගෙන් මෙන්ම එවකට සිටි හමුදාපතිවරයාගෙන්ද කොමිසම සාක්ෂි විමසනු ලැබීය. බදියුදීන් සම්බන්ධයෙන් නිර්දේශයක් ඉදිරිපත් කර ඇත්තේ ඒ අනුවය. එපමණක් නොව, බදියුදීන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමටද යොමුකිරීමක් පාස්කු කොමිසමේ නිර්දේශ අතර ඇත. ඒ බදියුදීන් අමාත්‍ය ධුරය දැරූ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවැති ආයතනයකින් පාස්කු බෝම්බකරුවෙක් වන ඉල්හාම් අහමඩ්ට අයත් තඹ කර්මාන්ත ශාලාවට සියළු නීති උල්ලංඝනය කරමින් විශාල වශයෙන් අබලි තඹ සහ පිත්තල ලබාදීම සම්බන්ධයෙනි. ඒ ගැන දීර්ඝ ලෙස කොමිසම හමුවේ සාක්ෂි විභාගවූ අතර එහිදී පැහැදිලිවම පෙනී ගියේ තඹ දඟර නිෂ්පාදනය සදහා එම බෝම්බකරුගේ කර්මාන්ත ශාලාවට අබලි ද්‍රව්‍ය නිකුත් කිරීමේදී සෙසු කර්මාන්තකරුවන්ට විශේෂත්වයකින් සලකා ඇති බවකි. අල්ලස් කොමිසමට ඒ ගැන විමර්ශනයක් පැවැත්වීමට වගකීම පාස්කු කොමිසමෙන් පැවරෙන්නේ ඒ නිසා විය හැකිය.

පොලිසියේ නොසැලකිල්ල

වළක්වා ගැනීමට අවස්ථාවක් තිබුණු පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවූයේ පොලීසියේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා කලාප බවට මුල සිටම මව්රට රටට හෙළිකළේය. ඒ වගකියව යුතු නිලධාරීන්ගේ නම් සහ තනතුරු නාමයන්ද සහිතවය. එහිදී ඇතැම් පොලිස් ලොක්කන් ලියුම්කරු සමග උරණ වී ඔහුට කළ හැකි අනීතික දේවල් ගැනද සොයා බලන්නට ගත්තේය. එහෙත් අද මව්රට කළ හෙළිකිරීම්වල ඇත්ත නැත්ත පැහැදිලිවම හෙළිවී ඇත්තේ පාස්කු කොමිසන් සභා වාර්තාව මගිනි. රාජ්‍ය බුද්ධි සේවයට ඉන්දියානු බුද්ධි අංශයකින් ලැබෙන ප්‍රහාරය සම්බන්ධයෙන් වූ තොරතුර බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඔහුගේ වපසරියට යටත් සෑම බලධාරියෙකුටම දැනුම් දුන්නේය. ඒ වරක් දෙවරක් නොව, ඊට වැඩි වාර ගණනකි. ඒ බව නිලන්ත ජයවර්ධනගේ සාක්ෂියෙන්ද පැහැදිලි විය. එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව දැනුවත් කළ බවක් පැහැදිලිවම හෙළි නොවුණත් පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන අංශය විසින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ප්‍රහාරය එල්ලවූ දින උදෑසන නිලන්ත ජයවර්ධන අවස්ථා කිහිපයකදීම දුරකථන ඇමතුම් ගෙන ඇති බව හෙළිකර ගත්තේය. ඒ වන විට මෛත්‍රීපාල ජනාධිපතිවරයා සිටින්නේ සිංගප්පූරුවේය. මේ බව මුලින්ම රටට හෙළිකරන්නේද මව්රට විසිනි. පාස්කු කොමිසන් සභාවේ සාක්ෂිවලින්ද පසුව ඒ ගැන කියැවෙන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අපරාධ චෝදනා එල්ලවෙමිනි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධනටත් පාස්කු කොමිසම මගින් චෝදනා එල්ලවී හමාරය. ඊට අමතරව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් සලකා බැලීමකට නීතිපතිවරයාට නිර්දේශයක්ද කොමිසම ඉදිරිපත් කර ඇත්තේය. මේ අතර පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් සහ අනතුරු ඇගවීමේ බුද්ධි වාර්තාව කෙරෙහි නිසි අවධානයක් යොමු නොකළ පොලීසියේ විශාල පිරිසකට එරෙහිව චෝදනාද ඒ අය සම්බන්ධයෙන් නිර්දේශයන්ද කොමිසම මගින් ඉදිරිපත් කර ඇත්තේය. කොමිසන් සභා වාර්තාවෙන් කියැවෙන ඒ සෑම පොලිස් නිලධාරියෙක් සම්බන්ධයෙන්ම පාහේ මව්රට මුල සිටම තොරතුරු වාර්තා කිරීමක් කරනු ලැබුවේය. ඒ අය අතර එවකට බස්නාහිර පළාත් භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, බස්නාහිර උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ උතුර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර, මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරාල ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් ගොන්නක්ම සිටියේය. මේ සියලු දෙනාටම පොලිස් කොමිසම විසින් ස්ථාන මාරුවීම් ලබාදෙමින් විනය පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි උපදෙස්ද පොලිස්පතිවරයාට ලබාදුන්නේය. ඒ අනුව පොලිස්පතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකය යොදා විනය පරීක්ෂණයකට අඩිතාලමද දැමුවේය. ඊට සමගාමීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද මේ නිලධාරීන් සම්බන්ධයෙන් අපරාධමය විමර්ශනයක්ද ආරම්භ කරනු ලැබුවේ මේ අය අතර පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ නිලධාරීන් කවුරුන්දැයි හඳුනාගෙන ඒ අයට එරෙහිව නඩු පැවැරීමට මූලික පිඹුරුපත්ද සකස් කරමිනි. එහෙත් ඒ ස්ථාන මාරුවීම් හිටි හිටිහැටියේම අවලංගු වන්නේ ඉහළ දේශපාලන බලපෑමක් පොලිස් කොමිසමට එල්ල වීමත් සමගිනි. ඒත් එක්කම එම නිලධාරීන් සම්බන්ධයෙන් පැවැති විනය පරීක්ෂණයද ඇනහිටින්නේ දේශපාලන බලවතා ඒ ගැන පරලවෙතැයි සිතාය. පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට පත්වන්නේත් ඒ අය රක්ෂිත බන්ධනාගාරගත වන්නේත් ඒ අතරතුරදීය. මේ අයට ඇප ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරෝධය දක්වන්නේ තවත් ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ඇතැයි අධිකරණයට කරුණු දක්වමිනි. එහෙත් අද දක්වාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එවැනි ඉහළ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගැනීමක් වාර්තා වූයේ නැත. නඩු පැවරීමක් හෝ විනය පරීක්ෂණයක්ද සිදුවූයේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ චෝදනා එල්ලවූ’ඒ නිලධාරීන්ට උසස්වීම් විටෙන් විට ලැබීමය. මේ ගැන මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ද සිටියේ කනස්සල්ලකිනි. ඒ නිසාම උන්වහන්සේ එකී නිලධාරීන්ට අගරදගුරු මැදුර පැත්තේ පස් පාගන්නට අවසර දුන්නේ නැත. එක්තරා නිලධාරියෙක් කාදිනල් සමග හොඳ හිත ඇතැයි පෙන්වීමට සිය මුහුණු පොතේ පළකරනු ලැබූ ජායාරූපයක්ද කාදිනල් හිමිපාණන් විසින් මැදිහත්ව ඉවත් කිරීමට පවා පියවර ගත්තේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ අනතුරු ඇඟවීමේ බුද්ධි තොරතුර රාජ්‍ය බුද්ධි සේවයේ නිලන්ත ජයවර්ධන විසින් ලබාදෙන්නේ ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ටය. ඒ සම්බන්ධයෙන් ඔහු ආරක්ෂක ලේකම්වරයාව සිටි හේමසිරි ප්‍රනාන්දු දැනුවත් කළද එය ආරක්ෂක කවුන්සිලයේදී කථාබහට ලක්වූ’බවක් කොමිසමේදී’හෙළි නොවීය. පොලිස්පතිවරයා අතට එම වාර්තාව යොමු වන්නේ සිසිර මෙන්ඩිස් හරහාය. පොලිස්පති පූජිත් ජයසුන්දර එම බුද්ධි තොරතුර යොමු කරන්නේ බස්නාහිර පළාත්භාරව එවකට සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, විශේෂ කාර්ය බළකායේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ එවකට අධ්‍යක්ෂකවරයාව සිටි වරුණ ජයසුන්දර යන අයට පමණි. කොමිසමේදී අවසානයට සාක්ෂි දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සඳහන් කරන්නේ ප්‍රහාරය සම්බන්ධයෙන් වූ එම බුද්ධි වාර්තාව තමා දකින්නේද ප්‍රහාරයෙන් පසුව බවකි. ඒ අනුව පෙනී යන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ වාර්තාව එහි අධ්‍යක්ෂක ශානි අබේසේකර පවා නොදැන සිටි බවකි. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාක්ෂි ලබාදුන් නිලධාරීන් සෑම ආයෙක්ම පාහේ කොමිසම හමුවේ සඳහන් කළ කාරණාවන්ට අනුව පාස්කු ප්‍රහාරයට පෙර ඒ අය ප්‍රහාරයක් ගැන කියැවුණු බුද්ධි තොරතුර ගැන කිසිවක් දැන සිට නැත. විශේෂ කාර්ය බළකායද ප්‍රහාරය වළක්වා ගැනීමට කිසිවක් කළ බවට තොරතුරු කොමිසමේදී පැහැදිලිවම අනාවරණය වීමක් පවා සිදුවූයේ නැත. අදාළ බුද්ධි වාර්තාව අඩුම තරමින් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් සහ බුද්ධි අංශ වෙත යොමු වූ බවක්වත් කොමිසමේ සාක්ෂිවලින් හෙළිවූයේද නැත. සහරාන් හෂීම් සම්බන්ධයෙන් විමර්ශනයන් මුල සිට පවත්වනු ලැබූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයද මෙම තොරතුර සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගයක් ගැන පැහැදිලි තොරතුරක් කොමිසම හමුවේ අනාවරණය නොවීය. එහෙත් නන්දන මුණසිංහ බස්නාහිර පළාත් භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස තමා යටතේ සිටින නියෝජ්‍ය පොලිස්පතිවරුන් දැනුවත් කරමින් ප්‍රහාරය වැළැක්වීමට නිරන්තරයෙන් කටයුතු කළ බවත් එම නිලධාරීන් සමග දුරකතනයෙන් නිරන්තරයෙන් අදහස් හුවමාරු කරගත් බවත් අනාවරණය විය. තමාට ලද බුද්ධි තොරතුර සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලිඛිතව දැනුවත් කරන්නේද ඔහුය. ඒ අනුව කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි අද වන විට අපරාධ හා අපරාධ බුද්ධි අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ඔහු යටතේ සිටි සියලුම කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරුන් දැනුවත්කරමින් ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් බව කොමිසමේදී හෙළිවිය. ඇතැම් අවස්ථාවන්වලදී ඔහු නිලන්ත ජයවර්ධන සමගද තොරතුරු හුවමාරු කර ගත් බව පෙනී ගියේය. එහෙත් වැඩිම බෝම්බ පිපුරුම් මාලාවක් සිදුවූයේ කොළඹ නගරයේය. බුද්ධි තොරතුරු සඳහන් වූයේ පල්ලිවලට ප්‍රහාර එල්ල කිරීමක් ගැන පමණක් වූ බැවින් ඔහු දැනුවත් කර තිබෙන්නේ පල්ලිවල ආරක්ෂාව තර කරන ලෙසිනි. ඒ අනුව කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ භාර පොලිස් අධිකාරීවරුන් සිය පොලිස් ස්ථානාධිපතිවරුන් සමග කතෝලික සහ ක්‍රිස්තියානි පල්ලිවල ආරක්ෂාව තහවුරු කර ගත්තද කොළඹ උතුර භාර පොලිස් අධිකාරීවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් කොච්චිකඩේ දේවස්ථානයට ප්‍රහාරයක් එල්ලවන්නේ කිසිදු ආරක්ෂක වැඩපිළිවෙළක් එහි ක්‍රියාත්මක නොවී පැවතියදීය. අඩුම තරමින් එම ප්‍රහාරය සම්බන්ධයෙන් තමා යටතේ සිටි පොලිස් ස්ථානාධිපතිවරුන්ව නිසි ලෙස කොළඹ උතුර කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයා දැනුවත් කළ බවක්වත් අනාවරණය වන්නේ නැත. එවන් තත්වයක් හමුවේ ඔහු ව්‍යාජ සටහන් පොලිස් පොත්වල තබා දේවස්ථානවලට ආරක්ෂාවක් සැලසූ බව පෙන්වීමට ගත් උත්සහයක් ගැනද කොමිසම හමුවේ හෙළිවිය. ඒ අනුව කොළඹ උතුර කොට්ඨාසය භාරව එවකට සිටි පොලිස් අධිකාරී සංජීව බණ්ඩාරට කොමිසන් සභා වාර්තාවෙන් චෝදනා එල්ලවී තිබේ. නන්දන මුණසිංහ දැනුවත් කළ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර බස්නාහිර දකුණ සහ කළුතර නියෝජ්‍ය පොලිස්පතිවරු සිටිති. ඒ දෙදෙනා ප්‍රහාරයන් වළක්වා ගැනීමට ප්‍රශංසනීය කාර්යභාරයක් ඉටුකර ඇතිබව කොමිසමේ සාක්ෂි විභාගයේදී පෙනී ගියේය. ඒ සම්බන්ධයෙන් කොමිසන් සභා වාර්තාවේද යම් සටහනක් ඇත්තේ ඔවුන්ගේ සේවය අගයමිනි.

දේශබන්ධුටත් චෝදනා

පාස්කු ඉරිදා එල්ලවුණු ප්‍රහාරවලින් දරුණුතම හානි සිදුවූයේ කටුවපිටිය දේවස්ථානයට එල්ලවුණු ප්‍රහාරයෙනි. වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත්වන්නේත් තුවාල ලබන්නේත් එම ප්‍රහාරයෙනි. එම ප්‍රදේශය භාරව එවකට සිටියේ බස්නාහිර පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස මේ වන විට සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ය. එවකට ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. නන්දන මුණසිංහ විසින් යොමු කළ බුද්ධි තොරතුර ඔහුටත් ලැබී තිබුණේය. ඔහු එම ලිපිය ඔහු යටතේ සිටින කොට්ඨාසභාර පොලිස් ප්‍රධානීන්ට යොමු කළ බව පාස්කු කොමිසමේදී අනාවරණය විය. සෙසු නියෝජ්‍ය පොලිස්පතිවරුන් මෙන් ප්‍රහාරය වළක්වා ගැනීමට යම් සාධනීය පියවරක් ගත් බවක් සාක්ෂි විභාගයේදී අනාවරණය නොවීය. නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හුදෙක් පණිවුඩකරුවෙක් ලෙස පමණක් කටයුතුකරමින් සිය රාජකාරිය ඉටුකිරීමට අපහොසක් වී ඇතැයි නිගමනය කරමින් කොමිසම ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට නිර්දේශ කරන්නේද ඒ නිසා විය හැකිය. ඒ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සම්බන්ධයෙන් නිර්දේශ කෙරෙන්නේද පොලිස්පතිට කෙරුණු නිර්දේශයමය. ඒ අපරාධමය චෝදනාවකි. ඒ පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් ලද බුද්ධි තොරතුර සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් කැඳවා සැලසුමක් සකස් කර නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙනි.
මෙම ප්‍රහාර මාලාව සහරාන් හෂිම් ඇතුළු අන්තවාදීන් විසින් එල්ල කිරීමට සැලසුම්කර තිබුණේ 2020 වසරේදීය. ඒ පළාත් 09යේම එකවර පිපිරවීම් රාශියක් දියත් කර රට අල්ලන්නට සූදානමින්ය. ඒ ඉස්ලාමීය රාජ්‍යක් ශ්‍රී ලංකාව තුළ ගොඩ නැගීමේ සැලසුමකට අනුවය. ඒ බව මුල සිටම මව්රට හෙළි කළේය. ඔවුන්ගේ ඉලක්කය වූයේ කතෝලික දේවස්ථාන නොවන බවත් ප්‍රධාන ඉලක්කයන් දෙකක් ඔවුන්ට තිබුණු බවත් විමර්ශනවලින් හෙළිවිය. කොමිසමේ සාක්ෂිවලින්ද ඒ බව කියැවිණි. ඒ අතරින්ද ප්‍රධාන ඉලක්කය වූයේ දළදා පෙරහැරය. දළදා පෙරහැරට පහරදී බෞද්ධයන් අවුස්සා රට අරාජික කිරීමටත්, අනතුරුව හමුදා කදවුරු සහ පොලිස් ස්ථානවලට පහරදී අවි ආයුධ රැස්කිරීමත් ඒ අයගේ අරමුණක් බව විමර්ශනවලින් හෙළිවිය. මෙම ප්‍රහාරය අසාර්ථක වුවහොත් දෙවැනි ප්‍රධානතම ප්‍රහාරය සැලසුම් කෙරෙන්නේ නිදහස් උත්සවයට ප්‍රහාරයක් එල්ලකරන්නටය. ඒ ගැන ඔත්තු බලන්නටද සහරාන් කණ්ඩායමක් යොදවා සිටියේය. එම පුද්ගලයින් ගැනද මව්රට මෙයට පෙර සවිස්තරාත්මකව වාර්තා කරනු ලැබීය. සහරාන් හෂීම් පුහුණු කඳවුරු රට පුරා පිහිටුවන්නේත්, දේශන තබමින් රට පුරා ඇවිදිමින් අන්තවාදී පිරිස් රැස්කරන්නේත්, ගිනි අවි සහ බෝම්බ ඇටවීමට පුහුණුව ලබාදීමට පිරිස් සංවිධාන ගත කරන්නේත් ඒ අනාගත ඉලක්කය සපුරා ගැනීමේ සූදානමිනි. 2019 වසරේ පාස්කු ඉරිදා ඒ ප්‍රහාර මාලාව එල්ල වන්නේ සංවිධානාත්මකව ප්‍රහාර මාලාවක් එසේ එල්ල කිරීමට සැලසුමක් තිබියදී හදිසියේමය. ඒ ගැනද කොමිසමේ සාක්ෂි විමසීම්වලදී හෙළිවන අතර කොමිසම පෙන්වා දෙන්නේ වනාතවිල්ලුවේ ඔවුන්ගේ අවි ගබඩාව ආරක්ෂක අංශ විසින් සොයා ගැනීමත්, සිරියාවේ සහ ඉරාකයේ අයි.එස්. බලය පිරිහෙමින් පැවතීමත් හේතුවෙන් අයි.එස්. සංවිධානය ලොව පුරා සිය අනුගාමිකයන්ගෙන් ප්‍රහාර එල්ලකිරීමට කළ ඉල්ලීමට අනුව පාස්කු ප්‍රහාරය එල්ලකර ඇති බවය. සහරාන් හෂිම් විසින් ප්‍රහාරය එල්ල කිරීමට හේතු දැක්වෙන හඬ පටියකින්ද මේ සම්බන්ධ කරුණු රැසක් දක්වා තිබුණු අතර ඊට නවසීලන්ත ප්‍රහාරයද ඇතුළත්ව තිබුණි. එසේම සහරාන් විසින් අවස්ථා කිහිපයකදීම ඥනසාර හිමියන්ව දැඩිව විවේචනය කර තිබුණු අතර උන්වහන්සේව වරෙක ඔහු හදුන්වන්නේ ඥානසාර නැමැති යක්ෂයා ලෙසිනි. ඒ තරමට ඔහුට ඥානසාර හිමියන් සමග දැඩි වෛරයක් තිබී ඇතැයි එම හඬ පටියෙන් පැහැදිලිය. ඒ වෙන කිසිවක් නිසා නොව, ඥානසාර හිමියන් මෙරට වහබ්වාදය පැතිරවීමට එරෙහිව ක්‍රියාත්මක වීමය.

සාරා සහ අබු හින්ද්

පාස්කු ප්‍රහාරයත් සමග ආන්දෝලනයට තුඩුදුන් චරිතයක් වූයේ සාරා ජෙස්මින්ය. මරාගෙන මැරෙන බෝම්බකාරියක් වූ ඇය මුස්ලිම් ආගමට බලහත්කාරයෙන් හරවාගත් දෙමළ ජාතික කාන්තාවකි. පුලස්තිනී රාජේන්ද්‍රන් නම් වූ ඇය සාරා ජෙස්මින් බවට පත්වන්නේ විවාහයෙන් පසුවය. එම විවාහය සිදුවන්නේ කටුවපිටිය බෝම්බකරු සමගිනි. අන්තවාදී පුහුණුව ලැබූ ඇයද සූදානමින් සිටියේ ප්‍රහාරයක් එල්ලකරන්නටය. පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු සයින්දුමරුදු බොලිවේරියානු ගම්මානයේ නිවසක සිදුවූ පිපුරුමකින් ඇයද මිය ගියේ යැයි සඳහන් වූවත් ඇය මියගොස් නැති බවත්, ජීවතුන් අතර සිටින බවටත් හෙළිකර ගන්නේ පාස්කු කොමිසමේ විමර්ශන අංශය විසිනි. අනතුරුව බුද්ධි තොරතුරු මගින් කියැවෙන්නේ ඇය ඉන්දියාවට බෝට්ටුවක නැගී පළාගොස් ඇති බවකි. පාස්කු ප්‍රහාරයේ ඔත්තුකාරිය ඇය බවට වූ සමාජ මතයක්ද ගොඩ නැගුණේය. මේ ගැන පවා මුලින්ම රටට හෙළිකරන්නේ මව්රට විසිනි. ඒ, ඇය ජීවතුන් අතර සිටින්නේ යැයි කියාය. එසේම ඉකුත් සතියේ මව්රට මෙම ප්‍රහාරයට සම්බන්ධ තවත් විදෙස් චරිතයක් ගැන කරුණු හෙළිකළේය. ඒ අබු හීන්ද් නැමැති පුද්ගලයෙක් ගැනය. කොමිසම හමුවේ රහස් සාක්ෂිකරුවන් කිහිප දෙනෙක්ම මෙම අබු හීන්ද් ගැන ඔවුන් දන්නා බොහෝ දේවල් කීවේය. ඒ සියල්ලටම කොමිසම ඇහුම්කන් දෙමින් සිය වාර්තාවේ සටහනක් තබා ඇත්තේ පාස්කු ප්‍රහාරයට විදෙස් මැදිහත්වීමක් පැවැතියේද යන්න පිළිබදව වැඩිදුර විමර්ශනයක් පවත්වන්නට නිර්දේශයක්ද ඉදිරිපත් කරමිනි. විශේෂයෙන් සාරා ජෙස්මින් සහ අබු හින්ද් යන අය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදුවිය යුතු බවටය. අබු හින් නැමැත්තාව හදුනාගෙන සිටින්නේ ඉන්දියාවේ සිට සහරාන් සමග නිරන්තර සම්බන්ධකම් පැවැත්වූ අයෙක් ලෙසිනි. මේ පුද්ගලයා සම්බන්ධයෙන් සහ ඔහු ගැන තොරතුරු හෙළිවන ආකාරය ගැන ඉකුත් සතියේදී මව්රටට හෙළිදරව්වක්ද කළේය. පාස්කු කොමිසමේදී අබුහින්ද් නැමැත්තා ගැන යම් හෙළිදරව්වක් කරන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසිනි. අබු හින්ද් නැමැත්තා ඉන්දියානුවෙක් වන අතර ඉන්දියාවෙන් ලද පාස්කු ප්‍රහාරයේ අනතුරු ඇඟවීමේ තොරතුරුකරු මෙකී පුද්ගලයාදැයි සැකයක් පවා නිලන්ත ජයවර්ධන කොමිසම හමුවේ මතු කළේය.
ඒ අනුව මෙකි අබු හින්ද් නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් තම සීමාව තුළ විමර්ශනයක් කළ බවත්, එහිදී සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තයින් 2017 වසරේ අග භාගයේ සිට අබු හින්ද් නැමැත්තෙකු සමඟ සම්බන්ධකම් පැවැත්වු බවට සහරාන්ගේ බිරිඳ හාදියාගේ සාක්ෂියෙන්ද අනාවරණය වන බවත් කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන් ය.
මෙම අබු හින්ද් පිළිබඳව සිය අනන්‍යතාවය හෙළි නොකළ ත්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයෙකු විසින් ජනාධිපති කොමිසම හමුවේ ඉතා සංවේදි සාක්ෂියක් ලබාදුන් නේය. ඒ ගැනද කොමිසන් වාර්තාවේ සදහන් වන්නේ අබුහින්ද් නැමැත්තා මෙරට ප්‍රහාරය හා සම්බන්ධ පුද්ගලෙයක් බව නිගමනය කරමිනි. කොමිසන් සභා වාර්තාවේ සදහන් ආකාරයට අනුව එකී සාක්ෂිකරු සඳහන් කර ඇත්තේ අබු හින්දි නැමැත්තා පළාත් බුද්ධි අංශයක් විසින් නිර්මාණය කළ චරිතයක් බවය.
ත්‍රස්ත ක්‍රියා සඳහා සිරියාවට ගිය ඉන්දිය ජාතිකයන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීමක් පිළිබඳ සොයා බැලූ බුද්ධි අංශය මෙහෙයුමකට අබු හින්ද් යොදාගෙන ඇති බවද එහි සඳහන් ය. මෙම අබු හින්දි නැමැත්තා ඉස්ලාමීය රාජ්‍ය කලාපීය නියෝජිතයා ලෙස විශ්වාස කිරීම හේතුවෙන් තමන් සිදුකිරීමට යන ප්‍රහාරයේ සැලැස්ම පිළිබඳ සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තයින් විසින් ඔහුව දැනුවත් කරන්නට ඇතැයි විශේෂඥ සාක්ෂියේ මතය වී තිබේ. එසේම අප්‍රේල් 21 උදෑසන පළමු ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ලවීමෙන් පසු කොච්චිකඩේ දේවස්ථානය ආසන්නයේ නතර කර තිබුණු පුපුරණ ද්‍රව්‍ය රැගත් වාහනය පිළිබඳ තොරතුරත් මෙම ප්‍රභවයෙන් රාජ්‍ය බුද්ධි සේවයට ලැබී ඇති බව එම සාක්ෂියේ සඳහන්ය.
මෙම සාක්ෂියේදී කොමිසමට පැන නැගුණු ප්‍රධාන කරුණක් වූයේ ශ්‍රී ලංකාවට අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවනු ඇතැයි ඉන්දියානු බුද්ධි තොරතුරක් මෙරටට ලැබී තිබියදීත් එතරම් ආරක්ෂාවක් නොමැතිව 2019 වසරේ අප්‍රේල් 07 වෙනිදා ඉන්දියානු ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රාගේ මෙරට සංචාරය ගැනය. ඒ ගැන කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් විශේෂඥ සාක්ෂියේ මතය වූයේ එම බුද්ධි තොරතුර පළාත් බුද්ධි අංශයක මෙහෙයුමක් බැවින් මධ්‍යම රජය ඒ ගැන නොදැන සිට ඇති බවකි. කෙසේ වෙතත් පාස්කු කොමිසන් සභා වාර්තාවේ සදහන් වන්නේ අබු හින්ද් සම්බන්ධයෙන් සහ ඔහුගේ අනන්‍යතාව පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යම් විමර්ශනයක් සිදුකරන බවය. එම විමර්ශන ඉදිරියට පවත්වාගෙන යා යුතු බව කොමිසමේ නිර්දේශය වී තිබේ. එසේම සාරා පිළිබදවද වැඩිදුර විමර්ශනයක් සිදුකළ යුතු බවට වූ නිර්දේශයන්ද කොමිසන් වාර්තාවේ ඇතුළත්ය.

නිර්දේශ

රාජ්‍ය බුද්ධි සේවය ශක්තිමත් කිරීම, පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබූවන්ට වන්දි ගෙවීම්, අන්තවාදය සහ ත්‍රස්තවාදී අන්තර්ගතයන් ඉගැන්වීම් තුරන් කිරීමට පෞද්ගලික පාසල්වල සිසුන්ගේ ආගමික ඉගැන්වීම් සමීපව නිරීක්ෂණය කිරීම, වහබ්වාදය සහ අන්තවාදයට එරෙහිව පියවර ගැනීම, දරුවන් පාසල් නොයවා නිවෙස් තුළ තබා ගනිමින් ආගමික අධ්‍යාපනයක් පවා ලබාදීම් වැළැක්වීම, මද්‍රසා පාසල් නියාමනය කිරීම, හිතුමතේට ආගමික සිද්ධස්ථාන ස්ථාපිත කිරීම වැළැක්වීම, ආදී බොහෝ කරුණු සම්බන්ධයෙන් කොමිසන් සභාව නිර්දේශ රාශියක් සිය වාර්තාවෙන් ඉදිරිපත් කර ඇත. එසේම අපේ රටේ මේ වන විට මහත් ආන්දෝලනයට තුඩුදී ඇති සාම්ප්‍රදායී මුස්ලිම්වරුන්ගේ සම්ප්‍රදායන්ද බිඳගෙන වහබ්වාදීන්ගේ ඉගැන්වීම්වලට අනුව සිදුවන මුස්ලිම් කාන්තාවන් මුහුණු ආවරණය වන ලෙස සිය සිරුරු ආවරණය කර ගන්නා ඇඳුමට පවා තහංචියක් කොමිසමේ වාර්තාවෙන් ඉදිරිපත් කර තිබේ. ඒ ඕනෑම පොදු ස්ථානයකදී මුහුණු ආවරණය වන සේ නිර්මාණ කර ඇති ඇඳුම් ඇඳීම තහනම් කළ යුතු බවටය.
එසේම පුපුරණ ද්‍රව්‍ය පාලනය සම්බන්ධයෙන් මෙන්ම ශක්තිමත් රජයක් පැවැතීමේ අවශ්‍යතාවන්ද කොමිසම හමුවේ පෙන්වා දී ඇත. රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ පැවැතීම ගැන මෙන්ම ජනාධිපතිවරයා විදෙස්ගතවන විට වැඩ බලන ආරක්ෂක ඇමතිවරයෙක් පත්කිරීම සහ ඔහුට අවශ්‍ය බලතලද දීම ගැන පවා කොමිසමේ වාර්තාවේ සඳහන්ය. ඒ පාස්කු ප්‍රහාරය එල්ලවන විට එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විදෙස්ගතව සිටියත් වැඩ බැලීමට ආරක්ෂක ඇමතිවරයෙක් පත්කර නොතිබීම සහ පාස්කු ප්‍රහාරරෑයෙන් පසු ඒ සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලය කැඳවීමට පවා නොහැකිවීම් සම්බන්ධයෙන් වූ ගැටලු ගැන සාක්ෂි විභාගයේදී හෙළිවූ කරුණු පදනම් කර ගනිමිණි.
එසේම ආගම් අනුව අමාත්‍යාංශ පිහිටුවීම වෙනුවට ආගමික කටයුතු යැයි කියා තනි අමාත්‍යාංශයක අවශ්‍යතාවද කොමිසම විසින් පෙන්වා දී ඇති අතර කොමිසමේ නිර්දේශය වී ඇත්තේ එම අමාත්‍යාංශයද ජනාධිපතිවරයා සතුව පැවැතීම වඩාත් සුදුසු බවය. පොලිස් දෙපාර්තමේන්තුවේ උසස්වීම් හා නිලතල සම්බන්ධයෙන් ඇති හැලහැප්පීම්ද පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව තිබුණත් ඊට නිසි පියවර නොගැනීම ගැන කොමිසමේදී බොහෝ අදහස් කොමිසමේ සාක්ෂි විභාගයේදී එළියට ආවේය. ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ සංස්කෘතිය වෙනස් කිරීම මෙන්ම උසස්වීම් සදහා නිලධාරීන් අතර ඇති තරගය අවම කිරීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් විශේෂ නිර්දේශ 22ක්ද අවසන් වාර්තාවේ සඳහන්ව තිබීම විශේෂත්වයකි.
ආගමික හේතූන් හා විශ්වාසයන් පදනම් කර ගනිමින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය තහනම් කිරීමටත්, කිසිදු ආගමික නමක් දේශපාලන පක්වල නාමයක කොටසක් නොවිය යුතු බවටත් නිර්දේශයක්ද අවසන් වාර්තාවේ සඳහන්ය. එසේම ජේ්‍යෂ්ඨ රාජ්‍ය නිලධාරීන් එක් තනතරකට වඩා හෙබවිම සුදුසු නැති බවද කොමිසම විසින් පෙන්වා දී ඇත. ඒ පාස්කු ප්‍රහාරය එල්ලවන විට රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයාව සිටි හේමසිරි ප්‍රනාන්දු එම තනතුරට අමතරව තවත් රජයේ තනතුරු රාශියක් දරමින් සිටි බැවින් ආරක්ෂක අමාත්‍යාංශයේ සිය රාජකාරි සඳහා ගතකළ කාලය අඩු බව කොමිසමේ සාක්ෂි විභාගයේදී අනාවරණය වූ කරුණු සැලකිල්ලට ගනිමිනි.
අන්තවාදී වහබ්වාදී අදහස් දරණ මුස්ලිම් පාසල් බොහොමයක් ලියාපදිංචි කර පවත්වාගෙන යන්නේ යැයි කොමිසමේදී හෙළිවන්නේ සමාගම් පනතේ විධිවිධානයන්ට අනුව ලියාපදිංචි කොටය. එම පාසල්වල කරන කියන දේ කිසිවක් නියාමනයට ලක්වන බවක් කොමිසමේ සාක්ෂි විභාගයේදී පෙනී නොගියේය. එබැවින් කොමිසමේ තවත් නිර්දේශයක් වී ඇත්තේ සමාගම් පනත යටතේ කිසිදු ආගමික පාසලක් ලියාපදිංචි නොකළ යුතු බවය. එසේම එම පාසල් නියාමනය කළ යුතු බවට නිර්දේශයක්ද ඇතුළත්ය. මේත් සමග කොමිසම තවත් නිර්දේශයක් ඉදිරිපත් කරන්නේ වෙන වෙනම ආගම් පාසල්වල ඉගැන්වීම් වෙනුවට ආගමික අධ්‍යාපනය නමින් සියලුම ආගමික දරුවන්ට බුද්ධාගම, ක්‍රිස්තියානි ධර්මය, හින්දු හා ඉස්ලාම් ධර්මයන්වල මූලික කරුණු පළමු ශේණියේ සිට දහවැනි ශ්‍රේණිය දක්වා ඉගැන්වීම් අනිවාර්ය කළ යුතු බවය. එසේම ආන්දෝලනයට නිරන්තරයෙන් ලක්වන මද්‍රසා පාසල් නියාමනය කිරීම සදහා නෛතික රාමුවක් සකස් කර ඒවා ව්‍යවස්ථාපිත අධිකාරියක් මගින් සමීපව නියාමනය කළ යුතු බවට වූ’නිර්දේශයක්ද කොමිසන් සභා වාර්තාවේ ඇතුළත්ය.
මෙවැනි යහපත් නිර්දේශ ගොන්නක්ම කොමිසන් සභා අවසන් වාර්තාවේ ඇතුළත්ව ඇති අතර මෙම වාර්තාවේ තවත් සුවිශේෂි කරුණක් වන්නේ පාස්කු ප්‍රහාරය මෙන්ම ත්‍රස්තවාදී නඩු සම්බන්ධ සියලු අපරාධ නඩු විභාග කිරීමට හා අවසන් කිරීමට කැපවූ මහාධිකරණ පිහිටුවීමේ අවශ්‍යතාවක් පෙන්වා දී තිබීමය. එපමණක් නොව, ඒ සම්බන්ධයෙන් විනිසුරුවරුන්ට විශේෂ රැකවරණයක් මෙන්ම පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාවද කොමිසන් සභා වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේය. මෙවන් නිර්දේශයක් නිකුත් වන්නේ පාස්කු කොමිසම ආරම්භ වී කෙටි කාලයක් තුළ කොමිසමේ සාමාජිකයන්ට එල්ලවූ තර්ජන ගැන ඒ අයට යම් අවබෝධයක් ඇති නිසා විය හැකිය. අවසානයේදී විශේෂ කාර්ය බළකාය විසින් කොමිසමේ සාමාජිකයින්ට ආරක්ෂාව සැලසූ අතර කොමිසමේ සාමාජිකයන්ගේ මෙන්ම කොමිසමට සහය දක්වමින් සාක්ෂි මෙහෙයවන ලද නීතිපති දෙපාර්තමේන්තුවේ නීතීඥවරුන්ගේ නම් පවා මාධ්‍යවල සටහන් කිරීම තහනම් විය. ඒ අන්තවාදී තර්ජන බිය කොමිසමට පවා පැවැති බැවින් විය යුතුය.

රුවන් වෙඩිවර්ධන

Advertisement
Exclusive6 months ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Mahawanshaya2 years ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive2 years ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive2 years ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology1 year ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Astrology2 years ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive2 years ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology2 years ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive2 years ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive11 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive11 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Exclusive1 year ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි